මචං මුහුද…..

මං පුංචි කාලේ ඉඳන් මුහුදට හෙන ආසයි. අපේ ගෙවල් වල ඉඳන් කිලෝ මීටර් තුනක් විතර තමා මුහුදට තියෙන්නේ. ඒ දුර අර මොබයිල් ටවර් වැඩ කරන ක්‍රමයට බැළුවොත් නම් හූ දෙකයි… පිනුමයි. ඒත් ඉතිං අපිට කෙලින් යන්න ඩිරෙක්ට් පාරවල් නැති නිසා ගමන යන්නේ වටෙන්.

ඉතුර ටික කියවන්න කලින් මේක ප්ලේ වෙන්න දාන්න….

ඉස්සර තාත්ත මාව නිදි කරවන්නේ “ඔය ඇහෙන්නේ පුතේ මුහුදේ සද්දේ” කියලා ඔලුව අතගාලා. කොච්චර විසේ කර කර උන්නත් මං මුහුදේ සද්දේ අහන්න ඕනේ නිසා තාත්ත ගාව ගුලි වුනාම තාත්තා හිමීට ඔළුව අතගාන කොට මං දන්නෙත් නෑ පස්සෙන්දට එලිවෙන හැටි. ඊට පස්සේ ටික ටික ලොකු වෙද්දීත් ඔය සද්දෙට වැඩියෙන් කන් දෙන්න මං පුරුදු වුනා. හැම තිස්සෙම පවතින හෝ… හෝ… සද්දෙට අමතරව හිටපු ගමන් බෝස්… ගාලා ලොකු රළගෙඩි පෙරළෙන හැටි කිලෝමීටර් තුනක් ඈතින් ඉඳලා හිතෙන් චිත්‍රනය කරනවා කියෙන්නේ මාරම අත්දැකීමක්. ඉස්සරනම් තාත්තගේ උණුසුමේ හොඳට නින්ද ගියාට දැන් ඉතිං මං තනියම නිදියන නිසා හිටි ගමන් මහ පාන්දරට ඇහැරෙනවා වතුර තිබහා හැදිලා එහෙම. එතකොට ඉතිං ආයෙ නින්ද යනවා බොරු. ඒ වෙලාවට තමා වැඩියෙන්ම මුහුදේ සද්දෙට කන් දෙන්නේ. රෑට ඇහෙන රැ‍හැයි නාදය ඇරෙන්න මට නම් ඇහෙන්නේ මුහුදේ හඬ විතරයි. එහෙම වෙලාවට මට හිතෙනවා, රැහෙයියෝ ඔක්කොම අල්ලලා කටේ ප්ලාස්ටර් ගහන්න… නැත්තං චූටි ස්ලීපින් ගෑස් පාරක් දෙන්න.

ඒ ඔක්කොම ඔය මහ ලොකු මුහුදේ සද්දේ අහන්න ඕනේ නිසා. ඔය කොයිතරම් මං මුහුදට ආසා වුනත් එකපාරක් දෙපාරක් ඇරෙන්න මං මහ රෑට මුහුදු වෙරලට ගිහිං නෑ. ඒත් ගියේ අත්‍යවශ්‍යම හේතු කීපයකට. එකක් තමා යාළුවෙක්ගේ වෙන්වීමේ පාටියක්… අනික තව යාළුවෙක්ගේ ආච්චි කෙනෙක්ගේ මිනී වලක් කපන්න. එහෙම නොයන්න හේතුව තමා අර මෝහීනි කියන හොල්මන් ගෑණීට මං පට්ට බයයි. දැකලා නැති වුනාට දකින්නත් බයයි. හැබැයි ඉතිං අර පාටිය දවසෙනම් බය ටිකක් මග ඇරුනා… එදා මෝහිනි ආවනම් එහෙම රෙද්ද අන්දනවා නෙමෙයි ගලෝනවා…

ඉතිං දැන් මේ මෙච්චර විස්තර කිව්වේ පොඩි සීන් එකක් නිසා මං ‍දැන් අවුරුදු කීපයක ඉඳන් මුහුද එක්ක පට්ට කේන්තියෙන් ඉන්න බව කියන්න. ඔය මුහුද ඉන්නව නේද… හිටි ගමන් මූ මහ ජරාවැඩ කරනවා. 2004 මතකනේ… එදා මාත් සුනාමි බලන්න ගිහිං වැටකෙයියා පඳුරක් උඩ ඉද්දී පෙරිය සයිය් කකුලුවක් ගෙනත් දැම්මේ නැතෑ මගේ කලිසම උඩට. වෙලාවට වැටකෙයියා ගහේම ඉඳන් එහාට මෙහාට දඟලලා තමා යන්තං අනාගතේ බේරගත්තේ. ඒක තමා මං බය වෙච්ච හොඳම අවස්ථාව. හම්මේ… මතක් වෙද්දිත් දාඩිය දානවා.

ඊළඟ කැත වැඩේ තමා සුනාමිය. මං යාන්තං අඬලා දොඩලා, තකහනියක් කිලෝමීටර් හයක් විතර බයිසිකලෙන් ගිහිං ට්‍රයිටෙල් බොක්ස් එකකින් නඩුකාරිට කෝල් කරලා…. කෝල් කරලා…. විසිපස් වෙනිදාම දෙන්නව ගෙදර ගෙන්න ගත්තේ නැත්තං මට වෙන්නෙත් විසි හත් වෙනිදට මුහුදේ පනින්න. ඒ දෙන්නත් ගාල්ලේ ගිහිං හිටියේ. හම්මෝ එතෙනිනුත් යන්තං බේරුනා.

ඊට පස්සේ ඔය 2005 විතර ඉඳන් තමා මූ කැතම වැඩේ කරන්න ගත්තේ. මමයි මගේ යාළුවෙකුයි හැම ඉරිදම වගේ හවසට යනවා රැල්ල පොඩ්ඩක් පාගලා, සෙරප්පු දෙකත් හෝදගෙන එන්න කියලා මුහුදට. අපි යනකම්ම මූ ලස්සනට රැල්ල ගහනවා වෙරලේ වැවිලා තියෙන අර සමනල්ලු වගේ කොල තියෙන පඳුරු හරියටම… හැබැයි අපි ගියත් හරි මූ රැල්ල ගහන එක අඩු කරනවා. ඊට පස්සේ ඉතිං කොටයක් උඩින් වාඩිවෙලා කකුල් දෙකට වතුර පාරක් වදිනකම් අපි අව්වේ වේලෙනවා. තාමත් රැල්ල පාගන්න හිතාගෙන ගියොත් ඒක එහෙම්මයි…

තවත් වැඩක් තියෙනවා. අපි යාලුවෝ සෙට් වෙලා මුහුදේ නාන්න යද්දී රැල්ල හොඳ ගානට තැන්පත්ව තියෙනවා. අපි කලිසං ටික ගලෝලා යටට ඇඳන් ආපු අනිත් ෂෝට පිටිං මුහුදට බැස්සත් හරි මූ රැල්ල ගහන්නේ අපිව වෙරලට විසික් වෙන්න. වල් මුහුද… ඉතිං නාන එක පැත්තක තියලා ඇතුලට ගිය වැලි පිහිදාන්න ඕනේ.

ඔන්න ඊට පස්සේ ඊයේ මූ තව අවලං වැඩක් කරා. ඊයේ මමයි තව යාළුවෙකුයි ගියා නිකමට රැල්ල පාගන්න කියලා. මොකද සෑහෙන කාලෙකින් මුහුද පැත්තේ ගිය නැති නිසා. නිකං ආසාවට වගේ කැමරාවත් අරගෙන ගියෙ. කියන්න බැහැනේ අර එකපාරක් වගේ මැරිච්චි කැස්බෑවෙක් හෙම ගොඩ ගහලා හිටියොත්…. ඉතිං මං ඔරුවක් උඩට වෙලා පොඩි ඇලට් එකක් දාගෙන ඉද්දී යාළුවා කැමරාව ඉල්ල ගත්තා. පස්සේ ඉතිං මාත් ඒ වැඩේට සෙට් වුනා. දැං මගෙ යාළුවට ඕනේ රැල්ල එද්දී පෙන නගිනවනේ… අන්න ඒ කිරි සුදු පාට පෙන වෙරලේ වැදෙද්දිම පෙනෙන ලා හෙවනැල්ල වැටෙන්න පෙන වල ෆොටෝ එකක් ගන්න. එතනින් පස්සේ… කතාකරලා වැඩක් නෑ…

මෙච්චර වෙලා කකුල් තෙමෙන්න ලඟටම ආපු රැල්ල දැන් නෑ…. දැන් රැල්ල කැඩෙන්නේ මුහුදේ ටිකක් දුරින්. රැල්ලක් එන්න ඕනේ නිසා වගේ ලාවට එකක් ඇවිත් ශේප් වෙලා යනවා. පස්සේ ඉතිං ටිකක් ඉවසගෙන ඉන්න කොට මෙන්න එනවා එකක්. ඒකේ ෆොටෝ ගන්න ගියානම් එහෙම කැමරාව හොයන්න වෙනවා…  ඒ පාර ඔරුවට නැගලා යාන්තං අමාරුවෙන් එකක් ගත්තා. ඊට පස්සේ මට ඕනේ වුනා පැත්තක තියෙන සිප්පි කටු වල පොඩි පින්තූරයක් ගන්න. ඒ පාර මම සිප්පි කටු තිබුන තැනට යද්දී එතනට ගොඩ වෙලාවකින් රැල්ලක් ඇවිත් නෑ… ඉර  අවුවට වැලි වේලිලා ගිහිං. ඊට පස්සේ ඉතිං ආයෙ රැල්ලක් එන එකක් නැහැනේ කියලා හිතලා මාත් ලාවට බිමින් ඉඳගෙන සිප්පි කටු තේරුවා. යාළුවත් ලඟ. මෙන්න බොල පිටිපස්සෙන් සාස් ගාලා රැල්ලක් බිඳුනා. හරි සනීපයි. පිට දිගේ වතුර බේරෙනවා.  ඊට පස්සේ සිප්පි කටු ටික හේදිලා ටිකක් උඩහට ගිහිං කුනු ගොඩක් ගාව නැවතිලා.

හිතාගන්න පුළුවන්නේ හිතට හිතෙන එව්වා. සා ප්‍රසංගයේ අනිත් වර්ෂන් එකේ වචන ටික නහර දිගේ ගලාගෙන යනවා ඒ වෙලාවට. මචං මුහුද… අර ඈත දවසක ලේන අම්මට බැරි වුනාට උඹව හින්දන්න මට බැරි කමක් නෑ. හැබැයි මං එහෙම කරන්නේ නෑ උඹට… මොකද අද රෑටත් මාව නලවලා නිදිකරන්නේ උඹ නිසා. මහ පාන්දරට ඇහැරුනත් ටික වෙලාවකින් ආයෙම නිදිකරවන්නේ උඹ නිසා…

මේ ලෝකේ තේරුම් ගන්න බැරි ලොකුම දේ කෙල්ලෝ කියලා හිතාගෙන ඉන්නවනම් කවුරු හරි ඒක වැරදියි. තේරුම් ගන්න බැරිම දේ මුහුද… මුහුද චුට්ටක් තේරුම් ගත්තනම් ගෑණු ළමයි නතිං. ඒකනේ මං අපේ මල්ලිට කිව්වේ ගිය රැල්ල ගියාදෙන් වෙන රැල්ලක් පාගපං කියලා….!!!

ළමයි මේක විහිළුවට ගන්න එපා. මට දන්න කෙනෙක් කියන්න ඔරුවල වේගය මනින මිම්ම මොකද්ද කියලා. මේ ඔරුවේනම් තියෙන්නේ මං හිතන්නේ  කිලෝමීටර් විසි පහයි කියලා….

කොච්චර වුනත් මුහුද කියන්නේ හොඳ බෙහෙතක්…!!! හැමදේටම….!!!
 

%d bloggers like this: