සිරිපාලගේ බර…

අපේ ඔෆිස් එකට සැරින් සැරේට එක එක දේවල් වලට එක එක අය එනවා. වැඩි හරියක්ම එන්නේ ගණුදෙනු කාර භවතුන් හා මෙටීරියල් සප්ලයර්ස්ලා  වුනාට සතියකට පාරක් වත් අපේ ඇටෙන්ඩන්ස් සිස්ටම් එක හදන අයත් එනවා. හිතාගන්න පුළුවන්නේ කොයිතරම් හොඳ ඇටෙන්ඩන්ස් සිස්ටම් එකක්ද අපිට තියෙන්නේ කියලා… ඇත්තමයි ඊට වැඩිය හොඳයි පොඩි කාලේ ස්කෝලේ නම් ටීචර්ලා හයියෙන් නම කියන කොට අපි ඉන්නවා කියලා කෑග්ගහලා කියද්දී ගුරුවරු එක දාන රෙජිස්ටරේ.

ඔය ඇටෙන්ඩන්ස් සිස්ටම් එක කරන කට්ටියම තමා අපේ බා කෝඩ් සිස්ටම් එක කරන්නෙත්. ඉතිං ඇටෙන්ඩන්ස් සිස්ටම් එක වගේම තමා බා කෝඩ් සිස්ටම් එකත්. ඒ දෙකම එකම කම්පැනියෙන් කරා වුනාට කේස් දෙකට දෙන්නේ කට්ටි දෙකක්. එක ගොල්ලක් ඇටෙන්ඩන්ස් සිස්ටම් එකට අනිත් ගොල්ල බා කෝඩ් සිස්ටම් එකට. කොහොම හරි මේ දෙගොල්ලම හැම සතියකම එයලගේ ඇටෙන්ඩන්ස් මාක් කරලා අපේ පද්ධති දෙක හදලා දෙන්න මාරුවෙන් මාරුවට එනවා.  දැන් නම් ටිකක් විතර ගමන අඩුයි. අලුතෙන් එයාලගේ රික්වයමන්ට් වලට හරියන්න මැෂින් දෙකක් ගෙන්නලා රැම් වැඩි කරලා හාඩ් ඩිස්ක් කැපෑසිටි වැඩි කරලා, එකම පිස්සුවක් නටලා යාන්තං වැඩේ ෂේප් කරගෙන තියෙන්නේ. ඒත් ඉතිං කියන් බෑ කොයි වෙලේද කියලා.

ඉතිං ඔහොම ටික කාලෙකට කලින් අපේ බා කෝඩ් සිස්ටම් එකේ පොඩි වෙනස් කමක් කරා. ඒ කියන්නේ ඉලක්කං කැරැක්ටර් 13කට සීමා වෙලා තිබුන බා කෝඩ් එකට තව කැරැක්ටර් එකක් ඇඩ් කලා. ඊට පස්සේ තමා සෝයි වැඩේ වුනේ. මුලින්ම බා කෝඩ් එක ප්‍රින්ට් නොවී තිබිලා ඒක හැදුවම, මෙන්න ඊට පස්සේ ඩිස්පැච් කරන තැනින් ස්කෑන් වෙන්නේ නෑ….

පස්සේ ඔන්න කෝල් කරා අදාල කම්පැනියට. අපි මෙහේ බඩු ගහලා ගහලා වෙයා හවුස් එකේ තියාගෙන ඉන්නවා දැන් බඩු යවාගන්න විදියක් නෑ උඹලෑ කෙහෙම්මල් සිස්ටම් එක නිසා කියලා. වෙලාවටම ඒ අප්‍රේල් මාසේ. ඒ දවස් වලට බඩු වලට තියෙන්නේ මාර ඉල්ලුමක්. ඇයි ඉතිං බෝනස් හම්බුවෙනවා, ෆෙස්ටිවල් ඇඩ්වානස් හම්බුවෙනවා… තව කීයක් නම් කියලද… කොහොම හරි ඔන්න ඉතිං කෝල් එක දීලා පොඩි සද්දයක් දැම්මට පස්සේ අහවල් කොම්පැනියෙන් ආවා එකෙක්. පොර අපේ කොම්පැනියට ඇවිල්ල ඇවිල්ලම මාත් එක්ක ෆිට්. මොකද මං තමා ඔය බා කෝඩ් මෙව්වා එකේ ලෝකල් ඇඩ්මින් වගේ හිටියේ. ඉතිං මටත් වැඩේ ගොඩදාගන්න බැරි වුනාම තමා සර්විස් ප්‍රොවයිඩර්ව අමතන්නේ.

පස්සේ ඉතිං ඔය ආපු මෑන්ගේ නම සිරිපාල කියමුකෝ. උගේ හෙන පොෂ් කොල්ලා, ඒත් ඉතිං ඇත්ත නම දැම්මොත් ඌට උංගේ කොම්පැනියේ වසන්න වෙන්නේ නැති නිසා ටිකක් පරන නමක් දාමු. දැන් ඉතිං සිරිපාලගේ ගමන බස් එකේ. පොරට උංගේ කොම්පැනියේ ඉඳන් අපේ කොම්පැනියට එන්න හරියටම පැය දෙකක් යනවා. හැබැයි දුර තියෙන්නේ කිලෝමීටර් දහයයි. පරක්කු වෙන්න හේතුව තමා උගේ ගෑණූ ළමයාගේ ගෙවල් තියෙන්නේ අපේ ඔෆිස් එන පාරේ වීම. එන ගමන් ඉතිං එහෙටත් ඔලුව දාලා තේ එකක් එහෙම බීලා, බත් කන වෙලාවනම් බත් තුත්තකුත් කාලා එහෙම තමා පොර අපේ කොම්පැනියට එන්නේ. ඔව්වා දන්නේ මං විතරක් නිසා හොඳයි….!!!

ඉතිං මූ ආවා අපිට අර බඩු යවාගන්න බැරුව හොඳටම හිරවෙලා හිටිය දවසෙත්. ඒ ආවෙත් ඉතිං අනාගත බූදලේ දිහාට ගාටලා තමා. එහෙං එද්දී මූට හොඳට කන්න දීලා. මූත් ඉතිං නැන්දම්මාගේ අතින් හදන කෑම කන්න ආසා නිසාම, ලෝකේ තියෙන අන්තිම කෑම වේල වගේ කාලාතමා ඇවිත් තිබුනේ. හැබැයි එදා සිරිපාලගේ නරක වෙලාව…!

මූ වෙනදට අපේ ‍කම්පැනියට ඇවිත් කෙලින්ම එනවා මාව හොයාගෙන. මග දිගට කෝල් දීලා අඩෝ උඹ ඔෆිස් නේද කියලා අහන සිරිතක් නෑ. ඒත් එදා සිරිපාලගෙන් කෝල් එකක්. මං හිතුවේ පොරට එන්න විදියක් නැතුව කතා කරනවා වෙන්න ඇති කියලා ආන්සර් කරපු ගමන්….

මචං… මං උඹලාගේ ගාඩ් රූම් එකේ ඉන්නේ… පොඩ්ඩක් වරෙන්කෝ බං මෙහාට…. කිව්වා… අපේ ගාඩ් රූම් අයට සිරිපාල එන එක අමුත්තක් නෙවෙයි. මූ ආවේ සතියකට පාරක් හරි ආවෙ නැත්තං තමා අමුත්ත. ඉතිං මට හිතාගන්නත් බෑ මේකාව ගාඩ් රූම් එකෙන් තියාගෙනයි කියලා. පස්සේ කෝකටත් කියලා මාත් ගියා. යනකොට සිරිපාලයා ඉන්නවා මූන රතූ කරගෙන, දාඩිය පෙරාගෙන විසිටර් සීට් එකක වාඩි වෙලා…

මොකද බං මෙතන කරන්නේ… මැසිම තාම මෙතෙන්ට ගෙනාවේ නෑ… ඒක තිබුන තැනමයි…

මේ විහිළු කරන්න එපා බං… මට පොඩි හදිස්සියක්…

ඇයි බං…. මොකද්ද ප්‍රශ්නේ….?

මේ ටොයිලට් එකක් තියෙන්නේ කොහොද බං…?

උඹට ඕනේ ජල මුද්‍රිත එකක්ද නැත්තං ආතල් එකේ වාඩි වෙලා කරන්න පුළුවන් එකක්ද…?

මොන රෙද්දක් හරි කමක් නෑ ඉක්මනට මාව එක්ක ගෙන පලයං බං….

මෑන්ස්ගේ මූනෙන් පෙනිච්චි විදියට තත්වේ සෑහෙන බරපතලයි. යන්න ඔන්න මෙන්න වගෙ තිවුනේ. පස්සේ ඉතිං මමත් මූව එක්ක ගෙන ගියා ඔෆිස් ස්ටාෆ් එකට තියෙන වාඩි වෙලා කරන මෙව්ව එකට. ඒක තියෙන්නෙ පඩි පෙලක් නැග්ගම තියෙන දෙවෙනි තට්ටුවේ. ගාඩ් රූම් එකේත් ඊට නොදෙවෙනි වැසිකිලියක් තිබුනා වුනාට විසිටර් කෙනෙකුට ඒකට යන්න දෙන්න පුළුවනෑ…. එහෙම නැතුව මූව මඩවන්න හිතාගෙන මං තව ටිකක් ඇවිද්දෙව්වා එහෙම නෙවේ.

පස්සේ ඉතිං පොරව උඩට එක්කගෙන ගිහිං පාටිෂන් කරපු ඇසිස් අකවුන්ටන්ගේ කාමරයේ වීදුරු වලින් මං පෙන්නවා වැසිකිලිය තියෙන තැන. ක්ලීනින් සර්විස් එකෙන් වැසිකිලිය පිරිසිදු කරන්නද කොහෙද දොර ඇරලා දාලා තිවුනේ. ඒක නිසා ඉතිං සින්ක් එකත් ඊට පොඩ්ඩක් පහලින් සිරිපාලට මේ වෙලාවේ වටිනාම වස්තුව වෙච්ච පිඟන් ගඩොල් කොමඩ් එකත් බැබලි බැබලි තියෙනවා පේනවා. සිරිපාලත් හරියට නිකං ක්ෂේම භූමියක මිරිඟුව දැක්ක මයිනා වගේ එහෙට මෙහෙට ඇඹරෙනවා.

ඒයි… ආං , වොෂ් රූම් එක… ගිහිං කරන දෙයක් කරගෙන ඉක්මනට බා කෝඩ් සිස්ටම් එක හදලා දීපිය කියලා… මට වාක්‍යය ඉවර කරන්න වුනේ නෑ මූ….

 හරි හරි බං. මට විනඩියක් දීපන් කියලා… ඇසිස් අකවුන්ටන්ගේ පාටිෂන් කරපු කාමරේ තිබ්බ ෆයිල් රැක් එකත් කාමරේ ඇතුලට වට්ටගෙන මූ දඩාං ගාලා හැපුනේ නැතෑ පාටිෂන් එකේ යට හරියේ තියෙන හාඩ් බෝඩ් එකෙයි, උඩි හරියේ තියෙන වීදුරුවෙයි…. හප්පා මට තිබුන සන්තෝසේ…. පොරගේ ඔලුව ගෙඩි ගැහිලා… අනිත් පැත්තෙන් ෆයිල් ටික  බිමිට වැටිලා…. මල මගුලයි… එතෙන.

පස්සෙ ඉතිං හැමෝම ඇවිල්ලා පොරවා පුටුවකින් වාඩි කරලා සිද්ධාලේප එහෙම ගාන්න හදද්දි මූ දිව්වා වොෂ් රූම් එකට. ඒක ඇතුලේ විනාඩි දහයක් විතර තැපලා ඇවිත් ඔන්න වැඩේ කරන්න පටන් ගත්තා. මට දැන් හිනා මුගේ රතු පාට වෙලා ඇපල් ගෙඩිය වගේ දිලිසෙන නලල දැක්කම…

මේ … සිරිපාල… මොකද බං උනේ උඹට, අර කාමරේ බිත්ති ගලෝගෙන යන්න හැදුවේ…?

යකෝ ඒ තිබුන බර උඹට තිබුන නම් ඒත් එච්චර තමා… ඕයි කොමඩ් එක දැක්කම දිවියලෝකේ ගියා වගේ වුනා බං. මට අමතක වුනා එතෙන පාටිෂන් එකක් තියෙන බව… ඒ මාව චාටර් වෙයිද බං…? (පිස්සුද බං උඹව එහෙම චාටර් කරනවද මං…  )

අනේ ඉතිං ඒක අහලා මං නම් හිනා වුනේ නෑ… පව්නේ නේද… මොනා වුනත් බර වැඩි කමටනේ පාටීෂන් ගලෝගෙන යන්න හදන්න ඇත්ත.  අනික මේ කියනකං මං කටේ කෙල බිඳක් බිම හෙලුවේ නෑ. සිරිපාල පල්ලා සත්තයි.

 දැන් ඉතිං සිරිපාලගේ ඔෆිස් එකේ මේක කියවන අය සිරිපාලව අඳුන ගත්තොත් වෙන ව්‍යවසන වලට මං නම් නෑ ඕං… මෙව්වා ඉතිං නොකියා හංගගෙන ඉඳල වැඩකුත් නැහැනේ…

%d bloggers like this: