කියවලා ඉවර කරන්න හිතෙන්නේ නැති, පොත් කියවිල්ල…!

අපි හැමෝම පොත් කියවනවනේ… අර කව්දෝ මන්දා කියලත් තියෙනවනේ පොත් කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ… කියලා. මටත් ඒ වැකිය ස්කෝලේ යන කාලෙ ඉඳලම අහලා අහලා ඇති වෙලා තිබුනේ. ඒ මදිවට අපේ පුස්තකාලෙත් තඩි අකුරින් බ්‍රිසිල් බෝල් හතරක් පහක් සෙට් ‍කරලා ලොකුවට ඇඳලා තිබුනා. ඒ දවස් වල ඉතිං ‍මගේ පොත් කියවීම ගැන කියනවනම්, මං අර පුස්තකාලේ තිබුන වැකිය දකින්නේ අවුරුද්දටම වැඩිම වුනොත් පස් පාරයි. එක පාරක් යනකොට දූවිලි පිහිදලා ලස්සනට බැබලෙන්න තියෙනවා. ආයෙ යන දාට මකුළු දැල් බැඳිලා දූවිලි පිරිලා…

කොහොම කොහොම හරි මං ටිකක් වැඩියෙන් පොත් කියවන්න ගත්තේ කුමාරිකාව එක්ක නඩු දාගන්න ගත්තට පස්සේ. ඒ දවස් වල ඉතිං එයා කියවන පොත් ප්‍රමාණේ එක්ක බැළුවම මාව අහලකින් වත් තියන්න බෑ. පියතුමා එයාලගේ පුස්තකාලෙන් පොත් ගේනවා නඩු කාරිත් එයාලගේ පුස්තකාලෙන් පොත් ගේනවා. ඉතිං එයා ඔක්කොම වැඩ පැත්තක තියලා පොත් ටික කියවනවා. ඒ දවස් වල මාත් බලනවා මොනාද මෙයා මේ කියවන්නේ කියලා. පස්සේ ඔහොම බලන්න ගිහිං තමා පොත් වල රහ මටත් දැනුනේ. එව්වා මැක්සා පොත් ටිකක්, ඔක්කොම පරිවර්තනය කරපු ළමා කතා. ආයෙ මොනාද පොත කියවද්දී අපිත් නිකං බෝට්ටු ගෙදර පොඩි ළමයි වගේ කියලා හිතෙන තරමටම සංවේදීව ලියලා තියෙනවා. ඊට පස්සේ නම් ඉතිං සතියකට එක පොතක් එයා කියවනවා, අනික මං කියවනවා…. ඒ ඉතිං හොරන්. මොකද කුමාරිකාවගෙන් ලස්සන කතා පොතක් ඉල්ලගන්නවා කියන්නේ ඉබ්බගෙන් පිහාටු ගන්නවාට වැඩිය හපන්….!

ඉබ්බනම්… අනේ මයේ ගාව නෑ ඕයි පිහාටු … බලනවකෝ කට්ටක් විතරයි තියෙන්නේ… තමුසෙට ඕනෙමනම් කුරුල්ලෙක් ගෙන් ඉල්ලලා දෙන්නං… කියලා හරි කියයි… ඒත් ඉතිං හපෝව්… මතක් කරන්න එපා… ඒකට අර ගල් ඉබ්බි….

නෑ…. නෑ… නෑ….කියවල මිසක් දෙන්නේ නෑ….!  ඉතිං එයා කි‍යෝලා ඉවරවෙන කොට පොත ආපහු බාර දෙන්න ඕනේ කාල සීමාවත් පැනලා.  ඒක නිසා මං පුරුදු වුනා පොත් හොරකම් කරගෙන ගිහිං එක හුස්මට කියෝලා ආයෙම ගෙනත් දෙන්න. පවුනේ ඉතිං අනිත් අයත් කියවන්න ඕනෙනේ…!

මේ තියෙන්නේ හොරකම මාට්ටු වෙලා අහගත්ත ටික…!

ඊට පස්සේ ඔහොම එක එක පැත්තට හැරී හැරී මගේ පොත් කියවිල්ල ටික ටික වැඩි වුනා. වැඩි හරියක්ම පරිවර්තන… ඊට පස්සේ විද්‍යාත්මක එව්වා, එතනින් පස්සේ ලංකාවේ අතීතය වගේ දේවල්. හිතට අල්ලපු නවකතා, යාළුවෝ හොඳයි කියපු නවකතා එහෙමත් හොයාගෙන හරි සල්ලි දීලා අරගෙන කියවන්නත් පුරුදු වුනා.

ඔහොම ගිහිං ගිහිං එක එක ඒවා කියෝ කියෝ හිටි මට ආයෙමත් ඉස්සර වගේ ළමා කතා කියවන්න හිතුනනේ…! ඒ දවස් වලට වැඩිය දැන් තමා ඒවා රස. කොටින්ම කියන්න කතා පොත කියවලා ඉවර කරන්න ලෝබයි. කතාව ඇතුලේ ජීවත් වෙමින් පොත කියවද්දී, චුරු චුරු ගගා වැස්සකුත් තිබ්බ නිසා ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද පරිවර්තනය කරපු‍ ලෝරා ඉන්ගල්ස් ගේ වන අරණක කුඩා නිවස පොත කියවලා ඉවර කරන්න මට දවස් හයක් ගියා කිව්වොත් මොකද හිතන්නේ…?

ඒ තරමටම අපේ හිත් තාමත් පුංචි කාලෙට ආස කරන හැටි. කතාවේ කියවෙන ලෝරායි මේරියි දිහා බලාගෙන, අපි එයාලගේ පුංචි ගේ ඇත්ලේ එහෙ මෙහෙ යන අදෘශ්‍යමාන චරිතයක් වෙන්නේ අපි හිතන්නත් කලිං.

දැන් ඉතිං ලැපිත් නැති එකේ පුංචි කාලේ කියෝපු පොත් සේරොම හොයාගෙන කියවන්න ගන්න ඕනේ…! මොකද සමහර පොත් තියෙනවා එක පාරක් කියෙවුවම තව තව කියවන්න ආසා හිතෙන එව්වා… ඒ අතරින් ඔය ගංගා නිරෝෂනී පරිවර්තිකාව පරිවර්තනය කරපු පොත් සීරීස් එකම නියමයි. ටිකක් තේරුම් ඇති වයසක පොඩි එහෙකුට තෑගි දෙන්නත් ගැලපෙනවා…

%d bloggers like this: