සත්තුයි මිනිස්සුයි අතර වෙනස…!

ගොඩක් ඉස්සර කාලෙක එක රටක, එක නගරෙක ඈත කෙලවරකට වෙන්න තරුණ මිනිහෙක් ජීවත් වුනා. තනියම නෙවෙයි… ලොකු බංගලාවක, තරුණ බිරිඳයි, බංගලාවේ වැඩට ඉන්න කට්ටියයි එක්ක.

බංගලාව වටේටම තියෙන ලොකු වත්තේ තිබුන උද්‍යානය බලාගන්න මුරකරුවෝ කීප දෙනෙක්, වත්තේ පිටියේ වැඩ කරන්න ඒ වැඩ වලට දක්ෂ මිනිස්සු කීප දෙනෙක් එත‍ෙකාට ගෙදර වැඩ කරන්න සේවිකාවෝ කීපදෙනෙක් එහෙමත් මේ බංගලාවෙම ජීවත් වුනා. හැම දෙනාටම තරුණ මිනිහා සැලකුවේ පවුලේ අයට වගේ. තරුණ මිනිහාට ඕනේ තරම් සල්ලි තිබුනා. ඒ එයාට දෙමවුපියන්ගෙන් හම්බුවෙච්ච බූදලේ වගේම එයා කරන රැකියාවෙන් හම්බුවෙන වැටුපත් එක්ක. ඉතිං තරුණයා සතුටින් හිටිය නිසාම එයාගේ යාළුවන්ටත් මේ නිවසෙදී ගොඩක් වෙලාවට සාද පැවැත්වුනා… යාළුවොත් ගොඩක් හිටියා. ඒ වගේම තරුණයාගේ අම්මලා තාත්තලට සහෝදර සහෝදරියන්ට මේ තරුණයා ලස්සන පැති වලින් ගෙවල් හදලා දීලා බොහොම සුව පහසුවට ඉන්න සලස්සල තමා තිබුනේ.

ඉතිං කිසිම බරක් පතලක් නැතුව ගොඩක් සන්තෝසෙන් මෙහෙම දවස් ගනන් ගෙවී ගෙන යද්දී තරුණයාට හිතුනා සුරතලේට ඇති කරන්න බල්ලෙකුත් ගෙනාවොත් නරකද කියලා…! ඔහොම හිතලා යාළුවන්ගේ මාර්ගෙන් හොඳ වර්ගෙක බලු පැටියෙක්ව, තරුණයා පාවිච්චි කරන සෑහෙන වටිනාකමක් තියෙන කාර් එකේ දාගෙන ගෙනාව මේ ලොකු බංගලාවට. ඊට පස්සේ ඉතිං අර තරුණයා උදේට රැකියාවට යන්න කලින් බලු පැටියාට කෑම දීලා එහෙම තමා යන්නේ.

ඔහොම කාලයක් යද්දී බලු පැටියා ලොකු වුනා…. තරුණයා මහලු වුනා. අළුතින් සේවකයෝ ආවා ගියා. යාළුවෝ වැඩි වුනා වෙනස් වුනා…. ඒත්…..!

කවුරුවත් හිතුවෙ නැති වෙලාවක තරුණ කාලය පසුකරමින් සිටිය මහලු තරුණයා අසනීප වුනා. එයා දැන් ලෙඩ ඇ‍ඳේ…! ඉතිං ගෙදර හිටිය හැමෝටම හරි දුකයි… කොච්චර සුව කරන්න හැදුවත් කවදාවත් සනීප කරන්න බැරි, බෙහෙත් නැති ලෙඩක් තමා හැදිලා තියෙන්නේ කියලා දොස්තරවරු කිව්වා… ඊට පස්සේ ඉතිං පවුලේ අය මහල්ලාගේ සල්ලි ඉවර වෙනකම්ම බෙහෙත් කරා… ඒත් කිසිම ගුණකයක් නෑ… පස්සේ මහල්ලා පාචිච්චි කරපු වාහනේ විකුණලා එයාට බෙහෙත් කලා…. ඒත් සුව කරන්න බැරි වුනා…

පස්සේ ඉතිං තරුණයාගේ ගේ විකුණලා බෙහෙත් කරන්න හදද්දී, තරුණයා කිව්වා… මේ ලොකු ගේයි වත්තයි විකුණලා මං  කොහෙද ඉන්නේ කියලා….

එතකොට වටේ රැස්වෙලා හිටිය යාළුවෝ, නෑදෑයෝ කිව්වා…. අපි ඔයාට පොඩි කාමරයක් විතරක් තියෙන ගෙයක් බලලා තියෙන්නේ කියලා. ඒත් මහල්ලා ඇහුවේ ඒ ප්‍රශ්නෙත් නෙවෙයි, බලාපොරොත්තු වුනේ ඒ උත්තරෙත් නෙවෙයි…

මහල්ලා, එයාගේ විකිණුවට පස්සේ ඉන්නේ කොහෙද කියලා ඇහුවේ, තමන් නවතින්නේ කාගෙ ගෙදරද කියන එකයි… මොකද ඒ හැම ගෙයක්ම හදලා දුන්නේ මහල්ලා නිසා. ඒත් හම්බුනේ කවදාවත් හිතුව නැති උත්තරයක්….!

ඊට පස්සේ, හරි කමක් නෑ… මේ ඔක්කොම විකුනලා දාලා හරි මාව සනීප කරන්න පුළුවන්නම්..,! කියලා හිත හදාගනෙ අර යාළුවෝ කිව්ව පුංචි ගෙදර පදිංචි වුනා… දැන් අතට පයට වැඩ කාරයෙක්වත්, නෑදෑයෙක්වත් එන්නේ නෑ… මොකද ඒ තරම් පුංචි ගේකට එන්න එයාලට ලැජ්ජා නිසා…! බිරිඳත්, එයාගේ අම්මලා තාත්තලා ගාවට ගියා. එතකොට අර ගේයි වත්තයි විකුණපු සල්ලි….? ඒවා යාළුවෝ නෑදෑයෝ බෙදාගෙන… කොටින්ම අම්ම තාත්ත ගාව, බිරිඳ ගාව පවා ගේයි වත්තයි විකුණපු සල්ලි වල ‍කොටස් තිබුනා….

ඊට පස්සේ අර මහල්ලා තනි වෙලා…. කන්න බොන්න නෑ… යාළුවෙක් නෑයෙක් නෑ… ඒත් එයත් එක්ක එකම එක්කෙනෙක් එයාගේ තනියට ආවා…

ඒ තමා එයාගේ විකුණපු කාර් එකේ දාගෙන ගෙදර ගෙනාව වටිනා බල්ලා….! ඌගේ වටිනා කම නිසාම ගොඩක් දෙනා ඌව බලෙන්ම වාහ‍නවල දාගෙන තමන්ගේ ගෙවල් වලට ගෙනියන්න හදද්දී බල්ලා දත් විලිස්සගෙන මිනිස්සුන්ව කන්න පැන්නා. ඌ කවදාවත් කැමති වුනේ නෑ තමන්ට සලකපු ස්වාමියාව දාලා යන්න….!

%d bloggers like this: