රිලා පැටියා කාලේ, මතක…!

ඊයේ බස් එකේ යද්දී මගක් හරියෙන් බස් එකට නැග්ගා චූටි කොලු පැටියෙක්ව වඩාගත්තා අම්මා කෙනෙක්. පවු ඒ අම්මා කොහේ හරි ඔෆිස් එකක වැඩ කරලා ගෙදර යන ගමන් වෙන්න ඕනෙ. පුංචි එකා, දකුණු අත අම්මගේ බෙල්ල පිටිපස්සෙන් දාලා… වම් අත මූන පැත්තෙන් දාලා අම්මගේ බෙල්ල බදාගෙන…. පොඩි එකා හරිම සන්තෝසෙන්. අම්මටත් ඒ පුංචි එකාගේ හිනාව නිතරම පේන නිසාද කොහෙද පොඩ්ඩක්වත් මහන්සි පාටක් නෑ. ඒ ආදරණිය නිමේෂය දැකපු මටත් මගේ පුංචි කාලේ මතක් වුනා…!

ඉස්සර මට අවුරුදු තුනක් විතර කාලයේදී අම්මා යන යන තැන මාව වඩාගෙන යන්න ඕනේ. නැත්තං කොල්ලා යුද්ධ ප්‍රකාශ කරනවලු. ඒ අම්මගේ උණුසුමට අසීමිතව ආදරේ කරපු නිසා වෙන්න ඇති…! කොහොම හරි මටත් මතකයි මං අම්මගේ කොන්ඩ කරලයි බෙල්ලයි අතරින් අතදාලා දකුණු අත අම්මගේ වම් උරේ තියාගෙන වම් අතේ අම්මා අරං දෙන මොනා හරි කෑමක් තියාගෙන පෙරේත කමට ටික ටික කකා යන හැටි.

ඒ දවස් කොයි තරම් ලස්සනද. අම්මගේ ආදරේ මැද්දේ හිත ‍රිදෙන්න කිසිම දෙයක් නෑ. හරියට හැම වේදනාවකටම වේදනා නාශකයක් තියාගෙන ඉන්න දෙවි කුමාරියක්වගේ… දැන් වුනත් හිත රිදෙන හැම වෙලාවකම මතක් වෙන්නේ අම්මා ගාවට වෙලා ඉන්න තියේනම් කියලා. හැම තිස්සෙම ඔලුව අතගගා, හැම තත්පරේකම කොල්ලා කරන දඟවැඩ ගැන ඇහැගහගෙන උන්නට, ඒවට කලගුණ සලකන්න තරම් ගුණ දහම් අතින් තාමත් පෝසත් නැහැ මම. කොයිතරම් හොඳ වුනත් ඒ තරම් සෙනෙහසකට සමාන කරලා හිලව් කරන්න කිසිම දෙයක්, කිසිම වත්කමක් මයෙ ගාව නෑ. මං කොයිතරම් දුප්පත්ද ඒ අතින්..! කොයි තරම් සල්ලි තිබුනත්, තව මොනා මොනා තිබුනත් ඒ කිසි දේකට මවු සෙනෙහසට ලං වෙන්න බැරි බව තේරෙන්නේ අපි ලොකු මහත් වෙලා සමාජයත් එක්ක හැප්පිලා, අත්දැකීම් වලින් ජීවිතය පුරෝගෙන ඉස්සරහට යද්දී.

කවදාවත් මාව අතින් බිමට වැටෙන්න නොදී, කොයිතරම් අත් දෙක රිදුනත්, දැන් බිමට බහින්න පුතේ කියලා කිසි දවසක අම්මගේ කටින් කියලා නැති බව මට හොඳට මතකයි. සමහර දාට තාත්ත ඇවිත් දැන් අම්මට මහන්සියිනේ ඔයාව වඩාගෙන ඉඳලා කියලා මාව තාත්තගේ අතට අරගත්ත බවත් මතකයි. කවදාවත් කිසිම වෙලාවක ඔයාව වඩාගෙන ඉඳලා මහන්සියි නොකියන්න තරම් ඒ හිතේ කොයිතරම් ආදරයක් පිරිලා තියෙන්න ඇත්ද… කොයි තරම් ඒ අත් දෙක රිදෙන්න ඇතිද…!!!

දවසක් දා හවස් වරුවක… මං අම්මා එක්ක එයාගේ වැඩ කරපු තැනට ගිහිං ගෙදර යද්දී හොඳටම හවස් වෙලා. පස්සේ අම්මා මාව වඩාගෙන බස් එකට නගින්න හදද්දී බස් එකෙත් හොඳටම සෙනගලු. එදා අම්මා මාව අයිනේ සීට් එකක වාඩි වෙලා අම්මගේ යාලුවෙක්ගේ අතට දුන්නලු ජනේලෙන්. පස්සේ අම්මා අමාරුවෙන් ෆුඩ් බෝඩ් එකේ හිටගෙන ඇවිත් තියෙන්නේ. එදා මං අම්මා අල්ලගෙන හිටිය ෆුඩ් බෝඩ් එකේ බාර් එක අතකින් අල්ලගෙන අනිත් අතින් අම්මගේ අත තදින් අල්ලගෙන අම්මගේ අත උඩින් මූන තියාගෙන ඇඬුවලු හොඳටම. හේතුවක් මතක නෑ, සමහර විට අම්මා එක දශමයක් හරි දුරින් හිටිය නිසා වෙන්න ඇති.

ඊට පස්සෙ ඉතිං මොන්ටිසෝරි යන්න ගත්තට පස්සෙ නම් මාව වඩාගන්න එක අඩුවුනා. එතකොට ඉතිං මං ලොකුයිනේ. ඒක නිසා වෙන්න ඇති. නැත්තං සමහර අම්මගේ යාළුවෝ විහිලු කලානේ  අම්මට දැන් කකුල් දෙක බිම ගෑවෙනවා ඇයි මේ කොල්ලව වඩා ගෙන ඉන්නේ කියලා… ඒක නිසාද දන්නෙත් නෑ….

පස්සේ ඉතිං කාලයත් එක්ක ඒ උණුසුම මග ඇරිලා ගිහිල්ලා. දැන් නම් මොකද්දෝ හේතුවක් නිසා ආයෙමත් අම්මගේ අතට පැනලා හුරතල් වෙන්න හිතෙනවා. ඉස්සර නම් ඉතිං මූන රතු වෙනකං ඉඹියි, දැන් නම් දූපිය පැත්තකට එනවා මෙතෙන හුරතල් වෙන්න කියලා එලෝලා දායි. ඒත් ඉතිං එහෙම කරන්නෙත් ආදරෙන් වුනාට, අම්මට දැනෙන්නේ නැහැනේ එහෙම කලාම කොල්ලගේ හිතට දැනෙන වේදනාව…! ඒ වුනාට ඉතිං අදටත් හෙවනැල්ල වගේ ඉන්නේ අම්මම තමා…! මාව බිමින් නොතියා වඩාගෙන හිටිය පිනම ඇතිනේ තව කාලයක් ශක්තිමත්ව නිරෝගීව ජීවත් වෙන්න…!

මයෙ ගාව නැහැනේ ඒ දවස් වල රිලා පැටියා වගේ අම්මාගේ අත්දෙකට  වෙලා හිටිය ෆොටෝ එකක්වත් ආසාවට බලන්න.  ඒ නැතත් අයෙමත් එක පාරකට හරි චූටි කාලෙට ගිහිං එන්න තියෙනවනම්…!

%d bloggers like this: