අතේ දුක හා ගෙදර දුක

දැන් ඉතිං මේකේ ටයිට්ල් එක දැක්ක ගමන්, ගෙදරින් පිට වෙලා පවුලෙන් ඈත් වෙලා දුර ඈත රටවල වැඩ කරන අයියලා එහෙම හිත නරක් කරගන්න ඕනේ කමක් නෑ. මොකද නැත්තං එයාලා හිතයි මේක ලියලා තියෙන්නේ එයාලට කියලා. සමහරු නම් නොකියා කියනව වගේ දැනෙනවා අතට දුකක් නෑ ගෙදර හිටියනම් කියලා වගේ. අනික ඔය පොඩි එව්වෝ එහෙම මේවා කියවලා ගිහිං ගෑණු ළමයින්ගෙන් තුන් තේරවිලා අහනව එහෙමත් නෙවෙයි හරිද…

දැනට මාස කීපයකට කලින් අපේ ඔෆිස් එකේ හිටිය අයියා කෙනෙක් විශ්‍රාම ගියා. අපි පොරට අයියා කිව්වට, වයස 55 පැනලා නිසා තමා විශ්‍රාම ගියේ. ඉතිං ඒ අයත් එක්කම ෆැක්ටරිය පටන් ගත්ත දවස්වලම එකම බැච් එකෙන් කම්පැනියට ආපු කීප දෙනෙකුත් මෙයා වැඩකරපු දෙපාර්තමේන්තුවෙම වැඩ කලා.

මෙයා යන එකට අපිට වැඩිය දුක ඒ එකට ආපු බැචාලට. ඇයි ඉතිං අවුරුදු විසි පහක් විතර එකට ඉඳලා එක පාරට වෙන් වෙලා යද්දී දැනෙන දුක ගැන ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ. අවුරුදු 55න් විසිපහක්ම එකම තැන ඉන්නවා කියන එකත් ඇත්තටම ලොකුම ලොකු දෙයක්….

කොහොම හරි ඉතිං  පොර අපේ කම්පැනි එකෙන් අස් වෙලා යන දාට පොඩි පාර්ටි එකක් එහෙම ඇරෙන්ජ් කරලා තියෙද්දී, තව එක්කෙනෙක් පොඩි සමරු පොතක් හරිගස්සලා. අදාල ඩිපාමන්ට් එකේ හැමෝගෙන්ම පොඩි කවියක්, නිසදැසක් වගේ දේවල් එකතු කරලා එක එක පාට කොල වල අලවලා ලස්සනටම හදලා තිබුනා. ඇත්තටම නියම වටිනා භාන්ඩයක්.

ඒකෙ අන්තර්ගතය මෙහෙමයි… පොරගේ නම අනුර කියලා ගමු….

  1. අනුර මයිනා වුන හැටි… (පරන සීන් එකක්… කට්ටියක් මොකක් හරි හේතුවකට කෙසෙල් නොකා ඉද්දී පොර විතරත් තනියම කෙසෙල් වගයක් කාලා)
  2. අනුර විලා (අනුර අයියා ප්ලාස්ටර් ඔෆ් පැරිස් විශේෂඥයෙක්… එයාගේ වැඩ කරන තැන පොර වැඩ කර කර ඉද්දී හොරට නින්ද ගිහින් තිබුන වෙලාවක ගත්තු ෆොටෝ එකකුත් එකක් පොඩි කතාවක්)
  3. බ්ලා… බ්ලා… බ්ලා…
  4. බ්ලා… බ්ලා… බ්ලා… (මතක නෑ)
  5. අනුර අයිය නොදන්න මගේ ගෙදර දුක (මෙන්න කතාව)

අනුර අයියා නොදන්න මගේ ගෙදර දුක කියන ටයිට්ල් එක දැක්ක ගමන් මං පට ගාලා හැරෙව්වා පස් වෙනි පිටුවට. මේක ලියලා තිබුනේ ගාමිණි කියලා තවත් බැචෙක්.

අනුර අයියා අපිට හැමදාමත් හොඳ උපදෙස් දීලා, අපිට වැරදි දේවල් පෙන්නලා දීලා අපිව යහමග යවන්න සෑහෙන මහන්සියක් ඒ දවස් වල ගත්තා මට මතකයි. අපි අද මේ තත්වෙන් ඉන්නෙත් අයියාගේ උපදෙස් නිසා. දෙපාරක් තාප්ප වලින් පයින්න ගිහිං අත් පය තුවල කරගත්තෙත් අයියා නිසාමයි. අම්මප වෙන එකෙක් කිව්වනම් මං ඒ තාප්පෙන් පයින්නේ නෑ. අනුර අයියා යුනියන් ලීඩර් නිසා අපිව බේරගනියිනේ කියලා හිතලා තමා මං පැන්නේ. කොහොමහරි අන්තිමට වුනේ නෝපේ සති දෙකක් නිවාඩු ගන්න.

මොකක් හරි පරණ සීන් එකක්, මං එච්චර හොයන්න ගියේ නෑ… පස්සේ ඔහොම හෙන මඩ වගයක් ගහලා අනිත්මට ලියලා තියෙනවා මෙහෙම…

අනුර අයියගේ ඔක්කොමත් හොඳයි, කැතම වැඩේ තමා අපි බොන්න සෙට් වුනාම අපේ ගෙවල් වලට කෝල් අරගෙන ගෑණිට කතා කරලා ඉඳා කතා කරපිය කියලා ෆෝන් එක දෙන එක. අපේ එවුන් කී දෙනෙක් ඔය වැඩේ නිසා උඹ එක්ක තරහා වුනාද… ඒත් උඹ ඒ වැඩේ නැවැත්තුවේ නෑ… උඹ ඒක කලේ අපිවත් උඹ වගේ අමධ්‍යප කරන්න. ඉතිං අනුර අයියේ මං උඹට ඒ දවස්වල කිව්වේ මං බෝඩිමේ ඉන්න නිසා මගේ අතේ දුක විතරයි තියෙන්නේ, ගෙදර දුකක් නෑ කියලා. උඹ ඒක විශ්වාස කලා, ඒ නිසා මං ගෑණීට නෝන්ඩි නොවී බේරුනා.

ඉතිං මේං උඹ නොදන්න මගේ ගෙදර දුක…. 027 *** *****. දැන් ඕනේ තරම් කතා කරපං. අපි ඒ ගේ කුලියට දීලා ලබන සතියෙ අළුත් ගෙදර පදිංචියට යනවා. ඒ ගෙදර දුක පස්සේ මං උඹේ ගෙදර දුකට දැනුම් දෙන්නම්.

පස්සේ ඊට එහා පැත්තේ කොලේ තියෙනවා මේං මේ වචන ටික… ඒකෙ තිබුන ෆන් එක නිසාම මගේ අතේ දුකෙන් මං ඒකේ ෆොටෝ එකක් ගත්තා….

ටියුබ් ලයිට් වලට… අතේ දුක = මොබයිල් ෆෝන් එක , ගෙදර/නිවස දුක = ලෑන්ඩ් ෆෝන් එක

 

%d bloggers like this: