ජයනිගේ හරිය …..

ජයනි කියන්නේ අපි දෙක වසරෙදි, අපේ පන්තියේ, දේවිකාට පස්සේ හිටිය බ්‍රයිට්ම කෑල්ල. එත‍කොට කෑලි ගැන වැඩි තේරුම්ක් නොතිබ්බට ලස්සන අතින් බැලුවම තමා දේවිකාට විතරක් දෙවෙනි වුනේ. දේවිකා තරම් මහත් නොවුනට, ගිනි කූර වගේ හීන වුනාට ජයනිගේ කට නම් තියෙනවා ස්පෝට් මීට් එකට බැන්ද ලවුස් කීපරේ වගේ සද්දෙට.

මං වගේම අපේ පන්තියේ අනිත් එවුනුත් ඉතිං ඒ දවස් වල කෙල්ලන්ගේ කටට බයයි. හැම තිස්සෙම ඉන්නේ මූන රතු කරගෙන “ඥෑස්” ගාගන්න බලාගෙනනෙ. ඉතිං ඒ දවස් වල කෙල්ලක් අඬවන්න තිබ්බ බය තමා තාමත් අපේ හිත්වල තියෙන්නේ. එහෙම නැතුව මේ කෙල්ලොන්ට ඇති බයක් නෑ කොල්ලෝ. (බැඳපු අය ගැන නම් දන්නේ නෑ, සමහර විට පෝෂන මල්ලට සම්භාධක වැටෙන නිසා වෙන්න ඇති)

ඉතිං කොහොම හරි ඔන්න දෙක වසරෙදි අපිට උගන්නපු අබේවර්ධන මිස්ගේ හිත දිනාගන්න ජයනි සමත් වුනා. ඒ දවස් වල මිස් කෙනෙක්ගේ හිත දිනාගන්න එක ඒ හැටි දෙයක් නොවුනට මිස්ගේ ෆිට්ම ගෝලය වෙන එකේ නම් හොඳ හා නරක පැතිත් තිබුනා. නරක පැති තමා මිස් පන්තියෙන් යද්දී වතුර බෝතලේ උස්සං යන එක, පොත් ටික එකතු කරගෙන ගිහිං දීලා, ආයෙම පොත් බලලා ඉවර වුනාම ළමයින්ට බෙදලා දෙන එක වගේ කරදරකාරි වැඩ. හොඳ පැති තමා මිස් පන්තියේ නැති වෙලාවට තමන්ට ඕනෙ ඕනෙ විදියට ළමයින්ව පාලනය පුළුවන් බලතල ටික ලැබෙන එක. එතකොට පන්තියේ නායක කම ලැබෙන එක වගේ දේවල්.

ඉතිං ජයනිටත් වැඩි කල් යන්න කලින්ම ඔය සෝරොම වරප්‍රසාද ලැබුනා. හැබැයි ඒ අපේ අම්මයි තවත් අම්මලා කීප දෙනෙකුයි ඇවිත් ජයනිගේ පන්ති නායිකා බැජ් එක ගලවනකම් විතරයි….!

ඉස්සර අපිට තිබුනා අසා ලිවීම කියලා දෙයක්. මිස් කියනවා අපි ලියනවා. අකුරු ලස්සනට, හරියට රූල් අතර ලියන ළමයට රතු පෑනෙන් තරු තුනකුත් එක්ක ඉතා හොඳයි කියලා ලොකූකූකූ හරියක් ලැබෙනවා මිස්ගෙන්. ඔය හරිය ගන්න ඒ දවස් වල දඟලපු දැඟලිල්ලක්….! එක එක් කෙනාගේ මට්ටම් අනුව හරියේ දිග වෙනස් වෙනවා… ඉතා හොඳයි එක, හොඳයි…. සාමාන්‍යයයි, දුර්වලයි, ඉතා දුර්වලයි කියලා තවත් කෑලි වලට කැඩෙනවා.

ඉතිං ඔහොම අසා ලිවීම තියෙන දවසක, අපේ මිස්ට ප්‍රින්සිපල්ගෙන් පණිවිඩයක් ආවා ගුරු රැස්විමකට කියලා. ඉතිං ඇසීම පැත්තකින් තියලා වචන ටික කියවන්න කියලා ජයනිට පොත දීලා මිස් ගුරු රැස්වීමට ගියා. මේං ඉතිං ජයනි රජ වුනා වගේ තමා. ඒ දවස් වල ඉතිං කෙල්ලොන්ට සූව දාන්න අපි දන්නේ නැහැනේ. ඒකෙන් අනිසි ප්‍රයෝජනේ ගත්ත ජයනි පොර වෙලා මිස් කියනවට වැඩිය හයියෙන් කෑගහලා වචන ටික කියනවා. අපිත් ඉතිං වෙන කරන්නම දෙයක් නැති නිසා පුළු පුළුවන් විදියට අසා ලිවීම ලියනවා. පස්සේ ඉතිං වචන ටික ඉවර වෙලා මෙන්න ජයනිම පොතුත් බලනවා…!

අකුරු කැත අයට, මීට වැඩිය ලස්සනට ලියන්න… / රූල් වල ලියලා නැති අයට, තාම රූල් අතර ලියන්න බැරිද….? / අකුරු අඩුවෙන් ලියලා නැති අයට, ඔයා හරියට ලියලා නෑ… වගේ පඬි ටෝක් දිදි පොත් බැලිල්ල කරනවා. මාත් ඉතිං බෑ බෑ කිය කිය පොත උස්සං ගියා. වෙලාවට ජයනි ටීච මුකුත් කිව්වේ නෑ… පස්සේ ඔන්න පොතේ හරියක් දාලා හොඳයි කියලත් ලිව්වා…

ඒ ලියපු හොඳයි එක තමා ජයනිගේ නරකට හිටියේ. අපේ අම්මා ඉස්සර ඉක්කෝලේ ඇරිලා ගිය ගමන් මගේ පොත් ටික ඇදලා බලනවා. ඒ දවස් වල ඉතිං පොත් වල පිටකවර අස්සේ ලියුම් දාගෙන හිටියේ නෑනේ. ඉතිං අම්මා බලන්නේ මොනාද අද මූ ඉක්කෝලෙදී කරලා තියෙන්නේ කියලා තමා. වෙනදා වගේම පොත් බලද්දී අම්මා දැක්කා කව්දෝ මන්දා ටීච කෙනෙක් ‍බෝල අකුරෙන් හොඳයි කියලා ලියලා… ජයනි කියලා අත්සනුත් කරලා…

ලොකූ…???

මං ටී.වී බලනෝ…..

කාලෙකට කලින්  නඩුකාරි නඩුපොත උස්සං එනවා වගේ අපේ අම්මාත් එදා එනවා අර ජයනි ටීච සයින් කරපු පොත අරගෙන…

පුතා, කව්ද මේ අස්සන් කරලා තියෙන්නේ….?

ජයනි….

ජයනි කියන්නේ? අලුත් ටීච කෙනෙක්ද…?

නෑ නෑ… අයියෝ…. කාටුන් එක බලන්න දෙන්නකෝ…

කාටුන් නෙමේ ළමයෝ, කව්ද මේ අස්සන් කරලා තියෙන්නේ…? ඒ පාරනම් කේන්තියෙන්…

අපේ පන්තියේ නායිකාව… ජයනි…. අර අම්මේ කොන්ඩේ කොටට කපලා, වද මල වගේ කොන්ඩෙන් මලක් බැඳගෙන ඉන්නේ….!

වද මල වගේ තමා… මිස් කෙනෙක් ඇරෙන්න ළමයි කොහොමද ළමයින්ගේ පොත්වල අස්සන් කරන්නේ…? යංකෝ හෙට ස්කෝලෙට…

මාත් ඉතිං… හා… නියමයිනේ කියලා හිටියා.

ඒ දවස් වල ඉතිං අම්ම ඉක්කෝලෙට එනවා කියන්නේ හෙන ලොකු දෙයක්නේ. දහයට එකොලහට යද්දී නම්… පන්ති කවයක් තිබුනේ නෑනේ ළමයෝ කියලත් කියනවා ඇහුනා. තිබුනට ගෙන්නන්න පුළුවනෑ….

ඊට පස්සෙන්දා මං අම්ම ස්කූල් වෑන් එකේ නැතුව අම්ම එක්ක බස් එකේ ගියේ. අම්මගේ අතේ එල්ලිලා තමා පන්තියට ගියෙත්. පට්ට හැපි. ඇයි ඉතිං අපේ වයසේ හැම එකාම අම්මයි , අම්මගේ අතේ එල්ලිලා යන කොලුවයි දිහා බලද්දී කාටද ආඩම්බර… (සමහරු කියනවා එහෙම යද්දී ආඩම්බර තාත්තටලු. මං නම් දන්නේ නෑ එව්වා) පස්සෙ ඉතිං පන්තිය ගාවට යද්දී මෙන්න බොල මගේ යාළුවෝ දෙතුන් දෙනෙක්ගේ අම්මලා කිහිපදෙනෙකුත් ඉන්නවා. පස්සේ මාව පන්තියට යවලා අම්මලා ටික ලොකූකූකූ කතාවක්…

ඊට පස්සේ පන්තියට මිස් ආපු ගමන් ළමයින්ට ආයුබෝවන් කියලා, ආයෙම ගියා අම්මලාව මුන ගැහැන්න…. ඊට පස්සේ ඉතිං මොනා කතාවුනාද දන්නේ නෑ… කොහොම හරි මිස් ජයනිව ගෙන්නලා මොන මොනාද කිව්වා…. පවු…. ජයනි, එයාගේ ලා කහ පාට අහිංසක මූන රතු වෙනකම්ම අඬලා… ඇස් දෙකත් රතුම රතු වෙලා. ටීච එයාට බනින්න ඇති…. ඒත් මොකටද… ඇයි එයාට බනින්නේ…? එයානේ ටීචගේ හොඳම ගෝලයා…. මට ඉතිං ප්‍රශ්න ගොඩයි…. ඒ ප්‍රශ්න අස්සේ හෙනට දුකයි… ඒත් ඉතිං මං මොනා කරන්නද ???

පස්සේ ටිකකින් බලද්දී, හැමදාමත් එයාගේ සාක්කුවේ ලස්සනට එල්ලෙන පන්ති නායිකා කියලා මෙරුන් පාට බැක්ග්‍රවුන්ඩ් එකේ කහ පාටෙන් ලස්සනට ප්‍රින්ට් කරලා තිබ්බ බැජ් එක වෙන ගෑණු ළමයෙකුට දීලා…

ඊට පස්සේ ටික දවසකින් ජයනි ස්කෝලෙන් අස්වුනා… එදායින් පස්සේ ආයෙමත් එයාව අපිට දකින්න ලැබුනේ නෑ කවදාවත්…. අද වෙනකං….!!!

%d bloggers like this: