උඹ හා නුඹ නිසා මම…

ඉස්සර ස්කෝලෙ යද්දී මොකද්දෝ මන්දා උත්සවයකට නාට්‍යයක් ඉදිරිපත් කරන්න ඕනේ කියලා අපේ පන්තිභාර මිස් කිව්වා. පන්තියේ අනිත් එවුන්ට වගේම ඉතිං මටත් ඒ දවස් වල ඔය නාට්‍යයකට මූන දාන්න හම්බුවෙන එක හෙන සන්තෝසයි. ඇයි ඉතිං කවද ලැබෙන චෑන්ස්ද… පස්සේ ඉතිං ගෙවල් වලට එහෙමත් ගිහිං කියලා ඇඳුම් පැළඳුම් ලෑස්ති කරගන්න ඕනේ කියලා ටිකක් ලොකු දඩයක් ගැන වෝර්නින් එකකුත් දුන්නා. ඇයි ඉතිං වෙනමම ඇඳුම් ලෑස්ති කරන්න ඕනේ… තව මොනා මොනා හරි සැරසිලි කරන්නත් තියෙනවනේ. පස්සේ කියලා බැනුම් අහනවට වැඩිය හොඳයිනේ මුලින්ම කියලා දැනුවත් කරලා තියන එක කියලා හිතලා මාත් එහෙම කිව්වට මොකද මං ඒ වෙද්දී නාට්‍යයට තේරිලාවත් හිටියේ නෑ.

පස්සේ ඉතිං ආයෙම ටික දවසකින් අපේ මිස් කතා කලා පන්තියේ ළමයින්ට. කතා කරලා ළමයි දහ දෙනෙකුට විතර චරිත දුන්නා. අනේ වාසනාවන්…! මටත් චරිතයක් හම්බුනා. දැන් ඉතිං අනිත් චරිත නොලැබුන තිහක් විතර දෙනා ඉන්නවා මූන එල්ලගෙන. අපේ මිස් නිකමටහරි සත්තු වත්තක නාට්‍යයක් කරන්න හිතාගෙන හිටියනම් අනිත් අයටත් පොඩි සලමලයෙක්ගේ හරි බච්චිච්චෙක්ගේ හරි කොටසක් දෙන්න තිවුනා අනිත්. අනික ඉතිං ඌරොන්ගේ, වලස්සුන්ගේ, කොටියන්ගේ, නරියන්ගේ, ඔර්සමටුල්ලන්ගේ, වවුලන්ගේ චරිත එහෙම ස්කෝලේ වෙලාවෙදිම රඟපාන එවුන්ම කීදෙනෙක් කියලා හිටියද…!

පස්සේ නොචරිත අයව ගත්තා සපෝට් සර්විස් එකට. ඒ කියන්නේ සැරසිලි වලට, වතුර අදින්න වගේ වැඩ වලට. ඒකත් ඉතිං වුන්ට ලොකු සතුටක්. කොහොමත් නාට්‍යයට ඉන්න අපිට වඩා ජොලි සපෝට් සර්විස් ටීම් එකට.

ඉතිං ඔන්න අපිට දවසකින් හම්බුනා ටයිප් රයිටර් එකෙන් ටයිප් කරලා ෆොටෝ කොපි කරලා කහ පාට හයිලයිටර් එකෙන් හයිලයිට් කරපු ඩයලොග්ස් තියෙන ස්ක්‍රිප්ට් එක. දහදෙනාටම එක කොපිය ගානේ. මට මතකයි ඒ දවස් වල ඒකටත් අපෙන් රුපියල් 20ක්ද කොහෙද ගත්තා. පස්සේ ඉතිං මිස් කිව්වා ගෙදර ගිහිං හොඳට, තමන්ට අයිති ඩයලොග්ස් ටික කට පාඩම් කරගෙන එන්න හෙට රියසල් එකක් තියනවා කියලා. ඉතිං ගෙදර ගිහිං අනිත් අය වගේම ලොකු ලොකු බලාපොරොත්තු ඇතුව මාත් පටන් ගත්තා වැඩේ. නාට්‍යය දාට වෙන ස්කෝල වලිනුත් ළමයි එනවලුනේ. ගෑණු ළමයිනුත් ඒවිනේ…! ඒක නිසා ඉතිං මේ ඩයලොග් ටික හොඳට පාඩම් කරගෙන නාට්‍යය හොඳින් කරන්න ඕනේ… එතකොට ඉතිං දකින දකින තැන… ආව්…. කොහොමද මල් හිනා ගොඩක් එක පාර කියද්දී… ආ…අර එදා අහවල් ස්කෝලේ නාට්‍යයට හිටිය කෙනා නේද කියල, කාටද ආඩම්බර…!

ඒක නිසා ස්කෝලේ සිංහල පොතේ තිබුන කවි පාඩම් නොකරත්, බුද්ධාගම පොතේ ගාථා පාඩම් නොකරත් කොහොම හරි කරලා මේ ඩයලොග් ටික මතක තියා ගන්නවා කියලා හිතාගෙන වැඩේ පටන් ගත්තා. ටික වෙලාවක් යද්දී වැඩේ තරමක් සාර්ථකයි. මෙන්න මට ඩයලොග් වලින් ටිකක් කට පාඩම්….! ඉතිං නාට්‍යයට තව කල් තියෙන නිසා ඉතුරු ටික හිමීට කරගන්න බැරියෑ කියලා පොඩ්ඩක් පස්සට දැම්මා.

පස්සේ ඔන්න ඊට පස්සෙන්දා ස්කෝලේ ගියා පස්සේ ඉතිං ඉන්ටවල් එකෙන් පස්සේ අපිව ගත්තා රියසල් වලට. ඉතිං කොයිතරම් පාඩම් කරත් තැන් තැන් වලින් ඩ‍යලොග් වලින් අමතකයි. ඒක නිසා හැමෝම වගේ තමන්ට කලින්දා දුන්න ස්ක්‍රිප්ට් එක අතේ තියාගෙන තමා හිටියේ. ඉතිං ඔහොම නාට්‍යය පෙර පුහුණු වීම කරගෙන යද්දි මගෙ කොටහ ආවා.

ඇයි එහෙම කලේ…. උඹට තිබුනේ එහෙම නොකර ඉන්න… කියලා කියාගෙන යද්දීම

හා… හා… නවත්තන්න නවත්තන්න…. කියලා අපේ මිස් පැන්නේ නැද්ද රියසල් මැද්දට. වටේම එවුන් බලාගෙන ඉන්නවා ‍මොකද වුනේ කියලා. අනික මටත් බයයි, මං වැරදිලා හරි අනුන්ගේ දෙබසක්වත් කියලද කියලා. පස්සේ ඉතිං මිස් ඇවිල්ලා කරුනු පැහැදිලා කලා.

ළමයෝ… ඔතෙන තියෙන්නේ උඹ කියලා නෙමෙයිනේ… නුඹ කියලනේ… ඇයි ඔයා උඹ කිව්වේ…?

අප්පටසිරි ඇත්තනේ…. නුඹ කියලා නේන්නම් තියෙන්නේ. මේක ලියපු එකා ලියලා තියෙන්නේ තනිකම ලියන භාෂාවෙන්නේ…. දැන් ඉතිං මටත් අප්සට්… පළවෙනි රියසල් එකේම දෙබස වැරැද්දුවනේ. අනිත් එක අර සපෝට් සර්විස් එකේ එවුන්ගේ කින්ඩි හිනාව සහ හූ හඬ. පස්සෙ ඉතිං මිස් ඇවිල්ලා කිව්වා අනිත් තැන් හරියට කියන්න කියලා. මාත්, හා.. හරි මිස් කියලා කිව්වට අනිත් හැම තැනකදිමත් මට කියවුනේ උඹ කියලමයි.

ඇයි දෙයියෙන් පන්තියේ ගෑණු ළමයින්ට උයා, මෙයා කියලා කතා කරාට පන්තියේ කොල්ලොන්ට කතා කරන්නේ උඹ කියලමනේ. අනික ඉතිං කවදාවත් පන්තියේ එකෙකුට නූඹ එහි පල කියලා කියන සිරිතක් තියෙනවැයි තෝ පලයන් කියනවා මිසක්. ඉතිං කොයිතරම් කට පාඩම් කරගෙන ස්ටේජ් එකට නැග්ගත් ඒ වෙලාවට තියෙන අර අමුතු බය ගතිය නුඹ කියල කියවෙන්නෙම නැතුව ගියා. පස්සේ ඉති කෝම හරි මට සිද්ද වුනේ උඹ හා නුඹ නිසා මගේ නාට්‍යමය අනාගතේ සුනේ සුන් කොරගන්න. කොටින්ම කියනවනම් මාව සපෝට් සර්විස් දාලා එකේ හිටිය එකෙක්ව ගත්තෙනැතෑ මං කරපු චරිතෙට. පස්සේ ඉතිං මට වුනේ මං වැරදියට කියලා කෙලවගත්ත දෙබස් ටික අනිත් මෑන් කියනකොට කට ඇරගෙන බලාගෙන ඉන්න.

අන්තිමේ මං හිතාගත්තා, අනේ මට ඒ නාට්‍යෙය් රඟපාන්න අවස්ථාවක් නොලැබුන එක කොයිතරම් හොඳද… නැත්තං මට අනිත් ස්කෝල වල කෙල්ලන්ගෙන් විසුමක් වෙන්නේ නෑනේ… කියලා පොලියානා තියරිය දාලා හිත හදා ගන්නවා කියලා…

නැත්තං මට ෆ්‍රෙන්ඩ් ෂිප් බුක් වල අත්සන් කරන්නයි, ගෑණු ළමයි අහන එව්වට උත්තර දෙන්නයි… අම්බෝ…. කීයක් කියලා වැඩ සෙට් වෙනවද…! ගෑණු ළමයි මාව ඉඹින්නත් තිවුනානේ එහෙනම්….! මගේ හොඳ වෙලාවට මට උ යන්නයි නු යන්නයි මාරු වුනේ… නැත්තම්… හ්ම්ම්ම්ම්ම්……!

%d bloggers like this: