කොල්ලන්ට වින කරන බස් ටී.වී…!!!

මේක නම් හෙන භයානක ප්‍රශ්නයක්. කට්ටිය දන්නවනේ දැන් සීටීබී බස් වලයි ප්‍රයිවට් බස් වලයි ඒසී එව්වායෙයි ඔක්කොගෙම ටීවී එකක් තියෙන බව. ඉතිං ඔය ටීවී තියෙන එක හොඳයි තමා. මහන්සි වෙලා ගෙදර යන මල්ලිලට ගෑණු ළමයි නටන සිංදුවක් එහෙම බලාගෙන ගිහිං හෝල්ට් දෙක තුනක් පහු වෙලා බහින්න වෙන තරමට මහන්සි නිවෙන දෙයක් ඕක.

හැබැයි ඉතිං ‍දැන් ටික දවසක ඉඳන් මං දන්න කියන අය කීප දෙනෙක් ඔය බස් වල ටීවී තියෙන එකට කැමතිම නෑ. ඉතිං මටත් නිකං බැරිපාර මාත් එක එකාගෙන් ඇහුවා මොකද බං සීන් එක කියලා. මෙන්න ලැබුන උත්තර.

1. වැඩක් නෑ බං කතා කරලා. කෑල්ල එක්ක ටිකක් අතින් අල්ලගෙන කතා කරන්න හිතාගෙන මං පෙරුම් පුරලා බස් එකකට නැග්ගා. නෙද්දකිං විතරක් ඒකේ ටීවී එකක්. කෑල්ල මගේ මහපට ඇඟිල්ලෙන් අල්ලගෙන ටීවී එකේ දාලා තිබ්බ ෆිල්ම් එක බැළුවා. මං ඒකිගේ මූන දිහා සයිඩ් එකෙන් බලන් හිටියා. බලපං මේ ටීවී රෙද්දත් එක්ක අපිට යන කලදසාව මොකද්ද කියලා.

2. අනේ වැඩක් නෑ බං ඒ ගැන කියාලා. ක්ලාස් ගිහිං හොර එකත් එක්ක රුපියල් 160 වියදම් කරගෙන ඒසී එකක නැග්ගේ කාලෙකින් කට කන්න බැරිවුන නිසා. මොන කට කෑමක්ද බං, ඒකි පොඩ්ඩක් ඉන්න අනේ… කිය කිය ටීවී එකේ ගිය හිංදු සිංදු බල බල හිටියා. අන්තිමේ ඒකි බැහැලා ගියා මං මගේ ඇඟිල්ල හපා ගත්තා.

3. මේක නම් දන්න කිය එකෙකුට වෙච්ච දෙයක්. මූත් ගිය ඉරිදා ක්ලාස් යන්න කියලා නැග්ගා(ලු) බස් එකට.  හැමදාමත් වගේ ඉතිං ඇන්ටනාව දාලා බැළුවේ කෙලි පොඩ්ඩක් ඉන්නවද කියලා(ලු). කතා කරන්නම නෙමෙයි ඉතිං… ඔන්න ඔහේ නිකං යන එකේ ලස්සන බල බල යන්න කියල(ලු). මල මගුලයි… කෙල්ලෝ හිටයා(ලු) දහයක් විතර. ඒත් උං ඔක්කොම ටීවී එකේ ගිය සිංදු දිහා බලාගෙන(ලු). වෙනදට නිවියා ෆ්‍රෙෂ් ඇක්ටිවි මෙන් – බොඩිස්ප්‍රේ එක ගහලා බහිද්දී මීටර් හත අටක් දුරින් ඉන්න කෙල්ලෙක් වුනත් හැරිලා බැළුවට… දැන් එක කෙල්ලෙක් තියා… අඩුම ගානේ එක චූටි බබෙක්වත් බලන්නේ නෑ(ලු). පුංචි එවුනුත් හරි හරියට ඇඟිල්ල සූප්ප සූප්ප ටීවී බලනවා(ලු).

ඉතිං බලන්න මෙහෙම ගියොත් යෞවන වයසේ ඉන්න කොල්ලන්ට කාගෙ පිහිටක්ද….??? අපි බස් ටීවී වලට විරුද්ධව නැගී සිටිමු. ටීවී මාරයා පළවා හරිමු…!!!  බස් වලදී කොල්ලන්ගේ අයිතිවාසිකම් සුරකිමු..!!!

රේන්කෝට් කතාවක්….!!!

මේ කතාවනම් පොඩි එවුන් නොකියව හිටයට කමක් නෑ….

මේක මගේ හොඳම යාළුවෝ දෙන්නෙක්ට වෙච්ච කතාවක්. එක්කෙනෙක් නේවි එකේ අනිත් එකා ආමි එකේ. ඉතින් මේ දෙන්නගෙම ගෙවල් තියෙන්නේ අපේ ගෙවල් වලට කිට්ටුව. ඉතිං නිවාඩුවට ආවම අපේ පැත්තෙත් ඇවිල්ලා යනවා දෙන්න එක්කම. වැඩේ කියන්නේ මුං දෙන්නම නිවාඩු එන්නේ එකම දවසේ… යන්නෙත් එකම දවසේ. කොහොමහරි දෙන්නම නිවාඩුව සෙට් කරගන්නේ එකට.

එකෙක්ට නිවාඩු ගන්න බැරිනම් අනිත් එකාට කතා කරලා කියනවා දැන්ම නිවාඩු ගන්න ලෑස්ති වෙන්න එපා තව ටිකක් ඉඳපන් කියලා. ඔය විදියට කොහොම හරි දෙන්න එක්ක කතා වෙලා එකට නිවාඩු එනවා. එහෙම කරන්නේ පොඩි කාලේ ඉඳන් තිබ්බ ෆිට් එකට.

දැන් ඉතිං කෑම්ප් වලින් ගෙවල් වලට එන්න පිටත් වෙද්දී බලෙන්ම වගේ පවුල් සංස්ථාව පාලනය කරගන්න කියලා රේන් කෝට් දෙනවා. සාමාන්‍යයෙන් දෙන්නෙ තුනයිලු. ඕනේ නම් කැමති තරමක් ගේන්න පුළුවන් කමක් තියෙනවලු. ඉතිං මුං දෙන්න බැඳලා නැති වුනත් බේස් වලින් එද්දි ඔව්ව තුන හතරක් සාක්කුවේ දාන් එනවා. දෙන්නම ඉන්නේ කෙලි පුලුටක් පේන්න නැති ගම්මාන වල වුනාම ඉතිං කොළඹ, බම්බලපිටිය එහෙම පාස් කරගෙන ගමේ එද්දි කෙල්ලෝ දැක්කම ඉවසගෙන ටිකක් අමාරුයිලු….

ඉතිං ඔය ගේන ඔක්කොම මුන් දෙන්නගේ පාවිච්චියටම නෙමේ. උන් දෙන්න ගෙදර එනකං තව සෙට් එකක් සැදී පැහැදී බලාගෙන ඉන්නවා ස්පෙෂල් බ්‍රෑන්ඩ් එකක ෆන් එක ගන්න. ඉතිං ගිය පාර නිවාඩුවට ආපු වෙලාවේ මුං දෙන්නගාව තිබ්බ ඔක්කොම රේන් කෝට් ටික යාළුවන්ට බෙදලා දීලා. බෙදලා දීලා නෙමේ ඇත්තටම බෙදලා දෙන්න වෙලා…

ඉතිං වේලි වේලි හිටිය මුන් දෙන්නට කොටුවක් පයින්න යද්දී මුං දෙන්න ගාව බඩු නෑලු. ඒ පාර පිළියන්දල පැත්තේ හොර පොට් එකක් සෙට් කරගෙන දෙන්නත් එක්ක බයික් එකේ යන ගමන් ඔන්න මග තියෙන ෆාමසි වලින් රේන් කෝට් හොයන්න ගිහිං.

මුං දෙන්නගෙම කරුමෙට ෆාමසි තුනකම විතර ඉඳලා තියෙන්නේ කෙල්ලෝ. ඉතිං ඒ පාර මුං දෙන්නට රේන් කෝට් ඉල්ලන්න නිකං මොකද්ද මොකද්ද වගේ නිසා ආයේ හැරිලා ඇවිල්ලා. පස්සේ ඔන්න අර පොයින්ට් එකට ලං වෙලා ආයෙම නැවැතුත්වලු ෆාමසියක. පස්සේ  දෙන්න එකක් ගිහිං බලද්දී වැඩේ ගොඩලු. අංකල් කෙනෙක්ලු ෆාමසියේ ඉන්නේ…

ඉතිං මොකට ලැජ්ජ වෙනවද. අංකල් බබෙක්යැ රේන් කෝට් ගැන නොදැන ඉන්න කියලා හිතලා, අර කලින් ෆාමසි වලදී ඇති වෙච්ච අයහපත් මානසික තත්වයෙන් මිදෙන්නත් එක්ක ගිය එවුන්ගෙන් එකෙක්…

අංකල් මට කොන්ඩම් පැකට් දෙකක් දෙන්න…. කියලා ටිකක් සද්දෙන් ඉල්ලලා.

අංකල් කැෂියර් මේසෙම ඉඳගෙන දකුණු පැත්තේ බිම බලලා…

දුවේ මෙයාට කොන්ඩම් පැකට් දෙකක් දෙන්න… කියලා අපේ පොරගෙන් සල්ලි අරගෙන. කෙල්ල ඉදලා තියෙන්නේ බෙහෙත් වගයක් රාක්ක වලට පැක් කර කර…

අපේ එවුන් දෙන්න ඒ මානසික්වයෙන් මිදෙන්න බැරුව, කොටු පැනිල්ල පැත්තක තියලා බඩුත් අරන් ගෙදර ඇවිල්ලා…!!!

මගේ යාලුවෙක්ගෙන්, මං ගැන, අපේ අම්මට ලියුමක්….!!!

මුලින්ම මේක කියවලා ඉන්න. කිසිම වෙනස් කිරීමකින් තොරව අපේ අම්මගෙන් මගෙ අතට ලැබුන විදියටම මං ලියලා තියෙනවා.

******

 හිතවත් ඇන්ටි…

මම  ප්‍රසන්නගේ යාළුවෙක්. ඇන්ටි මාව අඳුනනවා. නමුත් ඇන්ටිට මේ ගැන කියන්න ක්‍රමයක් නැති නිසයි, මේ විදියට ලියන්න සිද්ද උනේ. මට කියන්න තියෙන්නේ ප්‍රසන්න ගැනයි.

ඇන්ටි ප්‍රසන්න ගැන මීට වඩා ටිකක් හොඳට හොයල බලන්න. මේ මෝඩයා කෙල්ලෙක් නිසා පිස්සු නටනවා. මට දැනගන්න ලැබුන විදියට කෙල්ල **** කියල මිස් කෙනෙක්ගේ දුවෙක්. මට නම් ඒ ගෙදර එවුන්ව පේන්න බෑ. මහ ලොකු වංශෙන් හිතන්නේ. ඒ කෙල්ල නම් කොහොමත් ප්‍රසන්නට ගැලපෙන්නේ නෑ. ඒ කෙල්ල ගැන මං දන්නවා. මහම මහ ආඩම්බර පණ්ඩිත කෙල්ලෙක්. මං දන්න විදියට ඒ කෙල්ල කැම්පස් යන්න හදන්නේ. කොහොම උනත් ඇන්ටි මේ ගැන ප්‍රසන්නට හොඳින් අවවාද කරන්න.

මොන ක්‍රමයකින් හරි මේ මගුල සිද්ද උනත් ප්‍රසන්නට ඉන්න වෙන්නේ නිවට කොන්ද පන නැති මිනිහෙක් විදියට. ඒ කෙල්ල කවදාවත් මූට සලකන්නේවත්, ගණන් ගන්නේවත් නෑ. නිකං පාච්චල් වෙනවා. මං හිතන්නේ ඒ කෙල්ල මේකට බැනලත් තියෙනවා. එහෙම තියෙද්දිත් ලැජ්ජ නැතුව තවත් පස්සෙන් යනවා.

කරන්න තියෙන්නේ මේකට ආදරෙන් කියල දෙන්න ඒක එයාට ගැලපෙන්නේ නෑ කියලා. ඇන්ටි හිතනව ඇති පොඩි පුතා ඇන්ටිට සලකයි කියලා. එහෙම හිතනවනම් මේ ටිකත් දැන ගන්න. ප්‍රසන්නගේ මල්ලි හොඳම වර්ගයේ බේබද්දෙක්. මේ ගැන ඇන්ටි නොදන්නව උණාට මං දන්නවා. ඌට හොඳට බොන්න නම් උගන්නන්න දෙයක් නෑ. ඒ අතින් ප්‍රසන්න නම් ටිකක් හොඳයි. එක අතකින් ඌ පව්. ඌ හොයන්නේ ආදරය. මාත් එක්ක කියල තියෙනවා අපේ අම්මට මං ගැන කිසිම ගානක් නෑ කියලා. එහෙම නම් ප්‍රසන්නගේ ජීවිතයට සම්පූර්ණ වගකින්න ඕනෙ ඇන්ටි බවත් මතක තියාගන්න. ඒ නිසා අම්ම කෙනෙක් විදියට විශේෂයෙන් ආදරණීය අම්මා කෙනෙක් විදියට ඌව හොඳ මාර්ගයට ගන්න.

*******

මේක අපේ අම්මගේ නමට තැපැල් කරලා තියෙන්නේ මගේ හොඳම යාළුවා. වැඩිය ඕනේ නෑ මේ ලියුම ලියන්න කලින් දවසෙත් එකට බියර් එකක් හිස් කරපු මට ඉන්න හොඳම යාළුවා කියලා හිතාගෙන හිටිය යාළුවා.

අද ගෙදර ගිය ගමන් අම්මායි තාත්තයි, මාත් එක්ක යශෝධරා ගැන කතා කලා. එයාල පුංචි කාලේ ඉඳන් දන්න ඒ හා පැටික්කි ගැන ආයේ මගෙන් අහන්න දෙයක් නෑ එයාලට. ඒ ගතිගුන ගැන අම්මලා දන්නවා. ඒකි  ආඩම්බරයි… පණ්ඩිතයි… තමා. ඉතිං මං ඒ ගති ගුන වලට පට්ට ආසයිනේ. මම දන්නේ නෑ ඇයි මේ වගේ යාළුවෝ මට හම්බුනේ කියලා. මං ගැන සෑහෙන්න හිතනවා. මගේ බ්ලොග් එක බලන අය මගේ යශෝධරාවත කියල එකක් කියෙවුවට මේ යාළුවා එහෙම එකක් ගැන දන්නේ නෑ. ඌ දන්නේ ඒකි මාත් එක්ක නඩුවක් දාගත්තම මම ෆෝන් එකෙන් නඩුකාරිත් එක්ක කතාකරන එව්වා විතරයි. ඒ හැම නඩුවක්ම රොමැන්ටික් නඩු කියලා මගෙ යාළුවා තේරුම් අරගෙන නැති හැටි…!!!

කමක් නෑ ඌ මං ගැන සෑහෙන්න හිතලා තියෙනවා. බලන්න ඉතිං මායි මල්ලියි බොන එක ගැනත් කියලා. මටයි මල්ලිටයි මේ යාළුවව අමුත්තෙක් නෙමේ. අපි තුන් හතර දෙනෙක් සෙට් වුනාම එක එක දේවල් කතා කරනවා. හිටි ගමන් ඉතිං මල්ලිත් මාත් එක්ක සෙට් වුනාම ඔය බොන එක ගැනත් කතා කරනවා. ඒ ගැන තමා පොර ලියලා තියෙන්නේ. හික්ස්…. ඌ දන්නේ නෑ, අපේ ගෙදරින් මං ඉඳලා හිටලා බියර් එකක් බිව්වට බනින්නේ නැති විත්තිය.

මල්ලිත් හැම දාම වයින් ස්ටෝර්ස් එකට යන්නේ නෑ. ඉඳලා හිටලා… අර කියන්නේ තැනේ හැටියට කියලා… ආං එහෙම පොරත් සෙට් වෙනවා. එකේ වැරැද්දක් මං දකින්නේ නෑ. කාටවත් කිසිම කරදරයක්  නැත්තං තමන් ගැන තමන්ට බලාගන්න පුළුවන්නම් ඇයි බොන එකේ වැරැද්දක් දකින්නේ.

අපේ අම්මට මං ගැන කිසිම ගානක් නැහැ කියන එකෙන් පොර මොනා අදහස් කලාද දන්නේ නෑ. හැබැයි මං ඌට එහෙම කිව්වනම් කියන්න ඇත්තේ… අපේ අම්ම මට වැඩිය නීති දාලා නෑ බං කියන එකම තමා වෙන විදියකට. මගේ කිලිටු රෙදි තියෙනවා බලාගෙන ඉන්න බැරිනම්, උදේ පාන්දර නැගිටලා මට කිරි එක හදලා දීලා, කෑම ලෑස්ති කරලා දෙනව නම් එතෙනින් එහාට කිසිම ගානක් නැහැයි කියන්න හේතුවක්…? අනේ මන්දා. ඇත්තටම මං ගැන මේ බ්ලොග් එක තුලින් කියවලා, මාව දකින්නේ නැතුව හරි මාව තේරුම් ගත්ත අයත් එක්ක බලද්දි, මගේ යාළුවා හොඳම හොඳ පොරක්. මං තව අවුරුද්දක් ජීවත් වුනත් 100ක් ජීවත් වුනත් මගේ ආශ්‍රෙයන් අයින් කරන්න ඕනේ එකෙක් ගැන හොඳම පැහැදිලි කිරීම මට උගේ අත්අකුරින්ම දෙන්න තරම් පොර කාරුණික වුනා.

මට මේක එවපු යාළුවගේ අත් අකුරු අරුමයක් නෙවෙයි. මොකද මමයි මූයි එකට ටියුෂන් ක්ලාස් වල අකුරු ලිව්වේ. උඹ නමක් නැතුව ලියුම එවුවට අපේ අම්ම ඒක කියවලා මගෙන් විස්තර ඇහුවට, මං මොකටෙයි බං තරහ වෙන්නේ. උඹට ඕනේ වෙලාවක මට කෝල කරපන්, අපේ ගෙදර වරෙන්… කිසි ප්‍රශ්නයක් නෑ බං. හැබැයි මචං මට ආයේ මගේ හුස්ම වැටෙනකං උඹලාගේ ගෙදර එන්න කියන්නවත්, බොන්න යන්නවත් අඩුම ගානේ උඹත් එක්ක කොහෙවත් යන්නවත් මට කතා කරන්න එපා බං. මොකද මං බයයි උඹට. උඹ යාළුවෙක් වුනා තමා. ඒත් දැන් ඒ බැඳීම බැඳිලා. හරියට වීදුරුවක් බිම වැටුනා වගේ. ආයේ උඹට කවදාවත් ඒක එකතු කරන්න බෑ. අපේ අම්ම මට අද පැහැදිලි කරලා දෙනකං මට තේරුනේ නෑ මචං උඹ මගේ කුමාරිකාවටත් ඇහැදාගෙන හිටිය බව.

යාළුවෝ ගැන කියලා දුන්න උඹට රොම්බ තෑන්ක්ස් මචං…!!!

මේක බ්ලොග් එකේ දැම්මේ උණු උණූ ත්‍රාසජනක සීන් එකක් බෙදා ගන්න නෙවෙයි. බොහොම කූල් එකේ ගෙදර මිනිස්සු එක්ක වත් මේක එවපු එකා එක්ක වත් කිසිම ගැටලුවක් ඇති කරගන්නෙ නැතිව දන්න නොදන්න ගානට ප්‍රශ්නේ බේරගත්ත එකේ සතුට සමරන්න. ඔයගොල්ලොත් ටිකක් පරිස්සමෙන් කල්පනාවෙන් ඉන්න. යාළුවෝ වගේ ඉන්න එක එක මිනිස්සු අපි අතර ඉන්නවා. මේ තමා මට මෙච්චර කාලෙකට හම්බුවෙච්චි හොඳම යාළුවා. ඇයි දන්නවද..??? දැන් ඉතිං මට අර කලින් කිව්වත් වගේ පාප මිත්‍ර සේවනයෙන් වැලකිලා ශේප් එකේ ඉස්සරහට ජීවත් වෙන එක දවසක් හරි හිටියෑකි. පොර ගැන මං ලියපු පෝස්ට් එකක් මේ…. මූ මාව පාව දුන්නට, පොරගේ කතාව මෙතනින් එහාට මේකෙ ලියන්නේ නෑ….

 

පාස් වර්ඩ් එක….

මේ සීන් එක වෙද්දී අපි සාපෙ කරලා ගෙදර ඉන්න දවස්. ගෙදර කිව්වට ඉතිං ගෙදරම නෙමේ. වටේ පිටේ යාළුවොන්ගේ ගෙවල් වලයි, ක්ලාස් ගානෙයි තමා දවසම. ඉතිං ඔය කාලෙ වෙද්දී මම කොම්පියුටර් ක්ලාස් එකකට සෙට් වෙලා ඒකෙ පළවෙනි අදියර සාර්ථකව නිමා කරලා දෙවෙනි අදියර පටන් අරගෙන තිබුනේ. ඒ සාර්ථකව නිමා කරපු හැටි ගැන නම් කියන්න කිසිම අදහසක් නෑ. එව්වා දේව රහස්. මොකද ඒ දවස් වෙද්දී මට ඇක්සස් එහෙම සිරාවටම පුළුවන් නිසා ක්ලාස් එකේ උගන්නපු චූටි හුරතල් අක්කා කෙනෙක් මට ප්‍රැක්ටිකල් ටෙස්ට් එකේදී උදව් කරේ නෑ.

ඉතිං ඔය දෙවෙනි අදියරේදි මට තව යාළුවෝ කීප දෙනෙක් සෙට් වුනා පළවෙනි ස්ටේජ් එකේ අපිත් එක්ක හිටිය එවුන්ට අමතරව. මං දන්නේ නෑ උන් කොහොමද එක පාරට දෙවෙනි අදියරට සෙට් වුනේ කියන්න. ඒත් කොහොම හරි සිරා මඥ්ඥං ඩයල් ටිකක් මගේ යාළුවෝ ගොඩට වැටුනා. මේ අතරින් එකෙක් තමා ඉසුරු කියන්නේ. දැන් ඉතිං බ්ලොග් එක කියවන ක්ලාස් ගිය සමහරු බලනවා ඇති කව්ද බොලේ ඉසුරු කියලා.

ඉසුරුගේ නම ඉසුරු නෙමේ තමා. ඒත් උගේ නම දාලා මං මොන හිතකින්ද ඌව චාටර් කරලා දාන්නේ. ඒකයි ඉසුරු කියලා දැම්මේ.

මේකයි ඉතිං කතාව. ඔය ඉසුරු කියන්නේ, ලස්සන ලස්සන වෝල් පේපර්ස් වලට සෑහෙන්න ඇලුම් කරන එකෙක්. වැඩිහරියක්ම කැමති ඩෙක්ස් ටොප් එකේ කාර් එකක් නැවැත්තුවා වගේ පේන කාර් තියෙන වෝල් පේපර් වලට. ඉතිං අපේ ඔය ක්ලාස් එකේ හිටිය සර්ලා එහෙමත් ඔයවගේ වෝල් පේපර්ස් දාගෙන ඉන්නවා. මූට ඉතිං හෙන ඉරිසියයි එව්වා පෙනෙද්දි. ඒ දවස් වල නෙට් එකත් වැඩිය නැති නිසා ඔය වගේ දේවල් අපේ අතට ආවේ කලෙක්ෂන සීඩී එකකින් හරි එහෙමත් නැත්තං කාගේ හරි මැෂින්  එකකින් කොපි කරගත්තොත් හරි විතරයි. ඒත් ඉතිං අපේ ප්‍රැක්ටිකල් ලැබ් එකේ තිබුන, කාර් වෝල් පේපර්ස් තිබුන පීසී එකවෙන් කරලා තිබුනේ ළමයින්ගේ ඩීටේල්ස් තියාගන්න සහ ක්ලාස් එකේ ඇඩ්මින් වැඩ වලට විතරයි. ඒ මැෂින් එකේ අපිට වාඩි වෙන්න හම්බුවෙන්නේ බොහොම කලාතුරකින්. ඒ වෙන්නෙත් ප්‍රැක්ටිකල් ලැබ් එකේ කට්ටිය වැඩි වුන දාට හරි එහෙමත් නැත්තං මැෂින් එකක් බ්‍රේක් ඩවුන් වෙච්චි දාට හරි තමා. ඒත් අපිට හම්බුවෙන්නේ ලොක්කෝ වැඩ කරන අකවුන්ට් එක නෙමෙයි වෙනම හදපු ස්ටුඩන්ට් එකවුන්ට් එකක්. ඒකට පාස්වර්ඩ් දාලා තිබුනේ නෑ.

ඉතිං මේ කියන දවසේ මම ක්ලාස් එකට යද්දි ටිකක් විතර පරක්කු වුනා. මම පඩිපෙල නැගලා උඩ තට්ටුවට යද්දි අපේ කට්ටිය ඉන්නවා එක එක මූනු හදාගෙන. ඉසුරු ඇරෙන්න අනිත් ඔක්කොමලා ටිකක් භය වෙච්චි සහ සතුට පිරුන අමුතු ස්වරූපයක් හදාගෙන ඉන්නේ. ඉසුරු නම් ෆුල් හැපී මූඩ් එකේ. ඌට මොකක් හරි දෙයක් කියාගන්න ඕනේ කමක් තියෙනවා කියලත් මට පේනවා. මොකදද උගේ කට නලියන ගතිය උගේ මුළු සරුවාංගෙන්ම පේනවා.

පස්සේ ඉතිං මං ගිය ගමන් ඉසුරු මගේ කරට අත දාගෙන.

අඩෝ මං අරකේ පාස් වර්ඩ් එක බලාගත්තා බං.

මොකේද….?

අර සිරා වෝල් පේපර්ස් තියෙන පීසී එකේ.

නෑහ්…..

ඥෑහ් නෙමේ බං ඔව්…

ඉතිං මූං ටික මොකද බය වෙලා ඉන්නේ ?

මුං කියනවා බං මාව ක්ලාස් එකෙන් අස්කරයි කියලා.

හරි හරි ඉතිං උඹ පාස් වර්ඩ් එක බලාගත්තට තාම ඒකෙන් ඇඩ්මින් එකට ලොග් වුනේ නැහැනේ. ඒක නිසා ඉතිං එහෙම කරන්න බැහැ.

ආහ් මට කියන්න අමතක වුනා. ඔය ලොකු ලොක්කෝ පාවිච්චි කරපු පීසී එකේ තිබුනේ වින්ඩෝස් මිලේනියම් එඩිෂන් එක හරි වින්ඩෝස් 2000 හරි. මට හරියට ඒකනම් මතක නෑ. කොහොම හරි පාස්වර්ඩ් එක ගහද්දී දැන් වදින රවුම් වෙනුවට ඒකේ වැදුනේ තරු.

අඩෝ දැන් ඉතිං… සර් තේ බොන්න ගිය ගමන් පට ගාලා ලොග් වෙලා මේ ඩිස්කට් එකට අර කාර් ටික කොපියක් දාගමු බං. මං උඹටත් දෙන්නම්.

එහෙම කියලා මූ මට අළුත්ම අළුත් ෆ්ලොපියක් පෙන්නුවා. සෝනි එකක්, ප්ලාස්ටික් කේස් එකත් එක්කම. ඒ දවස්වල පෙන් ඩ්‍රයිව්ස් එහෙම නැති නිසා ෆ්ලොපිය තමා හැම දේටම. සෝනි එක අනිත් එව්වට වැඩිය ගාන ටිකක් වැඩියි. රුපියල් 80ක් විතර වුනා කේසින් එකත් එක්කම. කොහොම හරි ඉසුරු බුවා පාස් වර්ඩ් එක බලාගෙන තියෙන්නේ අපිට අන්තිමට ක්ලාස් තිබුන දවසේ. ඒ දවස් වල ඉතිං ඔය වගේ වටිනා දෙයක් දැන ගන්න අපිට තව සතියක් ඉන්න වෙන එක සාමාන්‍යයි. මොකද ඒ දවස් වල ඊමේල් නෑ, ෆේස් බුක් නෑ අඩුම ගානේ එකෙකුට දෙන්නෙකුට ඇරෙන්න මොබයිල් එකක්වත් නෑ.

කොහොමහරි ඉතිං ඔන්න ප්‍රැක්ටිකල් ලැබ් එකට ගිහිං අපිට දිලා තිබුන ෆොක්ස් ප්‍රෝ ප්‍රෝග්‍රෑම් එක කරා සර් තේ බොන්න යනකංම. සර් ගිය ගමන් කැරකෙන පුටු වල වාඩි වෙලා හිටිය අපි සෙට් පුටු පිටින්ම ඉසුරු ගාවට සෙට් වුනා. ඇයි ඉතිං අපිත් ආසයිනේ ලයිව් හැකින් සීන් එකක් කරලා ඩේටා උස්සලා ඩිස්ක් එකකට දාගන්න.

ඉතිං මංම ඇහුවා, ඒ ඉසුරු ඉක්මනට පාස් වර්ඩ් එක කියපං අපි ෆයිල් ටික තියෙන තැන හොයලා කොපි කරගන්නත් එපැයි බං.

හරි හරි යමන්කෝ එතෙන්ට කියලා ඉසුරු අපිවත් ඇදගෙන ගියා ලොක්කන්ගේ මැෂින් එක ගාවට.

ගියාට එකෙක්වත් නෑ දැන් ඒ පුටුවෙන් වාඩි වෙලා වැඩේ කරන්න. ඒ පාර ඉතිං අපේ කවුරු හරි එකෙක් වාඩි වුනා. පස්සේ ඔන්න පොර ඉසුරුගෙන් පාස් වාර්ඩ් එක අහනවා.

ඉසුරු අකුරෙන් අකුර හරියට පාස් වර්ඩ් එක කියපං. වරද්දන්න එහෙම එපා. කියලා එහෙම තමා දැන් මේ හැකිං මිෂන් එකට අපි එන්ටර් වුනේ.

අපි හත් අට දෙනෙක් අතරින් ඉස්සරහට එබී ගෙන හිටිය ඉසුරු…

මොන අකුරුද බං තරු අටක් ගහපං… මං දැක්කා සර් තරු අටක් ගහලා ලොග් වෙනවා. ඔය නියුමරික් පෑඩ් එකේ උඩ තියෙන්නේ අන්න ඒක ඔබපං අට පාරක්. එතකොට හරි.

එතනින් එහාට සිදු වූ දේවල් ගැන කියා යාළුවන් අපහසු තාවයට පත් කිරීමට අකමැති බැවින් එව්වා ඕනේ නැත. අනික මේ පෝසට් එකට එකදු කුනුහබ්බයක්වත් ගෑවිමටත් මගේ කිසිම අදහසක් නැති බැවින් අපි ඉසුරුට කතා කරපු හැටි ගැන කැමති ඕනෑම ආකරයකින් හිතාගන්න. මොකද එතෙන ඉසුරු ඇරෙන්න තව අට දෙනෙක් හිටිය නිසා මුළු සිංහල සාහිත්‍ය වංශ කතාවම එතෙන කියවුනා වගේ මතකයි.

කනගාටුයි G.M.N…

අපේ ඔෆිස් එකේ ඉන්න එලම එල පොරක් ගැන චරිත සහතිකයක් තමා මේ. පොඩි ළමයි, දඟ ළමයි එහෙම පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ මේ මාමා වගේ හැඩගැහෙන්න.

මේ මාමාගේ නම අපි ගමුකෝ මේකන කියලා. මේනක නෙමේ මේකන හරිද. නැත්තං මං වසල හමාරයි. ඉතිං මේ මේකන කියන්නේ අපේ ඔෆිස් එකේ ඉන්න ප්‍රඩක්ෂන් සුපවයිසර් කෙනෙක්. කොච්චර සුපවයිසර් කෙනෙක් වුනත් වැඩ ගැන නම් කියන්න වැරැද්දක් නෑ, හරිම පිළිවෙලයි. හොඳ වෙලාවට ඒ ඩිපාමන්ට් එකට තව තත්ත්ව පරීක්ෂකයෙක් ඉන්නේ.

ඒ වගේම ඔය අනිත් සුපවයිසර් මහත්තරු වගේ තමන්ට තියෙන නිවාඩු ඕනේ දේටයි එපා දේටයි ගන්න කෙනෙක් නම් නෙමේ මෙයා. හරිම පරිස්සමින් තමා නිවාඩු ගන්නේ. කවදාවත් නෝපේ නොගිය කෙනෙක් ඉන්නවනම් අපේ කම්පැණියේ ඒ මෙයා විතරයි. ඒකත් ලඟකදී ඉඳන් නෙමෙයි දැන් අවුරුදු ගානක ඉඳන්. මොකද සමහරු ඉන්නවා බඳින්න කලින් කෑල්ල සෙට් කරගන්න කං ඕනේ තරම් නිවාඩු අරගෙන බැන්දට පස්සේ කවදාවත් නිවාඩු දාපු නැති ඈයෝ. හේතු අහන්න ගියාම උං බයින්නේ අපේ අම්මට, අත්අම්මලටත් එක්ක. ඒ තරමට ගෑණු ළමයාව හිතට අල්ලලා ඒකයි ඒ.

ඉතිං මේ මේකන ලොක්ක හරිම අර පරිස්සම් පොරක්. ඇත්තටම පොර ගැන වැඩිය  කියන්න දෙයක් නෑ. වචන දෙකයි තියෙන්නේ කියන්න. ඒක කිව්වම මේකනගේ අර පිරිමැස්මේ තරම දැන ගන්න පුළුවන්. ඒත් ඉතිං එතකොට කතාව රස නැති නිසා තමා මේ එව්වා මෙව්ව ඇද ඇද රචනාවක් ලියන්නේ.

පොරගේ අර පිරිමැස්ම ගැන වගේම මෑන්ස්ටම අයිති වුන තව දේවල් දෙකක් තියෙනවා. ඒ තමා අපේ වාර්ෂික විනෝද සාදයේදී කපල් ඩාන්ස් එකට පිරිනැමෙන පළමුවෙනි තෑග්ග මේකනටයි මිසිස් මේකනටයි ලැබෙන එක.  ඇනුඅල් පාටියේදී කොයි තරම් දේවල් වැරදිලා, පීචං වෙලා සංවිධායකයෝ බැනුම් ඇහුවත් කවදාවත් මේ දෙන්නගේ නැටුමටනම් මේ වෙනකං වැරදිලා හරි දෙවෙනි තැන ලැබිලා නෑ. මිසිස් මේකන හොඳ නැට්ටුක්කාරියක් කියලා තමා මිස්ට මේකනත් කියන්නේ. අනේ මන්දා එව්වා නම්.

අනිත් නොවරදිනම දේ තමා. බෙස්ට් ඇටෙන්ඩන්ස් අවෝඩ් එක. පොර නිවාඩු ගන්නේ නැති නිසා වැඩිම නිවාඩු ඉතුර කරපු කෙනාට දෙන තෑග්ගත් හැම දාම යන්නේ මේකනටම තමා. ඒ කත් අර කලින් කිව්වා වගේ වැරදිලා හරි වෙන කෙනෙකුට ගිහිං නෑ. එකම එක පාරක් පොරත් එක්ක තරඟෙට නිවාඩු ඉතුරු කරපු කෙනෙක්ට සම තැන ලැබිලා තියෙනවා එච්චරයි. හැබැයි එදායින් පස්සේ ඒ මෑන්ගේ නිවාඩු ගැනිල්ල ටිකක් වැඩි වුනා. හේතු දන්නේ නෑ… අපේ කට්ටිය ඔය තරම් නිවාඩු ඉතුර කරන්නේ වසර අවසානයේ ඒ අයට ඉතුර වෙච්ච නිවාඩු ඕනේ නම් ඊලඟ අවුරුද්දට ගෙනියන්න පුළුවන් නිසා වගේම ඕනෙනම් සල්ලි කරගන්න පුළුවන් නිසා. මේකන වගේ වැඩි දෙනෙක් කරන්නේ ඒ නිවාඩු සල්ලි කරගන්න එක තමා. නිවාඩු දහයක් විතර තිබුනොත් රුපියල් 15,000ක් 20,000ක් විතර නිකංම අතේ.

දැන් තමා එලම කෑල්ල. දැන් ඔය අනිත් ඔෆිස් වල වගේ නෙවේනේ අපේ ඔෆිස් එකේ. අපේ එකේ නිවාඩු ගන්නවනම් ගන්නේ කාගේ හරි සහෝදර සේවකයක්ගේ මළ ගෙදරකට සහභාගී වෙන්න, එහෙමත් නැත්තං මගුලකට. ඉතිං මේ මිස්ට මේකන ඉන්නවනේ… පොර අරපරිස්සම් කාරයා නිසා මගුල් ගෙවල් වලට යනවා නම් යන්නේ වැඩ ඇරිලා ගෙදර ගිහිං මහ රෑ ජාමේ. එතකොට ජස්ට් මැරීඩ් දෙන්න නයිට් ඩියුටි. ඒ කියන්නේ දෙන්නට දෙන්නවා මුර කරනවා. බැඳපු අය දන්නවනේ ඒ කොහොමද කියලා. නිකං මොකටද මං දන්න බව පෙන්නන්න යන්නේ.

ඉතිං ඒ වගේ මගුල් ගෙවල් වල ගිහිං සමහර දවස් වලට කෑම මේසේ අස්කරලා නිසා නොකාම ආපහු ආවා කියලත් කතා තියෙනවා. පොරගේ කටින් නම් ඒ වගේ දෙයක් මේ සංසාරේ ඉන්නකං අහගන්න බෑ. වටේ පිටේ ඉන්නේ අයගෙන් අහගත්තොත් මිසක්.

ඒ වගේම තමා මළ ගෙවලුත්. අපේ කට්ටිය ඔය මළ ගෙවල් වල නොයා මග හරින එකට කියන්නේ “හෂාන් කරනවා” කියලා. ඒ කියන්නේ හෂාන් තිලකරත්න පන්දුව නිදැල්ලේ හරිනවා වගේ මළ ගෙවල් වලටත් සහභාගී නොවී නිදැල්ලේ හරිනවා වගේ  අදහසක්. ඉතිං මළ ගෙවල් හෂාන් කිරීමෙනුත් ප්‍රමුඛස්ථානයේ වැජඹෙන්නේ මේකනම තමා.  ඒත් ඉතිං පොර ඔය අහල පහල තියෙන එව්වට නම් යනවා. ඒ යන්නෙත් අර මගුල් ගෙවල් ගියා වගේ රෑට. එතකොට මළ මිනියට දොයි මත හැදිලා නිදිලු. ඒකෙන් වෙන්නේ මළ මිනිය හිතන්නේ, අර මේකනයා ආවේ නෑනේද මගේ මළ ගෙදරට කියලා ඌට රෙජිස්ටරේ බිංදුව වැටෙන එක.

ඒ වගේම පොර කොයිතරම් අරපරිස්සම්ද කියන්න තියෙන හොඳම උදාහරනේ තමා, ටිකක් දුර බැහැර තිබුන මළ ගෙදරකට යවපු ටෙලිග්‍රෑම් එකේ විස්තරේ.

ඒකේ ඇත්තටම ලොකු විස්තරයක් නෑ… මුළු ටෙලිග්‍රෑම් එකටම තිබිලා තියෙන්නේ වචන දෙකයි.

කනගාටුයි.

G.M.N

කනගාටුයි කියන්නේ මළ ගෙදරට කනගාටුව පළකිරීමේ වැකිය. G.M.N කියන්නේ පොරගේ නමේ මුල අකුරු තුන. නම දිග ඇරලා කොටස් තුනට ලිව්වනම් එහෙම තවත් වචන දෙකක් වැඩිවෙනවනේ. ඒක නිසා තමා මේකන පොරගේ නම කෙට් කරලා එක වචනෙකට ලියලා තියෙන්නේ.

දැන් හිතාගන්න පුළුවන් නේද මේකනගේ අරපිරිමැස්මේ ප්‍රමාණය…!!!! ඉහල යන ජීවන වියදමත් එක්ක අනාගතේ භාර ගන්න ඉන්න ළමයි ඔන්න ඔය වගේ හැදෙන්න ඕනේ හරිද. බලන්න කොයි තරම් ආදර්ශවත් චරිතයක්ද කියලා.

ඕකට කියන්නේ තනිකරම ලෝභ කම නෙවේ, අරපිරිමැස්ම කියලා….!!!

 

 

මචං මුහුද…..

මං පුංචි කාලේ ඉඳන් මුහුදට හෙන ආසයි. අපේ ගෙවල් වල ඉඳන් කිලෝ මීටර් තුනක් විතර තමා මුහුදට තියෙන්නේ. ඒ දුර අර මොබයිල් ටවර් වැඩ කරන ක්‍රමයට බැළුවොත් නම් හූ දෙකයි… පිනුමයි. ඒත් ඉතිං අපිට කෙලින් යන්න ඩිරෙක්ට් පාරවල් නැති නිසා ගමන යන්නේ වටෙන්.

ඉතුර ටික කියවන්න කලින් මේක ප්ලේ වෙන්න දාන්න….

ඉස්සර තාත්ත මාව නිදි කරවන්නේ “ඔය ඇහෙන්නේ පුතේ මුහුදේ සද්දේ” කියලා ඔලුව අතගාලා. කොච්චර විසේ කර කර උන්නත් මං මුහුදේ සද්දේ අහන්න ඕනේ නිසා තාත්ත ගාව ගුලි වුනාම තාත්තා හිමීට ඔළුව අතගාන කොට මං දන්නෙත් නෑ පස්සෙන්දට එලිවෙන හැටි. ඊට පස්සේ ටික ටික ලොකු වෙද්දීත් ඔය සද්දෙට වැඩියෙන් කන් දෙන්න මං පුරුදු වුනා. හැම තිස්සෙම පවතින හෝ… හෝ… සද්දෙට අමතරව හිටපු ගමන් බෝස්… ගාලා ලොකු රළගෙඩි පෙරළෙන හැටි කිලෝමීටර් තුනක් ඈතින් ඉඳලා හිතෙන් චිත්‍රනය කරනවා කියෙන්නේ මාරම අත්දැකීමක්. ඉස්සරනම් තාත්තගේ උණුසුමේ හොඳට නින්ද ගියාට දැන් ඉතිං මං තනියම නිදියන නිසා හිටි ගමන් මහ පාන්දරට ඇහැරෙනවා වතුර තිබහා හැදිලා එහෙම. එතකොට ඉතිං ආයෙ නින්ද යනවා බොරු. ඒ වෙලාවට තමා වැඩියෙන්ම මුහුදේ සද්දෙට කන් දෙන්නේ. රෑට ඇහෙන රැ‍හැයි නාදය ඇරෙන්න මට නම් ඇහෙන්නේ මුහුදේ හඬ විතරයි. එහෙම වෙලාවට මට හිතෙනවා, රැහෙයියෝ ඔක්කොම අල්ලලා කටේ ප්ලාස්ටර් ගහන්න… නැත්තං චූටි ස්ලීපින් ගෑස් පාරක් දෙන්න.

ඒ ඔක්කොම ඔය මහ ලොකු මුහුදේ සද්දේ අහන්න ඕනේ නිසා. ඔය කොයිතරම් මං මුහුදට ආසා වුනත් එකපාරක් දෙපාරක් ඇරෙන්න මං මහ රෑට මුහුදු වෙරලට ගිහිං නෑ. ඒත් ගියේ අත්‍යවශ්‍යම හේතු කීපයකට. එකක් තමා යාළුවෙක්ගේ වෙන්වීමේ පාටියක්… අනික තව යාළුවෙක්ගේ ආච්චි කෙනෙක්ගේ මිනී වලක් කපන්න. එහෙම නොයන්න හේතුව තමා අර මෝහීනි කියන හොල්මන් ගෑණීට මං පට්ට බයයි. දැකලා නැති වුනාට දකින්නත් බයයි. හැබැයි ඉතිං අර පාටිය දවසෙනම් බය ටිකක් මග ඇරුනා… එදා මෝහිනි ආවනම් එහෙම රෙද්ද අන්දනවා නෙමෙයි ගලෝනවා…

ඉතිං දැන් මේ මෙච්චර විස්තර කිව්වේ පොඩි සීන් එකක් නිසා මං ‍දැන් අවුරුදු කීපයක ඉඳන් මුහුද එක්ක පට්ට කේන්තියෙන් ඉන්න බව කියන්න. ඔය මුහුද ඉන්නව නේද… හිටි ගමන් මූ මහ ජරාවැඩ කරනවා. 2004 මතකනේ… එදා මාත් සුනාමි බලන්න ගිහිං වැටකෙයියා පඳුරක් උඩ ඉද්දී පෙරිය සයිය් කකුලුවක් ගෙනත් දැම්මේ නැතෑ මගේ කලිසම උඩට. වෙලාවට වැටකෙයියා ගහේම ඉඳන් එහාට මෙහාට දඟලලා තමා යන්තං අනාගතේ බේරගත්තේ. ඒක තමා මං බය වෙච්ච හොඳම අවස්ථාව. හම්මේ… මතක් වෙද්දිත් දාඩිය දානවා.

ඊළඟ කැත වැඩේ තමා සුනාමිය. මං යාන්තං අඬලා දොඩලා, තකහනියක් කිලෝමීටර් හයක් විතර බයිසිකලෙන් ගිහිං ට්‍රයිටෙල් බොක්ස් එකකින් නඩුකාරිට කෝල් කරලා…. කෝල් කරලා…. විසිපස් වෙනිදාම දෙන්නව ගෙදර ගෙන්න ගත්තේ නැත්තං මට වෙන්නෙත් විසි හත් වෙනිදට මුහුදේ පනින්න. ඒ දෙන්නත් ගාල්ලේ ගිහිං හිටියේ. හම්මෝ එතෙනිනුත් යන්තං බේරුනා.

ඊට පස්සේ ඔය 2005 විතර ඉඳන් තමා මූ කැතම වැඩේ කරන්න ගත්තේ. මමයි මගේ යාළුවෙකුයි හැම ඉරිදම වගේ හවසට යනවා රැල්ල පොඩ්ඩක් පාගලා, සෙරප්පු දෙකත් හෝදගෙන එන්න කියලා මුහුදට. අපි යනකම්ම මූ ලස්සනට රැල්ල ගහනවා වෙරලේ වැවිලා තියෙන අර සමනල්ලු වගේ කොල තියෙන පඳුරු හරියටම… හැබැයි අපි ගියත් හරි මූ රැල්ල ගහන එක අඩු කරනවා. ඊට පස්සේ ඉතිං කොටයක් උඩින් වාඩිවෙලා කකුල් දෙකට වතුර පාරක් වදිනකම් අපි අව්වේ වේලෙනවා. තාමත් රැල්ල පාගන්න හිතාගෙන ගියොත් ඒක එහෙම්මයි…

තවත් වැඩක් තියෙනවා. අපි යාලුවෝ සෙට් වෙලා මුහුදේ නාන්න යද්දී රැල්ල හොඳ ගානට තැන්පත්ව තියෙනවා. අපි කලිසං ටික ගලෝලා යටට ඇඳන් ආපු අනිත් ෂෝට පිටිං මුහුදට බැස්සත් හරි මූ රැල්ල ගහන්නේ අපිව වෙරලට විසික් වෙන්න. වල් මුහුද… ඉතිං නාන එක පැත්තක තියලා ඇතුලට ගිය වැලි පිහිදාන්න ඕනේ.

ඔන්න ඊට පස්සේ ඊයේ මූ තව අවලං වැඩක් කරා. ඊයේ මමයි තව යාළුවෙකුයි ගියා නිකමට රැල්ල පාගන්න කියලා. මොකද සෑහෙන කාලෙකින් මුහුද පැත්තේ ගිය නැති නිසා. නිකං ආසාවට වගේ කැමරාවත් අරගෙන ගියෙ. කියන්න බැහැනේ අර එකපාරක් වගේ මැරිච්චි කැස්බෑවෙක් හෙම ගොඩ ගහලා හිටියොත්…. ඉතිං මං ඔරුවක් උඩට වෙලා පොඩි ඇලට් එකක් දාගෙන ඉද්දී යාළුවා කැමරාව ඉල්ල ගත්තා. පස්සේ ඉතිං මාත් ඒ වැඩේට සෙට් වුනා. දැං මගෙ යාළුවට ඕනේ රැල්ල එද්දී පෙන නගිනවනේ… අන්න ඒ කිරි සුදු පාට පෙන වෙරලේ වැදෙද්දිම පෙනෙන ලා හෙවනැල්ල වැටෙන්න පෙන වල ෆොටෝ එකක් ගන්න. එතනින් පස්සේ… කතාකරලා වැඩක් නෑ…

මෙච්චර වෙලා කකුල් තෙමෙන්න ලඟටම ආපු රැල්ල දැන් නෑ…. දැන් රැල්ල කැඩෙන්නේ මුහුදේ ටිකක් දුරින්. රැල්ලක් එන්න ඕනේ නිසා වගේ ලාවට එකක් ඇවිත් ශේප් වෙලා යනවා. පස්සේ ඉතිං ටිකක් ඉවසගෙන ඉන්න කොට මෙන්න එනවා එකක්. ඒකේ ෆොටෝ ගන්න ගියානම් එහෙම කැමරාව හොයන්න වෙනවා…  ඒ පාර ඔරුවට නැගලා යාන්තං අමාරුවෙන් එකක් ගත්තා. ඊට පස්සේ මට ඕනේ වුනා පැත්තක තියෙන සිප්පි කටු වල පොඩි පින්තූරයක් ගන්න. ඒ පාර මම සිප්පි කටු තිබුන තැනට යද්දී එතනට ගොඩ වෙලාවකින් රැල්ලක් ඇවිත් නෑ… ඉර  අවුවට වැලි වේලිලා ගිහිං. ඊට පස්සේ ඉතිං ආයෙ රැල්ලක් එන එකක් නැහැනේ කියලා හිතලා මාත් ලාවට බිමින් ඉඳගෙන සිප්පි කටු තේරුවා. යාළුවත් ලඟ. මෙන්න බොල පිටිපස්සෙන් සාස් ගාලා රැල්ලක් බිඳුනා. හරි සනීපයි. පිට දිගේ වතුර බේරෙනවා.  ඊට පස්සේ සිප්පි කටු ටික හේදිලා ටිකක් උඩහට ගිහිං කුනු ගොඩක් ගාව නැවතිලා.

හිතාගන්න පුළුවන්නේ හිතට හිතෙන එව්වා. සා ප්‍රසංගයේ අනිත් වර්ෂන් එකේ වචන ටික නහර දිගේ ගලාගෙන යනවා ඒ වෙලාවට. මචං මුහුද… අර ඈත දවසක ලේන අම්මට බැරි වුනාට උඹව හින්දන්න මට බැරි කමක් නෑ. හැබැයි මං එහෙම කරන්නේ නෑ උඹට… මොකද අද රෑටත් මාව නලවලා නිදිකරන්නේ උඹ නිසා. මහ පාන්දරට ඇහැරුනත් ටික වෙලාවකින් ආයෙම නිදිකරවන්නේ උඹ නිසා…

මේ ලෝකේ තේරුම් ගන්න බැරි ලොකුම දේ කෙල්ලෝ කියලා හිතාගෙන ඉන්නවනම් කවුරු හරි ඒක වැරදියි. තේරුම් ගන්න බැරිම දේ මුහුද… මුහුද චුට්ටක් තේරුම් ගත්තනම් ගෑණු ළමයි නතිං. ඒකනේ මං අපේ මල්ලිට කිව්වේ ගිය රැල්ල ගියාදෙන් වෙන රැල්ලක් පාගපං කියලා….!!!

ළමයි මේක විහිළුවට ගන්න එපා. මට දන්න කෙනෙක් කියන්න ඔරුවල වේගය මනින මිම්ම මොකද්ද කියලා. මේ ඔරුවේනම් තියෙන්නේ මං හිතන්නේ  කිලෝමීටර් විසි පහයි කියලා….

කොච්චර වුනත් මුහුද කියන්නේ හොඳ බෙහෙතක්…!!! හැමදේටම….!!!
 

කෙල්ලයි නරියයි….!!! (අනාගතේ වෙනුවෙන්)

අදනම් කියන්නේ පොඩි එව්වොන්ට හෙන හොඳ කතාවක්. මේකෙ තුන් තේරවිලි නෑ… අවලං කතා නෑ… පිරිසිදු පහන් හැඟීමෙන් තමා ලියන්නේ. (එහෙම තමා කියන්නේ)

මේක ලියන්න ඇත්තටම හේතු වුනේ රූ අක්කා ලියලා තිබුන පෝස්ට් එක. මමත් ඔය ලොකු ලොකු වැඩ කලාට පුංචි එව්වොන්ට හදපු ලස්සන ලස්සන මූවි බලන්න හරි ආසයි. වෙන මොකවත් හින්දා නෙමේ ඒවයේ තියෙන්නේ තනිකරම කුතුහලය නිසා. ඇක්ශන්/ රොමැන්ටික්/ හොරර් කියන හැම වර්ගෙකම ෆිල්ම් වල ඊළඟට වෙනදේ යාන්තමට හරි අපිට අනුමාන කරන්න පුළුවන් වුනත් පුංචි එවුන්ට හදපු මූවි එකක වත් ඊළඟට වෙනදේ තාම නම් මට හරියටම හිතාගන්න බෑ. මොකද හේතුව… පොඩි එවුන්ට හැදුන ෆිල්ම් තියෙන්නේ බොහොම අඩුවෙන් නිසා, ඒවයේ තියෙන කතාවල් එකිනෙකට වෙනස් වීමේ සම්භාවිතාවයත් වැඩිනිසා.

ඉතිං මම පැටියා කාලේ දවසක ටීවී එකේ ගියා පොඩි අයගේ ෆිල්ම්ස් ගැන පොඩි වැඩසටහනක්. මට මතක විදියට ස්වර්ණවාහිනියේ වෙන්න ඕනේ. ඒකෙදි තමා මේ ෆිල්ම් එක ගැන මම දැනගත්තේ. කතාවේ ඉන්නේ පොඩි කෙල්ලෙකුයි නරියෙකුයි. නරියා කෙසේ වෙතත් ඒ දවස් වල චූටි කෙල්ලෙක්ගේ ෆිල්ම් එකක් කිව්වොත් ඉතිං… යම්… යම්… යම්…. මමත් පොඩි එකා වුනාට හෝමෝන වැඩ කරන්නේ ලොකු එවුන්ගේ වගේ නිසා ඒ දවස් වල පොඩි කෙල්ලෝ ඉන්න ෆිල්ම් පේන්න බෑ. ඒ දවස් වල දැන් වගේ ලොකු සීන් නැහැනේ, ගෙදරිනුත් අවුලක් නැති නිසා පොඩි අයගේ ෆිල්ම් බලනවට මමත් කොහෙන් හරි හොයාගෙන ඇවිත් ඇති වෙනකං බලනවා.

කතාව චුට්ටක් කියන්නම්… පොඩි කෙලි පැටියෙක් නරි පැටියෙක්ව යාළු කරගන්න කතාවක් තමා තියෙන්නේ. පට්ට ලස්සනයි. මං බලපු හොඳම මූවි එකක්. එකම ලොකු එකෙක්වත් නෑ මූවි එකේ. ඒ කියන්නේ එකම එක වැඩිහිටි ගැහැණු කෙනෙක් වත් පිරිමි කෙනෙක් වත් නෑ. මුළු මූවි එක පුරාවටම ඉන්නේ පොඩි කෙල්ලයි නරියයි විතරයි. ඊට අමතරව ඇක්ශන් ෆිල්ම් වල වගේ නැතුව සම්පූර්ණ ස්වභාවික පරිසරය තමා හැම රූප රාමුවක්ම අරගෙන තියෙන්නේ. මාරම ගති. ඇක්ශන් ෆිල්ම් බලලා හෙම්බත් වෙලා ඉන්න අයට හිත කූල් ඩවුන් කරගෙන බලන්න සිරාම කතාවක්.

මෙන්න ටොරන්ට් ඩවුන් ලින්ක් එක. මෙන්න IMBD ලින්ක් එක. මෙන්න විකි ලින්ක් එක.

ඔය මොනා නැතත් අනාගතේ අම්මලා තාත්තලා වෙන්න හිතාගෙන ඉන්න පොඩි එව්වෝ සහ ලොකු අය මේක ඩවුන් කරගෙන ඩීවීඩී එකක බර්න් කරලා තියාගත්තට පාඩුවක් වෙන්නේ නෑ මයෙ හිතේ. මේවා අනාගත ආයෝජන. ඒ දවස් වෙද්දි මේවා ඩවුන් කරගන්න නැති වෙන්නත් පුළුවන්. ඒක නිසා එන එන හොඳ ළමා චිත්‍රපටි ඩවුන් කරගෙන දැන්ම ඉඳන්ම ඩීවීඩී පුච්චගන්න පුරුදු වෙන්න ඕනේ… හරියට මේ මං වගේ. එතකොට ඉස්සරහ දවසකදී පොඩි එකාට ලස්සන ෆිල්ම් එකක් දාලා දීලා, ඕනේ නම් පොඩි එකත් එක්ක ඒ ෆිල්ම් එකම බලන්න පුළුවන්….!!! නැත්තං අම්මටයි තාත්තටයි ඒ වෙලාවෙදී වෙන ෆිල්ම් එකක් බලන්න හරි රඟපාන්න හරි බැරියෑ…. නේද…!!!

%d bloggers like this: