සජීවී ගිනි පෑගීමක අසිරිය වින්දෙමි….!

අපේ පන්සලේ ගිනී පෑගීමේ ශාන්තිකර්මයක් ලඟඳීම තියෙන බව කියන්න, මීට සති දෙක තුනකට කලින්ම ලවුඩ් ස්පීකර් බැඳ ගත්ත වාහන කෑ ගහද්දී මාත් හිතා ගත්තා මේක නම් කොහොම හරි බලන්න ඕනේ කියලා. පස්සේ ඉතිං ලංකාවේ අනිත් වුන්ට වගේ මටත් ඔය සීන් එක සති දෙකෙන් අමතක වුනා. පූර්ව දැනුම් දීම කලේ එක දවසක් නිසා වගේම එකදු දැනුවීම් පත්‍රිකාවක් වත් ඇස නොගැටුනනිසා වෙන්න ඕනේ එහෙම වුනේ.

පස්සේ ඉතිං ඊයේ… ටිකක් හැන්දෑවෙලා ගෙදර ගියා කාලා, බීලා ටිකක් කලින් නිදාගන්න හිතාගෙන. කන ‍බොනන එක නම් කොහොම හරි කරගත්තට නිදාගන්න විදියක් නම් තිබුනේ නෑ. මොකද ගෙවල් වලට කිට්ටුව තියෙන පන්සලෙන් ඇහෙනවා කාවඩි නටද්දී ඇහෙන සද්දේ. කොටින්ම කතරගම ගියා වගේ. එහෙමත් නැත්තං මැච් එකක් බලන්න ගියා වගේ…. පපරේ පුපුරනවා කන් දෙක පතුරු යන්න. පස්සේ ඉතිං කෝම හරි අද නේද ගිනි පෑගීම කියලා හිතුනට, යන්න ආසාවෙන් හිටියට කම්මැලි කම සහ නිදිමත නිසාම මං නොයා ඉන්න තීරණය කරලා රෙද්දත් ඔලුවේ ඉදන්ම පෙරෝගෙන පැන්න ඇඳට. ඒ වෙනකොටත් පන්සලට කට්ටිය යනවා.

නින්ද ගිහින් පැය එකාමාරක් විතර ඇති….

ලොකූ…. ලොකූ…. යමු පුතේ පන්සලට ගිහිං එන්න.

ඒ අපේ අම්මා. අම්මටත් පන්සලට යන්න ඕනේ වෙලා. මගේ වෙලාවටද කොහෙද අම්මත් එක්ක යන්න හිටිය නැන්දලා ටික අම්මව තියලා ගිහිං. දැන් ඉතිං ඒ කුන අදින්න වෙන්නේ මටනේ කියලා සුදු ටී-ෂර්ට් එකක් දාගෙන කැමරා පොජ්ජත් කසල මේස පොජ්ජෙන් හොයාගෙන ගෑටුවා පන්සලට.

අම්මෝ…. සෙනග…. සූ…. සූ… හඬවල් හැමතැනම. අපේ අම්මා මාව මේ එක්කන් ඇවිත් තියෙන්නේ දිව්‍ය ලෝකයටදෝ කියලත් හිතුනා. මාත් ඉතිං අපේ අම්මට එයාගේ යාළුවෝ කට්ටියට සෙට් වෙන්න දීලා පැත්තකට වුනා. ඔක්කොමත් හරි අපේ මමීගේ යාළුවන්ගේ දුවලගෙන් තමා බේරෙන්න බැරි. එව්වා ඕනේ නෑ….

ඉතිං ඔන්න අපි යද්දී දහය මාරට විතර ඇති. මං හිතුවේ දැන් ගින්දර පාගනවා ඇති කියලා. ඒත් මොන පෑගිල්ලක්ද… තාම දර කොට ටික පත්තු වෙනවා. ඒ දර ටික පත්තු වෙනකං පොඩි පොඩි කෙල්ලෝ ටිකක් කාවඩි නටනවා. ඒ පද්දන පැද්දිල්ලට නිදි මත කොහේ ගියාද මන්දා. මං බලාගෙන අපේ මවුතුමී මයේ දිහා ඇත කෙලවරකට වෙලා හොරෙන් බලාගෙන ඉන්නවා, මගේ ඇහේ බබා නටන හැටි. මං මොනා කරන්නද අම්මනේ එක්කං ගියේ.

ඉතිං කොහොම හරි හෙන ඉවසීමකින් ඉන්න වුනා එතෙන. මං අස්සෙන් රිංගගෙන ඉස්සරට ගියාට දර ගොඩ ගාව ඉන්න හිටින්න බෑ රස්නෙයි. ඒ මදිවට පිටිපස්සේ ඉන්න එවුන් ටික ටික ඉස්සරහට තල්ලු කරනවා. ඔය ඔක්කොම කටු කාගෙන මගේ ජීවිතයේ පළවෙනි ගිනී පෑගීම බලාගන්න කියලා මං අමාරුවෙන් ඉවසගෙන හිටියා. ටික වෙලාවකින් පුංචි විවේකයක් ගත්තා කාවඩි නටන අය.

මේන්න ඊට පස්සේ එයාලා එනවා කටේ කටු ගහගෙන. සමහරු පිට විදලා උල් කූරු යවලා ඒවයේ අගට නයිලෝන් නූල් බැඳලා තව කෙනෙක් ඊට පිටිපස්සෙන් එව්වා ඇදිනවා… ඉස්සරහා කෙනා නටනවා. ඒ වගේ දෙයක් මං දැකලා තිබුනට ඇස් දෙක ඉස්සරහ ඇත්තටම වෙනවා දැක්කේ පළවෙනි පාරට.

ඊට පස්සේ මට වචනයෙන් කියලා ඉවර කරන්න බැරි තරම් හරි අපූරු දේවල් ගොඩක් අංග එතෙන තිබුනා. කාවඩි දැකලා තියෙන අයට නම් ඉතිං අමුතු දේවල් නෙවෙයි ඒවා.

ඉතිං කොහොම කොහොම හරි නිදි ගැට කඩ කඩ පන්සල් ආපු මට ඒ ආපු ගමන පාඩු නැහැයි කියලා හිතෙන තැනටම වැඩේ සෙට්වුනා. දහයා මාරට විතර ගිහිං එකොලහට විතර එන්න පුලුවන් වෙයි කියලා හිතුවට ගිනි පෑගිල්ල පටන් ගන්න කොට වෙලාව පාන්දර තුනා මාරයි. ඒ වෙනකම්ම එක කට්ටියක් කාවඩි නටන අතරේ තව කීප දෙනෙක් විටින් විට ඇවිලෙන දර ගොඩ අවුස්ස අවුස්ස දර දැවෙන එක ඉක්මන් කලා. අන්තිමටම පිච්චිලා ඉවර වෙච්ච දර ගොඩේ තිවුන නොදැවී ඉතිරි වුන ලොකු කොට කෑලි එහෙම ඉවත් කරලා රතු වෙලා දිලිසෙන අඟුරු කැට විතරක් ඉතුරු අඩි හයක් විතර දිගට අඟුරු ලේයර් එකක් හැදුවා. හරියට නිකං ගිනි ගහන රතු පලසක් වගෙයි.

ඊට පස්සේ පන්සලේ දේවලය ගාවට ගිහිං එතෙනත් කාවඩි නටලා, කපු මහත්තයා එක්ක ආයෙම ගිනි අඟුරු ගොඩ ගාවට ඇවිත් එතෙනදිත් කිසියම් පූජාවක් තියලා එහෙම වැඩේ පටන් ගත්තා. පැය ගානක් තිස්සේ ගිනි රස්නේ වැදී ගෙන උඩින් වැටෙන හීතල පින්නට ඔලුව තෙත කරගෙන හිටිය හැමෝටම හිතට සැනසුමක් දැනෙන්න වුනේ මේ වෙලාවෙදී තමා. සමහර යාළුවෝ නම් හයියෙන් ඇහුවත් එක්ක ගිනි අඟුරු පාගන්නේ හෙට හවසටද කියලා… මොකද ඒ තරමට ඉවසීම හීන වේගෙන ගිහිං තිබුනේ. පස්සේ ඉතිං ප්‍රධාන කපු මහත්තයා මුලින්ම සාමාන්‍ය ගමනින් අර අඩි හයක් විතර දිග අඟුරු ගොඩ උඩින් ඇවිදගෙන ගියා. පස්සේ ඉතිං එයාව අනුගමනය කරලා වටේ හිටිය අයත් එක එක වේග වලින් එක එක රටාවලින් ගිනි අඟුරු අවුස්සගෙන ඇවිද්දා.

ඇත්තටම ඒක හරිම අපූරු සංස්කෘතික අංගයක්. මේ ගිනි පෑගීම ගැන මං ඇස් දෙකින් දැක්කට ලොකු විස්තර ගොඩක් දන්නේ නෑ… මේ තියෙන්නේ ඒ සම්බන්ධ තොරතුරු ටිකක්, දැන්ටමත් අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන් වුන….!

කොහොම හරි අම්මගේ කටේ බලේට හරි පන්සල් ගිහිං, මේ වගේ දෙයක් දැක බලා ගත්ත එක ගැන නම් අප්‍රමාණ සන්තෝසයි.

%d bloggers like this: