මලින්දගේ වංගු පාර….

මලින්ද කියන්නේ අපේ ස්කෝලේ කිට්ටුවම හිටිය අපේ වයසෙම එල කොල්ලෙක්. එල කොල්ලෙක් කියන්නේ, අර ඌරට මොන සෞඛ්‍යද කියන කතාව ස්කෝලේ කෙල්ලෝ රොත්තක් ඉස්සරහා මිස් කෙනෙක්ගෙන් අහගන්න තරම් පිං කරපු නියම පොරක්. ඈක්කා… උගේ නහයේ හැම තිස්සෙම හොටු ගුලියක් හිරවෙලා. හිටි ගමන් ටිකක් හයියෙන් හිනා ගියාම හොටු බෝලයක් පිම්බිලා එනවා. මොනා වුනත් මගේ පෙර පිනකට මූ තමා මට හිටිය හොදම යාළුවා. ඒක නිසා ඉතිං අනිත් උන්ට නොකියන එව්වත් මට කියනවා.

ඉතිං මලින්දගේ ගෙවල් තියෙන්නේ ස්කෝලේ පිටිපස්සේ තියෙන කන්ද නැගලා ඊළඟට හම්බුවෙන පල්ලම බැහැලා වම් පැත්තට හැරුණම තියන වංගු පාරේ. මං වැඩියෙන්ම වංගු තියෙනවා දැක්කේ ඒ පාරෙ තමා මෙච්චර කාලෙකට. කොච්චර වංගු තිබුනත් ඒක ඇත්තටම දිව්‍ය ලෝකෙට යන පාර වගේ. දෙපැත්තේ ගස් දුඹුරුම දුඹුරු පාටයි… ඒවයේ හරිත ලව නෑ… පාරේ වුනත් මාර ලුක් එකක් තිබුනේ. හරියට නිකං චොකලට් වල කැටයම් කපාලා වගේ. ඉතිං ඔය වංගු වලින් හැරී හැරී ස්කෝලෙ එන්න යන වෙලාව සාමාන්‍ය විදියට බැලුවොත් විනාඩි හතලිස් පහක් විතර වෙනවා. දුර දල වශයෙන් ගත්තොත් මීටර් හයසීයක් විතර. හිතා ගන්න පුළුවන්නේ කොයිතරම් අධිවේගි මාර්ගයක්ද කියලා…

ඉතිං මලින්ද හැමදාමත් ස්කෝලේ එන්නේ හතයි හතලිස් පහට. ඇයි ඉතිං පාරටම වෙලාව ඉවරයිනේ. මඩ වලවල් බේරන්නයි, වාහන වලට ඉඩ දෙන්නයි… තව කොච්චරක් කියලා බාධකද ඉතිං… ඒ විදියට බැළුවම මලින්ද ස්කෝලෙ එන්න පිටත් වෙන්නේ උදේ හතට විතර. එතකොට පොරගේ පිරිසිදු කමේ හැටියට නැගිටින්නේ අඩුම ගානේ පාන්දර පහටවත් වෙන්න ඕනේ. ඒත් ඉතිං අපිනේ දන්නේ ඌ නැගිටින වෙලාව. ස්කෝලෙට එන්න පැය භාගෙකට කලින් නැගිටලා මූන හෝදනවද නැද්ද නං දන්නේ නෑ අනිත් ඒවා කරගෙන ස්කෝලේ පටන් අරං හරියටම විනාඩි පහලොවක් යද්දී පොර එනවා පන්තියට පනිශ්මන්ට් ක්ලීනින් වැඩෙත් කරලා. මිනිහා කවදාවත් එක විනාඩියක්වත් කලින් නම් ස්කෝලේ ආවේ නෑ… හැමදාම ලේට් කමින් තමා.

හැබැයි පොරගෙන් ඇහුවම පොර කියන්නේ වෙනම කතාවක්. මං පන්තියේ නායක වෙලා හිටි කාලෙක මට පැවැරුනා මූව කලින් ස්කෝලේ ගෙන්න ගන්න වගකීම. මට කලින් හිටිය නායකයොත් මූට කොච්චර වැන්දත් මූ නම් නෙවේ කලින් ආවේ. ඒ පාර දැන් මටනේ බෝලේ කැරකිලා තියෙන්නේ ඒක නිසා මාත් ෂේප් ටෝකක් දාලා බැළුවා. ඇයි ඉතිං මූට මං ගැන අනුකම්පා හිතිලා හරි ස්කෝලේ ආවොත් ඒ ක්‍රෙඩිට් එකත් මටනේ…! ඉතිං දවසක් දා….

මලින්ද… මොනාද බං උඹ හැමදාම පරක්කු වෙලා ස්කෝලේ එන්නේ… වරෙන්කෝ ටිකක් උදෙන්…

උඹ නම් කියයි… යකෝ අපේ පාරේ හැටි උඹ දන්නවනේ බං…

දැන් පොරට අමතකයි, මං උගේ හොඳම යාළුවා බව. මූ අනිත් උන්ට ඇද බාන කෙප්පම මටත් කියනවා. කොටින්ම පොරට මතක නෑ මං විනාඩි දහයෙන් උංගේ ගෙදරට වංගු පාරෙන් ගිය බවවත්. ඌ මට සලකන්නෙත් අනිත් එවුන්ට වගේ.

මං ඉතිං හිමීට ඇහුවා… එතකොට අර එදා විභාගේ ඉවර වෙලා ටයිටැනික් මෙව්වා එක බලන්නේ විනාඩි දහයෙන් ගියේ වෙන එකෙක්ද ඌරෝ…? කියලා….

ඒ කෑගහන්න එපා බං… මට උදෙන් එන්න කම්මැලියි බං ඒකයි පරක්කු වෙන්නේ…. කියලා ඔන්න පොර වැරැද්ද පිලිගත්තා.

පස්සේ ඉතිං දන්න සිල්ප ඔක්කොම දාලා මූව උදෙන් ගෙන්න ගන්න පොරොන්දු කරගත්තා. වැඩේ හරි…. මෙන්න පස්සෙන්දා මූ එනවා හතයි කාලට. මං වෑන් එකෙන් ඇවිත් බහින්නත් කලින් මූ පොත් බෑග් එක පන්තියට දාලා පිට්ටනියට බැහැලා සෙල්ලං කරනවා. එදා තමා මූ පළවෙනි වතාවට මට මතක ඇති කාලෙක උදෙන් ස්කෝලේ ඇවිත් සෙල්ලං කරේ.

ඊට පස්සේ කොල්ලෝ ඇහුවා උඹ කොහොමද බං දැන් කලින් ස්කෝලේ එන්නේ කියලා. මෙන්න එතකොට තමා නියම කතාව මතුවෙලා ආවේ…!

මං දැන් එන්නේ වංගු පාරෙන් නෙමේ බං… සොහොන් පිට්ටනිය අයිනේ නුග ගහ පාරෙන්…!

ඒ පාරේ නම නුග ගහ පාර… එහෙම කියන්නේ හෙන විසාල නුග ගහක් තියෙන නිසා. මහ දවාලක ගියත් නුග ගහ යට පට්ට කලුවරයලු. අපි නම් වෙලාවකට අහනවා, උඹ ස්කෝලෙ ඇරිලා යද්දී ටෝච් එක ගහගෙනම යනවා ඇති නේද බං කියලා…  ඉතිං මලින්දගේ කලින් ගමන හේතුවෙන් මාසයකින් මගෙන් අයින් වෙලා වෙන එකෙක්ට යන්න තිබ්බ පන්ති නායක පට්ටම තව මාසයක් මගේ සාක්කුවට උඩින්ම රැඳුනා.

ඊට පස්සේ ඔහොම ටික ටික ලොකු වෙලා එකොලහ වසරට ආවම තමා අද මං කියන්න හිටි ලොමු දැනගැන්වෙන, අහන කොටත් හිත කූං කූං ගාන කතාව මූ කිව්වේ….!

%d bloggers like this: