සොහොන පාරේ නුග ගහ… | මලින්දගේ දෙක (ii)….

මෙන්න මලින්දගේ අර භයංකාර සීන්… මේකෙ කියවෙනි නලියව නම් නම් දැකලා තිවුනට කතා කරලා එහෙම නෑ. ඔන්න වෙනම කතාවක් විදියට කියලා බලන්නලා එහෙනම්…!

මංගල මාවත කියන්නේ අපේ ස්කෝලෙට යන පාරේ කෙලින්ම ගිහින් ‍සොහොන පාස් කරලා කන්දක් නැගලා ඒ කන්දේ බෑවුමට යද්දී වම් අත පැත්තට තියෙන පාරක්. ඒ දවස් වල ඉඳන්ම මංගල මාවත ගැන තිබුන කට කතා ගොඩයි.

එයින් එකක් තමා, මංගල මාවතේ හැරිලා ටික දුරක් යද්දී පොඩි පටු පාරක් තියෙනවා සොහොන අයිනට වැටෙන්න. ඔය පාරෙන් තමා ගොඩක් වෙලාවට ස්කෝලෙ ළමයි යන්න එන්නේ. හැබැයි කවදාවත් පිරිමි ළමයි තනියමවත්, ගෑණු ළමයි පිරිමි කෙනෙක් නැතුව වත් යන්නේ නෑ. හේතුව තමා පටු පා‍රේ මැද හරියේ තියෙන විසාල නුග ගහ. ඔය ගහට අරක් ගත්ත මොකෙද්ද ‍එකෙක් ඉදන් තනියම යද්දී හූ කියනවලු. ඉතිං එහෙම වුනාම නූල් බඳින්නයි, තොවිල් නටන්නයි ඕනේ නිසා කොයි තරම් පොරක් වුනත් ඔය නුග ගහ යටින් තනියම යන්නේ නෑ…

හැබැයි අපේ මලින්ද කියන්නෙ ටිකක් වෙනස් බුවෙක්. ඌට ඔය හොල්මන් කතාවක් එහෙම ඇහුනොත් කොයි තරම් බය වුනත් තව විස්තර ටිකක් අහගන්න කං පොරගේ හිතට නිවාඩුවක් නෑ. හොල්මන් කතා අහන එක තමා මලින්දගේ ත්‍රිල් එක. අපිටත් ඉතිං අකමැත්තෙන් වුනත් පොරත් එක්ක ඔය වගේ කතා අහගෙන ඉන්න වුනා. මූ කියන තරමක් කියන්නේ කෙප්ප වුනාට ඒවා ඔක්කොම පොරට ඇත්තටම වුනා වගේ තමා කියන්නේ.

මලින්ද ඉන්නෙත් ඔය මංගල මාවතේම නිසා ඌ තමා අර නුග ගහ ගැන තියෙන කටකතා අනාගත පරපුර වෙනුවෙන් රැකගන්නේ. ඉතින් දවසක් දා උදේම මලින්ද එනවා හති දාගෙන බෑග් එකත් පිටේ එල්ලගෙන දෙකට නැමිලා. ඒ එන විදියෙන් අපි දන්නවා මූ එන්නේ මොකක් හරි අළුත් කතාවක් කියන්න තමා කියලා. මොකට පොරට අළුත් කතාවක් අහන්න හම්බුන ගමන්ම ඒක මතක තියාගෙන අපිට කියනකම් නලියනව වගේ සීන් එකක් තියෙනවා. ඉතිං ආපු ගමන් දඩෝස් ගාලා ඩෙස් එක උඩ හෙමීට බෑග් එක තියලා ඔන්න පටන් ගත්තා කතාව කියන්න.

අඩෝ මේ මේක අහල උඹලා මාව නෝන්ඩි කරන්න බෑ හරිද…

හරි හරි ඉතිං කියපංකෝ…

ඊයේ හවස අපේ තාත්තා පොඩි කොක්කක් දාගෙන ගෙදරින් ගියා මචං.

නෑ… ඉතිං….

නෑ නෙවෙයි බං ඔව්… බාල්දි දාන්නේ නැතුව හිටපංකෝ කියනකං. පස්සේ බං හවස හත විතර වෙනකං ආවේ නෑ. ඒ පාර අම්මා කිව්වා මටයි, අල්ලපු ගෙදර නලින් අයියටයි ගිහිං පොඩ්ඩක් බලන්න කියලා. අම්මට පාරට බැස්සා විතරයි බයිසිකල් කා‍රයෙක් කිව්වා බං.

අන්න උඹලෑයි තාත්තා නුග ගහ පාරෙන් සොහොන පැත්තට යනවා දැක්කා බං කියලා. පස්සේ ඉතිං කඩාගෙන ගියා ඒ පැත්තට මමයි නලියයි.

උඹලා දන්නවනේ බං මං නුග ගහ ගාවින් යන්න බය නෑ කියලා. ඒ වුනාට නලියා බයයි නේ බං. පස්සේ මං ඌව බෑ බෑ කියද්දී ඇදගෙන තමා ගියේ. මෙන්න බං යද්දී අර හූ හඩ ඇහුනා බං එක පාරටම…

අපිත් ඉතිං ස්…. කියලා උස්ම ඇද ඇද මුගේ බේගලේ අහනවා… එහෙම ෆෝම් කරේ නැත්තං උදේ පාන්දර අහන කතාවේ ආතල් එකක් ගන්න බැහැනේ.

පස්සේ ඔන්න ආයෙම මලින්ද…

නලියා බං දුවන්නම හදනවා බං. ඒපාර මං කිව්වා දුවන්න එපා යකෝ. බය නැතුව යමන් කියලා. මෙන්න ආයෙම නුග ගහට ලංවෙද්දී ආයෙම හූ හඬක් ඇහුනා. අරෑ දැන් වෙවුලනවා. ඒ එක්කම බං කවුද මන්දා එකෙක්…

කෑ ගහන්න එපා සමරේ… අපේ පොඩි එවුන් බං එන්නේ….

කියලා කියනවා වගේ ඇහුන නිසා නලියාත් එක පාරට ගැස්සුනා බං. ඒ පාර මං කිව්වා යමන් අපේ තාත්තගේ නම ඇහුනා ගිහිං ගහමුල බලමු කියලා….

අම්මට සිරි අපේ තාත්තගේ ෂර්ට් එකයි, නලියාගේ තාත්තගේ බැනියමයි ගහ මුල ඕයි. අරක්කු භාගයක් ඔතලා අපේ තාත්තගේ ෂර්ට් එකෙන්.

පස්සේ ඉතිං තව ටිකක් කිට්ටු කරලා බලද්දී අපේ තාත්තා ගහේ දෙබලකට නැගලා… නලියලෑ තාත්ත ඊට උඩ අත්තේ.

මමයි නලියයි පට ගාලා ගිහිං අපේ අම්මට කිව්වා. අපේ අම්ම ආවෙ නැද්ද නැද්ද ගියේ නැද්ද බං කෙලගෙන. ඒ යනකොටත් බං අපේ තාත්තට ගහෙන් බැහැගන්න බැරුව ඳඟලනවා. පස්සේ මමයි නලියයි ‍අපේ අම්මයි උන්ගේ අම්මයි එකතු වෙලා තමයි දෙන්නව ගහෙන් බැස්සුවේ. කියලා උගේ අගනා හොල්මන් කතා පොඩ්ඩ ඉවර කලා.

මං ඒ දැක්කමයි තාත්තට මඩ ගහන පුතෙක්ව…!

අපි ඊට පස්සේ කවදාවත්, මලින්ද මචං උඹලෑ තාත්ත…. කියලා කියන්න ගියෙත් නෑලු. අපි එහෙම කියද්දී ඌ හොටු පෙරා ගෙන අපේ පස්සෙන් පැන්නුවෙත් නෑලු. දවසක්දා හොටු තලිය පිටින්ම ගිහිං ටීච කෙනෙක්ගේ ඇ‍ඟේ හැපිලා මලින්ද බැනුම් ඇහුවෙත් නෑලු….!

%d bloggers like this: