රාළහාමී අයින් වෙන්ඩෝ…..

මීට අවුරුදු පහකට හයකට විතර කලින් මං දන්න කියන අයියා කෙනෙක් වැඩ කලා පොඩි වෑන් එකක ඩැයිවර් හැටියට. පොඩ කිව්වට ඉතිං වෑන් එක පොඩිමත් නෑ… අර ඒ දවස් වල ආපු මැස්ඩා පාන් බාගේ වගේ වෑන් එකක්. ඉතිං ඔය වෑන් එක නිකං එහාට මෙහාට ගියෑ නෑනේ… ඒකෙ සබන්, රෙදි සෝදන කුඩු වගේ එව්වා කඩ වලට දාන්න යොදවපු වෑන් එකක්.

මේ අයියත් ඉතිං සාමන්‍ය පරිදි ටිකක් විතර කුකුලා. මේ කියන දවසේ මූට ඩිලිවරි යන්න සෙට් වෙලා තියෙන්නේ කොට්ටාව පැත්තේ. ඉතිං හවස පහට විතර මූ බඩු ටික කඩවලට දාගෙන වෑන් එකේ ඉස්සරහා ඉන්න රෙපා එක්ක කොට්ටාවට එනවලු. ඒ වෙලාව ගාමන්ට් එහෙම ඕෆ් වෙන වෙලාවනේ. ඉතිං කොට්ටාවේ දකින දකින හැම තැනම ලස්සන ලස්සන ගෑණූ ලමයිලු… රෙපාත් ඉස්සරහ සීට් එකේ ඉඳන් එක එක කොමඩි කෑලි දානවලු කෙල්ලොන්ට පේන්න. පස්සේ ඉතිං කොහොමහරි වෑන් එක ට්‍රෆික් එකකට අහුවෙලා. ඒ පාර ඉතිං අර රෙපා දානවලු පැනි පාර බස් හෝල්ට් එකක ඉන්න කෙල්ලෙකුට. කෙල්ලත් ෆුල් ලයික් පාටයිලු… එහෙට ඇඹරෙනවලු… මෙහෙට ඇඹරෙනවලු… හරියට නිකං දෙහි ගෙඩියක් හිර වෙලා වගේලු….

පස්සේ ඉතිං මේ සීන් එක දකිනවා අපේ ඩැයිවර් අයියා. ඌට ටිකක් ජේ වගේලු මේ සීන් එකට. ඇයි ඉතිං පොර මැරී ගෙන වාහනේ එලෝනවා, රෙපා පැසෙන්ජර් සීට් එකට වෙලා පැනි පෙරනවා. ඉතිං කොහොම හරි ට්‍රෆික් එක ඉවර වෙනකං කාගෙන ඉඳලා…. ඊට පස්සේ ඉස්සරහා වාහන ටික ඉස්සරහට යනවා දැකපු රෙපා කියනවලු… අනේ මල්ලී, වාහනේ නම් හොල්ලනන් එපා බං ඔහොම්ම තියහං කියලා. හිතන්නකෝ ඉතිං රෙපා කොච්චර සිහිකල්පනාවෙන් ඉන්න ඇද්ද කියලා….

පස්සේ ඩැයිවර් අයියාට රෙපා ගැන තිබුන පහන් හැඟීමත් එක්කම ඇක්සලේටරේ උඩ නැගලම පාගලා ඇරලා ඇවිල්ල හතර මං හන්දියක් කිට්ටුවට. ඔහොම එනකොට ඉස්සර කහ ඉරක් තියෙනවලු. ඊට තුත්තක් එහායින් ට්‍රැෆික් බුවෙක් ඉන්නවලු. අර සුදු ඉරි  මාමලා කියන්නේ…. ඇයි බං අර 1200 දඩේට ඩිස්කවුන්ට් දීලා රුපියල් සීය කරන එවුන්…. ඉතිං ඩැයිවර් අයියා පාගලා එනකොටම අර බුවා හතර මං හන්දියේ මැද ඉඳගෙන අත දාලා වාහනේ නවත්තන්න… පැහැදිලිව කියනවනම් මෙහෙමයි….

ඔන්න හිතන්නකෝ උතුර, දකුන, නැගෙනහරි, බටහිර කියලා දිශා හතරක් තියෙනවා කියලා. ඉතිං ඒ දිශා හතරටම යන්න පුළුවන් පාරවල් තියෙන හතරමං හංදියක් තියෙනවා. ඒ හතර මං හන්දියේ දකුණු දිශාවේ පාරෙ මැදට වෙන්න ඉන්නවා පොලිස් කාරයෙක්. පොර ඉන්නේ උතුරු පැත්තේ ඉඳන් දකුනට එන වාහනයි, දකුණු පැත්තේ ඉඳන් උතුරට යන වාහනයි නවත්ගෙන නැගෙනහරි ඉඳන් බටහරිට යන එව්වටයි බටහිර ඉඳන් නැගෙනහිරට යන එව්වටයි යන්න දීලා…. දකුණු පැත්තේ පාරට පිටුපාලා දකුණු අත නැගෙනහරි පැත්තට දික් කරගෙන. හරිය…. ඉතිං අපේ ඩැයිවර් එන්නේ දකුණු පැත්තේ ඉඳන්. ඒ කියන්නේ රාළහාමිගේ පිටි පස්සෙන්. ඉතිං කොහොම හරි ඔය හතර මං හන්දියට කිට්ටුවෙද්දී වාහ‍නේ තිරංග වදින්නේ නැතුව යනවා. එතකොට ඉතිං හතර මං හංදියක් නෙවෙයි මොන මගුල තිවුනත් වාහනේ නවත්තන්න බැහැනේ. ඒක නිසා පොර හෝන් ගහගෙන ඉදිරියටම ඇදෙනවා. මේ වෙද්දී රෙපාටත් වැඩේ තේරිලා තිබුන නිසා මූත් වීදුරුවෙන් එලිවට ඔලුව දාගෙන අයින් වෙන්නෝ බෙරේක් නැ‍තෝ කියලා අනවුන්ස්මන්ට් එක දීගෙන තමා යන්නේ…. පස්සේ ඕං ආපු වේගෙට තත්පරේට දෙකට වාහනේ පොලිස් කාරයා ගාවලු. රෙපා කෑගහනවලු රාළහාමි අයින් වෙන්ඩෝ ගානකොටම…. රාළහාමිගේ ඇ‍ඟේ වැදිලා වෑන් එක. වැදිලා කිව්වේ ලාවට ටච් වෙලා. ඒ වැදිච්චි පාරට හා එක පාරට වෙච්ච දේට ෂොක් වෙච්ච රාළහාමි අර දිග ඇ‍රගෙන හිටිය අත එහෙම්ම තියෙද්දී අංසක අනූවක් විතර කැරකිලා….

දැන් ඉතිං වාහන නවත්තන හස්ත සංඥාව දකුණු පැත්තෙ නෙවේ…නැගෙනහිරටයි බටහිරටයි අදාල වෙන විදියටලු…. අනේ ඉතිං මේ සංඥා වෙනස් වීමට ඇහැගහ ගෙන හිටිය ඩැයිවර්ලා ඔක්කොම ගානට ඒ සංඥාවත් පිලිපැද්දලු… සුළු මොහොතකින්….. කාර් තුනක් එක්ක වෑන් දෙකක් වට කරගෙන රක්ෂනේ මහත්තරු ඉන්නවලු…

අන්තිමට කේස් එක පත්තු වෙලා තියෙන්නේ පොලිස් නිළධාරියා වැරදි සංඥා ලබාදීම නිසා සිදුවු රිය අනතුරක් කියලා….  පවු අහිංසකයා….

%d bloggers like this: