සුද්දන්ට කියලා කප්පන්න තවත් ගලක්….!!!

කතාව පටන් ගන්න තැනක් හිතා ගන්න අමාරුයි. ඉස්සර අපේ රට විවිධ ජාතින් තුන් ගොල්ලකට යටත් වෙලා හිටියනේ. ඊට ඉස්සර, ඒ කියන්නේ ඔය පිටරැටියෝ ලංකාවට එන්න කලින් ලංකාවෙ ගැන කියවෙන පොත් පත් වල තියෙන්නේ ලංකාව කියන්නේ සරල ස්වයංපෝෂිත ජාතියක් කියලා. ස්වයංපෝෂිත කියන්නේ, මං දන්න විදියට හැම දෙයක්ම රට ඇතුලේ තියෙනවා කියනවා වගේ අදහසක්.

දැන් කාලේ පිටරට වලින් සහල් ලංකාවට ගෙන්නුවට ඉස්සර රජතුමන්ලා හිටිය කාලේ ලංකාවෙන් අනිත් රටවල් වලට සහල් යැව්වේ නැවු පිටින්ලු. වගකියන්න ඕනේ කවුද කියලනම් මං දන්නේ නෑ… ඒත් මොකෙක් හරි වගකියන්න ඕනේ ඒකට.

එහෙම සමෘද්ධිමත්ව හිටිය අපේ රටට හෙනහුරා ලැබුවේ ඔය පරදේසක්කාරයෝ එන්න ගත්තට පස්සේ තමා. මොකද උං රට රට වල් ගානේ ඇවිදලා ඒ රටවල් වල තිබුන දේවල් බලහත්කාරයෙන් හරි එහෙමත් නැත්තං අඩු තක්සේරුවක් කරලා මිනිස්සුන්ව රවට්ටලා හරි උන්ගේ රටවල් වලට ගෙනිච්චා. ඊට පස්සේ ඒ රටවල් වලදී නොයෙකුත් දේවල් අඩු ගානට තනලා ලෝකේ තියෙන අනිත් රටවල් වලට ලොකු ගානට වික්කා. එහෙම තමා ඔය මුහුදු දඩයමේ ගිය, දැන් මහා ලොකු, පළවෙනි පංතියේ රටවල් කියන බොහොමයක් නැගීසිටියේ. එහෙම නැතුව උංගේ රටවල් වල තිබුන ලබ්බක් නෑ. හොරෙන් අනුන්ගේ දේ කඩා වඩාගෙන ගිහිල්ලා හරි උං කිසිම හෙනයක් නැතුව ඉන්නේ අපේ වගේ රටවල් වලත් උංගේ පස්ස පැත්ත ලෙවපු හිවල්ලු අද වගේම ඒ කාලෙත් උන්න නිසා. උංට ඉතිං මුහන්දිරම් පට්ටමක් දෙනවා කිව්වම… වෙන මොනාද ඉතිං. අපේ රටේ තියෙන වස්තු සම්භාරය නෙවේ රටම උස්සං ගියත් උන්ට මොකෑ….

ඉතිං ඔය පිට රට අය ඇවිත් මුතු මැණික් වගේ වටිනා දේවල් වල ඉදන් දුරුලභ කෑලෑ කොල ගස් මල් දක්වාමත් පිට රටට අරගෙන ගියා. නිකං නෙවේනේ… කැලෑ අස්සේ බඩගාලා කටු ඇනගෙන තුවාල කරගෙන මහන්සි වුන වුන්ට පිච්චියක් දීලා. සුද්දෝ ඒවායෙන් බෙහෙත් හැදුවා. ලොකු ලොකු ලෙඩ රෝග වලට දෙන පුංචි පෙති, කරල් එහෙම. ඒවා ආයෙම ටික කාලෙකින් අපේ රටට ආවා රුපියල් සිය ගනන් වලින්. අපේ එවුන්ට ආයුර්වේදේ එපාවුනා, උංට ඕනේ වුනේ පේන් කිලර් එක *කේ ගහගෙන ඉක්මන් සුවේ විඳින්න. අපේම ඒවා අපේම එවුන්ට කියලා හොයව ගෙන ආයෙම අපේ රටටම එවලා ආයෙමත් අපේ රටෙන්ම හම්බු කොරගෙන ධනවතුන් වෙනවා. ඒවාට උදවු දෙන ලංකාව් ඉන්න සහ හිටිය හැතිකරේ නිස තමා අපිට අද ඉන්න තත්වෙට පත්වෙන්න වුනේ. දැන් අපිටත් ඒ දේවල් නිකංම හුරුවෙලා.

ඉස්සර විතරක් නෙමේ අදටත් ලංකාවේ තියෙන බොහොමයක් ඛනිජ වැලි, වටිනා පාෂාන ආදිය කෙලින්ම යන්නේ පිට රටවල තියෙන ෆැක්ටරි වලට. මතකද දන්නේ නෑ… නාමල් උයන ආශ්‍රිත රෝස තිරුවාන නිධියට ජපානෙන් කෙලින්න ගිය විත්තිය. උන් හැදුනේ රෝස තිරුවාන වලින් මයික්‍රො චිප් හදන්න. හදලා ඒවායෙන් රොබෝලා හදන්න. ඊට පස්සේ ආයෙම අනිත් රටවලට විකුණන්න. ඒ වැඩේටත් ලංකාවෙන් *ක දීගෙන උදවු කරපු අය හිටියා. උංට කොමිස් එක ලොකු වුනා ලංකාවේ තියෙන අලංකාරයට, වටිනාකමට වඩා.

කවදාවත් තාක්ෂණයට බෑ සොබා දහමේ තියෙන දේවල් වලට සමාන වෙන්න හරි ඊට වැඩිය උසස් වෙන්න හරි. පුළුවන් එකම දෙය විකෘති කරන එක හරි නැති නාස්ති කරන එක හරි විතරයි.

මේ ලිපිය ලියන්න මූලික හේතුව වුනේ මේකයි. ගිය දෙසැම්බර් 29 වෙනි බ්‍රහස්පතින්දා ලංකාදීපේ තියෙනවා පණ්ඩිතයා කුඹුර ළඟ නිල්ගරුඬ පාෂාණය කියලා ලිපියක්. පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ. ලිපිය ලියලා තියෙන්නේ ලංකාදීපේ කතෘ මන්ඩලේ.

එයාලා කියන විදියට මේ මනරම් ගල ගැන තාම හරියට කව්රුවත් කතා කරල නෑලු. වෙන්න ඇති ඒකනේ මෙච්චර කල් කිසි පලුද්දක් නැතුව, ඒ අයම අගේ කොර කොර කියවන විදියට ඉතුරු වෙලා තිවුනේ. දැන් කට්ටිය ට්‍රයි එක දෙන්නේ මේක සංචාරකයින් ලංකාවට ඇදගන්න දෙයක් බවට පත් කරන්න. ඒක ඇත්තටම හොඳයි. එතකොට ලංකාවට සල්ලි එනවා. අඩුම ගානේ මේ පලාතේ මිනිස්සුන්ගේ ජීවන තත්වය ටිකකින් හරි උසස් වෙයි. ඒත් ඊට පස්සේ මේකත් මොකක් හරි ආයතනයකට කියලා පරීක්ෂන පවත්තලා සුද්දන්ගේ අරකට හොදයි මේකට හොඳයි කියලා ගල කපලා ගෙනි යන්න හැදුවොත් අපේ රටේ එකෙක් ඉන්නවද අඩෝ අත තියන්න එපා… කියන්න. ඒ ගමේ ගම්මු ටික කෑගහයි… අවට පන්සල් වල හාමුදුරුවරු කෑගහයි…. පස්සේ ඕනෙ නම් උපවාසත් කරයි. ඒ ඔක්කොම අස්සේ ලංකාවේ තාක්ෂණයට කරන්න බැරි මැජික් කරන්න සුද්දෝ එක්ක එකතු වෙච්චි ලංකාවේ හැත්ත ගලේ අනිත් පැත්තෙන් ගල කපාගෙන යයි. ඇයි ඉතිං පොඩි පහේ කොමිස් එකක්ද…

මෙච්චර කල් ඒ ගමේ හැංගිලා තිබුන ඔය වටිනා වස්තුව ගැන එලිකරාට දැම්ම ඇල්ම බැල්ම වැටෙන එකක් නෑ. ඒත් කවද හරි ඔය ගලටත් වෙන්නේ ලංකාවේ අනිත් එව්වට වෙච්චි දේම තමා. ලංකාවේ තාක්ෂනේ නැති බව ඇත්ත. එහෙමයි කියලා කරන්න ඕනේ තාක්ෂණය තියෙන රටකට යනලා ඒ රට වල හදන දේවල් අපි වැඩි මිලකට ගන්න එක නෙමේ, ඒ රටවල තාක්ෂණය ලංකාවට ගෙනැල්ලා ලංකාවෙදි නිෂ්පාදන කරලා වැඩි මිලට අනිත් රට වලට විකුණන එකයි.

කොහොම හරි ගං වල හැංගිලා තියෙන මේ වගේ දේවල් නම් ලෝකයට එලි කරන්න තරම් සුදුසු වාතාවරණයක් තාමත් ලංකාවේ නැති බව තමා මගේ හැඟීම. පිටරටින් ඇවිල්ලා කුට්ටි පිටින් උස්සං නොගියත් ලංකාවේ අය හරි දැනටම ගිහිං කෑල්ලක් දෙකක් කඩාගෙන ඇවිත් ඇති. කොහොමටත් ලංකාවේ ඇත්තන්ටනම් දැනටම ඉව වැටිලා තියෙන්නේ… මෙතනින් ගිහිං පණ්ඩිතයා කුඹුර ළඟ නිල්ගරුඬ පාෂාණය ලිපිය කියවලා බලන්න….

මේ… මේ අවුරුද්දේ අවසන් ලිපිය. ලබන අවුරුද්දෙවත් මේ වගේ දේවල් ගැන කතා නොකර ඉන්න තිබුනොත්..!!! කියලා තමා ප්‍රාර්ථනා කොරගන්න වෙන්නේ….

මෙයා හරි වැඩකාරයානේ… මගේ යශෝධරාවත 20

ගෙදර කවුදෝ…?

මේ ඉලවු මාලිගාවේ බෙල් එකක සුයිච් එකක් තිබුනට ඒක එබුවට බෙල් එකක් වදිනවා කියලයැ… ඒක නිසා ඉතිං කුමාරිකාව හරි නඩුකාරි හරි පියාණන් හරි පේන්න නොහිටියොත් මං කුමාරයා කරන්නේ ගෙදර කවුද කියලා කෑගහන එක තමා… ඊට පස්සේ ඉතිං නඩුවක් සහතිකයි…

ඊට පස්සේ ඉතිං ඔන්න එනවා… ආහ්… අම්මේ මේ කවුද ඇවිල්ලා……

ඔය චූටි බබා මාව දන්නේ නැද්ද….? ආ…..

ම්… සීයව දැකලා පුරුදුයි….

අඩෝ… මං සීයනං ඔයා ආච්චි හරිද….

ඒ පාර ගෙට එන්නත් කලින් රංඩුද…? නියම අයියයි නංගියි… අනේ අනේ…

මෙයා තමා මැඩම් මට එව්වා මෙව්ව කිව්වේ…

ඔව් ඔව් අම්මේ මං තමා මෙයාට එක එක කිව්වේ…. හ්ම්….

ඊට පස්සේ නඩුකාරිගේ ඉන වටේට  රත්තරං පාට පුංචි ඇඟිලි ටිකෙන් බදාගෙන අම්මට තුරුල් වෙන පුංචි කෙල්ලව  දකිද්දි… හ්ම්...... මං කුමාරයාගෙ ඉන වටේ මේ ඇඟිලි ටික දුවන දවස ඉක්මනට උදාවෙනව නම් කියල හිතෙනවා…!!!

පස්සේ ඉතිං මං කුමාරයට වාඩි වෙන්න කියලා, යශෝධරාවයි, නඩුකාරියි සිරි යහන් ගැබට යන්නේ වෙනදා වගේම මට විරුද්ධව ක්‍රමන්ත්‍රණයක් දියත් කරන්න තමා. යශෝධරාවගේ ඔලුවට මට ෂොට් එක දෙන්න අදහස් එන්නේ නඩුකාරි ඔලුව අතගාද්දි කියන්නේ…

මං ඒ දවස් වල තමා ක්‍රන්චර් එකට ගේම් එක හද හද හිටියේ. ඉතිං ඒකට මුලින්ම අදහසක් ගන්න හිතලා කතාකරේ යශෝධරාවටයි මවුතුමියටයි තමා. දෙන්න එක්ක එක එක අදහස් දුන්නත් ඒවා ක්‍රියාත්මක කරන්න ගියොත් මට වෙන්නේ රස්සාවෙන් අස් වෙලා ගෙදර ඉන්න නිසා. දෙන්න එක්ක අදහස් ප්‍රකාශ කරද්දි හිස් මුදුනින් පිළිඅරගෙන ගෙදර ගිහින් රිසයිකල් බින් එකට දාන එක ඇරෙන්න වෙන කොරන්න දෙයක් තිබුනේ නෑ.

ටික වෙලාවකින් සියළුම රහස් සාකච්චා ඉවර වෙලා ඕං පැමිණෙනවා…. අර ගේම් එක හදලා ඉවරද…?

තාම නැහැ… ගෙදර ඇවිත් කරන්න වෙලාවක් නැහැනේ….

හ්ම්….

මං නම් දන්නවා ලේසි ගේම් එකක්. කියන්නද ඒක…?

හා කියන්න…

ඔයා කියන ඕනේ අවුරුද්දක ඕනේ දිනයකට අදාල දවස මට කියන්න පුළුවනි.

ඈ… අනේ පල කෙල්ලේ බොරු නොකිය… එනවා මෙතෙන මට මැජික් පෙන්නන්න කියලා හිතින් හිතුවට කිව්වේ මෙහෙම….

නෑ… ඔයා දන්නවා එහෙම ක්‍රමයක්… හා එහෙනම් කියන්න බලන්න එක දාස් නවසිය අසූ හයේ ඉල් මස හතර වෙනි අඟහරුවාදාට දවස මොකද්ද කියලා.

අනේ ඉතිං පුංචි ඇස් දෙකත් ලොකු කරගෙන, කටත් වෙස් මූන වගේ කරගෙන මොලේ කරකව කරකව හිතන විදිය දැක්කම මටම හිනා. මුලින්ම අසූහය ගැන හිතන්න ඕනේලු… ඊට පස්සේ ඉල් මාසේ සිංහල මාස ක්‍රමයෙන් අනිත් මාස ක්‍රයට පරිවර්තනය කරගන්න ඕනේලු… ඒකට මොකද්ද මන්දා නමක් කිව්වා යශෝධරාව මට දැන් මතක නෑ. ඔය ඔක්කොටම පස්සේ හතර වෙනිදා කවද්ද කියලා හිතන්න ඕනෙලු. ඒ ඉතිං එයාගේ තියරිය. ආහ් තව… අධික අවුරුද්දක් එද්දී ඔන්න කීයක්ද මන්දා එකතු කරන්න ඕනැයි කියලත් කිව්වේ… පවු කෙල්ල මහන්සි වෙනවා සෑහෙන්න මං කියපු දිනේට අදාල දවස මට හොයලා දෙන්න… එතකොට තමා ඉතිං අර ගෑණු  මොලේ හැඳි මිටේ කියන එක ආයමත් මතක් වෙන්නේ.

එයාට ඒකේ මහ ලොකුවට හිතන්න දෙයක් නෑ, මං ප්‍රශ්නේ අහද්දිම අන්තිමට අඟහරුවාදා කියලා කියලම තමා ප්‍රශ්නේ ඇහුවේ. ඒත් ඉතිං දැන් ඔව්වා කියවන්න ගිහිං නිකං ඉල්ලං කන්න ඕනේ නැහැනේ. අනික ඉතිං ඔය වගේ පොඩි විහිළුවකට ඒ මූන කොයි තරම් නම් රතු වෙයිද…???

ඒක නිසා ඉතිං මං කුමාරයා විනාඩි දෙකක් විතර ඉවසගෙන හිටියා. ඒක ඇත්තටම කෙටි චිත්‍රපටියක් බැළුවා වගේ තමා. එව්වෑ කතා කරනවා අඩුයිනේ… ඔක්කොම තියෙන්නේ අංග චලන වලන් කතාව කියන ඒවනේ. මේ හොල්මනත් ඒ වගේ තමා… අයින්ස්ටයින්ද, පයිතරගරස්ද අයිසෙක් නිව්ටන්ද, ඩෝල්ටන්ද, රොජන්ජන්ද තව තව හිටිය ඔක්කෝගෙම මූන ටික අර පොඩි ප්‍රශ්නෙට උත්තර හොයන මූනෙන් සැරින් සැරේ මතු වෙනවා යනවා…

අන්තිමේ මං හිතන විදියට කනා මුට්ටි පාරක්ද කොහෙද ඇදලා ඇරියා… හරි… අඟහරුවාදා නේද….?

ඒ වෙලාවෙ ඉතිං ම්… හරි හරි…  කියනවා ඇරෙන්න පඬි ටෝක් දෙන්න ගියානම් දෙවෙනි නඩුවත් නිකංම ෆයිල් වෙන නිසා දිනුම දීලා නිකං හිටියා.  කාට කියන්නද ඉතිං… ඊට පස්සේ මං කුමාරයට කුමාරිකාව කියනව… හා පුළුවන්නම් මීට වැඩිය ලේසියෙන් මේක කරන විදියක් හොයලා දෙන්න කියලා… පේනවනේ ලස්සනට බටර් පාර ගාල පාං අරං එන්න කඩේ යවන හැටි….

මොනා වුනත් හිත රිද්දන්න බැරි කමටම මං කුමාරයත් වැඩේ බාර ගත්තා. පස්සේ ඉතිං වෙබ් පොජ්ජට මං ගච්චලා සමීකරන පොජ්ජවල් බැලුම් ලාල හරියන්නෙම නැති තැන පොඩි පොඩි ස්ක්‍රිප්ට් කෑලි දෙක තුනක් අමුනලා කරලා යාන්තං ජාමේ බේර ගන්න පුළුවන් තරමේ ෆ්ලෑෂ් මෙව්ව එකක් හදාගත්තා.

මේකෙන් ඉතිං භය නැතුව ඕනේ අවුරුද්දක ඕනේ දවසක් හොයාගන්න පුළුවනි. වැඩිය ඕනේ නෑ, පෙබරවාරි මාසේ තිස් එක්වෙනිදත් හොයාගන්න පුළුවනි…! පස්සේ ඉතිං ෆෝන් එකට ඔබාගෙන ගිහිං පෙන්නුවා…

ම්හ්… මෙයා හරි වැඩකාරයානේ…

ඉතිං මං කුමාරයටත් එනවා කටට…. ඔයා දන්නේ නෑ සුදු මගේ වැඩ ගැන තාම…. කියලා කියන්න වුනාට කටක් ඇරලා මං කුමාරයාගේ ඔය ජිඟිරි බිරිස් වැඩ ගැන කොහොම කියන්නද….

ඔය ෆයිල් එක ඕනෙ අය ඉන්නවනම් ඩවුන් කරගන්න. සමහරවිට එක පාරක් අනිත් ෆ්ලෑස් ෆයිල් වලට වුනා වගේ මේකත් නැති වෙන්න පුළුවන් නිසා මටත් ආයේ ඕනේ වුනොත් ඉල්ල ගන්න පුළුවන් වෙන්න පරිස්සං කොරලා තියාගන්න. ඒ වගේම උන තියෙන ඇමතිවරු ඉන්නව නම් මේ ෆයිල් එක කෑලි කරලා වෙනස් කම් කරලා වැඩි දියුණු කරා කියලා මං යුද්ධෙට එන්නේ නෑ…

අම්මේ, සෙනසුරු මාරුව මට නම් හොඳයි….

මේ ලඟඳී දවසක අපේ තාත්තගේ අම්මගේ, පොඩි දුවගේ ලොකුම දුව එයාගේ මහත්තයත් එක්ක ආවා අපේ ගෙදර. ඒ කියන්නේ නෑදෑකමේ හිටියට ගත්තොත් මට වෙන්නේ අක්කයි අයියයිලු… ඇයි ඉතිං මං අපේ තාත්තගේ බිරිඳගේ ලොකු පුතානේ…. ඒක නිසා.

ඉතිං ඔන්න ඇවිල්ලා අක්කලාගේ පොඩි කෙල්ල මාගේ ලඟට වෙලා ලැපී දිහා බලාගෙන ඉන්නවා. මං බ්ලොග් කියවනවා. කෙල්ලක් අකුරු අමුන අමුන කියනවනවා. මං බැලුවා මේ වැඩේ හරියන්නේ නෑ… ඒ පාර බ්ලොග් කියවිල්ල පැත්තකට දැම්මා. නැත්තං මේ පොඩි එකා මෙව්වයේ තියෙන එව්වා දැකලා නරක් වුනොත් ඒ ක්‍රෙඩිට් එකත් එන්නේ මටනේ… කවදහරි කෙල්ල කියයි…. ලොකු මාමා තමා මට මේවා කියලා දුන්නේ කියලා… ඒක නිසා ඉතිං වහාම ක්‍රියාත්මක වන පරිදි බ්ලොග් කියවන මෙහෙයුම ෂට් ඩවුන් කරලා දැම්මා. මං ඇත්තටම හිතුවේ මං වැඩේ නැවැත්තුවම කෙල්ල යාවි කියලා… මොන… යන පාටක් නෑ… ඒ පාර ඒකිව ලඟින් තියාගෙන මාත් පොඩි එකා වගේ රියෝ බලන්න පටන් ගත්තා. මං හිතන්නේ මං ඒ රියෝ බැළුවේ ජයග්‍රාහී විසි වෙනි වතාවට විතර.

ඉතිං ඔහොම පොඩි එකියි මායි මූවි එක බලද්දී අක්කලා අපේ අම්මලා එක්ක කතා කර කර ඉන්නවා. මට ඇහුනා මේ දවස් වල ජාතික ගීය වගේ ප්ලේ වෙන අරාශ්ගේ බ්‍රෝකන් ඒන්ජල් ප්ලේ වෙනවා අක්කගේ හරි අයියගේ හරි ෆෝන් එකේ… ගෙදරින් වෙන්න ඇති කෝල් එක. පොඩි එකීව උස්සගෙන ගාල්ලේ ඉඳන් මෙහෙ ආවට තව ලොකු දෙන්නෙක් ගෙදර. ඉතිං ඔන්න කෝල් එක ඉවර වෙලා ආයෙමත් අම්මලා ලොකු කතාවක, මගුලක් හොයනවද දන්නෙත් නෑ….

පස්සේ ඉතිං කෝම හරි අක්කලා දවල්ට කනකනුත් මට කන්න විදියක් නෑ. පොඩි එකීව දාලා ලැපී ගාවින් හෙල වෙන්න බෑ. මේකිගේ වැඩේ අරහෙන් මෙහෙන් බට්න් ඔබන එක. ඒකත් හිමිං නම් කමක් නෑ… පස්සේ ඉතිං කරන්නම දෙයක් නැති තැන මාත් බඩගනින්න පැත්තක දාලා කෙලී එක්ක රියෝ බැලුවා. මේකි පොඩ්ඩක්වත් ස්කිප් කරන්න දෙන්නෙත් නෑ, ආයේ ආයේ… කිය කිය ඒ ටික බලන්න ඕනේ කියනවා. කොටි වල්ගේ අල්ල ගත්ත වගේ තමා ඉතිං.

දවල් දෙකට විතර අක්කලා කෑම කාලා එහෙම ඉවර වෙලා ආය පොඩි සතුටු සමීචියක ඉද්දී ආයෙම චයිනීස් ෆෝන් එක රිං වෙනවා. එව්වයේ සද්දෙ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඊට පස්සේ එක පාරටම අක්කා කලබල වෙලා වගේ අපේ අම්මට කියනවා ඇහුනා… නැන්දේ ලොකු පුතා ඉක්මනට එන්න කියනවා, මොකක් හරි කරදරයක්ද දන්නේ නෑ කියලා…

මමත් පොඩි එකීව තියලා ගියා බලන්න මොකද කේස් එක කියලා. නෑ මල්ලි විතරයක් කිව්වේ නෑ ඉක්මනට එන්න කිව්වා විතරයි…. කියලා තමා මටත් උත්තරේ හම්බුනේ.

පස්සේ පොඩි එකීවත් දඩ බඩ ගාලා ලෑස්ති කරගෙන අක්කයි අයියයි ආයෙම ගාලු යන්න පිටත් වුනා. ඊට පස්සේ රෑ හතට විතර ගෙදරට කෝල් එකක් ආවා. අපි හිතුවෙම අයියලාගේ ආච්චි සෙත්ත පෝච්චි තමා කියලා… අනේ… ඒ වුනාට අක්කා කතා කරලා කියපු දේට මට නම් පෝලොව පලාගෙන යන්න හිතුනා.

නෑ නැන්දේ … අපේ ලොකු එක්කෙනාට සෙනසුරු මාරුව හොඳයි කියන්නේ… කොල්ලට කෙල්ලෙක් සෙට් වෙලාලු.

බලන්න දැං හැදෙන එවුන්. ඌට කෙල්ලෙක් සෙට් වෙච්ච අම්මට කියන්නේ කෝල් එකක් දීලා. ඒ මදිවට අක්කලා ගෙදර යද්දී, ගෙදර බැලුම් බෝල එල්ලලා, උගේ යාළුවන්ට පාටියක්ලු.

මං වැරදිලා වත් අපේ අම්මට ඒ දවස් වල කිව්වනම් එහෙම “අම්මේ යශෝ මට….” කියලා… මට වහාම ක්‍රියාත්මක වෙන පරිදි පදිංචිය වෙනස් කරන්න වෙනවා.

 

සිතියම් සරමා…

හෙට නත්තල්නේ.. දැන් ඉතිං කතෝලික අය නත්තල සමරන්න ජයටම ලෑස්ති වෙනවා. නත්තල් ගහක්, පුංචි ගව මඩුවක් ලෙනක් එහෙම හදලා ලස්සනට ලෑස්තිවෙනවා. හරියට අපි වෙසක් එකට වෙසක් කූඩු හදලා සල් උයන් ගහනවා වගේ. ඉතිං ඔය වගේ දේවල් අතරේ කතෝලික අය ගොඩ දෙනෙක් නත්තල් පාටි දානවා.

මේ කතාවත් මේ එහෙම පාටියක් ගැන තමා. එතකොට මං ස්කෝලේ දහය වසරේ විතර ඇති. අපේ පන්තියේ මට මතක විදියට හිටියේ කතෝලික අය දෙන්නයි නැත්තං තුන් දෙනයි. ඒ අතරින් එරල් කියන්නේ තාත්තගේ සල්ලි වලට වග කියන හොඳ පුත්‍ර රත්නයක්. මිනිහාත් එක්ක අපිට හිටි ගමන් මල පයින වෙලාවලුත් තිබ්බා. කොහොමත් ඉස්සර ඉඳන්ම පොඩි ආරවුලක් තිබුනා, අර දේවිකාගේ සීන් එකකට.

කොහොම හරි ඉතිං නත්තල් කිට්ටු වෙද්දී නම් මූ අපිත් එක්ක සෑහෙන්න ෆිට් වෙනවා. විශේෂ හේතුවක් නෑ, ඒත් ඔය ගව ලෙන හදන්න පිදුරු ටිකක් හොයාගන්න, ෆයිනස් අත්තක් හොයාගන්න එහෙම අපි තමා පොරට උදවු කලේ. ඇත්තටම එරල්ට උන්ගේ තාත්තා සල්ලි වලට ගෙනත් දෙන ගවලෙන් එහෙම පේන්න බෑ. මෑන්ට ඕනේ වුනේ හැමදාමත් උගේ අතින්ම අපිත් එක්ක මහන්සි වෙලා අවශ්‍ය කලමනා හොයාගෙනන හදපු ගව ලෙනට නත්තල් දාට ලයිට් වැලක් දාල ලස්සන බලන්න.

අපිත් ඉතිං ඒ බව දන්න නිසාම කොයි තරම් හිත් නොහොඳ කම් තිබුනත් උපරිමෙන් සපෝට් එක දුන්නා. අපිට නත්තල් දාට පොරගේ ගෙදරට යන්න බැරි වුනොත් මූ ගවලෙනේ ෆොටෝ එකක් ගහලා හරි අපිට ගෙනැල්ලා පෙන්නනවා… බලපං උඹලා හදපු ගවලෙන කියලා. ඇත්තට අපි කොරපු දෙයක් නෑ… අපි කලේ ඌට අවශ්‍ය එව්වා හොයලා දීපු එක විතරයි. ඒ අතින් බලද්දි නම් එරල් නියම යාළුවෙක්.

ඔන්න ඔහොම පොඩි කාලේ ඉඳන්ම අපිත් එක්ක හිටිය එරල්, අපිට පොඩි ආරාධනාවක් කලා දහය වසරේදී, නත්තල් දා හවසට පොඩි පාටියක් තියෙනවා වරෙන් කියලා. ඒ වෙනකම්ම හැම අවුරුද්දෙම අපිට ආරාධනා කලත් අපි එතකොටත් දැන් වගේම පුංචි නිසා අපිට අම්මලා යන්න දුන්නේ නෑ… කොහොම හරි දහය වසරෙදි අපිට වැඩිය ලොකු කොන්දේසි නීතිරීති නැතුව එරල් ගේ ගෙදර පාටියට යන්න අවසර ලැබුනා. පස්සේ අපි පාටියට යන්න කැමැත්තෙන් හිටිය දහ දෙනෙක් විතර සෙට් වුනා අපේ ස්කෝලෙට හැරෙන පාර ගාවට.

පස්සේ ඔන්න පොඩි කලෙක්ෂන් එකක් දාල, හැම ස්කෝලේටම හැරෙන තැන තියෙනවනේ ලොකු ග්‍රොසරියක්… දැන් නම් ඉතිං ස්කෝල ගාව තියෙනවනේ ෆාමසිත්. ඉතිං  ආන්න ඒ ග්‍රොසරියෙන් ගත්තා ටීක්…ටීක්… ටීක්… එකක්. පස්සේ ටික වෙලාවක් යද්දී එරල්ගේ තාත්තා ආවා ඌවත් දාගෙන වෑන් එකක. ඇවිල්ලා අපි ඔක්කොමවත් දාගෙන එක්කගෙන ගියා එරල්ගේ ගෙදර.

ඔන්න ඉතිං ගිහිං, කොල පාට තණ බිස්සේ බ්‍රාස් ගාලා බේක් එකක් එකක් ගහලා නැවැත්තුවා වෑන් එක. මං හිතන්නේ ඒ එරල්ගේ අම්මට පොඩි මැසේජ් එකක් දුන්නා, අපේ පුතාගේ ගැන්සිය බැස්සා… ඉක්මනට ඇවිත් මුන්ව පිලිගන්න නැත්තං විනාසයි කියලා. මොකද මිදුලේ එක කෙලවරක තිබුනා ලස්සනට මල් වවලා, පොඩි ආරුක්කු පාලමක් දාපු සිරා පොකුනක්… අපි ඔතෙන්ට දිවුවොත් ආයෙ ගෙට ගන්නවා බොරු නිසා තමා ඒ.

ගේ ඇතුලට අඩිය තිවුවා විතරයි කෙලින්ම පෙන්නේ නත්තල් ගහ. අපේ කවුරු හරි තමා ෆයිනස් අත්ත ගෙනත් දුන්නේ. ඒකේ ලයිට් වැල් දෙක තුනක් පටලවලා, තව මොනාද මංදා බිත්තරේ වගේ අයිටම් එක එක පාටින් එල්ලලා මාර ලස්සනයි. එතෙනන් පොඩි මේසයක් තියලා මේසේ වැහෙන්නම ගව මඩුව හදලා. ඒකත් ලස්සනයි. ගව මඩුව වටේ එරල්ගේ කෝචිචය යනවා. ඒකෙ රේල් පාරවල් ගලෝලා ඕනේ විදියට සෙට් කරන්න පුළුවන් එකක්.

පස්සේ ඉතිං ඔන්න අපිව එක්කං ගියා එරල්ගේ කාමරේට. එතෙන තමා අද කතාවේ මාතෘකාව තිබුනේ. කාමරේට ගිය ගමන් මුලින්ම පේනනේ හොඳට අස්පස් කරලා තියෙන ඇඳ. ඊට පස්සේ තඩි සයිස් කොම්පියුටර් එක… ආයමත් පැත්තකින් ස්මෝල් සයිස් නත්තල් ගහක්… එරල් තමා කිව්වේ ඒක උගේ නත්තල් ගහ කියලා. ඒකෙත් අර ලොකු සයිස් එකේ වගේම බලුප් වැල් පටලෝලා මාර ලස්සනයි.

පස්සේ ඉතිං ඔහොම ටික වෙලාවක් කැරකි කැරකි ඉඳලා කීපදෙනෙක් වාඩි වුනා එරල්ගේ ඇඳෙනුත් අනිත් වුන් පුටු කීපයකත්… එරල් ගියා අපිට කෑම මේසය ලෑස්ති කරන එකට උදවු වෙන්න.

පුටු වල වාඩි වෙච්චි අය ඉතිං මුළු කාමරේ පුරාම ස්කෑන් කරනවා. ඒ වෙන කරන්නම දෙයක් නැති නිසා. ඇඳේ හිටිය අපි අළුතෙන් එලපු බෙඩ් ෂීට් එකේ දිගාවෙලා එක එක එව්වා කතා කරනවා. පස්සේ පුටුවේ වාඩිවෙලා හිටිය කවුරු හරි එකෙක් කිව්වා… අඩෝ ආං බං එරල්ගේ සිතියම් පොත… කියලා. අපිත් ඒ දවස් වල සමාජ අධ්‍යයනයට සෑහෙන කැමති නිසා ටක් ගාලා බැළුවා අනිත් යාළුවගේ ඇඟිල්ල දික් වෙලා තියෙනදිහා.

මල මගුලයි… එරල් කාරය උගේ ඇඳුම් රැක් එක වහලා තියෙන්නේ උගේ ලා ක්‍රීම් පාට බැක්ග්‍රවුන්ඩ් එකේ දුඹුරු පාටයි ලා දම් පාටයි හොරිසොන්ටල් ඉරි වැටිච්ච උගේ සරමෙන්. සරම හෝදලද නැද්ද මන්ද. කොහොම හරි එරල්ගේ හෝමෝන ක්‍රියා කාරීත්වයේ හා ඔටෝ ඩිස්චාජින් සිස්ටම් එකේ ප්‍රතිඵල සරම පුරාවට ලස්සනට තියෙනවා. අප්පා ඒක හෙන සංකීර්ණ සිතියමක්. ලග ලඟ රටවල් ගොඩයි. දේශ සීමා ක්‍රොස් වෙලා. සමුද්‍ර සන්ධි මුහුදටම දියවෙලා ගිහිං. ගුවන් මාර්ග නැව් මාර්ග එහෙම වෙන් කරලා නෑ… තනිකරම තියෙන්නේ බෝට්ටු පාරවල්…. මේ ලෝකේ සිතයමක් නම් වෙන්න බෑ ඒක.

පස්සේ හිනාව නවත්ත ගන්න බැරිතැන කට්ටයම ගියා සාලෙට. හැමෝගෙම මූන රතු වෙලා හිනාව තද කරගෙන ඉඳලා. ඇස් වල කඳුළු පිරිලා. ඊට පස්සේ ටික වෙලාවකින් නෝමල් වුනත් එකාට එකාගේ මූනු දකින කොට ආයෙම  හිනා යනවා. ඉතිං දහ දෙනා එකක් වෙනම වෙනම වැඩ දහයක නිරත වෙලා තමා ඉන්න වුනේ. අපිට ඉතිං පාටිය ලැබුනත් එකයි නොලැබුනත් එකයිනේ දැං.

පස්සේ ඉතිං නිවාඩු ඉවර වෙලා ස්කෝලේ ගියා. උදේ රැස්වීම් අරවා මෙව්වා ඉවර වෙලා බලද්දී අපි දැන් එකොලහ වසරේ. පස්සේ එකොලහ වසරේ මුල්ම කාඩ් එක අපේ එරල්ට අපි ආදරෙන් පිරිනැමුවා…. සිතියම් සරමා කියලා. ඒත් ඉතිං කෙල්ලෝ අහන කොට ඒකෙ තේරුම මොකද්ද කියලා….!!!!

මං නම් කියන්නේ වැඩි විස්තර දැන ගන්න ඕනේ නම් නවම් අයියගේ හොටු පෝස්ට් එක බලන්න කියලා…

සිරිපාලගේ බර…

අපේ ඔෆිස් එකට සැරින් සැරේට එක එක දේවල් වලට එක එක අය එනවා. වැඩි හරියක්ම එන්නේ ගණුදෙනු කාර භවතුන් හා මෙටීරියල් සප්ලයර්ස්ලා  වුනාට සතියකට පාරක් වත් අපේ ඇටෙන්ඩන්ස් සිස්ටම් එක හදන අයත් එනවා. හිතාගන්න පුළුවන්නේ කොයිතරම් හොඳ ඇටෙන්ඩන්ස් සිස්ටම් එකක්ද අපිට තියෙන්නේ කියලා… ඇත්තමයි ඊට වැඩිය හොඳයි පොඩි කාලේ ස්කෝලේ නම් ටීචර්ලා හයියෙන් නම කියන කොට අපි ඉන්නවා කියලා කෑග්ගහලා කියද්දී ගුරුවරු එක දාන රෙජිස්ටරේ.

ඔය ඇටෙන්ඩන්ස් සිස්ටම් එක කරන කට්ටියම තමා අපේ බා කෝඩ් සිස්ටම් එක කරන්නෙත්. ඉතිං ඇටෙන්ඩන්ස් සිස්ටම් එක වගේම තමා බා කෝඩ් සිස්ටම් එකත්. ඒ දෙකම එකම කම්පැනියෙන් කරා වුනාට කේස් දෙකට දෙන්නේ කට්ටි දෙකක්. එක ගොල්ලක් ඇටෙන්ඩන්ස් සිස්ටම් එකට අනිත් ගොල්ල බා කෝඩ් සිස්ටම් එකට. කොහොම හරි මේ දෙගොල්ලම හැම සතියකම එයලගේ ඇටෙන්ඩන්ස් මාක් කරලා අපේ පද්ධති දෙක හදලා දෙන්න මාරුවෙන් මාරුවට එනවා.  දැන් නම් ටිකක් විතර ගමන අඩුයි. අලුතෙන් එයාලගේ රික්වයමන්ට් වලට හරියන්න මැෂින් දෙකක් ගෙන්නලා රැම් වැඩි කරලා හාඩ් ඩිස්ක් කැපෑසිටි වැඩි කරලා, එකම පිස්සුවක් නටලා යාන්තං වැඩේ ෂේප් කරගෙන තියෙන්නේ. ඒත් ඉතිං කියන් බෑ කොයි වෙලේද කියලා.

ඉතිං ඔහොම ටික කාලෙකට කලින් අපේ බා කෝඩ් සිස්ටම් එකේ පොඩි වෙනස් කමක් කරා. ඒ කියන්නේ ඉලක්කං කැරැක්ටර් 13කට සීමා වෙලා තිබුන බා කෝඩ් එකට තව කැරැක්ටර් එකක් ඇඩ් කලා. ඊට පස්සේ තමා සෝයි වැඩේ වුනේ. මුලින්ම බා කෝඩ් එක ප්‍රින්ට් නොවී තිබිලා ඒක හැදුවම, මෙන්න ඊට පස්සේ ඩිස්පැච් කරන තැනින් ස්කෑන් වෙන්නේ නෑ….

පස්සේ ඔන්න කෝල් කරා අදාල කම්පැනියට. අපි මෙහේ බඩු ගහලා ගහලා වෙයා හවුස් එකේ තියාගෙන ඉන්නවා දැන් බඩු යවාගන්න විදියක් නෑ උඹලෑ කෙහෙම්මල් සිස්ටම් එක නිසා කියලා. වෙලාවටම ඒ අප්‍රේල් මාසේ. ඒ දවස් වලට බඩු වලට තියෙන්නේ මාර ඉල්ලුමක්. ඇයි ඉතිං බෝනස් හම්බුවෙනවා, ෆෙස්ටිවල් ඇඩ්වානස් හම්බුවෙනවා… තව කීයක් නම් කියලද… කොහොම හරි ඔන්න ඉතිං කෝල් එක දීලා පොඩි සද්දයක් දැම්මට පස්සේ අහවල් කොම්පැනියෙන් ආවා එකෙක්. පොර අපේ කොම්පැනියට ඇවිල්ල ඇවිල්ලම මාත් එක්ක ෆිට්. මොකද මං තමා ඔය බා කෝඩ් මෙව්වා එකේ ලෝකල් ඇඩ්මින් වගේ හිටියේ. ඉතිං මටත් වැඩේ ගොඩදාගන්න බැරි වුනාම තමා සර්විස් ප්‍රොවයිඩර්ව අමතන්නේ.

පස්සේ ඉතිං ඔය ආපු මෑන්ගේ නම සිරිපාල කියමුකෝ. උගේ හෙන පොෂ් කොල්ලා, ඒත් ඉතිං ඇත්ත නම දැම්මොත් ඌට උංගේ කොම්පැනියේ වසන්න වෙන්නේ නැති නිසා ටිකක් පරන නමක් දාමු. දැන් ඉතිං සිරිපාලගේ ගමන බස් එකේ. පොරට උංගේ කොම්පැනියේ ඉඳන් අපේ කොම්පැනියට එන්න හරියටම පැය දෙකක් යනවා. හැබැයි දුර තියෙන්නේ කිලෝමීටර් දහයයි. පරක්කු වෙන්න හේතුව තමා උගේ ගෑණූ ළමයාගේ ගෙවල් තියෙන්නේ අපේ ඔෆිස් එන පාරේ වීම. එන ගමන් ඉතිං එහෙටත් ඔලුව දාලා තේ එකක් එහෙම බීලා, බත් කන වෙලාවනම් බත් තුත්තකුත් කාලා එහෙම තමා පොර අපේ කොම්පැනියට එන්නේ. ඔව්වා දන්නේ මං විතරක් නිසා හොඳයි….!!!

ඉතිං මූ ආවා අපිට අර බඩු යවාගන්න බැරුව හොඳටම හිරවෙලා හිටිය දවසෙත්. ඒ ආවෙත් ඉතිං අනාගත බූදලේ දිහාට ගාටලා තමා. එහෙං එද්දී මූට හොඳට කන්න දීලා. මූත් ඉතිං නැන්දම්මාගේ අතින් හදන කෑම කන්න ආසා නිසාම, ලෝකේ තියෙන අන්තිම කෑම වේල වගේ කාලාතමා ඇවිත් තිබුනේ. හැබැයි එදා සිරිපාලගේ නරක වෙලාව…!

මූ වෙනදට අපේ ‍කම්පැනියට ඇවිත් කෙලින්ම එනවා මාව හොයාගෙන. මග දිගට කෝල් දීලා අඩෝ උඹ ඔෆිස් නේද කියලා අහන සිරිතක් නෑ. ඒත් එදා සිරිපාලගෙන් කෝල් එකක්. මං හිතුවේ පොරට එන්න විදියක් නැතුව කතා කරනවා වෙන්න ඇති කියලා ආන්සර් කරපු ගමන්….

මචං… මං උඹලාගේ ගාඩ් රූම් එකේ ඉන්නේ… පොඩ්ඩක් වරෙන්කෝ බං මෙහාට…. කිව්වා… අපේ ගාඩ් රූම් අයට සිරිපාල එන එක අමුත්තක් නෙවෙයි. මූ ආවේ සතියකට පාරක් හරි ආවෙ නැත්තං තමා අමුත්ත. ඉතිං මට හිතාගන්නත් බෑ මේකාව ගාඩ් රූම් එකෙන් තියාගෙනයි කියලා. පස්සේ කෝකටත් කියලා මාත් ගියා. යනකොට සිරිපාලයා ඉන්නවා මූන රතූ කරගෙන, දාඩිය පෙරාගෙන විසිටර් සීට් එකක වාඩි වෙලා…

මොකද බං මෙතන කරන්නේ… මැසිම තාම මෙතෙන්ට ගෙනාවේ නෑ… ඒක තිබුන තැනමයි…

මේ විහිළු කරන්න එපා බං… මට පොඩි හදිස්සියක්…

ඇයි බං…. මොකද්ද ප්‍රශ්නේ….?

මේ ටොයිලට් එකක් තියෙන්නේ කොහොද බං…?

උඹට ඕනේ ජල මුද්‍රිත එකක්ද නැත්තං ආතල් එකේ වාඩි වෙලා කරන්න පුළුවන් එකක්ද…?

මොන රෙද්දක් හරි කමක් නෑ ඉක්මනට මාව එක්ක ගෙන පලයං බං….

මෑන්ස්ගේ මූනෙන් පෙනිච්චි විදියට තත්වේ සෑහෙන බරපතලයි. යන්න ඔන්න මෙන්න වගෙ තිවුනේ. පස්සේ ඉතිං මමත් මූව එක්ක ගෙන ගියා ඔෆිස් ස්ටාෆ් එකට තියෙන වාඩි වෙලා කරන මෙව්ව එකට. ඒක තියෙන්නෙ පඩි පෙලක් නැග්ගම තියෙන දෙවෙනි තට්ටුවේ. ගාඩ් රූම් එකේත් ඊට නොදෙවෙනි වැසිකිලියක් තිබුනා වුනාට විසිටර් කෙනෙකුට ඒකට යන්න දෙන්න පුළුවනෑ…. එහෙම නැතුව මූව මඩවන්න හිතාගෙන මං තව ටිකක් ඇවිද්දෙව්වා එහෙම නෙවේ.

පස්සේ ඉතිං පොරව උඩට එක්කගෙන ගිහිං පාටිෂන් කරපු ඇසිස් අකවුන්ටන්ගේ කාමරයේ වීදුරු වලින් මං පෙන්නවා වැසිකිලිය තියෙන තැන. ක්ලීනින් සර්විස් එකෙන් වැසිකිලිය පිරිසිදු කරන්නද කොහෙද දොර ඇරලා දාලා තිවුනේ. ඒක නිසා ඉතිං සින්ක් එකත් ඊට පොඩ්ඩක් පහලින් සිරිපාලට මේ වෙලාවේ වටිනාම වස්තුව වෙච්ච පිඟන් ගඩොල් කොමඩ් එකත් බැබලි බැබලි තියෙනවා පේනවා. සිරිපාලත් හරියට නිකං ක්ෂේම භූමියක මිරිඟුව දැක්ක මයිනා වගේ එහෙට මෙහෙට ඇඹරෙනවා.

ඒයි… ආං , වොෂ් රූම් එක… ගිහිං කරන දෙයක් කරගෙන ඉක්මනට බා කෝඩ් සිස්ටම් එක හදලා දීපිය කියලා… මට වාක්‍යය ඉවර කරන්න වුනේ නෑ මූ….

 හරි හරි බං. මට විනඩියක් දීපන් කියලා… ඇසිස් අකවුන්ටන්ගේ පාටිෂන් කරපු කාමරේ තිබ්බ ෆයිල් රැක් එකත් කාමරේ ඇතුලට වට්ටගෙන මූ දඩාං ගාලා හැපුනේ නැතෑ පාටිෂන් එකේ යට හරියේ තියෙන හාඩ් බෝඩ් එකෙයි, උඩි හරියේ තියෙන වීදුරුවෙයි…. හප්පා මට තිබුන සන්තෝසේ…. පොරගේ ඔලුව ගෙඩි ගැහිලා… අනිත් පැත්තෙන් ෆයිල් ටික  බිමිට වැටිලා…. මල මගුලයි… එතෙන.

පස්සෙ ඉතිං හැමෝම ඇවිල්ලා පොරවා පුටුවකින් වාඩි කරලා සිද්ධාලේප එහෙම ගාන්න හදද්දි මූ දිව්වා වොෂ් රූම් එකට. ඒක ඇතුලේ විනාඩි දහයක් විතර තැපලා ඇවිත් ඔන්න වැඩේ කරන්න පටන් ගත්තා. මට දැන් හිනා මුගේ රතු පාට වෙලා ඇපල් ගෙඩිය වගේ දිලිසෙන නලල දැක්කම…

මේ … සිරිපාල… මොකද බං උනේ උඹට, අර කාමරේ බිත්ති ගලෝගෙන යන්න හැදුවේ…?

යකෝ ඒ තිබුන බර උඹට තිබුන නම් ඒත් එච්චර තමා… ඕයි කොමඩ් එක දැක්කම දිවියලෝකේ ගියා වගේ වුනා බං. මට අමතක වුනා එතෙන පාටිෂන් එකක් තියෙන බව… ඒ මාව චාටර් වෙයිද බං…? (පිස්සුද බං උඹව එහෙම චාටර් කරනවද මං…  )

අනේ ඉතිං ඒක අහලා මං නම් හිනා වුනේ නෑ… පව්නේ නේද… මොනා වුනත් බර වැඩි කමටනේ පාටීෂන් ගලෝගෙන යන්න හදන්න ඇත්ත.  අනික මේ කියනකං මං කටේ කෙල බිඳක් බිම හෙලුවේ නෑ. සිරිපාල පල්ලා සත්තයි.

 දැන් ඉතිං සිරිපාලගේ ඔෆිස් එකේ මේක කියවන අය සිරිපාලව අඳුන ගත්තොත් වෙන ව්‍යවසන වලට මං නම් නෑ ඕං… මෙව්වා ඉතිං නොකියා හංගගෙන ඉඳල වැඩකුත් නැහැනේ…

සිවුර පො​රවගත්ත, නරි….

මහා සංඝරත්නයෙන් අවසරයි…! කියලා තමා පටන් ගන්න වෙන්නේ. නැත්තං මේක කිය‍වන එක කටකින් හරි කියවෙන්න පුළුවන් අපෝ මූ ඒ පාර හාමුදුරු වරුන්ටත් අපහස කරනවය කියලා. නැත්තං වල්ගේ පාගගෙන මගෙන් අහන එව්වට උත්තර දෙන්න මට ආයෙමත් අතීතෙට ගිහිං දිසාපාමොක්ගෙන් ඉගෙන ගෙන එන්න වෙනවා.

මේ කියන දේවල් හැම හාමුදුරු කෙනෙකුටම අදාල වෙන්නේ නෑ. අපි දන්නේ නැති වුනාට මේ සිරි ලංකාව ඇතුලේ තවමත් වන ගතව ජීවත් වෙන මාර්ග ඵල ලාභී හාමුදුරුවරු ඉන්නවා. ඒක නිසා මේක සංඝ ශාසනේටවත් බුද්ධ ශාසනේටවත් අගෞරවයක් වෙන්නේ නැති වෙයි කියලා හිතාගෙන තමා ලියන්නේ. කොටින්ම මේක ලියන්නේ බුදු දහම විකුන ගෙන කන, බොරු මැජික් පෙන්නන,  සිවුරු පෙරවන් ඉන්න නරි හැතිකරේත් එක්ක මගේ හිතේ තියෙන කේන්තිය නිවාගන්න.

හාමුදුරුවරු ඉන්නවනේ, ඒය අය මං දන්න තරමින් ඉන්නේ බෞද්ධ දර්ශනයේ උන්නතිය සඳහා වැඩ කටයුතු කරන්න. ඒ කියන්නේ තවත් අවුරුදු 2400ක් විතර අපේ බුදු දහම රැක ගන්න. බුදු හාමුදුරුවෝ කියලා තියෙන විදියට මේ ලෝකේ මේ වාරේ බුදු දහම රැඳෙන්නේ අවුරුදු 5000ක් විතරයි. ඊට පස්සේ පවතින්නේ හින්දු ආගම. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා ධර්මය දේසනා කරන්න කලිනුත් මේ ලෝකේ වැඩියෙන්ම ප්‍රචලිත වෙලා තිබුනේ හින්දු ආගම. මේ සේරම දේවල් මං ඉගෙන ගත්තේ දහම් පසලෙන්. දැන් නම් දහම් පාසල් වල උගන්නන්නේ එහෙම්මද කියන්න මං දන්නේ නෑ… හිටි ගමන් විෂය කරුණුත් එක්ක සිලබස් වෙනස් වෙන රටක්නේ මේක.

ඉතිං ඔය හාමුදුවරු ගැන එක එක දේවල් එක එක වතාවන් වලදී අපිට අහන්න වෙනවා. ගොඩක් ඒවා මුලින්ම පටන් ගන්නේ බුදු දහමේ අනුහස් කියලා. ඒත් ඒ හැම දෙයක්ම තනිකරම පිරිසිදු සත්‍ය නෙවෙයි කියන එක අපිට දැනගන්නේ ලැබෙන්නේ ටික කාලෙකින්. ඒ හැම දෙයක්ම බෞද්ධ හාමුදුරුවරු විසින් තමන්ගේ මළු තර කරගන්න කරන දේවල් කියලයි මටනම් හිතෙන්නේ.

මට මතක මුල්ම තියෙන මුල්ම කතාව තමා නිකවැරටියේ පන්සලක බෝගහෙන් බුදුරැස් විහිදුන එක. වැඩිය ඕනේ නෑ ඒක බලන්න අපේ අම්මලා මාවත් උස්සගෙන ගියා තකහනියක්ම. මං නම් බුදුරැස් දැක්කේ නෑ. සමහර විට මං පුංචි නිසා වෙන්න ඇති. ඒකත් 18+ අයට විතරද දන්නෙ නෑනේ පේන්නේ. ඉතිං ටික දවසකින් ඒ කතාව බොරුවක් කියලා රටපුරා කතාවුනා. කොහොම හරි ඉතිං ඒ දවස් වල නොතේරුනාට දැන්නම් හිතෙනවා ඒ කතාව නිසා ඒ පන්සලට කොයිතරම් ආදායමක් ලැබෙන්න ඇතිද කියලා.

ආදායම ලැබුනට ඒකෙන් 99%ක්ම හාමුදුරුවන්ගේ පවුලේ අයගේ හා හිතවතුන්ගේ වැඩ වලට ඒ සල්ලි යෙදෙවුවොත් හාමුදුරුවන්ට නම් පින් සිද්ධ වෙයි, දානයක් දීම සම්බන්ධයෙන්. ඒත් සැදැහැවත් සිත් රවට්ටලා ඒ වගේ අපරාධයක් කරගත්ත එකටනම් අර පිං වගේ අනන්ත ප්‍රමාණයක පව්සිද්ධ වෙයි. ඇත්තටම මං නිකවැරටිය බෝගහේ සත්‍ය කතාව දැන ගත්තේ බොහොම මෑතකදී නිකවැරටියේම ඉන්නේ අම්ම දන්න කියන පවුලකින්.

අනිත් එක තමා දොලුකන්ද…. මං නොගියට අපේ ගමෙන් බස් කීයක් පුරෝගෙන පැන් කල අරගෙන කී දාහක් ගියාද දොලුකන්දට. රට වටෙන්ම කොයි තරම් පිරිසක් දිවා රෑ නොබලා ගියාද පිරිත් පැන් අරගෙන එන්න. ඒ මදිවට ලීටර් තිස්දාහේ වතුර බවුසර් කීයක් ලංකාව වටේ ගියාද පිරිත් පැන් බෙදන්න… අද කෝ ඒවා… පිරිත් පැනුත් නෑ, ඒවායෙන් සනීප වෙච්චි කෙනෙකුත් නෑ, හාමුදුරුවොත් නෑ. මං හිතන්නේ ඒ හාමුදුරුවොත් අපායේ කොහෙහරි හොඳ පොට් එකකින් ඉඩක් වෙන් කරගන්න ඇති. ඒ අතරේ හාමුදුරුවන්ගේ වටේ පිටේ නෑදෑයොන්ට, උදවු කරන මුදලාලිලට, එයාලගේ නෝනලට එහෙම වෙන වෙනම ඒ හම්බුන ආධාර බෙදෙන්න ඇති. මොකද අද වෙනකං ඒ පන්සල නගා සිටුවන්න ඒ ආධාර යොදා ගත්තා කියලා සාධු කාර දෙන කිසිම කෙනෙක් නැති නිසා.

ඊට පස්සේත් කිහිපයක් තිබුනත් ඒ ඔක්කොම පැත්තක දාලා මෑතකදී වෙච්ච දේ බලමු. පිටිදූවේ සිරිධම්ම… දැන් ඉතිං ඒ හාමුදුවරුවන්ට මොනා කිව්වත් කමක් නෑනේ… උන්නාන්සේ අපවත් වෙලානේ. මං පුංචි කාලේ දහම් පාසලේදි ඉගෙන ගත්ත විදියට කිසියම් මාර්ග ඵලයක් ලබපු උත්තමයෙක් ඒ බව අනුන්ට කියන්න යන්නේ නෑ. මොකද එහෙම තමන්ගේ තත්ත්වය අනිත් අයට කියලා, ඒ මිනිස්සු අතර කැපී පෙනෙන්න වගේම ගරු සැලකිලි ලබාගන්න තරම් පහත් මානසික මට්ටමක්, විකෘති ආශාවක් මාර්ගඵල ලාභීන්ට නැති නිසා.

ඒ වගේම මාර්ග ඵලයකට පත්වුනා කියලා සිවුරේ පාට වෙනස් කරන්න ඕනේ කියලා දෙයක් ගැන මං දන්නේ නෑ. සමහරවිට අර කලින් කිවුවත් වගේ සිලබස් වෙනස් වෙලාද දන්නේ නැහැනේ. අනික ඉතිං සිවුරේ පාට වෙනස් කරලා වාහනෙත් වෙනස් කරන්න ඕනෙයි…

ඒ වගේම තමන්ට හම්බුන මාර්ග ඵලේ ගැන මාර්ග ඵල ලබපු අය කියවන්න යන්නේ නැත්තේ ඒ ගැන සාමාන්‍ය අයට නොවැටහෙන නිසා වගේම, ඒ මාර්ග ඵලය තමන්ට මිල කල නොහැකි තරම් වටින නිසා. මොකද දැන් අයට මාර්ග ඵලය, සල්ලි නිසා, යටට ඇඳලා අහවල් එකට අඟල් දෙක තුනක් පහලට විතරක් වෙනකන් රෙද්දක් ඇඳගෙන කකුල් දෙකට වීට් සත්කාරය දීලා දිලිසි දිලිසි එන ගෑණූ නිසා නිකංම ලැබුන වුනාට සැබැවින්ම බුදු දහමට අනුව මාර්ග ඵල ලබාගන්ත උත්තමයෙක් කාපු කට්ට ගැන අපිට විස්තර කරන්න දන්නේ නෑ. කොටින්ම අපේ පටු මානසිකත්වයට ඒ වගේ බැරෑරුම් දේවල් තේරුම්  ගන්න බෑ.

ඉතිං මේකත් දැන් එක් තරා රැල්ලක් වෙලා තියෙන්නේ. එක එක කාලෙට මැජික් පෙන්නගෙන හාමුදුවරු එනවා යනවා. මතක ඇතිනේ දැනට අවුරුද්දකට දෙකකට විතර කලින් සිරා හාමුදුරුනමක් පට්ට බන වගයක් කිව්වා. අර ගෑණුන්ගේ බුරියේ එල්ලන, ටාං ටාං ගාලා සද්දේ එන ගෙජ්ජියක් ගැන එහෙම.ඒ හාමුදුරුවන්ගේ බන අහලා හිත් පහදවා ගත්ත කෙනෙක් නැති වුනාට ඒ කතා අහල ආතල් එකක් ගත්ත උපාසක උපාසිකාවෝ නම් ඕනේ තරම් ඉන්නවා. පන්සල් කීයකින් ඒ හාමුදුරුවන්ට ආරාධනා කරන්න ඇතිද… වඩින්න ස්වාමීනි, වඩින්න… අපේ උපාසක නෝනලා මහත්තරුන්ට පැය දෙකකට කනට පොඩි ආතල් එකක් දෙන්න කියලා… අපේ ගෙවල් අවටත් පන්සල් දෙකකටම වැඩියා. මං ගියෙ නැති වුනාට ගිය අය රෙකෝඩ් කර ගත්තු එව්වැයින් තමා මාත් දැනගත්තේ ගැහැනු අයගේ නැව නවත්තන වරාය ගැන එහෙම.

තව මේ වගේ සිද්ධි සෑහෙන්න ඇති. එව්වත් මීට දෙවෙනි නෑ. මොනා වුනත් මේ යන විදියටනම් අවුරුදු තව අවුරුදු 2400ක් තියා 1000ක් වත් තිබුනොත් ලොකු දෙයක්. මොකද දැනට බුදු දහමට වැඩියෙන්ම හානි කරන්නේ බුදු දහම තමන්ගේ, පවුලේ හා අවට හිතවතුන්ගේ යැපීම් මාර්ගය කරගත්ත මේ වගේ අලුගුත්තේරු හැත්තක් නිසා. මහ ලොකුවට බෞද්ධයෝ කෑගහනවා, අපිට වෙනත් ආගම් වලට එන්න කියලා බල කරනවය, අරක කරනවය මේක කරනවය කියලා… ඒත් ක බෞද්ධයෙක් කෑගහනවද… අපිට බුදු දහම නැති කරන මේ වගේ හොරුන්ගේ සිවුරු ගලවලා ශාසනෙන් නෙරපන්න කියලා…

මට නම් ඇහිලා නෑ…. ඔයාලට ඇහිලා තියෙනවද එහෙම කියනවා…?

කොහොම නමුත් සැබෑවටම යහපත් හාමුදුවරු ඉන්න නිසා අපිට මැරෙන්න මොහොතකට කලින් හරි බණ පදයක් අහන්න ඕනේ වුනොත් හිතේ සතුටින් ඒ අවස්ථාව තාමත් උදාකරගන්න පුළුවන් එක ගැන සතුටුයි…

මේ වගේ හොරු නිසා කොහොමත් අනිත් ආගම් වපුරන අයට තමන්ගේ වැඩේ කරගන්න මහ ලොකු අමාරුවක් වෙන එකක් නෑ. අන්තිමේ කොහොම හරි මේ වගේ සුළු පිරිසක් නිසා වෙන්නේ ඇත්තටම පන්සිල් රැකගෙන ධර්මයට අනුව ජීවත් වෙන ස්වාමීන් වහන්සේලාටත් පන්සල් අතෑරලා කැලෑවට යන්න වෙන එක. එතෙනත් ප්‍රශ්නයක්නේ… කෝ යන්න කැලෑ…??? කොහොමහරි මට නම් හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වට වැඩිය ඉක්මනට බුදු දහම මේ ලෝකෙන් නැති වෙයි වගේ මේ වගේ සල්ලි වලට මාර්ග ඵල ලබාගන්න හාමුදුරුවරු නිසා හා බොරු මැජික් කාරයෝ නිසා.

එයලා හිතාගෙන ඉන්නේ, කොම්පියුටර් ගේම් එකක චීට් කෝඩ් යූස් කරලා ගේම් එක ඉවර කරනවා වගේ කියලද දන්නේ නෑ සංසාර චක්කරේ ඉවර කරනවා කියන එකත්…! 😀 

 

වැස්සදාට ගමන, වමෙන්…

මේ වැහි දවස්නේ. ඉතිං මේ දවස් වල පින්නට ඔලුව බර වුනාම මහ අමුතු එව්වා හිතෙන්නේ… මේක තනිකර මගේ සංකල්පයක්…! අපි තූති කාලේ ඉක්කෝල වල කියලා දුන්නේ පයින් යන කොට පාරේ දකුණු පැත්තෙන් යන්න කියලා. ඒ අපේ ඉක්කෝලේ. ඔයාලෑ ඉක්කෝල වලත් එහෙම්ම නේද…? හැබැයි අපේ ගුරුවරු එහෙම කියන්න නම් තව හේතුවක් තිවුනා… ඒක කියන්න නිකං මොකද්ද මොකද්ද වගේ වුනාට කියන්න වෙනවනේ. අපේ ඉක්කෝලේට යන පාර දැන් නම් ගම නැගුම කියලා කොන්ක්‍රිට් කරලා තිවුනට ඒ දවස් වල ඉක්කෝලෙට යද්දී පාරේ වම් පැත්ත කියලා එකක් නෑ… ඉක්කෝලේ ඇරිලා එද්දි දකුනු පැත්ත කියලා එකක් නෑ… හේතුව තමා අපේ පාසල අවට තිවුන අනගි වාරි මාර්ග ජල කළමණාකරන පද්ධතිය. වැස්සදාට පාරේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට ගඟ ගලනවා වගේ…

ඒ නිකං ඉන්ට්‍රෝ පාරක්… මෙන්න කතාව.

දැන් අපි පයින් ඇවිදගෙන යනවනේ. ඒ කියන්නේ වාහන නැති අය පොඩි දුරක් හරි ගමනා ගමනයට තමන්ගේ රටක් වටින රන්පා යොදා ගන්නවනේ…  ඉතිං ඔහොම සිරි පොද වැස්ස වෙලාවට වගේම මහ ගිනි කාස්ටක අව්ව වෙලාවට වුනත් අපිට උගන්වලා තියෙන විදියට යන්න ඕනේ පාරේ දකුනු පැත්තෙන්. ඒකට හේතුව විදියට මං නං ඉගෙන ගෙන තියෙන්නේ අපිට ඉදිරියෙන් එන වාහන අපිට පෙනෙන නිසා ඇඟේ හැප්පෙන්න වගේ ආවොත් පැත්තකට පැනගන්න පුළුවන් වෙන්න කියලා වගේ තමා මතක. දැන් ඉතිං පැත්තකට පයිනවා බොරු. එහෙම වුනොත් නිකංම තාප්පෙකට ස්ටිකර් වෙන්න පුළුවන්…

ඉතිං මේ වැස්ස දවස් වල මට වෙච්ච දේ හැටියට වැස්ස වෙලාවට විතරක් පයින් යන අය වම් පැත්තෙන් යනු කියලා පුංචි සංශෝධනයක් කරානම් හොඳයි කියලා හිතුනා. මේවා මේ මං මෙහෙම ලිව්වයි කියලා පාර්මේන්තුවට ඉදිරිපත් කරනවා එහෙම නෙවෙයි ඕං. කියන්න බැහැනේ ගිය පාරේ ඡන්දේ ඉල්ලපු එකෙක්ගෙන් ඒ පලාතේ අය ඉල්ලලා තියෙන්නේ හෙල්මට් නැතුව බයික්කේ යන්න නීති සම්මත කරලා දෙන්න කියලනේ…!

මට මතක විදියට එදා බදාදා දවසක්. වෙනදා වගේම මං කලින් අඟහරුවාදත් ගෙදර ආවේ ටිකක් රෑ වෙලා. ඉතිං ආපු ගමන් කෑවා බීවා නෑවා දොයි. පස්සේ උදේ එලාම් එක වදිද්දි තමා ඇහැරුනේ. ඉතිං ලෑස්ති වෙලා ඔෆිස් යන්න එලියට බහිද්දි අම්මා කිව්වා… පුතේ අද හවසට ගිගුරුම් සහිත වැසි තියෙනවා කිව්වා. ඒක නිසා කුඩේ අරං යන්නය කියලා. මාත් ඉතිං ගත්තා කුඩේ. පස්සේ ඉතිං ඔෆිස් ගිහිං වහිනකං බලාගෙන ඉන්නවා. එකොලහ විතර වෙද්දි හොඳටම අව්ව. මං හිතන් හිටියේ උදේ වරුව වැහැලා හවස පායයි කියලා. නැත්තං ඉතිං තෙමිච්ච කුඩේ අරගෙන පොදු ප්‍රවාහන සේවා වල යනව කියන්නේ ඇග හීතල වෙන වැඩක්. ඒත් ඉතිං මං හිතපු විදියට එදා දවල් එකොලහ විතර වෙනකම්ම වැස්සේ නෑ. දැන් ඉතිං මගේ හිතත් ටික ටික අවුල්. ඇයි ඉතිං කාලගුණ වාර්තාවේ හැටියට අද වහින්න එපැයි කන පැලෙන්න. ඒක නිසා ඉතිං දවල් වැස්සේ නැත්තං අනිවා හවස වහිනේ කියලා බොහොම දුකින් උන්නේ. පස්සේ හවස තුනා මාරට විතර බලද්දීත් ඉර ඉන්නවා අහසේ. ඌට මෙලෝ ගානක් නෑ අපේ කාලගුණ දෙපාර්තමේන්තුවේ අයගේ සායම ගැන. ඇයි යකෝ වහිනවා කියපු එකේ තාමත් නැහැනේ වැස්ස. පස්සේ ඉතිං හිතිං හිතනවා… අනේ වහින එකක් ඉක්මනට වැහැලා ඉරව කරපිය, හතරා මාරට නම් වහින්න තියාගන්න එපා කියලා. එහෙම වුනොත් වෙන විපත්තිය මං හොඳට අත්විඳලා තියෙන නිසා ආයෙ අමුතුවෙන් රස කරලා කියන්න දෙයක් නෑ…

පස්සේ ඉතිං කොහොම හරි එදා වැස්සේ නෑ. අනේ මන්දා අපේ කාලගුණ වාර්තාව කියලා කියවන්නේ වෙන රටක එකද්ද මන්දා. පස්සේ ඉතිං අවුලක් නැතුව ගෙදර ගියා. ඉතිං එදා රෑ ප්‍රවෘත්ති වලට කියලා තිබුනේ නෑ ඊට පස්සෙන්දට වහින කතාවක්. ඒක නිසා ඉතිං මං කුඩේ ගෙනාවෙත් නෑ. අනේ…. එදා ඔෆිස් එකෙන් එලියට බහිද්දිම සීනි බෝල වගේ වැහි බිංදු වැටෙනවා. මොනා කරන්නද ඉතිං බාගෙට නාගෙන ඇවිත් බස් එකට නැග්ගා.

ඉතිං ඔහොම නැගලා ඇවිත් ගෙවල් වලට යන්න තියෙන ටික දුර පයින් පාරේ දකුණු පැත්තෙන් එද්දි තමා මේ මගුල වුනේ. ඔන්න මං ඇවිදගෙන එනවා. දකුණු පැත්තෙන් හරිද. එනකොට බස් එකක් ගියා, ආයිෂ්මා ගුන්ඩු… බස් එකේ රෝද වලින් විසික්වෙලා ආයෙම මඩ් ගාඩ් එකේ ඇතුලේ වැදිලා එලියට විසික් වෙන මඩ වලින් මාව බතික් වුනා. ඊට පස්සේ ටික දුරක් යද්දී අඩි විස්සේ පාරේ වාහනයක් නවත්තලා වම් පැත්තේ. ඉස්සරහින් එනවා තව වාහනයක් ස්ලෝ එකේ. ඩයිවර් මහත්තයා මයෙ දිහා බලාගෙන, පොර හිතන්නේ මං පාරේ තාර කට්ටෙන් පැනලා ඉඩ දෙයි කියලා. එවෙලේ මට තාර කට්ටෙන් පිට අඩිය තිබ්බනම් ඒ අයිනෙන් ගලාගෙන ගෙන යන වතුර පාරට මාව ගහගෙන යනවා. ඉතිං මට කරන්න දෙයක් නෑ. මං යන්නේ හරි පැත්තේ, එතනින් එහාට කරන්න දෙයක් නෑ. ඉතිං මාත් එහෙම්ම අයිනෙන් ගියා. ස්ලෝ එකේ ආපු වාහනේ තව ටිකක්  ස්ලෝ කරලා මට යන්න දීලා තමා ගියේ.

ඉතිං මං කියන්නේ ඒ වගේ හේතු නිසා, වැස්ස දාට විතරක් පයින් එක පැත්ත වෙනස් කලොත් හොඳයි නේද… ඔව්වා ඉතිං ලොකු ලොකු තැන් වලින් සම්මත වෙලා එනකං ඉන්න බැරි නිසා මං නම් දැන් වැස්ස දාට පයින් යන්නේ වම් පැත්තෙන්. ඉස්සරහින් මඩ වලක් තියෙනවනම් නම් පිටපස්සෙන් එන වාහනය යනකං පොඩ්ඩක් පැත්තකට වෙන්න පුළුවන් මඩ නාගන්නේ නැතුව. එතකොට අපිව පහු කරලා යන වාහනේ රෝද වලින් විසික් වෙන මඩ පාර අපේ පිටිපස්සට වැදුනත් ඉස්සරහට නොවදින නිසා, අනේ මඩ පාරක් වැදුනා නේද… කියලා නොදන්නවා වගේ යන්න පුළුවන්…! එතකොට අර ඉස්සරහින් එන වාහන වල ඩ්‍රයිවර්ලා වගේ අපි පාරෙන් පිටට පයින එක බලාපොරොත්තු නොවී පිටිපස්සෙන් අන අය වාහනේ පාරේ මැද්දට දාගෙන යන්න යන එක වගේ වාසි කිහිපයක් තියෙනවා…

අවාසිත් තියෙනවා එව්ව, මේක කියවපු අය කියයිනේ. මං ඔක්කොම කිව්වම හරියන්නේ නෑනේ… හැමෝටම හිතන්න අවස්ථාවක් දෙන්න ඕනේ…! අනික පිට රටවල පයින් යන අය යන්නේ පාරේ මොන පැත්තෙන්ද කියලා දන්න අය, නොදන්න අයව දැනුවත් කලාට අපි තරහා වෙන්නෙත් නෑ…!

එහෙනම් මගේ, වැස්ස වෙලාවට විතරක් ගමන වමෙන්… සංකල්පයට ජයවේවා…!

%d bloggers like this: