මෙහෙමනේ යාළුවෝ පිළිගන්න ඕනේ…

මුලින්ම කියන්නේ, අලුත් අවුරුද්දේ අලුතෙන් රැකියා වලට යන්න ඉන්න පොඩි එව්වෝ එහෙම මේක කියවලා වැරදි ආදර්ශ ගන්නවා එහෙම නෙවෙයි…

දැනට මාසයකට විතර කලින් ඉඳල අපේ කම්පැනියෙම තවත් අනුබද්ධ ආයතනයකට පොඩි පොඩි නඩු ගොඩක් වැටිලා තිබුනා. පොලිසියෙන් නෙමෙයි, එක්ස්ටර්නල් ඔඩිටර්ස්ලාගෙන්. ඔය පොඩි පොඩි නඩු වලින් ලොකුම නඩුව තමා සහෝදර සමාගමේ පරිගණක පද්ධතිය බලාකියාගන්න කවුරුත් නැහැ කියන එක. ඒකත් උං කොටස් වලට කඩලා හයිලයිට් කරලා බැකප් මේන්ටේන් කරන්නෙ නෑ කියලා. ඉතිං කොහොම හරි ඒ වැඩේට මාව සෙට් වුනා.

ඉතිං ඊයේ තමා මං මුලින්ම අළුත් ඔෆිස් එකට ගියේ. ඇත්තටම හරිම නිදහස් තැනක්. ෆැක්ටරියේ සද්ද බද්ද කනට ඇහැන නෑහෙන ගානට තිබුනට ඒක කඨෝර ශබ්දයක් නම් නෙවෙයි. අලුත් ඔෆිස් එකේ ඉන්නෙත් මගේ කලින් ඔෆිස් එකේ හිටිය හොඳම යාලුවෝ දෙතුන් දෙනෙක්මයි. ඒක නිසා ඉතිං ආයේ අළුතින් අඳුන ගන්න කියලා කෙනකේ හිටියේ නෑ.

කොහොම හරි ඊයේ ඔෆිස් එකට ගිහිං බලද්දී අකවුන්ටන් ලොක්කා නිවාඩුලු. පස්සේ ඉතිං මං සර්වරේ මට ඕනේ විදියට හදාගෙන, අනිත් එව්වයේ හැසිරීමත් බලලා එහෙම පැත්තකට වෙලා ඉන්න කොට, යාන්තං නමයාමාර වගේ වේගෙන එද්දී කට්ටිය සෙට් වෙලා මොකක් හරි ගේමකට. මටත් මුලින් මීටර් වුනේ නෑ වැඩේ…

ඒ මචං….

ම්ම්ම්ම්… කියපං…. මොනිටරෙන් ඔලුව උස්සන්නෙ වත් නැතුව මං එහෙම කිව්වම, මගෙන් ප්‍රශ්නේ අහපු පොර පුටුව පිටින් මාව කරකෝලා උගේ පැත්ත හරෝගෙන,

තෝ අපිත් එක්ක රේස් එකක් යන්න එනවද නැත්තං…

රේස් එකක්…???

ඔව්, උඹේ නීඩ් ෆෝ ස්පීඩ් ගහමු….

යකෝ ඔෆිස් එකේ…

නැතුව *කෝ….

මට ඉතිං කොයි තරම් සන්තෝසයිද කියනවනම්…. ම්ම්ම්… වචන නෑ ඒක විස්තර කරන්න. පොඩි කාලේ අර කෙල්ලෙකුත් එක්ක හුරතල් වෙවී ඕක සෙල්ලං කලාට පස්සේ ඊයේ තමා ඇඟට වදින්න සෙල්ලං කරේ. ඒකත් තනියෙම නෙමේ, හතර දෙනෙක් සෙට් වෙලා නෙට් වර්ක් ගේම් එකක්…!!!

උදේ දහයේ විතර ඉඳන් හවස හය විතර වෙනකම්ම එක දිගට රේස් ට්‍රැක් වල. එහෙමත් නැත්තං ගරාජ් වල… කාර් වලට ස්ටිකර් ගහනවා, පේන්ට් ගහනවා, ස්කර්ට්ස් අන්දනවා, ටයර් දානවා… හෙන වැඩ ගොඩයි. කොහොම හරි ජීවිතේටවත් මෝටර් රථ කාර්මික ශිල්පය හදාරලා නොතිබ්බ මං ඊයේ දවසට කාර් සීයකට වැඩිය මොඩිෆයි කරලා ගේම් වලට පැද්දා. අහෙන් මෙහෙන් චීට් කෝඩ් දැම්මම ලොක් වෙලා තියෙන ඔප්ෂන් ටිකත් ඇරගෙන පුළුවන් තරම් ලස්සනට පර්ෆෝමන්ස් වැඩියෙන් සිරාම කාර් දහයක් විතර මයි කාර් ලිස්ට් එකට දාගත්තා.

හප්පා… මගේ චූටි ඇඟිල්ලයි, දබර ඇඟිල්ලයි, මැද ඇඟිල්ලයි තුනම රිදෙනවා… කී බෝඩ් එකේ ඇරෝ කීස් ඔබ ඔබ ඉඳලා….  මං හිතන්නේ වෘත්තිය මෝටර් රථ රේස් පදින පොරක් වත් මෙච්චර වෙලා සෙල්ලං කරන්නේ නැතුව ඇති.

හෙට නම් මොනා වෙයිද දන්නේ නෑ…. වෙලාවක් හම්බුනොත් අනිවා ආයෙම රේස් එකක් නම් ෂුවර්. ඇත්තමයි මේ වගේ නිදහස් තැනක් ලබන්න පට්ට පිනක් තියෙන්න ඕනේ. හැබැයි ඒ පින දෙපිටින් යන්නේ කලින් ඔෆිස් එකේ තිබුන මෙගා බයිට් හතරේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වෙනුවට කිලෝබයිට් 128 ලයින් එක මතක් වෙද්දී තමයි. ඒකෙන් කරන්න පුළුවන් එකම දේ ඔෆිස් එකේ ටෙක්ස්ට් මේල් කියවන එක විතරයි…!

ඒක නිසා ලොකු ලොක්කන්ගේ අවසර ඇතුව මයෙ ලැපී කුමාරිව ගෙනියන්න කතා කරගන්න ඕනේ ඉක්මනටම. නැත්තං බ්ලොග් කියවන්න වෙන්නෙත් නෑ, ෆේස් බුක් යන්න වෙන්නෙත් නෑ… අඩුම ගානේ ඊමේල් එකක් වත් බලන්න විදියක් නෑ… තව ටික දවසක් යනකං මට ටිකක් ලොකු බෑන්ඩ් විත් එකක් තියෙන කනෙක්ෂන් එකක් ඉල්ලන්නත් බෑ… මොකද මෙතෙන ඉන්න ලබ්බෝ ඔක්කොමලා ඉන්ටර්නෙට් යූස් කරාට එකෙක්වත් එහෙම යෝජනාවක් කරලා නෑ මෙතුවක් කාලෙකට.

හොඳ හා නරක දෙකම ලැබෙද්දී දෙකම පිළිගන්නවා ඇරෙන්න වෙන විසඳුමකුත් නැති නිසා, දිව හපාගෙන ඉන්න තමා වෙන්නේ….

කොහොම හරි ඔෆිස් එකේ මුල්ම දවසේ මගේ යාලුවෝ මාව පිලිගත්ත විදියනම් හරිම අපූරුයි…. මං ඒක දැනගත්තේ ඊයේ හවස එන්න කිට්ටු වෙලා…!!!

%d bloggers like this: