අතේ දුක හා ගෙදර දුක

දැන් ඉතිං මේකේ ටයිට්ල් එක දැක්ක ගමන්, ගෙදරින් පිට වෙලා පවුලෙන් ඈත් වෙලා දුර ඈත රටවල වැඩ කරන අයියලා එහෙම හිත නරක් කරගන්න ඕනේ කමක් නෑ. මොකද නැත්තං එයාලා හිතයි මේක ලියලා තියෙන්නේ එයාලට කියලා. සමහරු නම් නොකියා කියනව වගේ දැනෙනවා අතට දුකක් නෑ ගෙදර හිටියනම් කියලා වගේ. අනික ඔය පොඩි එව්වෝ එහෙම මේවා කියවලා ගිහිං ගෑණු ළමයින්ගෙන් තුන් තේරවිලා අහනව එහෙමත් නෙවෙයි හරිද…

දැනට මාස කීපයකට කලින් අපේ ඔෆිස් එකේ හිටිය අයියා කෙනෙක් විශ්‍රාම ගියා. අපි පොරට අයියා කිව්වට, වයස 55 පැනලා නිසා තමා විශ්‍රාම ගියේ. ඉතිං ඒ අයත් එක්කම ෆැක්ටරිය පටන් ගත්ත දවස්වලම එකම බැච් එකෙන් කම්පැනියට ආපු කීප දෙනෙකුත් මෙයා වැඩකරපු දෙපාර්තමේන්තුවෙම වැඩ කලා.

මෙයා යන එකට අපිට වැඩිය දුක ඒ එකට ආපු බැචාලට. ඇයි ඉතිං අවුරුදු විසි පහක් විතර එකට ඉඳලා එක පාරට වෙන් වෙලා යද්දී දැනෙන දුක ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. අවුරුදු 55න් විසිපහක්ම එකම තැන ඉන්නවා කියන එකත් ඇත්තටම ලොකුම ලොකු දෙයක්….

කොහොම හරි ඉතිං  පොර අපේ කම්පැනි එකෙන් අස් වෙලා යන දාට පොඩි පාර්ටි එකක් එහෙම ඇරෙන්ජ් කරලා තියෙද්දී, තව එක්කෙනෙක් පොඩි සමරු පොතක් හරිගස්සලා. අදාල ඩිපාමන්ට් එකේ හැමෝගෙන්ම පොඩි කවියක්, නිසදැසක් වගේ දේවල් එකතු කරලා එක එක පාට කොල වල අලවලා ලස්සනටම හදලා තිබුනා. ඇත්තටම නියම වටිනා භාන්ඩයක්.

ඒකෙ අන්තර්ගතය මෙහෙමයි… පොරගේ නම අනුර කියලා ගමු….

  1. අනුර මයිනා වුන හැටි… (පරන සීන් එකක්… කට්ටියක් මොකක් හරි හේතුවකට කෙසෙල් නොකා ඉද්දී පොර විතරත් තනියම කෙසෙල් වගයක් කාලා)
  2. අනුර විලා (අනුර අයියා ප්ලාස්ටර් ඔෆ් පැරිස් විශේෂඥයෙක්… එයාගේ වැඩ කරන තැන පොර වැඩ කර කර ඉද්දී හොරට නින්ද ගිහින් තිබුන වෙලාවක ගත්තු ෆොටෝ එකකුත් එකක් පොඩි කතාවක්)
  3. බ්ලා… බ්ලා… බ්ලා…
  4. බ්ලා… බ්ලා… බ්ලා… (මතක නෑ)
  5. අනුර අයිය නොදන්න මගේ ගෙදර දුක (මෙන්න කතාව)

අනුර අයියා නොදන්න මගේ ගෙදර දුක කියන ටයිට්ල් එක දැක්ක ගමන් මං පට ගාලා හැරෙව්වා පස් වෙනි පිටුවට. මේක ලියලා තිබුනේ ගාමිණි කියලා තවත් බැචෙක්.

අනුර අයියා අපිට හැමදාමත් හොඳ උපදෙස් දීලා, අපිට වැරදි දේවල් පෙන්නලා දීලා අපිව යහමග යවන්න සෑහෙන මහන්සියක් ඒ දවස් වල ගත්තා මට මතකයි. අපි අද මේ තත්වෙන් ඉන්නෙත් අයියාගේ උපදෙස් නිසා. දෙපාරක් තාප්ප වලින් පයින්න ගිහිං අත් පය තුවල කරගත්තෙත් අයියා නිසාමයි. අම්මප වෙන එකෙක් කිව්වනම් මං ඒ තාප්පෙන් පයින්නේ නෑ. අනුර අයියා යුනියන් ලීඩර් නිසා අපිව බේරගනියිනේ කියලා හිතලා තමා මං පැන්නේ. කොහොමහරි අන්තිමට වුනේ නෝපේ සති දෙකක් නිවාඩු ගන්න.

මොකක් හරි පරණ සීන් එකක්, මං එච්චර හොයන්න ගියේ නෑ… පස්සේ ඔහොම හෙන මඩ වගයක් ගහලා අනිත්මට ලියලා තියෙනවා මෙහෙම…

අනුර අයියගේ ඔක්කොමත් හොඳයි, කැතම වැඩේ තමා අපි බොන්න සෙට් වුනාම අපේ ගෙවල් වලට කෝල් අරගෙන ගෑණිට කතා කරලා ඉඳා කතා කරපිය කියලා ෆෝන් එක දෙන එක. අපේ එවුන් කී දෙනෙක් ඔය වැඩේ නිසා උඹ එක්ක තරහා වුනාද… ඒත් උඹ ඒ වැඩේ නැවැත්තුවේ නෑ… උඹ ඒක කලේ අපිවත් උඹ වගේ අමධ්‍යප කරන්න. ඉතිං අනුර අයියේ මං උඹට ඒ දවස්වල කිව්වේ මං බෝඩිමේ ඉන්න නිසා මගේ අතේ දුක විතරයි තියෙන්නේ, ගෙදර දුකක් නෑ කියලා. උඹ ඒක විශ්වාස කලා, ඒ නිසා මං ගෑණීට නෝන්ඩි නොවී බේරුනා.

ඉතිං මේං උඹ නොදන්න මගේ ගෙදර දුක…. 027 *** *****. දැන් ඕනේ තරම් කතා කරපං. අපි ඒ ගේ කුලියට දීලා ලබන සතියෙ අළුත් ගෙදර පදිංචියට යනවා. ඒ ගෙදර දුක පස්සේ මං උඹේ ගෙදර දුකට දැනුම් දෙන්නම්.

පස්සේ ඊට එහා පැත්තේ කොලේ තියෙනවා මේං මේ වචන ටික… ඒකෙ තිබුන ෆන් එක නිසාම මගේ අතේ දුකෙන් මං ඒකේ ෆොටෝ එකක් ගත්තා….

ටියුබ් ලයිට් වලට… අතේ දුක = මොබයිල් ෆෝන් එක , ගෙදර/නිවස දුක = ලෑන්ඩ් ෆෝන් එක

 

කාලයට වෙනස් වුන වෙලාව…!!!

හතර වටේ කැරකිලා කැරකිලා…. හෙම්බත් වෙලා, මං කළු නිසා මට සිල්වර් පාට, ගෝල්ඩ් පාට ඔරලෝසු හරියන්නේ නෑ කියල කෙනෙක් කිව්ව නිසා හොයලා හොයලා අන්තිමේ පිටකොටුවෙන් ගත්තා ඔරලෝසුවක්… හරියටම මීට අවුරුදු දෙකහ මාරකට ඉස්සර.

ආහ්… මල්ලි එන්න එන්න…. මොනාද ඔරලෝසුද බැළුවේ….

නෑ අපි මේ වොෂින් මැෂින් එකක් බැළුවේ කියලා කට කැඩිච්චි කතාවක් කියන්නත් හදලා ආයෙම කට පියාගෙන ඉවසගෙන හිටියේ, මෙතෙනින්වත් හොඳ ඔරලෝසුවක් වගකීමක් එක්ක අඩු ගානට ගන්න ඕනේ නිසා. එක එක ජාතියේ එක එක පාට ඔරලෝසු අස්සෙන් යාන්තං මටම හරියන විදියේ, ඒ කියන්නේ මං කලු නිසා මට වැඩිය කලු වට පෙනෙන ඔරලෝසුවක් යාන්තං සිලෙක්ට් කරගත්තා.

අයියේ මේක ගමුද බලන්න….

ආහ් මල්ලි… මේක සුපිරි භාන්ඩයක්. මේකෙන් තව දෙකයි ඉතුරු වෙලා තියෙන්නේ. වතුර යන්නේත් නෑ… වීදුරුව හීරෙන්නෙත් නෑ…

ඔච්චර දේවල් ගොඩක් තියෙන එකේ බැටරිත් බහින්නේ නැතුව ඇති නේද කියලා හිතලා ඒකත් වචන වලට පෙරලන්නේ නැතුව නිකං හිටියේ. කොහොම හරි ගාන බස්සලා මේකම ගන්නව කියලා හිතාගෙනම තමා. අන්තිමේ ඉතිං රුපියල් 2500යි කියපු ඔරලෝසුව යාන්තං රුපියල් 1800කට අඩු කරගත්තා.

ඉතිං ඔය ඔරලෝසුවට ඔෆිස් එකේ අයගෙනුත් කතා ගොඩයි.

ආහ්… පුතා… අළුත් වොච් එකක් අරං වගේ… ඒ කමර්ෂල් මැනේජර්

ආ… දැන් කළු පාටින්ම වගේ වැඩ…. ඒ මැටිරියල්ස් මැනේජර්

අනේ ෂෝක්…. ඔයාට ඔය පාට තමා ලස්සනම… ඒ රිසිප්ෂන් අක්කි…

හ්ම්… ඔය අරගෙන තියෙන්නේ ලස්සන ඔරලෝසුවක්… නඩුකාරි සහ පුංචි කුමාරි.

ඔය ඔක්කොම කතා මැද්දේ, අවුරුදු දෙකාමාරක් මේක අතේ බැන්දම, දැන් තියෙන තත්වේ තමා ඔය උඩ තියෙන්නේ.

ඕක ගද්දී ඔරලෝසු කඩේ අයියා කිව්වේ වීදුරුව හීරෙන්නේ නෑ , වතුර යන්නේ කියලා. දැන්නම් වීදුරුව බිඳිලා. බෙල්ට් එකෙත් කෝටඩ් එක පතුරු ගැලවිලා. ඒ මදිවට මේ ලඟකදී ඉඳන් අළුත් ඔප්ෂන් එකකුත් තියෙනවා. ඒ තමා සීතල දාට වීදුරුව ඇතුලේ වතුර බැඳිලා අද සීතල දවසක් කියලා පෙන්නනවා. ආයෙම තවත් සීතල වුනොත් ඒ වතුර ටික මීදුම වගේ තදට බැඳිලා… අද අධික සීතල දවසක් කියනවා… තරමක් උණුසුම් දාට වතුර ටික බිංදු විදියට වීදුරුවේ රැඳිලා අද තරමක් රස්නෙයි කියනවා… අම්බානෙට පිච්චෙන දාට, වතුර ටික වාෂ්ප වෙලා ගිහිං, ෂා… අද හොඳ පැහැදිලි අහසක් තියෙන්නේ කියනවා…

කොහොම හරි කාලයත් එකක් වෙලාව පෙන්නන එකත් වෙනස් වෙලා. ඒත් මගේ වෙලාවනම් තාමත් එහෙම්මයි….!!! ආයෙමත් වෙලාව වෙනස් කරගන්න කාලෙ හරි වගේ….

මෙහෙමනේ යාළුවෝ පිළිගන්න ඕනේ…

මුලින්ම කියන්නේ, අලුත් අවුරුද්දේ අලුතෙන් රැකියා වලට යන්න ඉන්න පොඩි එව්වෝ එහෙම මේක කියවලා වැරදි ආදර්ශ ගන්නවා එහෙම නෙවෙයි…

දැනට මාසයකට විතර කලින් ඉඳල අපේ කම්පැනියෙම තවත් අනුබද්ධ ආයතනයකට පොඩි පොඩි නඩු ගොඩක් වැටිලා තිබුනා. පොලිසියෙන් නෙමෙයි, එක්ස්ටර්නල් ඔඩිටර්ස්ලාගෙන්. ඔය පොඩි පොඩි නඩු වලින් ලොකුම නඩුව තමා සහෝදර සමාගමේ පරිගණක පද්ධතිය බලාකියාගන්න කවුරුත් නැහැ කියන එක. ඒකත් උං කොටස් වලට කඩලා හයිලයිට් කරලා බැකප් මේන්ටේන් කරන්නෙ නෑ කියලා. ඉතිං කොහොම හරි ඒ වැඩේට මාව සෙට් වුනා.

ඉතිං ඊයේ තමා මං මුලින්ම අළුත් ඔෆිස් එකට ගියේ. ඇත්තටම හරිම නිදහස් තැනක්. ෆැක්ටරියේ සද්ද බද්ද කනට ඇහැන නෑහෙන ගානට තිබුනට ඒක කඨෝර ශබ්දයක් නම් නෙවෙයි. අලුත් ඔෆිස් එකේ ඉන්නෙත් මගේ කලින් ඔෆිස් එකේ හිටිය හොඳම යාලුවෝ දෙතුන් දෙනෙක්මයි. ඒක නිසා ඉතිං ආයේ අළුතින් අඳුන ගන්න කියලා කෙනකේ හිටියේ නෑ.

කොහොම හරි ඊයේ ඔෆිස් එකට ගිහිං බලද්දී අකවුන්ටන් ලොක්කා නිවාඩුලු. පස්සේ ඉතිං මං සර්වරේ මට ඕනේ විදියට හදාගෙන, අනිත් එව්වයේ හැසිරීමත් බලලා එහෙම පැත්තකට වෙලා ඉන්න කොට, යාන්තං නමයාමාර වගේ වේගෙන එද්දී කට්ටිය සෙට් වෙලා මොකක් හරි ගේමකට. මටත් මුලින් මීටර් වුනේ නෑ වැඩේ…

ඒ මචං….

ම්ම්ම්ම්… කියපං…. මොනිටරෙන් ඔලුව උස්සන්නෙ වත් නැතුව මං එහෙම කිව්වම, මගෙන් ප්‍රශ්නේ අහපු පොර පුටුව පිටින් මාව කරකෝලා උගේ පැත්ත හරෝගෙන,

තෝ අපිත් එක්ක රේස් එකක් යන්න එනවද නැත්තං…

රේස් එකක්…???

ඔව්, උඹේ නීඩ් ෆෝ ස්පීඩ් ගහමු….

යකෝ ඔෆිස් එකේ…

නැතුව *කෝ….

මට ඉතිං කොයි තරම් සන්තෝසයිද කියනවනම්…. ම්ම්ම්… වචන නෑ ඒක විස්තර කරන්න. පොඩි කාලේ අර කෙල්ලෙකුත් එක්ක හුරතල් වෙවී ඕක සෙල්ලං කලාට පස්සේ ඊයේ තමා ඇඟට වදින්න සෙල්ලං කරේ. ඒකත් තනියෙම නෙමේ, හතර දෙනෙක් සෙට් වෙලා නෙට් වර්ක් ගේම් එකක්…!!!

උදේ දහයේ විතර ඉඳන් හවස හය විතර වෙනකම්ම එක දිගට රේස් ට්‍රැක් වල. එහෙමත් නැත්තං ගරාජ් වල… කාර් වලට ස්ටිකර් ගහනවා, පේන්ට් ගහනවා, ස්කර්ට්ස් අන්දනවා, ටයර් දානවා… හෙන වැඩ ගොඩයි. කොහොම හරි ජීවිතේටවත් මෝටර් රථ කාර්මික ශිල්පය හදාරලා නොතිබ්බ මං ඊයේ දවසට කාර් සීයකට වැඩිය මොඩිෆයි කරලා ගේම් වලට පැද්දා. අහෙන් මෙහෙන් චීට් කෝඩ් දැම්මම ලොක් වෙලා තියෙන ඔප්ෂන් ටිකත් ඇරගෙන පුළුවන් තරම් ලස්සනට පර්ෆෝමන්ස් වැඩියෙන් සිරාම කාර් දහයක් විතර මයි කාර් ලිස්ට් එකට දාගත්තා.

හප්පා… මගේ චූටි ඇඟිල්ලයි, දබර ඇඟිල්ලයි, මැද ඇඟිල්ලයි තුනම රිදෙනවා… කී බෝඩ් එකේ ඇරෝ කීස් ඔබ ඔබ ඉඳලා….  මං හිතන්නේ වෘත්තිය මෝටර් රථ රේස් පදින පොරක් වත් මෙච්චර වෙලා සෙල්ලං කරන්නේ නැතුව ඇති.

හෙට නම් මොනා වෙයිද දන්නේ නෑ…. වෙලාවක් හම්බුනොත් අනිවා ආයෙම රේස් එකක් නම් ෂුවර්. ඇත්තමයි මේ වගේ නිදහස් තැනක් ලබන්න පට්ට පිනක් තියෙන්න ඕනේ. හැබැයි ඒ පින දෙපිටින් යන්නේ කලින් ඔෆිස් එකේ තිබුන මෙගා බයිට් හතරේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වෙනුවට කිලෝබයිට් 128 ලයින් එක මතක් වෙද්දී තමයි. ඒකෙන් කරන්න පුළුවන් එකම දේ ඔෆිස් එකේ ටෙක්ස්ට් මේල් කියවන එක විතරයි…!

ඒක නිසා ලොකු ලොක්කන්ගේ අවසර ඇතුව මයෙ ලැපී කුමාරිව ගෙනියන්න කතා කරගන්න ඕනේ ඉක්මනටම. නැත්තං බ්ලොග් කියවන්න වෙන්නෙත් නෑ, ෆේස් බුක් යන්න වෙන්නෙත් නෑ… අඩුම ගානේ ඊමේල් එකක් වත් බලන්න විදියක් නෑ… තව ටික දවසක් යනකං මට ටිකක් ලොකු බෑන්ඩ් විත් එකක් තියෙන කනෙක්ෂන් එකක් ඉල්ලන්නත් බෑ… මොකද මෙතෙන ඉන්න ලබ්බෝ ඔක්කොමලා ඉන්ටර්නෙට් යූස් කරාට එකෙක්වත් එහෙම යෝජනාවක් කරලා නෑ මෙතුවක් කාලෙකට.

හොඳ හා නරක දෙකම ලැබෙද්දී දෙකම පිළිගන්නවා ඇරෙන්න වෙන විසඳුමකුත් නැති නිසා, දිව හපාගෙන ඉන්න තමා වෙන්නේ….

කොහොම හරි ඔෆිස් එකේ මුල්ම දවසේ මගේ යාලුවෝ මාව පිලිගත්ත විදියනම් හරිම අපූරුයි…. මං ඒක දැනගත්තේ ඊයේ හවස එන්න කිට්ටු වෙලා…!!!

රිසවු ස්විච් එක වෙනස් කලේ ඇයි…???

කට්ටිය දන්නවා නේද ත්‍රී වීල්… පොෂ් අය නම් කියන්නේ ට්‍රයි ෂෝ කියලා. අපි ඉතිං චූටි කාලේ ඉඳන් ට්‍රයි ෂෝ කියන්නේ වෙන මෙව්වා එකකට වුනාට කොළඹ කෙල්ලෝ කොල්ලෝ එව්වා දන්නේ නැහැනේ. ඒක නිසා ඉතිං තැනක් නොතැනක් නොබලා ට්‍රයි ෂෝ කියද්දී අහගෙන ඉන්න මට චුට්ටක් විතර මොකද්ද වෙනවා. ඇයි ඉතිං ප්‍රසිද්ධියේ එක එක ඒව කියද්දි අපි වගේ ලැජ්ජ බයට හැදිච්චි එවුන්ට කරන්ට් එක වදිනවා වගේනේ.

ඉතිං මේකයි කතාව. මේ ලඟදී දවසක මගේ යාළුවෙක් එක්ක මං ගියා ඌට ත්‍රී වීල් එකක් ගන්න. ගන්න කියන්නේ අලුතින්ම ගන්න නෙමෙයි. පොර පාච්ච්චි කරපු ත්‍රී වීල් එක ට්‍රේඩ් කරලා ත්‍රී වීල් පොලකින් ඊට වැඩිය පට්ටා ත්‍රී වීල් එකක් ගේන්න. ඉතිං උදේ පාන්දරම තමා වැඩේට ගියේ. මොකද පරක්කු වෙන්න පරක්කු වෙන්න හොඳ වාහන ටික විකිණිලා හම්පඩ වෙච්ච ලදරන් තමා ඉතුරු වෙන්නේ.

ඉතිං අපි ගිහිං ත්‍රී වීල් දෙක තුනක් බලද්දී අළුත්ම අළුත් කිරි ටොයියා භාන්ඩයක් තියෙනවා විකුණන්න. බජාජ් ඩබල් ලයිට්, ෆෝ ස්ට්‍රෝක් ත්‍රී වීල් එකක්. පොර ගාව තිබුනේ ටූ ස්ට්‍රෝක් එකක් නිසා මෑන් කොහොමත් බලාපොරොත්තුවෙන් ගියෙත් ෆෝ ස්ට්‍රොක් එකක්ම තමා. හැබැයි මේ තරම් සිරා එකක් නම් හම්බුවෙයි කියලා හිතුවේ නෑ. ඒක විකුණන්න දාලා තිබුනෙත් අයිතිකාරයා පවුලේ අයත් එකක් රට යන නිසා. ඒක හොඳටම පාවිච්චි කරලා තිබුනා. පස්සේ ඉතිං ඔන්න අරංගිය සල්ලි වලින් ඇඩ්වාන්ස් එකක් එහෙම දීලා ලියකියවිලි අත්සන් කරගෙන එහෙම ආයෙම ගෙදර ආවා ඉතුරු සල්ලි ටික ගෙනියන්න.

පස්සේ ඉතිං ආයෙම හවස වරුවේ ගිහිං යාලුවාගේ පරණ ත්‍රී වීල් එක විකුණන්න දාලා අළුත් භාන්ඩේ ගෙනාවා. ඒක ඇත්තටම මාරම ගති. කුෂන් කරලා, ස්ටේන්ලස් ස්ටීල් පොලු ගහලා හොඳටම තියෙනවා. ඉතිං ත්‍රී වීල් එක අරගෙන එන ගමන් එක පාරට තිබ්‍රන පෙට්‍රල් ඉවරවෙලා රිසවු වැටුනා. හැබැයි මේකේ රිසවු ස්විච් එකක් නෑ….!!!

සාමාන්‍යෙයන් රිසවු ස්විච් එක තියෙන්නේ පිටිපස්සේ සීට් එකේ යට දකුණු පැත්තේ. මල මගුලයි කියන්නේ මේකේ එහෙම එකක් නෑ. නෑ කියන්නේ…. තිබුන සලකුනක්වත් නෑ… ඊට පස්සේ වහාම ගත්තා කෝල් එකක් ත්‍රී වීල් පොලේ අයිති කාරයට මේකේ රිසවු ස්විච් එක ගැන කියන්න.

මට නිකං ලාවට වගේ ඇහුනා… පොරට ත්‍රී වීල් පොලේ අයිති කාරය හොඳ කුණු හබ්බ දෙකකුත් කියලා, බලපිය තොගේ සීට් එක තියෙන තැන ඇති කියලා කියනවා. පස්සේ වැඩේ ඇත්ත. රිසවු ස්විච් එකේ ප්ලේස් එක මාරු වෙලා.

පස්සේ වාහනේ යාලුවගේ ගෙදර ගෙනිහිං ආයෙම අරගෙන ගියා ත්‍රී වීල් බාස් කෙනෙක් ගාවට. කෝකටත් හොඳයිනේ දොස්තරට පෙන්නන එක කියලා, ගෙනිහිල්ලා රිසවු ස්විච් එකේ කතාවත් කිව්වා.

මෙන්න පොර කියනවා… අයියෝ මල්ලි ඔය ස්විච් එක එතෙන්ට දාලා තියෙන්නේ උඹලා වගේ එවුන්ගෙන් කෙල්ලන්ට වෙන හිරිහැර මග හරෝගන්න කියලා.

හෑ…. යකෝ බෝ පැල වගේ ඉන්න අපෙන් කෙල්ලන්ට මොන හිරිහැරද…? කෙල්ලන්ගෙන්නේ අපිට වෙන තරමක් හිරිහැර වෙන්නේ කියලා කියන්න හදද්දිම අර ගල් මූසලයා ආයෙම කියනවා… උඹලා කළුවරේ හයර් යන ගමන් රිසවු දාන්න කියලා කෙල්ලන්ගේ කකුල් අතගානවනේ බං. ඒකනේ ඔය ස්විච් එක මාරු කරලා තියෙන්නේ…!!!

පෙනේද අපේ ත්‍රී වීල් බුවාලගේ වැඩ. මමත් ඔය සීන් එක දන්නේ නෑ. සමහර විට ෆන් එකට කියන කතාවක් වෙන්න ඇති. කොහොමටත් වාහනයක අළුත් වර්ෂන් එකක් එද්දි කාර්යක්ෂමතාව වැඩි කරන්න, රියදුරුට පහසුවෙන්න වගේ ඔය වගේ පොඩි පොඩි වෙනස් කම් කරන එක සාමාන්‍ය දෙයක්. ඒත් මේ කරපු වැඩේට නම් බජාජ් එකේ ඩිසයිනින් ලොක්කට හෙන හත වදින්න ඕනේ. අසරන කොල්ලන්ගේ සහ කෙල්ලන්ගේ ෆන් එකට බාධා කරාට.

දැන් ඉතිං ඔය ලද දෙයින් සතුටු වෙන ගෑණු කට්ටිය එහෙම අළුතින් ආපු ෆෝ ස්ට්‍රෝක් වාහන වල නොයා පරන එවුවයෙම යයිද දන්නේ නෑ….!!! කොහොම හරි ඉතිං ආරක්ෂාව ගැන තදින්ම හිතන අය නම් අළුත් එව්වයේ යයි නේද…

අර ත්‍රී වීල් වල පිටිපස්සේ ගහලා තියෙන්නේ එක එක වැකි. අන්න ඒ අතරට මේ සීන් එක නිසා මෙහෙම දේකුත් එකතු වෙන්න පුළුවන්…

රිසවු තියෙන්නේ ඉස්සරහා, බය නැතුව නගින්න නංගිලා…

අද එක්කෙනෙක්ගේ උපන් දිනේ…

අද තමා මට වැඩියෙන්ම වටින දවස. මගෙ උපන් දිනේටත් වඩා වැඩියෙන් මට අද දවස නම් සෑහෙන්න වටිනවා. හේතු නම් ගොඩයි. ලොකුම එක තමා, අනිත් අයට ජනවාරි පළවෙනිදට අවුරුද්දක් ලැබුවට… මට වසරක් ගෙවිලා වසරක් ලබන්නේ ජනවාරි හය වෙනිදට වීම… ඉතිං වෙනදා වගේම මෙදා පාරත් හැමෝගෙන්ම තෑගි ලැබෙන්න කලින් මගේ උපන් දින තෑග්ග ලැබෙන්න ඇති කියලා හිතනවා. නොලැබී යන්න විදියක් නැහැනේ ඉතිං, නඩුකාරීට යශෝධරාවගේ උපන් දින තෑග්ග භාර දුන්නේ සති දෙකකට විතර කලින්නේ. ඉතිං දෝනියන්දට නොපෙනෙන්න හංගලා තිවුන තැන මතක තිබුනනම් ලස්සන කාඩ් එකයි අනිත් තෑග්ගයි අනිවා හම්බුවෙන්න ඇති.

අද  වැඩිය ලියන්න බෑ අප්පා… මේං මේ විදියට බර්ත් ඩේ කාඩ් එකේ තිබ්බ සුභ පැතුම විතරක් මං බ්ලොග් එකේ ඉතුරු කරන්නම්… අඩුම ගානේ ඒ ලස්සන කාඩ් එකේ පින්තූරයක්වත් මට කස්ටිය එක්ක බෙදා ගන්න ලෝබයි… මොකද මං ඒකි වෙනුවෙන් වෙන් කරන හැමදේම එයාට විතරක්ම වෙන්න ඕනේ කියලා මගේ හිතේ තියෙන නපුරු කුහක සිතුවිල්ල නිසයි ඒ. අනිත් එවුන් වගේම මාත් ආදරයෙදී මාරම ආත්මාර්ථකාමීයි….!!!

මගේ ගැණි වෙච්චි දාට… රත්තරං අම්මි වුනාට, එතකං තමුසේ මට නංගියෙක් හරිද….!!! මං ජීවත් වෙනවා කියලා මට දැනෙන්න සැලස්සුව ඔය පුංචි ඇස් දෙකට… ඇත්තටම මං හැමදේකටම වැඩියෙන්, ආදරය කරනවා අදටත්…!!! හැමදාටමත්…!!!

 

I love you for

so many things, I don’t know

where to start,

but most of all I love you

for your understanding heart.

A heart that makes you thoughtful,

considerate and kind,

a heavenly combination that

is difficult to find.

It would be a pleasure

just to know you, for you’re

kind and considerate, too…

… But I’m double lucky

to have not just a friend,

but also a Sister as sweet as you.

LOVE YOU, SISTER !

ඔව්ව ඔහොම තමා බං…

මට දෙදාස් දොලහ පටන් ගන්න විදියක් නැතුව ඉද්දී මට පිහිටට හිටියේ මගේ මල්ලි විතරයි. මගේ ටැංකියට මල්ලිගේ කටය හෙවනැල්ල….!!! අලුත් අවුරුද්දෙ වැදගත් පෝස්ට් එකක් දාන්න ඕනෙ නිසා බාගෙට ලියාගෙන තියාගෙන ඉන්න 18 ප්ල්ස් මෙව්වා ටික දාන්න හිත දුන්නෙම නෑ. නිකං මොකටද අලුත් අවුරුද්දේ පොඩි එවුන්ගේ හැඟීම් අවුස්සලා උන්ව නරක් කරන්නේ කියලා පළවෙනිදා දාපු පෝස්ට් එක කරවෙද්දී මට ලියන්න දෙයක් හිතාගන්න බැරුව තමා මේ ටිකේම හිටියේ.

ඊට පස්සේ ඉතිං ඕං ඊයේ ගෙදර යද්දී අපේ මල්ලි, ටිකක් සද්දෙන් සිංදු සෙට් එකක් දාගෙන ඉන්නවා. ඔය අස්සේ දැන් දවස් කීපයකම ඉඳලා ප්ලේ වෙන එක සිංදුවකුත් තියෙනවා. මට ඔය සිංදුව එක දිගට තුන් හතර පාරක් රිපීට් වෙද්දී ටිකක් මීටර් වෙලා තිබුනට ඒ ගැන එච්චර හිතන්න දෙයක් තිබුනේ නෑ. ඒත් ඉතිං මේ වගේ පෝස්ට් එකක් නොදා ලියන්න දෙයක් හිත හිත වෙලාවකට අර කබර ගොයා තලගොයා වෙනවා වගේ තමා. සිංදුව ඕං තියෙනවා පහල…

http://www.fileden.com/files/2011/12/13/3238070/Pem%20Sitha%20Riduna%20Raththarane.mp3%20

මේක බූට් එකක් කාපු සීන් එකක්…! ඉතිං මට නිකමට වගේ හිතුනා අළුත් අවුරුද්ද පටන් ගද්දිම අපේ එකාට බඩුම තමා කියලා. මල්ලිට එහෙම වුනා අයියා කෙනෙක් හැටියට මං හිනාවෙන්න හොඳ නෑනෙ… අයියා කෙනෙක් හැටියට මල්ලි ගැන සොයා බලා උපදෙස් දීමනේ කරන්න ඕනේ . ඒක නිසා මාත් නිකමට වගේ ඇහුවා… මොකද බං මේ සිංදුව දෙතුන් පාර රිපීට් වෙන්නේ කියලා… ඒ ඇහුවේ මලේ උඹට සපත්තුවක්වත් හම්බුනාද කියලා සිංහලෙන් අහන්නේ නැතුව…. ඒ ප්‍රශ්නෙට පොර කියන්නේ … නෑ … මේ…. මං ඒකට ආසයි ඒකයි… කියලා. ඉතිං මට ඌට උපදෙස් දෙන්න අවස්ථාවක් වුනේ නෑ… මං දන්නවනේ මල්ලි දසසයා කියලා… නැත්තං ෆෝන එක රීලෝඩ් නොකර හොරෙන් එෆ්.බී ලොග් වෙලා, මහ රෑ දෙකට තුනටත් චැට් කරාවියෑ. අපිට නිදාගන්න නෑ මුගේ ​ෆෝන් එකත් එක්ක…. මහ රෑ දෙකටත් මූට නොටිෆිකේෂන් එනවා… ඇයි ඉතිං මූට රෑ වුනාට අනිත් රටවල මුගේ ක්‍රෂ් වලට දවල් ලන්ච් එකනේ… හැබැයි මට හොඳටම ෂුවර් මලයා තව දෙකක් ඇතුලත කලින් පාර වගේම,

අයියේ… වැඩක්ද….

ඇයි … මොකෝ සීන් එක…

අර කෙසෙල්වත්තේ ගෑණු ළමයා….

හා… හා… ඇති. මට හිතුනා තෝ අර සිංදුව අහද්දී….

හ්ම්…. ඒකනේ….

ඕකනේ ඕයි කියන්නේ තමුසෙට මහා රෑ නිදා මරාගෙන, එෆ්. බී එකෙන් කෙල්ලෝ සෙට් කරගන්න එපා කියලා….!!!

ඔව්ව ඔහොම තමා බං… හිමීට වෙන රැල්ලක් පාගමු….වෙලාවට අපේ ගස් ගෙම්බා මෙව්වා බලන්නේ නෑ… නැත්තං උගේ ජීවිතේම මේ බ්ලොග් එක කියෝලා හදා ගන්න පුළුවන්… නැද්ද මං අහන්නේ…

2012 සුභ වසරක් වේවා…!!!

යාළුවෝ හැම කෙනෙකටම සුභම සුභ නව වසරක් වේවා…!

%d bloggers like this: