පාට පාටින් මූන හැංගිල්ල….

මුන හැංගිල්ල කියන්නේ ඉතිං අපි හැමෝම වගේ සාමාන්‍යයෙන් කරන දෙයක්නේ. අපේ ඇත්ත මූන යට ගහගෙන හොඳ මූනක් පෙන්නන එක කාටවත් අමුත්තක් වෙන්න බෑ. එව්වා ඉතිං කරන්නේ කාවහරි රවට්ටන්න තමා. එහෙමත් නැත්තං කාට හරි ලෙඩක් අදින්න හිතාගෙන. ඒත් මේ කියන මූන හැංගිල්ලනම් කරන්නේ ගොඩක් වෙලාවට අසනීප වෙච්ච කෙනෙක්ව සනීප කරන්න එහෙමත් නැත්තං සිතට යම් සහනයක් අවශ්‍ය වෙච්ච කෙනෙකුට ඒ සහනය ලබාදෙන්න හිතාගෙන.

ඉතිං මේ මුන හැංගිල්ලට මූලිකවම යොදාගන්නේ වෙස් මූන කියලා හඳුන්වන ලී වලින් කැටයම් කරලා නොයෙක් වර්ණ වලින් වර්ණවත් කරපු පළදනාවක්. දන්න විදියටනම් ගොඩක් වෙලාවට වෙස් මූනු හදන්නේ  වෙල් කදුරු ලීයෙන්. වෙල් කදුරුම පාවිච්චි කරන්න හේතුවෙලා තියෙන්නේ ලීයේ ඇති සැහැල්ලු බව වගේම ඕනෑම අතකට හරවා කැටයම් කිරීමේ පහසුව නිසයි. මොකද මේ ලීය කොයි පැත්තෙන් කැපුවත් පතුරු ගැල වෙන්නේ නෑ… ඒ වගේම කල් පවතින ලීයක්.

වෙස් මූනු ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පහත රට හා මුහුදු බඩ කලාප වල කියල තමා දැනගන්න තියෙන්නේ. ඒ වගේම ඒ පැතිවලිනුත් මාතර, අම්බලන්ගොඩ ආදි ප්‍රදේශ විශේෂ තැනක් ගන්නවා. ඒ වගේම වෙස් මූනු වල විවිධත්වය ගොඩක් වැඩියි. අපේ අතීත සාහිත්‍යයේ කියවෙන දෙවිවරු, රජවරු,බිසෝවරු, විවිධ නම් තියෙන හා විවිධ දේ වලට අරක්ගත් අමනුෂ්‍යයින් හා අලි ඇතුන් වැනි සතුන් දක්වාම මේ වෙස්මූනු කලාව ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම අපි සමාජයේ නිතර ඇස ගැටෙන චරිත කිහිපයකුත් මේ වෙස්මූනු වලින් හාස්‍යයට ලක් කරලා තියෙනවා.

මේ තියෙන්නේ විවිධ වර්ණ වලින් පැහැ ගන්වපු නැති වෙස් මූනු කිහිපයක්. අපේ රටට පැමිණෙන විදේශිකයින් දැන් දැන් වැඩිපුරම නැඹුරුවක් තියෙන්නේ මේ වගේ කදුරු ලීයෙන් හදලා පාට නොකරපු ලීයේ ස්වභාවික පැහැයෙන්ම තියෙන වෙස් මූනු වලට කියලා තමා ව්‍යාපාරිකයින් කියන්නේ.

මේ එක්තරා විශේෂ වෙස්මූනක්. අපි හැමකෙනෙක්ම කලාත්මකව පැහැ ගන්වන ලද වෙස් මූනු කොයි තරම් දැකලා තිබුනත් මේ වගේ කලු හා සුදු පැහැයෙන් පමණක් අලංකෘත කරන ලද වෙස්මූනු නම් දැකලා නැතුව ඇති වැඩි පිරිසක්…! ඉතිං මේ තියෙන්නේ එහෙම වෙස් මූනක්. වෙළඳ පොලේ ඇති ඉල්ලුම අනුව මේ වගේ නිර්මාණ කෙරෙන බව තමා වෙස් මූනු නිපදවන්නන් කියන්නේ.

මේ වෙස්මූනු අශ්‍රිතවම කෙරෙන තවත් නිර්මාණයක්. කදුරු ලීයෙන්ම කරන ලද කුඩා ඇත් රුවක් සහිත යතුරු රඳවන කීපයක් තමා මේ. මේ සියල්ල දැක බලාගන්නට වගේම මිලදී ගන්නටත් හැකියාව තියෙනවා අම්බලන්ගොඩ පිහිටි වෙස්මූනු කෞතුකාගාරයෙන්. මේ වගේ තවත් බොහෝ දේ නිර්මාණය වෙලා තියෙනවා. ඒවා අතර කුඩා දේව ප්‍රතිමා, ඉතා කුඩා ප්‍රමාණයේ වෙස් මූනු හා විවිධ සත්ව රූපද, අම්බලන්ගොඩ – මාතර ප්‍රදේශ වලට විතරක් ආවේනික රිටක හිඳ මාළු බෑමේ නිරත වෙන මිනිසුන්ගේ නිර්මාණද තියෙනවා.

ඇත්තටම ලංකාවේ අතීතෙයේ ඉඳලම පැවත එන මේ වගේ පාරම්පරික කලාවක් ගැන අහන්න ලැබෙන තොරතුරු බොහොම අපූරුයි. ඉස්සර මිනිසුන්‍ගේ විවිධාකාර ඇදහිලි ක්‍රම හා විශ්වාසයන් මූලික කරගෙන තමා මේ වෙස් මූනු නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම අර කලින් කිව්ව වගේ එක චරිත මෙන්ම මිනිසුන්ගේ විවිධ ඉරියව් වලට  පවා ඒ වෙනුවෙන්ම වෙන්වුන වෙස් මූනුත් තියෙනවා. කම්මැලිකම, සතුට, කේන්තිය, වමනය වගේ දේවල් වලට දැන් භාවිතා වුනේ ඉමොටිකන්ස් වුනාට ඉස්සර ඉඳන්ම ඒ ඒ දේවල් වලට අදාල දැනට වඩා පිරිපුන් සංකේතමය මූනු ශ්‍රී ලාංකිකයා පාවිච්චි කරල තියෙනවා.

ඉතිං මේ හැම දෙයක්ම හොයාගෙන ගියේ, ඉරිදට ගෙදර ඉන්න බැරි අමාරුවට පිංසිද්ධ වෙන්න. මේ හැම කරුණක්ම දැන කියාගත්තේ අම්බලන්ගොඩ වෙස් මුහුණු කෞතුකගාරයෙන්. මට මේ කෞතුකාගාරය පෙන්වන්න එක්කං ගිහිං කට්ට කාගෙන සෑහෙන උදවුවක් දුන්නේ මාඩාගේ අම්බලම ලියන මනූජ සහෝ තමා… ඇත්තටම ඒ කෞතුකාගාරයට ගියාම, කාලය හරහා ලංකාවේ අතීතයට ගියා වගේ හැඟීමක් තමා ඇතිවෙන්නේ. බලන බලන හැම පැත්තෙම හිනා වෙලා ඉන්න, විරිත්තගෙන ඉන්න, ඔරෝගෙන ඉන්න…. දිව එලියට දාගෙන හෑ… කියාගෙන ඉන්න එක එක විදියේ වෙස්මූනු වලින් පිරිලා.

නිවාඩු වෙලාවක හරි ගාල්ල පැත්තට යන ගමන් හරි නිකමට හරි ඒ තැනට ගියොත් ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වෙයි… ඒ නැතත් තමන් ඉන්න මූඩ් එකට හරි යන වෙස් මූනක් හරි හොයාගන්න බැරියෑ….

pdf එකක් ඕනේ නම් මෙතනින්…

%d bloggers like this: