සීනියර් ඉංජිනේරු මහත්තයාගේ වතුර බෝතලේ…

ඉංජිනේරුවෝ වුනත් ඉතිං වතුර තිබහ හැදෙනවනේ. එත‍කොට එයාලා බොන්නෙත් අපි බොන වතුරම තමා. ඒ වුනාට ටිකක් අමුතු ඉංජිනේරුවෙක් ඉන්නවා අපේ ෆැක්ටරියේ. පොරගේ සර්විස් එක අවුරුදු පහලොවකට වැඩියි, අපේ කම්පැනි නෙට් වර්ක් ඇතුලේ විතරක්. ඒකනේ එයාට සීනියර් ඉංජිනියර් කියන්නේ.

ඉතිං මට දවසක් දා පොර නැති වෙලාවක යන්න වුනා මෑන්ගේ කාමරේට. ඒ යන්න වුනේ පොරගේ ඒ.සී මැසිම සර්විස් කරන්න කියලා කට්ටියක් ඇවිත් හිටිය නිසා කාමරේ ඇරලා ඒ වැඩ ටික ඉවර වෙනකං කම්පැනියේ කෙනෙක් පොඩ්ඩක් රැ‍ඳෙන්න ඕනේ නිසා. පස්සේ ඉතිං සර්විස් එකට ආපු කට්ටියයි මමයි ගිහිං වැඩේ පටන් ගත්තා. මට එතෙන කරන්න වැඩක් නැති නිසා ඒ.සි එක ගලවල සර්විස් කරන දිහා බලාගෙන මාත් ලඟ තිබ්බ පුටුවකට වෙලා වාඩි වෙලා ඉන්නවා. ඔහොම ඉද්දි ඉතිං සිනියර් ඉංජිනේරු මහත්තයාගේ මේසෙ උඩත් නිකමට වගේ බැළුනා.

ඒකෙ ලස්සන…..! හරියට නිකං දුම්බර පැදුරක් වගේ. එක එක පැත්තට එක එක පාට එක එක ජාතියේ කඩදාසි වලින් පිරිලා. මොනා වුනත් පොර හොඳ කලා ඇසක් තියෙන පොරක්. නැත්තං කවදාවත් ඒ වගේ රටාවක් මවන්න ඇහැකි මොන දෙවියන්ටද. ඊට පස්සේ මාත්… හ්ම්… කියලා සුසුමක් පිටකරන ගමන්ම බැළුවා මේසෙ කෙරෝලේ තියෙන එක එක අයිටම් දිහා. මෙයා ඉතිං ඉංජිනේරුවෙක්නේ, ඒක නිසා අර කඩදාසි වලට උඩින් එක එක විදියේ යකඩ කෑලි, එත‍කොට එක එක අයිටම් වල ප්ලාස්ටික් ප්‍රොටෝ ටයිප් අයිටම් කෑලි එහෙම හැම තැනම. ඒ අස්සෙන් තියෙනවා වීදුරු බෝතලේකුත්. ඒක තමා පොරගේ වතුර බෝතලේ.

ඒක නිකංම නිකං ප්ලේන් වීදුරුවෙන් හදපු අරක්කු බෝතලයක් වෙන්න ඕනේ. හැබැයි බෝතලේ අඩිය හරියේ ලස්සන කොල පාටක් වැටිලා තිබුනා. මං හිතුවේ මේසේ හැටියට කොල පාට කඩදාසියක්වත් බෝතලේට යට වෙලා වෙන්න ඇති කියලා… මාර ලස්සන කලර් ඉෆෙක්ට් එකක් ඒක. පස්සේ ඉතිං තව ටිකක් කිට්ටු කරලා බැළුවා.

අප්පච්චියේ… ඒක කලර් ඉෆෙක්ට් එකක් නෙමේ… බෝ‍තලේ අඩියේ දිය සෙවෙල බැඳිලා…  

මට එවෙලේ ඇතිවෙච්ච අප්පිරියාව ටික දවසක් යනකං තිබුනා. එදායින් පස්සේ අනිත් වතුර බෝතල් දකිද්දිත් මං බලන්නේ අඩියේ දිය සෙවෙල තියෙනවද කියලා. කොහොම කොහොම හරි ඔය විදියට සතියක් විතර ගියා. මං ඉතිං ඔය සීන් එක ගිහිං අපේ බොස්ටත් කිව්වා. මෙන්න පොර ඉංජිනේරු මහත්තයාගෙන්  මං ඉන්න තැනම දවසක් දා ඇහුවා දිය සෙවෙල බෝතලේ සීන් එක….

ඔන්න සිනියර් ඉංජිනේරු මහත්තයා කියනවා…

ආහ්… ඒ දියසෙවෙල නෙමේ…  ඖෂධීය ගුණයක් තියෙන ඇල්ගී වර්ගයක්…!

අනේ ඉතිං කාට කියන්නද… මායි බොසයි කට වහගෙන… හ්ම්…. කියලා නිකං හිටියා. පස්සේ ඉතිං නිකමට අහෙන් මෙහෙන් විපරම් කරලා බලද්දී සිනියර් ඉංජිනේරු මහත්තයා බෝත‍ලේ මාරු කරලා. ඇයි ඉතිං කියන්න බැහැනේ… තව කවුරු දැකලා ඖෂධීය ඇල්ගී වලට විහිළු කලොත් එහෙම දිය සෙවෙල කියලා…..!

ඒකත් නිකං අර ප්ලේන්ටි හත්ත වගේ එකක් වෙන්ඩ ඇති මයෙ හිතේ…

%d bloggers like this: