රිලා පැටියා කාලේ, මතක…!

ඊයේ බස් එකේ යද්දී මගක් හරියෙන් බස් එකට නැග්ගා චූටි කොලු පැටියෙක්ව වඩාගත්තා අම්මා කෙනෙක්. පවු ඒ අම්මා කොහේ හරි ඔෆිස් එකක වැඩ කරලා ගෙදර යන ගමන් වෙන්න ඕනෙ. පුංචි එකා, දකුණු අත අම්මගේ බෙල්ල පිටිපස්සෙන් දාලා… වම් අත මූන පැත්තෙන් දාලා අම්මගේ බෙල්ල බදාගෙන…. පොඩි එකා හරිම සන්තෝසෙන්. අම්මටත් ඒ පුංචි එකාගේ හිනාව නිතරම පේන නිසාද කොහෙද පොඩ්ඩක්වත් මහන්සි පාටක් නෑ. ඒ ආදරණිය නිමේෂය දැකපු මටත් මගේ පුංචි කාලේ මතක් වුනා…!

ඉස්සර මට අවුරුදු තුනක් විතර කාලයේදී අම්මා යන යන තැන මාව වඩාගෙන යන්න ඕනේ. නැත්තං කොල්ලා යුද්ධ ප්‍රකාශ කරනවලු. ඒ අම්මගේ උණුසුමට අසීමිතව ආදරේ කරපු නිසා වෙන්න ඇති…! කොහොම හරි මටත් මතකයි මං අම්මගේ කොන්ඩ කරලයි බෙල්ලයි අතරින් අතදාලා දකුණු අත අම්මගේ වම් උරේ තියාගෙන වම් අතේ අම්මා අරං දෙන මොනා හරි කෑමක් තියාගෙන පෙරේත කමට ටික ටික කකා යන හැටි.

ඒ දවස් කොයි තරම් ලස්සනද. අම්මගේ ආදරේ මැද්දේ හිත ‍රිදෙන්න කිසිම දෙයක් නෑ. හරියට හැම වේදනාවකටම වේදනා නාශකයක් තියාගෙන ඉන්න දෙවි කුමාරියක්වගේ… දැන් වුනත් හිත රිදෙන හැම වෙලාවකම මතක් වෙන්නේ අම්මා ගාවට වෙලා ඉන්න තියේනම් කියලා. හැම තිස්සෙම ඔලුව අතගගා, හැම තත්පරේකම කොල්ලා කරන දඟවැඩ ගැන ඇහැගහගෙන උන්නට, ඒවට කලගුණ සලකන්න තරම් ගුණ දහම් අතින් තාමත් පෝසත් නැහැ මම. කොයිතරම් හොඳ වුනත් ඒ තරම් සෙනෙහසකට සමාන කරලා හිලව් කරන්න කිසිම දෙයක්, කිසිම වත්කමක් මයෙ ගාව නෑ. මං කොයිතරම් දුප්පත්ද ඒ අතින්..! කොයි තරම් සල්ලි තිබුනත්, තව මොනා මොනා තිබුනත් ඒ කිසි දේකට මවු සෙනෙහසට ලං වෙන්න බැරි බව තේරෙන්නේ අපි ලොකු මහත් වෙලා සමාජයත් එක්ක හැප්පිලා, අත්දැකීම් වලින් ජීවිතය පුරෝගෙන ඉස්සරහට යද්දී.

කවදාවත් මාව අතින් බිමට වැටෙන්න නොදී, කොයිතරම් අත් දෙක රිදුනත්, දැන් බිමට බහින්න පුතේ කියලා කිසි දවසක අම්මගේ කටින් කියලා නැති බව මට හොඳට මතකයි. සමහර දාට තාත්ත ඇවිත් දැන් අම්මට මහන්සියිනේ ඔයාව වඩාගෙන ඉඳලා කියලා මාව තාත්තගේ අතට අරගත්ත බවත් මතකයි. කවදාවත් කිසිම වෙලාවක ඔයාව වඩාගෙන ඉඳලා මහන්සියි නොකියන්න තරම් ඒ හිතේ කොයිතරම් ආදරයක් පිරිලා තියෙන්න ඇත්ද… කොයි තරම් ඒ අත් දෙක රිදෙන්න ඇතිද…!!!

දවසක් දා හවස් වරුවක… මං අම්මා එක්ක එයාගේ වැඩ කරපු තැනට ගිහිං ගෙදර යද්දී හොඳටම හවස් වෙලා. පස්සේ අම්මා මාව වඩාගෙන බස් එකට නගින්න හදද්දී බස් එකෙත් හොඳටම සෙනගලු. එදා අම්මා මාව අයිනේ සීට් එකක වාඩි වෙලා අම්මගේ යාලුවෙක්ගේ අතට දුන්නලු ජනේලෙන්. පස්සේ අම්මා අමාරුවෙන් ෆුඩ් බෝඩ් එකේ හිටගෙන ඇවිත් තියෙන්නේ. එදා මං අම්මා අල්ලගෙන හිටිය ෆුඩ් බෝඩ් එකේ බාර් එක අතකින් අල්ලගෙන අනිත් අතින් අම්මගේ අත තදින් අල්ලගෙන අම්මගේ අත උඩින් මූන තියාගෙන ඇඬුවලු හොඳටම. හේතුවක් මතක නෑ, සමහර විට අම්මා එක දශමයක් හරි දුරින් හිටිය නිසා වෙන්න ඇති.

ඊට පස්සෙ ඉතිං මොන්ටිසෝරි යන්න ගත්තට පස්සෙ නම් මාව වඩාගන්න එක අඩුවුනා. එතකොට ඉතිං මං ලොකුයිනේ. ඒක නිසා වෙන්න ඇති. නැත්තං සමහර අම්මගේ යාළුවෝ විහිලු කලානේ  අම්මට දැන් කකුල් දෙක බිම ගෑවෙනවා ඇයි මේ කොල්ලව වඩා ගෙන ඉන්නේ කියලා… ඒක නිසාද දන්නෙත් නෑ….

පස්සේ ඉතිං කාලයත් එක්ක ඒ උණුසුම මග ඇරිලා ගිහිල්ලා. දැන් නම් මොකද්දෝ හේතුවක් නිසා ආයෙමත් අම්මගේ අතට පැනලා හුරතල් වෙන්න හිතෙනවා. ඉස්සර නම් ඉතිං මූන රතු වෙනකං ඉඹියි, දැන් නම් දූපිය පැත්තකට එනවා මෙතෙන හුරතල් වෙන්න කියලා එලෝලා දායි. ඒත් ඉතිං එහෙම කරන්නෙත් ආදරෙන් වුනාට, අම්මට දැනෙන්නේ නැහැනේ එහෙම කලාම කොල්ලගේ හිතට දැනෙන වේදනාව…! ඒ වුනාට ඉතිං අදටත් හෙවනැල්ල වගේ ඉන්නේ අම්මම තමා…! මාව බිමින් නොතියා වඩාගෙන හිටිය පිනම ඇතිනේ තව කාලයක් ශක්තිමත්ව නිරෝගීව ජීවත් වෙන්න…!

මයෙ ගාව නැහැනේ ඒ දවස් වල රිලා පැටියා වගේ අම්මාගේ අත්දෙකට  වෙලා හිටිය ෆොටෝ එකක්වත් ආසාවට බලන්න.  ඒ නැතත් අයෙමත් එක පාරකට හරි චූටි කාලෙට ගිහිං එන්න තියෙනවනම්…!

43 Responses to “රිලා පැටියා කාලේ, මතක…!”

  1. Observer Says:

    මගෙ ගාව නං ඒ වගේ ෆොටෝ එකක් තියෙනව, ඒ වුනාට කාටවත් පෙන්නන්න බෑ, ඒකෙ මං ඉන්නෙ කොන්ඩ කරල් දෙකක් ගොතල කෙල්ලෙක් වගේ….

  2. Weni Says:

    යන්න බැරි වුනත් හැබහින් ඔය සුන්දරම කාලෙට.. හිතින් පියමං කරන්න පුළුවන්..

  3. chathumithu Says:

    උකුළට නාවත් එදා වගේ… මා පොඩි පුතු අම්මේ… යොදුනක් ඈතින් උන්නත් මා… මා ඔබ ලග අම්මේ…

  4. හංසකිංකිණි Says:

    හරිම හැඟීම්බර සටහනක් මල්ලි!!!! මං පුංචිකාලෙ මගෙ කකුල් පුරාම තුවාල හැදිල තිබුණ.. ඒ නයි කූඹි කාල…. වැහි කාලෙ ගෙදර වී තම්බල වේලෙන්නෙ නැති වුණාම ගෙට ගන්නව නෙ… ඉතිං ඒව අරං යන්ඩ එන නයි කූඹි පෙරහැරවල් බලන්ඩ ගියාම මාව කූඹි කාල ( ඔන්න අද නං හරියට ලිව්ව) මට නං තාමත් මතකයි අම්මයි තාත්තයි මාව වඩාගෙන බෙහෙත් ගන්ඩ ගිහින් තුරුණෑගල නාවින්න ඉස්පිරිතාලෙ කොරිඩෝවල හිටගෙන හිටපු හැටි… දෙන්න මාරුවෙන් මාරුවට මාව වඩා ගන්නව… ඉඳගන්ඩවත් තැනක් නෑ… කකුල් රිදෙන නිසා මම අඬනව වඩාගන්ඩ කියල… අම්මයි තාත්තයි දෙන්න මාව වඩාගෙන අරගත්ත ෆොටෝ ගෙදර ඇල්බම් එකක් තිබුණ මතකයි… බලන්ඩ ඕනෙ කොහෙද කියල….

  5. pissa palaamalla Says:

    අම්ම කෙනෙක් ගේ… තාත්ත කෙනෙක් ආදරේට සමකරන්න ආදරයක් නෑ බන්…. සංවේදී සටහනක්… ගෙදර මතක් උනා

  6. ගිනි කුරුල්ලා Says:

    මේ ලෝකේ නොවෙනස්ව පවතින එකම ආදරේ අම්මගෙන් ලැබෙන සෙනෙහස විතරයි…

  7. praveena Says:

    පව් අනේ… මටත් අම්මා මතක් වෙලා හරි දුක හිතුනා. දැන් කාලේ පිරිමි ලමයිනුත්, එයාලගේ හැඟීම් මෙහෙම සටහන් කරන එක ලොකු දෙයක්. අම්මා මේක දැක්කොත් එයා කොච්චර ආසාවෙයිද?

    අම්මලා, අප්පච්චිලාගේ ආදරය මනින්ට මිම්මක් තාම කාටවත් හදාගන්ට බැරිවෙලා තියෙන්නේ මේ හන්දයි මාලුවෝ. ඒකට සීමාවක් නෑ.

    අහලා තියනවද මේ කතාව.

    “God could not be everywhere and therefore he made mothers.”

  8. maathalan Says:

    සමහර දරුවන්ට මේ සෙනෙහස නොලැබෙනවා කියන්නේ කොච්චර දුකක්ද…?

  9. රූ Says:

    හරිම ලස්සන පෝස්ටුවක් මාළුවෝ..අම්මටයි පුතාටයි දෙන්නටම සුභ පතනවා..

  10. කස්සා Says:

    අපේ අම්මල අපි වෙනුවෙන් කරල තියන කැපවීම් මේ ලෝකෙ වෙන කිසිම ගෑගැණියකට කරන්න බැ.ආදරෙත් එහෙම තමා.ඉතින් එහෙම අම්මට නොසලකා හැරියොත් ඌට යන්න වෙනම අපායවල් හදන්න වෙනව.මටත් මගේ පුංචිකාලේ මතක් වුනා.පෝස්ට් එකට පිං

  11. ඕනයා (Dulip Sikurajapathy) Says:

    අපි කොච්චර බර උනත් ඒ බර අම්මට තාත්තට බරක් නෙමෙයි බං . . . මට දුක මං වෙනුවෙං දුක් විඳපු මගෙ අම්ම වෙනුවෙං මට කිසිම දෙයක් කරන්න බැරි උන එක ගැන.

  12. Kasun Chanaka Says:

    ඔය පුංචි කාලේ තුරුළු වෙලා ඉන්න උණුසුම කාලයක් යද්දී අමතක වෙන එක ගොඩක් අයට තියන දෙයක්. ඊට පස්සේ ටික කාලෙකදී ආයෙත් ඒ උණුසුම ඕන වෙනවා ඉස්සරටත් වඩා. හැබැයි එතකොට පරක්කු වැඩි වෙන්න පුළුවන්.

  13. මධුරංග Says:

    අයියගේ කතාවට හිස නමමි !!! 🙂
    අපිට කොයියම්ම අමාරුවක් උනත් එකපාරටම නොදැනුවත්ව හරි කියවෙන වචනේ තමා ‘අම්මෝ ‘ කියන එක. එහෙම වෙන්නේ අම්මගේ ආදරේ තිබ්බා නම් අපට මෙහෙම වෙන්නේ නෑ කියන හන්දා වෙන්නැති. අම්මා කෙනෙක්ගේ ආදරේ ලියලා නිම කරන්න නම් බැරි වෙයි. 🙂

  14. පන්සල් හංදිය Says:

    හිතට දැනෙන්න ලියලා තියනවා ………
    දැන් නං ඉතිං අම්මට උඹව හුරතල් කොරන්න වෙන්නෙ බියර් බෝතලේකට සූප්පුවක් ගහලා තමා ……

  15. X-Porter Says:

    කොල්ලො අපිට අම්ම අපිව බිමින් තියල කියල හිතුනට අම්ම අපිව තාම වඩාගින ඉන්නෙ… අම්ම කෙනෙක්ගෙ මුලු ජීවිතේ පුරාවටව අපිව වඩා ගෙන තමයි ඉන්නෙ කව දාවත් අපිව බිමින් තියන්නේනෑ..

    ගව් ගානක් දුර ඉන්න මට සුමානෙට දවස් දෙකක් කතාකරේ නැත්තම් එයාට ඉවසුමක් නෑ….උඹ දන්නවද මලුවො දවසක් මට මෙහෙදි උනක් හැදුනා…. එදා උදේ පාන්දරම කතාකරල අහනව ලමයො ඔයාට දැන් කොහොමද කියල… මාව උඩ ගියා.. මම ඇහුව ඇයි අම්මෙ කියල… එතකොට නෑ ඔයාට සනීප නැතිවෙලා ඉන්නව මම හීනෙන් දැක්ක කියල… ඉතිං මං මොනවද කියන්නෙ මාලුවො…. අම්මලට අපිව හැ‍ඟෙනව… ඒක පුදුම දෙයක්… ඇයි බං උඹ එක පාරටම අපිව අඬවන්න පටං ගත්තෙ…. උඹට ගෙදර හියාම අම්ම ඉන්නව.. මේ කූටකේ ඉන්න අපිට…. ?

  16. Giza Says:

    මචන් මම් අද ගොඩක් දවසකින් මේ පත්තේ අවේ මෙක කියවනකොට බන් මටත් නොදෑනිම කදුලු වෑටුන මේ වගේ දුර රටකට අවිත් ඉන්න වෙන කොට අම්මගේ අසිමිත ආදරය මතක් උනම මෙ ඔක්කොම දමල ගහලා අයමත් ලංකාවට දුවල එන්න හිතෙනවා.අපේ අමම් මම වේනුවෙන් මහා දුක් කන්දරාවක් විදපු මනුස්සයෙක් ඒ හෑම දෙයක්ම මෙක කියවගෙන යන වේලාවෙදි මෑවිලා පෙනුනා.

  17. Namal Says:

    කොයිතරම් හොඳ වුනත් ඒ තරම් සෙනෙහසකට සමාන කරලා හිලව් කරන්න කිසිම දෙයක්, කිසිම වත්කමක් මයෙ ගාව නෑ. මං කොයිතරම් දුප්පත්ද ඒ අතින්..!

    කදුලක් වැටුනේ නොදැනීම———
    කොහොමද මෙච්චර ලස්සනට ලියන්නෙ
    ඔබ වැනි පුතෙක් බිහිකල ඒ වාසනාවන්ත මෑණියන්ට නිදුක් නිරෝගී සුව


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: