පාස් වර්ඩ් එක….

මේ සීන් එක වෙද්දී අපි සාපෙ කරලා ගෙදර ඉන්න දවස්. ගෙදර කිව්වට ඉතිං ගෙදරම නෙමේ. වටේ පිටේ යාළුවොන්ගේ ගෙවල් වලයි, ක්ලාස් ගානෙයි තමා දවසම. ඉතිං ඔය කාලෙ වෙද්දී මම කොම්පියුටර් ක්ලාස් එකකට සෙට් වෙලා ඒකෙ පළවෙනි අදියර සාර්ථකව නිමා කරලා දෙවෙනි අදියර පටන් අරගෙන තිබුනේ. ඒ සාර්ථකව නිමා කරපු හැටි ගැන නම් කියන්න කිසිම අදහසක් නෑ. එව්වා දේව රහස්. මොකද ඒ දවස් වෙද්දී මට ඇක්සස් එහෙම සිරාවටම පුළුවන් නිසා ක්ලාස් එකේ උගන්නපු චූටි හුරතල් අක්කා කෙනෙක් මට ප්‍රැක්ටිකල් ටෙස්ට් එකේදී උදව් කරේ නෑ.

ඉතිං ඔය දෙවෙනි අදියරේදි මට තව යාළුවෝ කීප දෙනෙක් සෙට් වුනා පළවෙනි ස්ටේජ් එකේ අපිත් එක්ක හිටිය එවුන්ට අමතරව. මං දන්නේ නෑ උන් කොහොමද එක පාරට දෙවෙනි අදියරට සෙට් වුනේ කියන්න. ඒත් කොහොම හරි සිරා මඥ්ඥං ඩයල් ටිකක් මගේ යාළුවෝ ගොඩට වැටුනා. මේ අතරින් එකෙක් තමා ඉසුරු කියන්නේ. දැන් ඉතිං බ්ලොග් එක කියවන ක්ලාස් ගිය සමහරු බලනවා ඇති කව්ද බොලේ ඉසුරු කියලා.

ඉසුරුගේ නම ඉසුරු නෙමේ තමා. ඒත් උගේ නම දාලා මං මොන හිතකින්ද ඌව චාටර් කරලා දාන්නේ. ඒකයි ඉසුරු කියලා දැම්මේ.

මේකයි ඉතිං කතාව. ඔය ඉසුරු කියන්නේ, ලස්සන ලස්සන වෝල් පේපර්ස් වලට සෑහෙන්න ඇලුම් කරන එකෙක්. වැඩිහරියක්ම කැමති ඩෙක්ස් ටොප් එකේ කාර් එකක් නැවැත්තුවා වගේ පේන කාර් තියෙන වෝල් පේපර් වලට. ඉතිං අපේ ඔය ක්ලාස් එකේ හිටිය සර්ලා එහෙමත් ඔයවගේ වෝල් පේපර්ස් දාගෙන ඉන්නවා. මූට ඉතිං හෙන ඉරිසියයි එව්වා පෙනෙද්දි. ඒ දවස් වල නෙට් එකත් වැඩිය නැති නිසා ඔය වගේ දේවල් අපේ අතට ආවේ කලෙක්ෂන සීඩී එකකින් හරි එහෙමත් නැත්තං කාගේ හරි මැෂින්  එකකින් කොපි කරගත්තොත් හරි විතරයි. ඒත් ඉතිං අපේ ප්‍රැක්ටිකල් ලැබ් එකේ තිබුන, කාර් වෝල් පේපර්ස් තිබුන පීසී එකවෙන් කරලා තිබුනේ ළමයින්ගේ ඩීටේල්ස් තියාගන්න සහ ක්ලාස් එකේ ඇඩ්මින් වැඩ වලට විතරයි. ඒ මැෂින් එකේ අපිට වාඩි වෙන්න හම්බුවෙන්නේ බොහොම කලාතුරකින්. ඒ වෙන්නෙත් ප්‍රැක්ටිකල් ලැබ් එකේ කට්ටිය වැඩි වුන දාට හරි එහෙමත් නැත්තං මැෂින් එකක් බ්‍රේක් ඩවුන් වෙච්චි දාට හරි තමා. ඒත් අපිට හම්බුවෙන්නේ ලොක්කෝ වැඩ කරන අකවුන්ට් එක නෙමෙයි වෙනම හදපු ස්ටුඩන්ට් එකවුන්ට් එකක්. ඒකට පාස්වර්ඩ් දාලා තිබුනේ නෑ.

ඉතිං මේ කියන දවසේ මම ක්ලාස් එකට යද්දි ටිකක් විතර පරක්කු වුනා. මම පඩිපෙල නැගලා උඩ තට්ටුවට යද්දි අපේ කට්ටිය ඉන්නවා එක එක මූනු හදාගෙන. ඉසුරු ඇරෙන්න අනිත් ඔක්කොමලා ටිකක් භය වෙච්චි සහ සතුට පිරුන අමුතු ස්වරූපයක් හදාගෙන ඉන්නේ. ඉසුරු නම් ෆුල් හැපී මූඩ් එකේ. ඌට මොකක් හරි දෙයක් කියාගන්න ඕනේ කමක් තියෙනවා කියලත් මට පේනවා. මොකදද උගේ කට නලියන ගතිය උගේ මුළු සරුවාංගෙන්ම පේනවා.

පස්සේ ඉතිං මං ගිය ගමන් ඉසුරු මගේ කරට අත දාගෙන.

අඩෝ මං අරකේ පාස් වර්ඩ් එක බලාගත්තා බං.

මොකේද….?

අර සිරා වෝල් පේපර්ස් තියෙන පීසී එකේ.

නෑහ්…..

ඥෑහ් නෙමේ බං ඔව්…

ඉතිං මූං ටික මොකද බය වෙලා ඉන්නේ ?

මුං කියනවා බං මාව ක්ලාස් එකෙන් අස්කරයි කියලා.

හරි හරි ඉතිං උඹ පාස් වර්ඩ් එක බලාගත්තට තාම ඒකෙන් ඇඩ්මින් එකට ලොග් වුනේ නැහැනේ. ඒක නිසා ඉතිං එහෙම කරන්න බැහැ.

ආහ් මට කියන්න අමතක වුනා. ඔය ලොකු ලොක්කෝ පාවිච්චි කරපු පීසී එකේ තිබුනේ වින්ඩෝස් මිලේනියම් එඩිෂන් එක හරි වින්ඩෝස් 2000 හරි. මට හරියට ඒකනම් මතක නෑ. කොහොම හරි පාස්වර්ඩ් එක ගහද්දී දැන් වදින රවුම් වෙනුවට ඒකේ වැදුනේ තරු.

අඩෝ දැන් ඉතිං… සර් තේ බොන්න ගිය ගමන් පට ගාලා ලොග් වෙලා මේ ඩිස්කට් එකට අර කාර් ටික කොපියක් දාගමු බං. මං උඹටත් දෙන්නම්.

එහෙම කියලා මූ මට අළුත්ම අළුත් ෆ්ලොපියක් පෙන්නුවා. සෝනි එකක්, ප්ලාස්ටික් කේස් එකත් එක්කම. ඒ දවස්වල පෙන් ඩ්‍රයිව්ස් එහෙම නැති නිසා ෆ්ලොපිය තමා හැම දේටම. සෝනි එක අනිත් එව්වට වැඩිය ගාන ටිකක් වැඩියි. රුපියල් 80ක් විතර වුනා කේසින් එකත් එක්කම. කොහොම හරි ඉසුරු බුවා පාස් වර්ඩ් එක බලාගෙන තියෙන්නේ අපිට අන්තිමට ක්ලාස් තිබුන දවසේ. ඒ දවස් වල ඉතිං ඔය වගේ වටිනා දෙයක් දැන ගන්න අපිට තව සතියක් ඉන්න වෙන එක සාමාන්‍යයි. මොකද ඒ දවස් වල ඊමේල් නෑ, ෆේස් බුක් නෑ අඩුම ගානේ එකෙකුට දෙන්නෙකුට ඇරෙන්න මොබයිල් එකක්වත් නෑ.

කොහොමහරි ඉතිං ඔන්න ප්‍රැක්ටිකල් ලැබ් එකට ගිහිං අපිට දිලා තිබුන ෆොක්ස් ප්‍රෝ ප්‍රෝග්‍රෑම් එක කරා සර් තේ බොන්න යනකංම. සර් ගිය ගමන් කැරකෙන පුටු වල වාඩි වෙලා හිටිය අපි සෙට් පුටු පිටින්ම ඉසුරු ගාවට සෙට් වුනා. ඇයි ඉතිං අපිත් ආසයිනේ ලයිව් හැකින් සීන් එකක් කරලා ඩේටා උස්සලා ඩිස්ක් එකකට දාගන්න.

ඉතිං මංම ඇහුවා, ඒ ඉසුරු ඉක්මනට පාස් වර්ඩ් එක කියපං අපි ෆයිල් ටික තියෙන තැන හොයලා කොපි කරගන්නත් එපැයි බං.

හරි හරි යමන්කෝ එතෙන්ට කියලා ඉසුරු අපිවත් ඇදගෙන ගියා ලොක්කන්ගේ මැෂින් එක ගාවට.

ගියාට එකෙක්වත් නෑ දැන් ඒ පුටුවෙන් වාඩි වෙලා වැඩේ කරන්න. ඒ පාර ඉතිං අපේ කවුරු හරි එකෙක් වාඩි වුනා. පස්සේ ඔන්න පොර ඉසුරුගෙන් පාස් වාර්ඩ් එක අහනවා.

ඉසුරු අකුරෙන් අකුර හරියට පාස් වර්ඩ් එක කියපං. වරද්දන්න එහෙම එපා. කියලා එහෙම තමා දැන් මේ හැකිං මිෂන් එකට අපි එන්ටර් වුනේ.

අපි හත් අට දෙනෙක් අතරින් ඉස්සරහට එබී ගෙන හිටිය ඉසුරු…

මොන අකුරුද බං තරු අටක් ගහපං… මං දැක්කා සර් තරු අටක් ගහලා ලොග් වෙනවා. ඔය නියුමරික් පෑඩ් එකේ උඩ තියෙන්නේ අන්න ඒක ඔබපං අට පාරක්. එතකොට හරි.

එතනින් එහාට සිදු වූ දේවල් ගැන කියා යාළුවන් අපහසු තාවයට පත් කිරීමට අකමැති බැවින් එව්වා ඕනේ නැත. අනික මේ පෝසට් එකට එකදු කුනුහබ්බයක්වත් ගෑවිමටත් මගේ කිසිම අදහසක් නැති බැවින් අපි ඉසුරුට කතා කරපු හැටි ගැන කැමති ඕනෑම ආකරයකින් හිතාගන්න. මොකද එතෙන ඉසුරු ඇරෙන්න තව අට දෙනෙක් හිටිය නිසා මුළු සිංහල සාහිත්‍ය වංශ කතාවම එතෙන කියවුනා වගේ මතකයි.

%d bloggers like this: