තනූජගේ කලිසම සහ දේවිකා…!

තනූජ කියන්නේ මගේ හෙන ෆිට් එකක්….! කොච්චර ෆිට්ද කියනවනම්, තනූජ තමා මට බ්ලුග් බ්ලුග් ලෝකෙට යන්න වීසා ලෑස්ති කරලා, ගමනට ඕනේ කරන ඔක්කොම සූදානම් කරලා සෑහෙන කැපවීමකින් වැඩ කලේ… ඉතිං ඒ ෆිට් එක නිසාම මං එක වසරේ ඉඳන් පහ වසර වෙනකම්ම මට ඒ කරපු උදවුවට ප්‍රති උපකාර කරන්න අවස්ථාවක්  හොය හොයාමයි හිටියේ…. එහෙමයි කියලා ඉතිං මං පොරත් එක්ක තරහ වෙලා හිටියේ නෑ….

අපිට ඉතිං එත‍කොට මාර බිසීනේ… පිරියඩ් අටේම ඉක්කෝලේ වැඩ,ඊට පස්සේ ගෙදර ගිය වෙලේ ඉඳන් ටීවී එකේ කාටුන් බලනවා. ආයෙම හවස් වේගෙන එද්දී බෑ….. බෑ…. කියලා අඬද්දී අම්මා කුදලගෙන ගිහිං ගේ පිටිපස්සේ තියෙන හීතල වතුර ‍ළි‍ඳෙන් නාවනවා… නැත්තං ඉතිං තාත්තා ගේන ඉස්පන්චි දෙන්නේ නැහැයි කියනවනේ…

ආයෙම රෑට මොනා හරි තාත්තට කියලා කවාගෙන නිදිය ගන්නවා. ඊට පහුවෙනිදට කිරි එක කටේ ගහන් නැගිටලා දත් මැදලා මූන හෝදලා ඉක්කෝලේ ඇඳුම් ඇඳන් … ඒ කිව්වේ නිල් ෂෝටයි, සුදු කමිසෙයි ඇඳන් ඉක්කෝලේ යනවා… ආයෙම ඉතිං ඉක්කෝලේ ගිහිං පීරියඩ් අටේම වැඩ… ඒ දවස් වල අපි කොහොමත් කලේ මිස්ලට උගන්නන එකනේ…. හා… පුතා දන්නවනම් කියන්න බලන්න කියලා…. එයාලත් කට ඇරං ඉන්නවා.

ඉතිං ඔහොම කාලේ ගතවෙද්දී තමා අවුරුදු කීහිපයක් ගිහිං අපි පහ වසරට ආවේ. ඇත්තමයි මං ජීවිත කාලේදි හිටිය මහ සවුත්තුම පන්තිය තමා ඒක. පන්තිය විතරක් නෙමේ අවුරුද්දම සවුත්තුයි. ඉස්සර ස්කෝලේ ඇරිච්චි ගමන් ගෙදර යන අපි දැන් දුවන්නේ සිස්සස්සෙට කියලා අම්මා ගිහිං ඇරලපු පන්තියකට.

කොහොම කොහොම හරි පහ වසරෙත් මාස කීපයක් යද්දී, මට ආයෙම මතක් වුනා අපේ තනූජට මං ණයයි නේද බොල කියලා. පස්සේ ඉතිං ස්කෝලේ වැඩ අස්සෙම තනූජට, ප්‍රති උපකාර කරන්නත් මං හිතාගත්තා. මොකද ඒ දවස් වල වෙනකොට මූ අපේ පන්තියේ හිටිය ලස්සම කෑල්ලට පැනිය දාගෙන හිටියේ…! කෙල්ලගේ නම දේවිකා…  අම්බෝ ලස්සන… බලාගෙන බත් කන්න පුළුවන්… බත් විතරක් නෙමේ ක්‍රීම් ක්‍රැකර් එහෙමත් කෑවැකි… චීස් කෑල්ල වගේ සුදුයි…. ඉතිං තනූජට මේ වගේ වෙලාවකදී උදවු නොකරන මගෙන් ඇති ‍වැඩේ මොකද්ද…?

ඉතිං අපේ තනූජයා, හැම දාමත් ඉන්ටවල් එකට දේවිකාට නුඩ්ල්ස් දෙනවා… ඉතිං ඒකට හරියන්න  දේවිකා ගේන සතූතූතූතූ පාට ජෑම් ගාපු පාන් පෙත්තක් හම්බුවෙනවා තනූජයට. බොරු කියන්නේ මොකටද පන්තියේ කොල්ලෝ ගොඩ දෙනෙක් දේවිකාට ඇහැදාගෙන තමා හිටියේ… හැබැයි අනේ ඕං මං නම් නෑ…. මං නම් බලයි ඔය කෙල්ලෝ දිහා… කියලා කිව්වට මගේ හිතෙත් පුංචි මෙව්වා එකක් තිබුනා.

සාමාන්‍යයෙන් දේවිකා කෑම කාලා ඉවර වෙලා කෙල්ලෝ කට්ටියත් එක්ක යනවා පිට්ටනියට ගස් පුච්චන්න. ගස් පුච්චනවා කියන්නේ ඔය දැන් කොල්ලෝ සෙට් වුනාම කැලෑ ගිනි තියනවා වගේ සෙල්ලමක් නෙමෙයි….! ගස් පිච්චිල්ල තමා ඒ දවස් වල ටොප් ලිස්ට් එකේ උඩින්ම හිටියේ… ඉතිං අපිත් දැං කැලෑ ගිනි තිබ්බට ඒ දවස් වල කෙල්ලෝ එක්ක පිට්ටනියට පැනගෙන ගස් පුච්චනවා. හෙන ෆන් සෙල්ලම… සෙල්ලම කරපු ඈයෝ දන්නවා ඇති, පිරිමි ළමයිනුයි ගෑණු ළමයිනුයි ගස් පුච්චද්දී තියෙන ෆන් එක. මං නම් ‍එකෝම එක පාරයි කෙල්ලෙක්ව අල්ලන්න ගිහිං ඒකි වැටුනට පස්සේ මාත් කෙල්ලගේ කකුලේ පැටලිලා ඒ ගෑණු ළමයාගේ ඇඟ උඩ වැටුනේ….! අප්පේ ඒ දවස් වල මටයි ඒකිටයි හැදිච්ච කතා ගොඩ… (ඒක්කෝ ඒවා ඕනේ නෑ)

ඉතිං ඔහොම ඩේලි රෑටින් එකේ ඉන්ටවල් එක යන දවසක… අපේ තනූජ ගෙනත් තිබුනා බත් එකක්. ඒ දවස් වල නම් ඉතිං බත් එක දිගෑරියා විතරයි කොලේ ඉතුරු වෙන සීන් නැහැනේ. ඒත් ඉතිං පංතියේ ටීචර් බලාගෙන ඉන්නවා බත් එක ඉවර කරනකම්…! පස්සේ කොහොම හරි අමාරුවෙන් අමාරුවෙන් තනූජ බත් එක ඉවර කරලා පන්තියේ උළුවස්ස ගාවට වෙලා හිටගෙන ඉන්නවා අපි සෙල්ලං කරන දිහා බලාගෙන… පොරට සෙල්ලං කරන්න යන්න විදියක් නෑ බඩ පිරිලා නිසා. ඊට පස්සේ තමා මං දැක්කේ මේ තමා පොරට ප්‍රති උපකාර කරන්න හොඳම වෙලාව කියලා. ඉතිං මාත් කිසි දෙයක් නොදන්න ගානට පන්තියට ගිහිං තාත්ත අරං දීපු වතුර බෝතලෙන් වතුර ටිකකුත් බොන ගමන් කල්පනා කරා මොන වගේ සැලකීමක්ද මූට කරන්නේ කියලා. ඔහොම හිත හිත ඉද්දී දේවිකාත් ඉන්නවා ටීචගෙන් මොනාදෝ මන්දා අහ අහ… පස්සේ මගේ ජුංඩං මොලේට මීටර් වුනා දේවිකාත් ඉන්න නිසා මූට කරන්න පුළුවන් ලොකුම උපකාරය මොකද්ද කියලා…

ආයෙ තව පාරක් හිත හිත හිටියේ නෑ… අර දෙමළ, තමිල්නාඩු මූවි වල වගේ සිං සිං ගාලා බෝතලේ එල්ලුවා පුටු කකුලේ… සුපර් මෑන් වගේ ස්පීඩ් එකෙන් ගියා තනූජ ගාවට. දනිස් දෙකෙන් පොඩ්ඩක් පහලට නැවුනා…. ලොකූකූකූ හූවකුත් කියාගෙනම තනූජගේ කලිසම ඇද්දා ඇදිල්ලක් පහලට, මං දිව්වා…. කලිසම නතර වුනේ තනූජගේ සපත්තු‍ දෙකේ උඩ ගැට්ටේ….

සීන් එක මුලින්ම දැක්කේ දේවිකායි මිසුයි….  ඒ දෙන්න හිනා වෙන කොට තනූජත් කලිසම එහෙම්ම තියාගෙන හැරුනා පන්තියේ අනිත් ඇතුලට. මොකද ඉතිං මං කරපු උදව්ව ගැන පොරට හිතාගන්නවත් බැහැනේ… ඊට පස්සේ ගැජමැටික් ටික දැකලා දේවිකා ඇස් දෙක වහ ගන්නවා විතරක් මං දැක්කා පන්තිය පිටිපස්සේ තිබුන යකඩ දැල් ගහපු ජනේලෙන්. තනූජ පිට්ටනිය පැත්තට පස්ස හැ‍රෙව්වා විතරයි හම්බුනා හූ හඬක්… මට තාමත් මතකයි කොච්චර පවර් ෆුල්ද ඒ සද්දේ කියලා. පස්සේ දඩ බඩ ගාලා මිස් ගුරු පුටුවෙන් නැගිටලා ඇවිත් තමා තනූජගේ කලිසම ඉස්සුවේ… ඌට ඒ වෙද්දිත් මොකද්ද උනේ කියලා හිතාගන්න බෑ…!

පස්සේ ඉතිං ඒ වෙලාවේ පිට්ටනියේ හිටය භාගයක් විතර නොමිලේ ෆිල්ම් එකක් බැළුවා. මාත් බෙල් එක ගහපු ගමන්ම ආයෙමත් පන්තිය වටෙන් ගිහිං රිංගුවා පන්තියට….

ගෝල්ඩ්හ් ෆිෂ්හ්

මල මගුලයි. ටීචර් මගේ පුටුවේ ලඟ. දැන් මං බිම බලාගෙන…. මට පේනවා නිකං වේවලක් වගේ අයිටම් එකකුත් මිස්ගේ අතේ තියෙනවා වගේ… ඒ එක්කම ලස්සනට සුදු පාට මල් වැල් වලින් ලස්සන කරපු සෝක් සෙරප්පු දෙකකුත් මිස් දාගෙන ඉන්නවා… ඒ ඉතිං මේ ගුටිකන වෙලාව මිසක් ඔව්ව බලලා සතුටු වෙන වෙලාවක් නෙමේනේ. අනික මට ගුටියක් කන්න බය හිතුනට අවුරුදු ගානක ඉඳන් කරන්න හිටිය උදව්ව මතක් වෙද්දී හිනා යනවා. ඉතිං සෝක් මූඩ් අතෑරලා හිනා වෙන ගමන්ම මිස් දිහා බැලුවා…

චටාස්…. පටාස්….

ගාලා වදියි කියලා හිතුවට. මගේ හිනා මූන දැක්ක ගමන් මිස්ටත් හිනා. විජහට සාරි පොටෙන් කට වහගෙන ආයෙම ගියා පන්තියෙන් එලියට. දැන් ඉතිං මට ෂුවර් ගුටිය කන්න වෙන්නේ සැර අඩුවෙන් කියලා. මං හිමීට තනූජ දිහා බැලුවා… ඌට එච්චර ගානක් නෑ… පොරත් මගේ දිහා බලාගෙන හිනාවෙවී ඉන්නවා.. ඒ ටීචර් මට ගහනකං….!

පස්සේ ආයෙම මිස් ආවා පන්තියට. මගේ ගාවට ආයෙම ඇවිත්…. නැගිටිනවා. ඒ පාර නම් බොරු තරහක් මවාගෙන. අපේ අම්මත් ඔය වගේනේ. ඒක නිසා ඉතිං බය වෙන්න දෙයක් නෑ. ඒත් ඉතිං කරපු වැරැද්දට දඬුවමක් දෙන්නත් එපැයි. නැත්තං අනිත් එවුනුත් එක එකාගේ කලිසම් ගලවන්න ගනියි…. ඒක නිසා ඉතිං මගේ මූන දිහා බලලා හිනාවෙන ගමන්… දුන්නේ නැද්ද වේවැල් පාරක්. රිදෙන්න නෙමේ, දඬුවමක් දෙන්න ඕනේ නිසා… අයෙ කරනවා එහෙම නෙවෙයි ඔය වගේ වැඩ… හරිද… හ්ම්… කියලා බොරු සැරයකුත් දාලා හිනාව තද කරගෙන ආයෙම ගියා ස්ටාෆ් රෑම් එකට වේවැල තියලා එන්න…!

ලාවට ගුට්ටක් කෑවත් එදා නම් මට හරි සතුටු දවසක්…!

%d bloggers like this: