සිතියම් සරමා…

හෙට නත්තල්නේ.. දැන් ඉතිං කතෝලික අය නත්තල සමරන්න ජයටම ලෑස්ති වෙනවා. නත්තල් ගහක්, පුංචි ගව මඩුවක් ලෙනක් එහෙම හදලා ලස්සනට ලෑස්තිවෙනවා. හරියට අපි වෙසක් එකට වෙසක් කූඩු හදලා සල් උයන් ගහනවා වගේ. ඉතිං ඔය වගේ දේවල් අතරේ කතෝලික අය ගොඩ දෙනෙක් නත්තල් පාටි දානවා.

මේ කතාවත් මේ එහෙම පාටියක් ගැන තමා. එතකොට මං ස්කෝලේ දහය වසරේ විතර ඇති. අපේ පන්තියේ මට මතක විදියට හිටියේ කතෝලික අය දෙන්නයි නැත්තං තුන් දෙනයි. ඒ අතරින් එරල් කියන්නේ තාත්තගේ සල්ලි වලට වග කියන හොඳ පුත්‍ර රත්නයක්. මිනිහාත් එක්ක අපිට හිටි ගමන් මල පයින වෙලාවලුත් තිබ්බා. කොහොමත් ඉස්සර ඉඳන්ම පොඩි ආරවුලක් තිබුනා, අර දේවිකාගේ සීන් එකකට.

කොහොම හරි ඉතිං නත්තල් කිට්ටු වෙද්දී නම් මූ අපිත් එක්ක සෑහෙන්න ෆිට් වෙනවා. විශේෂ හේතුවක් නෑ, ඒත් ඔය ගව ලෙන හදන්න පිදුරු ටිකක් හොයාගන්න, ෆයිනස් අත්තක් හොයාගන්න එහෙම අපි තමා පොරට උදවු කලේ. ඇත්තටම එරල්ට උන්ගේ තාත්තා සල්ලි වලට ගෙනත් දෙන ගවලෙන් එහෙම පේන්න බෑ. මෑන්ට ඕනේ වුනේ හැමදාමත් උගේ අතින්ම අපිත් එක්ක මහන්සි වෙලා අවශ්‍ය කලමනා හොයාගෙනන හදපු ගව ලෙනට නත්තල් දාට ලයිට් වැලක් දාල ලස්සන බලන්න.

අපිත් ඉතිං ඒ බව දන්න නිසාම කොයි තරම් හිත් නොහොඳ කම් තිබුනත් උපරිමෙන් සපෝට් එක දුන්නා. අපිට නත්තල් දාට පොරගේ ගෙදරට යන්න බැරි වුනොත් මූ ගවලෙනේ ෆොටෝ එකක් ගහලා හරි අපිට ගෙනැල්ලා පෙන්නනවා… බලපං උඹලා හදපු ගවලෙන කියලා. ඇත්තට අපි කොරපු දෙයක් නෑ… අපි කලේ ඌට අවශ්‍ය එව්වා හොයලා දීපු එක විතරයි. ඒ අතින් බලද්දි නම් එරල් නියම යාළුවෙක්.

ඔන්න ඔහොම පොඩි කාලේ ඉඳන්ම අපිත් එක්ක හිටිය එරල්, අපිට පොඩි ආරාධනාවක් කලා දහය වසරේදී, නත්තල් දා හවසට පොඩි පාටියක් තියෙනවා වරෙන් කියලා. ඒ වෙනකම්ම හැම අවුරුද්දෙම අපිට ආරාධනා කලත් අපි එතකොටත් දැන් වගේම පුංචි නිසා අපිට අම්මලා යන්න දුන්නේ නෑ… කොහොම හරි දහය වසරෙදි අපිට වැඩිය ලොකු කොන්දේසි නීතිරීති නැතුව එරල් ගේ ගෙදර පාටියට යන්න අවසර ලැබුනා. පස්සේ අපි පාටියට යන්න කැමැත්තෙන් හිටිය දහ දෙනෙක් විතර සෙට් වුනා අපේ ස්කෝලෙට හැරෙන පාර ගාවට.

පස්සේ ඔන්න පොඩි කලෙක්ෂන් එකක් දාල, හැම ස්කෝලේටම හැරෙන තැන තියෙනවනේ ලොකු ග්‍රොසරියක්… දැන් නම් ඉතිං ස්කෝල ගාව තියෙනවනේ ෆාමසිත්. ඉතිං  ආන්න ඒ ග්‍රොසරියෙන් ගත්තා ටීක්…ටීක්… ටීක්… එකක්. පස්සේ ටික වෙලාවක් යද්දී එරල්ගේ තාත්තා ආවා ඌවත් දාගෙන වෑන් එකක. ඇවිල්ලා අපි ඔක්කොමවත් දාගෙන එක්කගෙන ගියා එරල්ගේ ගෙදර.

ඔන්න ඉතිං ගිහිං, කොල පාට තණ බිස්සේ බ්‍රාස් ගාලා බේක් එකක් එකක් ගහලා නැවැත්තුවා වෑන් එක. මං හිතන්නේ ඒ එරල්ගේ අම්මට පොඩි මැසේජ් එකක් දුන්නා, අපේ පුතාගේ ගැන්සිය බැස්සා… ඉක්මනට ඇවිත් මුන්ව පිලිගන්න නැත්තං විනාසයි කියලා. මොකද මිදුලේ එක කෙලවරක තිබුනා ලස්සනට මල් වවලා, පොඩි ආරුක්කු පාලමක් දාපු සිරා පොකුනක්… අපි ඔතෙන්ට දිවුවොත් ආයෙ ගෙට ගන්නවා බොරු නිසා තමා ඒ.

ගේ ඇතුලට අඩිය තිවුවා විතරයි කෙලින්ම පෙන්නේ නත්තල් ගහ. අපේ කවුරු හරි තමා ෆයිනස් අත්ත ගෙනත් දුන්නේ. ඒකේ ලයිට් වැල් දෙක තුනක් පටලවලා, තව මොනාද මංදා බිත්තරේ වගේ අයිටම් එක එක පාටින් එල්ලලා මාර ලස්සනයි. එතෙනන් පොඩි මේසයක් තියලා මේසේ වැහෙන්නම ගව මඩුව හදලා. ඒකත් ලස්සනයි. ගව මඩුව වටේ එරල්ගේ කෝචිචය යනවා. ඒකෙ රේල් පාරවල් ගලෝලා ඕනේ විදියට සෙට් කරන්න පුළුවන් එකක්.

පස්සේ ඉතිං ඔන්න අපිව එක්කං ගියා එරල්ගේ කාමරේට. එතෙන තමා අද කතාවේ මාතෘකාව තිබුනේ. කාමරේට ගිය ගමන් මුලින්ම පේනනේ හොඳට අස්පස් කරලා තියෙන ඇඳ. ඊට පස්සේ තඩි සයිස් කොම්පියුටර් එක… ආයමත් පැත්තකින් ස්මෝල් සයිස් නත්තල් ගහක්… එරල් තමා කිව්වේ ඒක උගේ නත්තල් ගහ කියලා. ඒකෙත් අර ලොකු සයිස් එකේ වගේම බලුප් වැල් පටලෝලා මාර ලස්සනයි.

පස්සේ ඉතිං ඔහොම ටික වෙලාවක් කැරකි කැරකි ඉඳලා කීපදෙනෙක් වාඩි වුනා එරල්ගේ ඇඳෙනුත් අනිත් වුන් පුටු කීපයකත්… එරල් ගියා අපිට කෑම මේසය ලෑස්ති කරන එකට උදවු වෙන්න.

පුටු වල වාඩි වෙච්චි අය ඉතිං මුළු කාමරේ පුරාම ස්කෑන් කරනවා. ඒ වෙන කරන්නම දෙයක් නැති නිසා. ඇඳේ හිටිය අපි අළුතෙන් එලපු බෙඩ් ෂීට් එකේ දිගාවෙලා එක එක එව්වා කතා කරනවා. පස්සේ පුටුවේ වාඩිවෙලා හිටිය කවුරු හරි එකෙක් කිව්වා… අඩෝ ආං බං එරල්ගේ සිතියම් පොත… කියලා. අපිත් ඒ දවස් වල සමාජ අධ්‍යයනයට සෑහෙන කැමති නිසා ටක් ගාලා බැළුවා අනිත් යාළුවගේ ඇඟිල්ල දික් වෙලා තියෙනදිහා.

මල මගුලයි… එරල් කාරය උගේ ඇඳුම් රැක් එක වහලා තියෙන්නේ උගේ ලා ක්‍රීම් පාට බැක්ග්‍රවුන්ඩ් එකේ දුඹුරු පාටයි ලා දම් පාටයි හොරිසොන්ටල් ඉරි වැටිච්ච උගේ සරමෙන්. සරම හෝදලද නැද්ද මන්ද. කොහොම හරි එරල්ගේ හෝමෝන ක්‍රියා කාරීත්වයේ හා ඔටෝ ඩිස්චාජින් සිස්ටම් එකේ ප්‍රතිඵල සරම පුරාවට ලස්සනට තියෙනවා. අප්පා ඒක හෙන සංකීර්ණ සිතියමක්. ලග ලඟ රටවල් ගොඩයි. දේශ සීමා ක්‍රොස් වෙලා. සමුද්‍ර සන්ධි මුහුදටම දියවෙලා ගිහිං. ගුවන් මාර්ග නැව් මාර්ග එහෙම වෙන් කරලා නෑ… තනිකරම තියෙන්නේ බෝට්ටු පාරවල්…. මේ ලෝකේ සිතයමක් නම් වෙන්න බෑ ඒක.

පස්සේ හිනාව නවත්ත ගන්න බැරිතැන කට්ටයම ගියා සාලෙට. හැමෝගෙම මූන රතු වෙලා හිනාව තද කරගෙන ඉඳලා. ඇස් වල කඳුළු පිරිලා. ඊට පස්සේ ටික වෙලාවකින් නෝමල් වුනත් එකාට එකාගේ මූනු දකින කොට ආයෙම  හිනා යනවා. ඉතිං දහ දෙනා එකක් වෙනම වෙනම වැඩ දහයක නිරත වෙලා තමා ඉන්න වුනේ. අපිට ඉතිං පාටිය ලැබුනත් එකයි නොලැබුනත් එකයිනේ දැං.

පස්සේ ඉතිං නිවාඩු ඉවර වෙලා ස්කෝලේ ගියා. උදේ රැස්වීම් අරවා මෙව්වා ඉවර වෙලා බලද්දී අපි දැන් එකොලහ වසරේ. පස්සේ එකොලහ වසරේ මුල්ම කාඩ් එක අපේ එරල්ට අපි ආදරෙන් පිරිනැමුවා…. සිතියම් සරමා කියලා. ඒත් ඉතිං කෙල්ලෝ අහන කොට ඒකෙ තේරුම මොකද්ද කියලා….!!!!

මං නම් කියන්නේ වැඩි විස්තර දැන ගන්න ඕනේ නම් නවම් අයියගේ හොටු පෝස්ට් එක බලන්න කියලා…

%d bloggers like this: