කෙල්ලෙකුට හම්බුන උපන්දින තෑග්ගක්…!!!

කෙල්ලට අවුරුදු 19ක් විතර වෙන්න ඇති. ඒ වෙන කොටත් ඒකිගේ මූනේ තිබුන පිං පාටට වහ වැටුන සමනලයෝ දෙතුන් දෙනෙකුගෙම ආදරයට පාත්‍ර වෙච්චි අහිංසක මලක්. ස්කෝලේ යන්න කාර් එකක්, අතට පයට වැඩ  කරලා දෙන්න වැඩකාරයෝ, අම්මා තාත්තගේ අසීමිත ආදරය වගේ කොයි තරම් සැප සම්පත් තිබුනත්… ඒ වයසේ හැටි කියන්නේ… අම්මලා තාත්තලා, අනිත් වැඩිහිටියෝ කියන දේවල් කනකට ගන්නේ නැති තරමට හෝමෝන වල ක්‍රියාකාරිත්වය උග්‍රවෙලා. ඉතිං කොහොම හරි අර සමනලයින්ගෙන් ඒ වෙනකොටත් තමන්ගේ රොන්වල පහස ලබන්න පිං තියෙනවයි කියලා හිතාගෙන හිටිය සමනලයාත් එක්ක මල ඉගිල්ලෙනවා…!

දෙමවුපියෝ හොයන්න පුළුවන් තරම් හොයනවා, ඒත් සමනලයා ගොඩක් සුක්ෂමයි. ඌ අරගෙන ආපු මල රැක ගන්න විදිය ඌ දන්නවා. හංගන්න පුළුවන් හැම තැනම හංගලා අන්තිමේ ටික කාලෙකින් රොන් උරාගෙන එහෙම ආරක්ෂාව ලිහිල් කලා. දැන් ඉතිං මුද්දරේ සීල් එක ගහලනේ…. ඒක නිසා එක අයිතිකාරයයි. අම්මලා තාත්තලා වුනත් එහෙම හිතාවි කියලා කෙල්ල හිතුවට, දෙමවුපියෝවත් කෙල්ලගේ නංගිවත් එහෙම හිතුවේ නෑ. ඒ මුද්දරේ කවුරු සීල් එක ගැහුවත් අම්මට තාත්තට ඕනේ ඒ මුද්දරේ, ඒ අහිංසක මල ආයෙම තමා ළඟට ගන්න.

වෙන මොනවත් නිසා නෙවෙයි ආදරේ නිසා. ඒත් ඉතිං ඒ ආදරේට වැඩිය සමනලයා මලට ආදරේ නිසා මල කවදාවත් තීරණය කලේ නෑ ආයෙම අම්මලා ගාවට යන්න. ඒත් ආදරේ නිසා. පස්සේ ඉතිං ඔහොම ටික කාලයක් ගෙවිලා යද්දී මොකද්දෝ මන්දා අහේතුවකට මලයි සමනලයයි අතර පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්නත් එක්කත් ටික කාලයක් මේ දෙන්නා හොඳින් ජීවත් වෙනවා. මල දන්නවා මල නැතුව සමනලයට ජීවත් වෙන්න බැහැ කියලා… ඒ වගේම සමනලයා දන්නවා කවුරු හිටියත් සමනලයා නැතුවත් මලට ඉන්න බැහැ කියලා. ඉතිං ඒ විශ්වාසය මත දෙන්නා රංඩු දබර මැද්දේ ආදරයත් පුරෝගෙන සතුටින් ඉන්නවා.

හැම තැනම ඉන්නවානේ අනුන්ගේ කුණු අදින කාක්කෝ කාක්කියෝ…. ඉතිං මේ පවුලටත් එහෙම සුදු කාක්කියෙක් සෙට් වෙනවා. සුදු පාටට හිටියට ඌත් කාක්කෙක්නේ. ඉතිං පුරුද්ද අතාරින්න බැරි නිසා හැම දේටම හොට දාලා, කොටවන්න පුළුවන් තරම් කොටවනවා. අන්න ඒ විදියට සුළුවෙන් ගිනි පුපුරු ඇවිලිලා අන්තිමේ මේ පුංචි පවුල දෙකඩ වෙනවා.

ඊට පස්සේ කෙල්ල ආයෙමත් යනවා අම්මලා ගාවට. අම්මලා කෙල්ලව එලවන්නේ නෑ… අයිතිකාරයෙක් හිටියත් ඒ කෙල්ලව ආයෙමත් ගෙදට්ට වැද්ද ගන්නවා. ඒ කෙල්ල අසරන නිසා. මොනා වුනත් තමන්ගේ දරුවනේ කියලා හිතුනා නිසා. ඒ අතරෙදි කෙල්ලගෙන් අර සමනලයා දික්කසාදෙත් ඉල්ලනවා. කෙල්ලත් ගෙදර අයට කියලා නඩුවට ලෑස්ති වෙනවා.

ඒ අතරෙදි තමා විශේෂම දෙයක් වෙන්නේ… හරියට හේතුවක් නොදන්නවා වුනත්, අනිත් අය ගොඩක් හොදට සමරණ විසි එක්වෙනි උපන් දිනේ ලබනවා ඒ කෙල්ලටත්…! ඉතිං හැමෝම සුභ පතනවා… එක විශේෂ යාළුවෙකුත් සුභ පැතුවා….!

එයාට  එනවා කෙල්ලගෙන් රිප්ලයි එකක්….

ගිය අවුරුද්දේ අද වගේ දවසෙදී, මම ඇහැරෙද්දී මගෙ මූනට එයා එබීලා හිටියා… ඒත් අද ???

අනිත් අය විසි එක්වෙනි උපන් දිනේ සමරද්දී හැමෝගෙන්ම තෑගි ලැබෙනවා.  මේ කෙල්ලටත් ලැබෙනවා තෑග්ගක්….! ඒකට කියන්නේ දික්කසාදය කියලා….!

දෙක මාරු වෙලානේ…! ටොප් සීක්‍රට්….!

මේ කතාව එකෝමත් එක රටක එකක් නොවුනට ඒ ස්ටයිල් එකට තමා ලියන්න වෙන්නේ. මොකද මේ කතාවට අදාල ලොකු මහත්තයා කතාව වැරදිලා හරි කියෙවුවොත් එහෙම දෙතුන් දෙනෙකුගෙම රස්සා වලට කෙලවෙන නිසා.

ඉතිං එකමත් එක රටක එක ඔෆිස් එකක හිටියා පේරා ගියපු ඉංජිනේරු මහත්තයෙක්. පොර සැබෑ මහත්තයෙක් වගේ උන්නට එක එක කුණු හරුප වැඩත් කලා. ඉතිං ඔය මහත්තයාට උන්නා සහයාකයෙක්… සිංහලෙන් ඇසිස්ටන් කියන්නේ අන්න එහෙම එකෙක්. ඉතිං ලොකු මහත්තයගේ කඩේ යන වැඩ වලින් ගොඩක්ම ඉටුකරේ ඇසිස්සටන් තමා. පියන්ලා හිටියට ෆොටෝ කොපි ගන්න, ෆැක්ස් යවන්න වගේ වැඩ වලට කොයි වෙලේත් එහෙට මෙහෙට දිව්වේ ඔය ඇසිස්ටන්ම තමා.

ඉතිං ඔහොම දවසක් දා ඔන්න ලොකු සෑර්ට මීටමකට යන්න වෙලා. ඒ අස්සේ පොරගේ රෙන්ට් අවුට් කරලා තියෙන වාහනයක ‍ප්‍රයිවට් ඇන්ඩ් කන්ෆිඩෙන්ෂල් කියන ඩොකියුමන්ට් එකක ෆැක්ස් එකකුත් කාටද මන්දා යවන්න ඕනේ වෙලා. ඉතිං කොයිතරම් ලොක්කා වුනත් ‍වැඩ දෙකක් එකපාර කරන්න බැරිනිසා, ලොක්කා අර වැදගත් ඩොක් එක දුන්නා ඇසිස්ටන්ට. තව පොඩි නෝට් පෑඩ් එකකින් කොලේකුත් ඇදලා අරං ෆැක්ස් එක යවන්න ඕනේ ‍නම්බර් එකත් ලිව්වා. ඊට පස්සේ, ඇසිස්….ඇසිස්… මේක කාටවත් පෙන්නන්නේ නැතුව ෂේප් එකේ ඔය නොම්මරේට ෆැක්ස් දාලා එන්න…. කියලා.

ඇසිසුත් ඉතිං හා හරි… එල කිරි සෑර්… කියාගෙන හුචස් හුචස් ගාලා කිරිටොයියා වගේ වැඩ කරන ෆැක්ස් මැසිම හොයාගෙන ඉගිලුනා. ඔන්න ඉතිං ඇසිස් ගිහිං, ෆැක්ස් මැසිමේ පේපර් ෆීඩර් එක උස්සලා කොලේ තිබ්බා… මේක ඉතිං අළුත්ම එකක්නේ, නිෂ්පාදිත වර්ෂය  එකදාස් බර ගනන් වගේ තමා තිබුනා කියන්නේ. ඉතිං ඒක නිසා මේ ෆැක්ස් මැසිම ෆුලි ෆන්ක්ෂනල් එකක්. හැබැයි මැනුඅල්. පස්සේ ඉතිං ඔන්න කොලේ තියලා නම්බර් පෑඩ් ‍එකෙන් අංක ටික කොහොමහරි හොයාගෙන ගැහුවා නොම්මරේ… ඔන්න ඉතිං ෆැක්ස් ලයින් එක වැඩ පටං ගත්තා… මහ රෑක කළුවරේ ඇහෙන සද්ද ඔක්කොම ටික අහන්න පූළුවන් මේ ෆැක්ස් මැසිම අනිත් පැත්තට කනෙක්ට් වෙන්න ඩයල් වෙද්දී. ඌරු මීයෝ… පළඟැටියෝ… හික් මීයෝ, ගොළුබෙල්ලෝ, මී මැස්සෝ, ඔර්සමටුල්ලෝ අරුං මුං ඔක්කොගෙම සද්ද ඇහෙනවා ෆැක්ස් එකෙන්…!

පස්සේ ඉතිං ඇසිස් දිව විකාගෙන ඉන්නවා ෆැක්ස් එක යනකං… ටික වෙලාවක් ගියා නෑ… මේක ඉතිං පට්ට ස්පීඩ්නේ… ඒක නිසා සුළු කාලයක් ඉවසා වදාරන්න වෙනවා. මෙන්න ටික වෙලාවකින් අර කැලෑ සද්ද ඉවර වෙලා සුවිට් අක්කා කෙනෙක් කියනවා… ඔබ ඇමතූ අංකය භාවිතයේ නොමැත… කරුණාකර අංකය පරීක්ෂා කර බලා නැවත අමතන්න… කියලා…

ඇසිස්ට පට්ට හැපී… ඇයි ඉතිං බොහොම පොඩි කාලයයිනේ මේ වැඩේට ගත වුනේ. දැන් ඉතිං ආයෙ අංක හොය හොය ඔබන්න එපෑයි…. පස්සේ ඉතිං කෝම හරි ආයෙමත් අර කරපු විදියටම කරාලු. අනේ ඒත් අර අක්කම කියනවලු නොම්මරේ වැරදියි කියලා…!

පස්සේ ඉතිං මීටිමට යන්න ඔන්න මෙන්න හිටිය ලොකූ සෑර්ව හොයාගෙන ඇසිස් දුවනවලු මොකද්ද එක කැඩිච්චි කඩියා වගේ. දුවලා දුවලා ගිහිං… සෑර් සෑර්… සෑර් ලියලා දීලා තියෙන නොම්මරේ වැරදියි… කිවුවම… මෙන්න බොසාගේ ඇස් දෙක උඩ ගිහිං, ටයි ගැට බුරුල් වෙලා, කටේ කෙල හිඳිලා ගිහිං එහෙම ඇසිස්ගේ මූන දිහා බලාගෙන ඉන්නවලු…

ඇයි සෑර්…. ඒ ඇසිස්….

නොම්මරේ වැරදියි..?

ඔව් සෑර්….

ඉතිං දැන් ෆැක්ස් එක ගියාද….?

නෑ… නෑ… ෆැක්ස් එක යවන්න බෑ… ඒ අංකය භාවිතයේ නොමැත කියනවා.

හම්මේ ඒක මිසක්…. කෝ බලන්න මං හදිස්සියට ලියලා තියෙන නම්බර් එක…

අප්පා වැරදියි නේන්නම් ඇසිස්… දෙක මාරු වෙලානේ…!

මටත් හිතුනා  ඒක එහෙම වෙලා ඇති කියලා… කියලා කියන්න හිතුනට ඇසිස් එහෙම කිව්වේ නෑලු….!

එකෝමත් එක රටක හිම කුණාටුව…!

ඔන්න එකෝමත් එක රටක හිටියා රජතුමෙක්…! ජීවත් වුනේ රටේ මැද හරියට වෙන්න හදලා තිබුන තට්ටු හතක් උස මාලිගාවක. ඒ මාලිගාවේ හැම බිත්තියක්ම ලස්සන ලස්සන පිඟන් ගඩොල් අල්ලලා ගොඩක් ලස්සනට තිබුනා. ඒ මාලිගය වටේට තිබුන කවුලු වලින් මාලිගය ඇතුලේ එක තැනකට එලිය වැටුනත් ඒ එළිය අර දිලිසෙන පිඟන් ග‍ඩොල් වල වැදි වැදි ගිහිං මුළු මාලිගයම ආලෝකවත් කරනවා.

ඉතිං මේ රජතුමා කොයි තරම් හොඳට රට පාලනය කලාද කියනව නම්, තට්ටු හතේ මාලිගාවේ උඩම තට්ටුවට නැගලා රට වටේට බැළුවම පේන්නේ කොල පාටින් දිලිසෙන කෙත් වතු… ඊට පස්සේ කහ පාටින් දිලිසෙන මල් වතු… ඒවා පොඩි අයට සෙල්ලම් කරන්න. ආයෙම පේනවා රතුපාටයි තැඹිලි පාටයි මල් වැවිච්චි මල් වතු… ඒවා ආදර වන්තයින්ට කාලය ගත කරන්න… ඒ එක්කම තව ටිකක් බැළුවම පේනවා ලා කොල පාට තණ පිට්ටනි, ඒවා පොඩි අයටයි අම්මලා තාත්තලා ටයි මහලු අයටයි හමෝටම විනෝද වෙන්න….!

ඉතිං හැමදාම හවසට මේ රජතුමාගේ පුත් කුමාරයයි, දූ කුමාරියයි බිසවුන්නාන්සෙයි රජතුමයි යනවා ඔය කියන ලස්සන ලස්සන මල් වතුවලට. ගිහිල්ලා තමන්ගේ රට වැසියාව හම්බුවෙලා කතා බහ කරලා, යම් දියුණුවෙන්න යම් උදව්වක් අවශ්‍ය නම් ඒවා ගැන පොතක සටහන් කරගෙන, පහුවදාම රජ මාලිගයට ගෙන්නලා ඒ අයට උදවු වුනා….! ඉතිං ඔහොම කාලය හොඳින් ගෙවෙනවා.

රට වටේට තියෙන මුහුදෙන් මත්ස්‍ය සම්පත ලැබෙනවා, ඒ වගේම රට ඇතුලේ තියෙන මී ගව පට්ටි වලින්, කිරි ලැබෙනවා, අනිත් සත්ත්ව ගොවිපොල වල් වලින් මස් හා බිත්තර ලැබෙනවා, රටේ හැම තැනම පිරිලා තියෙන කෙත් වතු වලින් සහල් හා අනෙකුත් ආහාර ලැබෙනවා. ඉතිං මේ ඔක්කොම ගබඩා කරගන්නත් ඒ මිනිස්සුන්ට ගබඩා තිබුන නිසා ආහාර ද්‍රව්‍ය කවදාවත් අපතේ ගියේ නෑ…!

ඒ වගේම ඒ රටේ තියෙන කැලෑ කපන්න එහෙම කාගෙන්වත් අවසර ගන්න ඕනේ නෑ… ඒ මොකද කියනව නම් ඒ රටේ මිනිස්සු පුරුදු වෙලා හිටියා එක ගහක් කපන්න කලින් පැල දහයක් ඉන්දලා ඒවා සරුවට වැඩී ගෙන එද්දී විතරක් අර ලොකු ගහ බිම දාන්න.

පස්සේ ඉතිං ඔහොම යද්දී අනිත් හැම රටටම වගේ මේ රටටත් ලොකු කරදරයකට මූන දෙන්න වුනා. සෑහෙන කාලෙකට පස්සේ එන ලොකු හිම කුණාටුවකට මේ රට මූන දුන්නා. රට වැසියන්ගේ විතරක් නෙව් රජමාලිගේ වහල පවා සුදු පාට හිම කැටිති වලින් වැහිලා ගියා. වැටවල් වල හිම ගොඩවල් කැටිගැහිලා තව තවත් ලොකු වෙමින් තිබුනා. කැලෑ හිටය සත්තු කැලේ තිබුන ලොකු කොට අස්සට, ගල් ගැහා වලට රිංගා ගත්තා…. ඉතිං රටේ බව බෝග සම්පත් බොහොම එහෙමත් ඉක්මනින් ක්ෂය වුනා. මිනිස්සු සීතලෙන් බැට කන්න පටන් ගත්තා. රජතුමාට කියලත් වෙනසක් නෑ… රජ පවුලටත් කෑම බිම හිඟ වුනා. සීතල දැනෙන්න පටන් ගත්තා.

පස්සේ ඉතිං ටික දවසක් ඉවසලා අර තුමා පනිවුඩයක් ඇරියා රට වටේටම, මේ සීතල කාලය අවසන් වෙනකං හැම දෙනාම තමන්ගේ තියෙන ආහාර ද්‍රව්‍ය, වටිනා කියන දෑ අරගෙන ඇවිත් රජමාලිගයට වටේට තමන්ගේ තාවකාලික නිවාස තනාගෙන හැම දෙනෙක්ම එකමුතුව දුක සැප බෙදා ගමු කියලා. ඉතිං රජතුමාගේ මේ පණිවුඩය අහපු හැම කෙනෙකුටම බොහොම සන්තෝසයි. ඒ හැමෝම සිහින මැව්වේ… අඩි ගානක් උස රජ මාලිගේ තාප්පෙන් ඇතුලේ කොයිතරම් ආරක්ෂිතද කියලා. මොකද ඒ තාප්පේ පෙරලන්න එක පිට එක හිම කුණාටු සීයක් ආවත් බැරි බව හැම කෙනෙක්ම දැනගෙන හිටියා.

ඉතිං තමන්ගේ වටිනා කියන දේ අරගෙන රජ මාලිගයට යද්දී අශ්වයෝයි අනිත් සත්තුයි ගාල් කරන්න වෙනම තැනක්, ආහාර ගබඩා කරන්න වෙනම තැනක් එහෙමත් රජතුමාගේ අනපරිදි හැම ලෑස්ති කරලා තිබුනේ. ඉතිං රට වැසියන්ට තිබුනේ තමන්ගේ වාසස්ථානය හදාගන්න විතරයි. එහෙම හිතලා හැමෝම රජමාලිගේ වටේ තිබුන තාප්පෙන් ඇතුලෙට යද්දී රජතුමා රට වැසියන්ට අවශය පුංචි නිවාසත් හදවලා… එක් කෙනෙකුටවත් ඉන්න හිටින්න තැනක් නොතිබුනේ නෑ… මොකද රජතුමා දැනගෙන හිටියා තමන්ගේ යටතේ ඉන්න පවුල් ගාන කොච්චරක් කියලා හරියටම. රජතුමාගේ උපදේශකයෝ ඒ වගේ කරුණු ගැන හැම තිස්සෙම රජතුමාව දැනුවත් කලා. ඉති මහ ජනයට හරි සතුටුයි. කොහොම හරි රටේ හිටය සියලු දෙනාම රජමාලිගයට එකතු වුනාට පස්සේ රජතුමා ඒ අයට කතා කරලා ආයෙමත් කිව්වා… අපි මේ හිම කුණාටුව ඉවර වෙනකං මෙහෙම ඉමු, මේ හිම කුණාටුව වැඩි කාලයක් පවතින්නේ නැති බව රටේ කාලගුණය පිළිබඳ තතු කියන විශේෂඥයෝ කියනවා කියලා. ඊට පස්සෙ ඉතිං හැම කෙනෙක්ම රජතුමාත් එක්ක සතුටින් පුළු පුළුවන් විදියට කා බීගෙන සතුටින් හිටියා. රජතුමාත්, රජමාලිගේ අනිත් අයත් මාලිගයට වෙලා ගිනි උඳුන් දල්වගෙන උණුසුම් වුනේ නෑ, ඒ අයත් මේ ජනතාව එක්ක එකට ජීවත් වුනා…!

ටික දවසකින් හිම කුණාටුව නැතිවෙලා ගිහිං අයෙමත් ඒ එකෝමත් එක රටේ තත්වය බොහොම සුභදායි වුනා… හැමෝටම තමන්ගේ පුරුදු තැන් වලට ගිහිං ආයෙමත් පුරුදු ජීවන රටාවටම හැඩ ගැහෙන්න පුළුවන් වුනා බොහෝම ඉක්මනට….!

ඉතිං කවුරුවත් වැරදියට තේරුම් ගන්න එපා මේ එකෝමත් එක රටේ අපේ රටයි කියලා….! හොඳද….!

ජයනිගේ හරිය …..

ජයනි කියන්නේ අපි දෙක වසරෙදි, අපේ පන්තියේ, දේවිකාට පස්සේ හිටිය බ්‍රයිට්ම කෑල්ල. එත‍කොට කෑලි ගැන වැඩි තේරුම්ක් නොතිබ්බට ලස්සන අතින් බැලුවම තමා දේවිකාට විතරක් දෙවෙනි වුනේ. දේවිකා තරම් මහත් නොවුනට, ගිනි කූර වගේ හීන වුනාට ජයනිගේ කට නම් තියෙනවා ස්පෝට් මීට් එකට බැන්ද ලවුස් කීපරේ වගේ සද්දෙට.

මං වගේම අපේ පන්තියේ අනිත් එවුනුත් ඉතිං ඒ දවස් වල කෙල්ලන්ගේ කටට බයයි. හැම තිස්සෙම ඉන්නේ මූන රතු කරගෙන “ඥෑස්” ගාගන්න බලාගෙනනෙ. ඉතිං ඒ දවස් වල කෙල්ලක් අඬවන්න තිබ්බ බය තමා තාමත් අපේ හිත්වල තියෙන්නේ. එහෙම නැතුව මේ කෙල්ලොන්ට ඇති බයක් නෑ කොල්ලෝ. (බැඳපු අය ගැන නම් දන්නේ නෑ, සමහර විට පෝෂන මල්ලට සම්භාධක වැටෙන නිසා වෙන්න ඇති)

ඉතිං කොහොම හරි ඔන්න දෙක වසරෙදි අපිට උගන්නපු අබේවර්ධන මිස්ගේ හිත දිනාගන්න ජයනි සමත් වුනා. ඒ දවස් වල මිස් කෙනෙක්ගේ හිත දිනාගන්න එක ඒ හැටි දෙයක් නොවුනට මිස්ගේ ෆිට්ම ගෝලය වෙන එකේ නම් හොඳ හා නරක පැතිත් තිබුනා. නරක පැති තමා මිස් පන්තියෙන් යද්දී වතුර බෝතලේ උස්සං යන එක, පොත් ටික එකතු කරගෙන ගිහිං දීලා, ආයෙම පොත් බලලා ඉවර වුනාම ළමයින්ට බෙදලා දෙන එක වගේ කරදරකාරි වැඩ. හොඳ පැති තමා මිස් පන්තියේ නැති වෙලාවට තමන්ට ඕනෙ ඕනෙ විදියට ළමයින්ව පාලනය පුළුවන් බලතල ටික ලැබෙන එක. එතකොට පන්තියේ නායක කම ලැබෙන එක වගේ දේවල්.

ඉතිං ජයනිටත් වැඩි කල් යන්න කලින්ම ඔය සෝරොම වරප්‍රසාද ලැබුනා. හැබැයි ඒ අපේ අම්මයි තවත් අම්මලා කීප දෙනෙකුයි ඇවිත් ජයනිගේ පන්ති නායිකා බැජ් එක ගලවනකම් විතරයි….!

ඉස්සර අපිට තිබුනා අසා ලිවීම කියලා දෙයක්. මිස් කියනවා අපි ලියනවා. අකුරු ලස්සනට, හරියට රූල් අතර ලියන ළමයට රතු පෑනෙන් තරු තුනකුත් එක්ක ඉතා හොඳයි කියලා ලොකූකූකූ හරියක් ලැබෙනවා මිස්ගෙන්. ඔය හරිය ගන්න ඒ දවස් වල දඟලපු දැඟලිල්ලක්….! එක එක් කෙනාගේ මට්ටම් අනුව හරියේ දිග වෙනස් වෙනවා… ඉතා හොඳයි එක, හොඳයි…. සාමාන්‍යයයි, දුර්වලයි, ඉතා දුර්වලයි කියලා තවත් කෑලි වලට කැඩෙනවා.

ඉතිං ඔහොම අසා ලිවීම තියෙන දවසක, අපේ මිස්ට ප්‍රින්සිපල්ගෙන් පණිවිඩයක් ආවා ගුරු රැස්විමකට කියලා. ඉතිං ඇසීම පැත්තකින් තියලා වචන ටික කියවන්න කියලා ජයනිට පොත දීලා මිස් ගුරු රැස්වීමට ගියා. මේං ඉතිං ජයනි රජ වුනා වගේ තමා. ඒ දවස් වල ඉතිං කෙල්ලොන්ට සූව දාන්න අපි දන්නේ නැහැනේ. ඒකෙන් අනිසි ප්‍රයෝජනේ ගත්ත ජයනි පොර වෙලා මිස් කියනවට වැඩිය හයියෙන් කෑගහලා වචන ටික කියනවා. අපිත් ඉතිං වෙන කරන්නම දෙයක් නැති නිසා පුළු පුළුවන් විදියට අසා ලිවීම ලියනවා. පස්සේ ඉතිං වචන ටික ඉවර වෙලා මෙන්න ජයනිම පොතුත් බලනවා…!

අකුරු කැත අයට, මීට වැඩිය ලස්සනට ලියන්න… / රූල් වල ලියලා නැති අයට, තාම රූල් අතර ලියන්න බැරිද….? / අකුරු අඩුවෙන් ලියලා නැති අයට, ඔයා හරියට ලියලා නෑ… වගේ පඬි ටෝක් දිදි පොත් බැලිල්ල කරනවා. මාත් ඉතිං බෑ බෑ කිය කිය පොත උස්සං ගියා. වෙලාවට ජයනි ටීච මුකුත් කිව්වේ නෑ… පස්සේ ඔන්න පොතේ හරියක් දාලා හොඳයි කියලත් ලිව්වා…

ඒ ලියපු හොඳයි එක තමා ජයනිගේ නරකට හිටියේ. අපේ අම්මා ඉස්සර ඉක්කෝලේ ඇරිලා ගිය ගමන් මගේ පොත් ටික ඇදලා බලනවා. ඒ දවස් වල ඉතිං පොත් වල පිටකවර අස්සේ ලියුම් දාගෙන හිටියේ නෑනේ. ඉතිං අම්මා බලන්නේ මොනාද අද මූ ඉක්කෝලෙදී කරලා තියෙන්නේ කියලා තමා. වෙනදා වගේම පොත් බලද්දී අම්මා දැක්කා කව්දෝ මන්දා ටීච කෙනෙක් ‍බෝල අකුරෙන් හොඳයි කියලා ලියලා… ජයනි කියලා අත්සනුත් කරලා…

ලොකූ…???

මං ටී.වී බලනෝ…..

කාලෙකට කලින්  නඩුකාරි නඩුපොත උස්සං එනවා වගේ අපේ අම්මාත් එදා එනවා අර ජයනි ටීච සයින් කරපු පොත අරගෙන…

පුතා, කව්ද මේ අස්සන් කරලා තියෙන්නේ….?

ජයනි….

ජයනි කියන්නේ? අලුත් ටීච කෙනෙක්ද…?

නෑ නෑ… අයියෝ…. කාටුන් එක බලන්න දෙන්නකෝ…

කාටුන් නෙමේ ළමයෝ, කව්ද මේ අස්සන් කරලා තියෙන්නේ…? ඒ පාරනම් කේන්තියෙන්…

අපේ පන්තියේ නායිකාව… ජයනි…. අර අම්මේ කොන්ඩේ කොටට කපලා, වද මල වගේ කොන්ඩෙන් මලක් බැඳගෙන ඉන්නේ….!

වද මල වගේ තමා… මිස් කෙනෙක් ඇරෙන්න ළමයි කොහොමද ළමයින්ගේ පොත්වල අස්සන් කරන්නේ…? යංකෝ හෙට ස්කෝලෙට…

මාත් ඉතිං… හා… නියමයිනේ කියලා හිටියා.

ඒ දවස් වල ඉතිං අම්ම ඉක්කෝලෙට එනවා කියන්නේ හෙන ලොකු දෙයක්නේ. දහයට එකොලහට යද්දී නම්… පන්ති කවයක් තිබුනේ නෑනේ ළමයෝ කියලත් කියනවා ඇහුනා. තිබුනට ගෙන්නන්න පුළුවනෑ….

ඊට පස්සෙන්දා මං අම්ම ස්කූල් වෑන් එකේ නැතුව අම්ම එක්ක බස් එකේ ගියේ. අම්මගේ අතේ එල්ලිලා තමා පන්තියට ගියෙත්. පට්ට හැපි. ඇයි ඉතිං අපේ වයසේ හැම එකාම අම්මයි , අම්මගේ අතේ එල්ලිලා යන කොලුවයි දිහා බලද්දී කාටද ආඩම්බර… (සමහරු කියනවා එහෙම යද්දී ආඩම්බර තාත්තටලු. මං නම් දන්නේ නෑ එව්වා) පස්සෙ ඉතිං පන්තිය ගාවට යද්දී මෙන්න බොල මගේ යාළුවෝ දෙතුන් දෙනෙක්ගේ අම්මලා කිහිපදෙනෙකුත් ඉන්නවා. පස්සේ මාව පන්තියට යවලා අම්මලා ටික ලොකූකූකූ කතාවක්…

ඊට පස්සේ පන්තියට මිස් ආපු ගමන් ළමයින්ට ආයුබෝවන් කියලා, ආයෙම ගියා අම්මලාව මුන ගැහැන්න…. ඊට පස්සේ ඉතිං මොනා කතාවුනාද දන්නේ නෑ… කොහොම හරි මිස් ජයනිව ගෙන්නලා මොන මොනාද කිව්වා…. පවු…. ජයනි, එයාගේ ලා කහ පාට අහිංසක මූන රතු වෙනකම්ම අඬලා… ඇස් දෙකත් රතුම රතු වෙලා. ටීච එයාට බනින්න ඇති…. ඒත් මොකටද… ඇයි එයාට බනින්නේ…? එයානේ ටීචගේ හොඳම ගෝලයා…. මට ඉතිං ප්‍රශ්න ගොඩයි…. ඒ ප්‍රශ්න අස්සේ හෙනට දුකයි… ඒත් ඉතිං මං මොනා කරන්නද ???

පස්සේ ටිකකින් බලද්දී, හැමදාමත් එයාගේ සාක්කුවේ ලස්සනට එල්ලෙන පන්ති නායිකා කියලා මෙරුන් පාට බැක්ග්‍රවුන්ඩ් එකේ කහ පාටෙන් ලස්සනට ප්‍රින්ට් කරලා තිබ්බ බැජ් එක වෙන ගෑණු ළමයෙකුට දීලා…

ඊට පස්සේ ටික දවසකින් ජයනි ස්කෝලෙන් අස්වුනා… එදායින් පස්සේ ආයෙමත් එයාව අපිට දකින්න ලැබුනේ නෑ කවදාවත්…. අද වෙනකං….!!!

ජීවිතය ≡ ආදරය

පුංචි මුහුණට එබී ගෙන…

කට කො‍නේ නලියන හිනාව විඳගෙන…

ඔළුව පලාගෙන, නහර වේදනා දී ගෙන,

ඇස් වලට එන කඳුළු හිර කරගෙන…

සුසුම් පිට වෙන්න නොදී,

දහසකුත් සිතුවිලි මැද,

ඔය පුංචි ඇස් දෙක දිහා බැළුවේ…

ඉල්ලන්න හිතා‍ගෙන නෙමෙයි…

ජීවි ලැබෙයි කියලා හිතාගෙන…!

සිංහල අම්මලාගේ ඉන්ටනැසොනල් දරුවෝ….!

ඊයේ පොඩි ගමනක් ගිහිං ‍, ටිකක් හවස් වෙලා මං ගෙදර යමින් ගමන්. ලාවට වගේ වැස්ස නිසාත් තව මගේ අතේ පොඩි බඩු වගයක් තිබුන නිසාත් නිදහසේ වාඩි වෙලා යන්න කියලා හිතාගෙන නැග්ගා පානදුර – කළුතර බස් එකකට.  දන්නෝ දනිත් එව්වයේ වේගය… පැයට මීටර් වලින් තමා ගමන.

ඉතිං ඔහොම ටික වෙලාවක් බස් එකේ යද්දී තල්පිටිය හරියෙන් නැග්ගා රේන් කෝට් දාගෙන වැස්සේ තෙමුනු පොඩි කෙලි පැට්ටෙක්. මූනෙ පුංචි පුංචි වතුර බිංදු පිරිලා. බස් එකේ ලයිට් වල එලියට ගෝල්ඩ් ඩස්ට් ගාලා වගේ දිලිසෙනවා. පස්සේ ඉතිං කොහොමහරි අම්මයි දූයි ඇවිල්ලා වාඩි වුනේ මට පිටිපස්සේ සීට් එකේ. මෙන්න ටික වෙලාවකින් කෙල්ල පටං ගත්තා එයාගේ ඉංග්‍රිසි පන්තිය…

මුලින්ම ඒයි, බීයි, සී, ඩී, ඊඊ, එෆ්. ජී වලින් පටන් අරගෙන එක අකුරක් වත් වරද්දන්නේ නැතුව ඉසෙඩ් අකුරු වෙනකම්ම කිව්වා… ඒකත් නිකං අර වයසක උන්දලාගේ දත් තියෙනවා වගේ ඕනෙවට එපාවට නෙමේ මාර ලස්සනට තාලෙට. කාට උනත් අහං ඉන්න හිතෙන ලස්සනට. එහෙම දෙතුන් පාරක් එකම සිංදුව දෙතුන් පාරක් කියලා ඉවර වෙලා අයෙ පටන් ගත්තා වෙන එකක්…

සන්ඩේ….. මොන්ඩේ…. ටූස් සේ…. වෙන්ස් ඩේ…. කියලා සතියේ දවස් හතම සිංදුවක් වගේ තාලෙට කියාගෙන යනවා. මට අනිත් පැත්ත හැරිලා කට දිහා බලාගෙන ඉන්න තිබ්බනම් ඒ තරම් අගෙයි…. පස්සේ ඉතිං මගක් හරියෙන් කෙලි පොඩ්ඩ බැහැලා ගියා. පස්සේ තමා මගේ ටියුබ් ලයිට් එකේ ඉට්ටාටරේ ගැහි ගැහී තිබිලා එක පාරට පත්තු වුනේ. අනේ හැබෑට අපේ පොඩි එකෙකුට කිව්වොත් සිංහල භාෂාවේ අකුරු ටික පිළිවෙලට කියන්න කියලා…. කීදෙනෙක් කියයි කියලද හිතන්නේ….???

මං කියන්නේ එක පොඩි එකෙක්වත් සිංහල හෝඩිය නෙමේ සිංහල භාෂාවේ අකුරු කීයක් තියෙනවද කියලවත් දන්නේ නෑ. ඒ තියා සිංහල මාස ක්‍රමයට අනුව දුරුතු, නවම්, මැදින්, බක්, වෙසක් වත් දන්නේ නෑ….

මොකද අපේ අම්මලා තාත්තලාට ලොකු වෙලා තියෙන්නේ අපේ භාෂාව නෙමේනේ… සුද්දන්ගේ ලොකු එක. අනේ ඉතිං ස්කෝලේ ඇරිච්ච ගමන් ‍පොඩි එව්වෝ දුවනවා ඉංග්‍රිසි පන්ති. ඇත්තටම අපේ රටේ අයට අනිත් දේවල් ගැන කෙසේ වෙතත් අපේ භාෂාව ගැනවත් කිසිම කැක්කුමක් නෑ. කොයි තරම් කියෙවුවත් මගේ අම්මටයි තාත්තටයි වුනත් ඕනේ කලේ මට ඉංග්‍රිසි උගන්නන්න. අපි කතා කරන සිංහල භාෂාව බල්ලට දාලා ඉංග්‍රිසි පන්ති නම් කීයකට මංම විතරක් ගියාද…. නිකං විහිළුවටවත් පුතේ උඹව අපි සිංහල පන්තියකට දාන්න කියලා තීරනය කලා කියලා, කියලා තියේද මේ වෙනකං. නෑ…. කවදාවත් එහෙම කියලා නෑ… මොකද අපි ඉතිං සිංහල කතා කරන්න හොඳට දන්නවනේ… අම්මගෙන් පටන් අරගෙන තාත්තගෙ පස්ස පැත්තෙන් ඉවර කරන තරමට අපි දැනුවත් වෙන්නේ ස්කෝලේ හය හත විතර වෙද්දිනේ. එහෙව් එකේ අපිට මොන සිංහලද… කොටින්ම අපේ දෙමවුපියෝ දකින විදියට අපි හෙන සිංහල පොරවල්… ඒ වුනාට තව දුරටත් ඉගෙන ගන්නේ ඉංග්‍රිසි…. ඉංග්‍රිසි භාෂාව පහත් කරනවා නෙමෙයි මේ… ඒත් ඉංග්‍රිසි ඉගෙන ගන්න කලින් අපේ රටේ භාෂාව ඉගෙන ගෙන හිටියොත් නරකද කියලා මටත් හිතුනේ මේ පොඩි එකාගේ සීන් එකෙන් පස්සේ.

අපේ අම්මලාට කලින් හිටිය දෙමව්පියෝ වගේම ඊට පස්සේ අම්මලා තාත්තලා වෙච්ච අයටත් තියෙන්නේ තමන්ගේ දරුවන්ට ඉංග්‍රිසි උගන්වන මානසිකත්වය. ඒකෙ වැරැද්දක් නෑ…. ඒත් තමන්ගේ පොඩි එවුන්ව ඉංග්‍රිසි උගන්නලා පොෂ් කරනවා වගේම, සිංහලත් ලෙසට උගන්නලා ටැලන්ට්‍ඩ් කරොත් නරකද කියන ප්‍රශ්නේ ම‍ගේ මේ මොහොතේ කැකෑරෙනවා. මොකද ටැලන්ටඩ් කියන්නේ ඉතිං සාමාන්‍යයෙන් යම් අමාරු දෙයක් කෙරෙහි හෝ සාමාන්‍ය දෙයක් කෙරෙහි හෝ අන් අයට වඩා යම් තරමකින් ඉහල දැනුමක් ඇතුව වැජඹෙනවා කියන තේරුම වගේනේ. ඉතිං ඉංග්‍රීසි වලට වඩා සාරවත්, අමාරු, පොෂ් විදියට කියනවනම් ඇඩ්වාන්ස් ලැන්ග්වේජ් එක තව චුට්ටක් වැඩියෙන් ඉගැන්නුවොත් නරකද මන්දා… ඔය ජපානේ, චීනේ, කොරියාවේ එහෙම දැන් කොම්පූටර් වල වැඩ කරන්නෙත් ඒ අයගේ භාෂාවෙන්ම කියනවනේ… අනේ මන්දා ඉතිං අපේ හැදෙන එවුන්ට භාෂාවේ තියෙන අකුරු ගානවත් නොදැන ඉංග්‍රීයේ තියෙන අකුරු විසිහය එහෙට මෙහෙට ක‍රකව කරකව කියන වචන එක්ක සිංහල කියන භාෂාව තව කොයි කාලයක් පවතියිද කියන එක.

දැන් ඉතිං සමහරු නම් මට බැන ගෙන බැන ගෙන යයි, මූට මොලේ නරක් වෙලා කියලා. අනේ කමක් නෑ… එහෙම හරි කාගෙ හරි මොලේකට මේ ටික කියවල රිදුනනම් ඒකත් ලොකු දෙයක් මටනම්… මොකද මේක ලියලා තියෙන්නෙත් සිංහලෙන්නේ… අනික මං නම් දන්නවා නූතන භාවිතයේ පවතින සිංහල හෝඩියේ තියෙන අකුරු ගානවත්….! ඒක දන්නෙ නැති කී දෙනෙක් මේ සිංහල බ්ලොග් කියවනවා ඇතිද නේද…?

අනිත් එක ඉතිං, පොඩි අයට අකුරු කියවද්දි විතරක් මොකටද සිංහල හෝඩිය කියවන්නේ ඒකටත් ඉංග්‍රිසි පොතක්ම ගත්තනම් ඉවරයිනේ…!

තනූජගේ කලිසම සහ දේවිකා…!

තනූජ කියන්නේ මගේ හෙන ෆිට් එකක්….! කොච්චර ෆිට්ද කියනවනම්, තනූජ තමා මට බ්ලුග් බ්ලුග් ලෝකෙට යන්න වීසා ලෑස්ති කරලා, ගමනට ඕනේ කරන ඔක්කොම සූදානම් කරලා සෑහෙන කැපවීමකින් වැඩ කලේ… ඉතිං ඒ ෆිට් එක නිසාම මං එක වසරේ ඉඳන් පහ වසර වෙනකම්ම මට ඒ කරපු උදවුවට ප්‍රති උපකාර කරන්න අවස්ථාවක්  හොය හොයාමයි හිටියේ…. එහෙමයි කියලා ඉතිං මං පොරත් එක්ක තරහ වෙලා හිටියේ නෑ….

අපිට ඉතිං එත‍කොට මාර බිසීනේ… පිරියඩ් අටේම ඉක්කෝලේ වැඩ,ඊට පස්සේ ගෙදර ගිය වෙලේ ඉඳන් ටීවී එකේ කාටුන් බලනවා. ආයෙම හවස් වේගෙන එද්දී බෑ….. බෑ…. කියලා අඬද්දී අම්මා කුදලගෙන ගිහිං ගේ පිටිපස්සේ තියෙන හීතල වතුර ‍ළි‍ඳෙන් නාවනවා… නැත්තං ඉතිං තාත්තා ගේන ඉස්පන්චි දෙන්නේ නැහැයි කියනවනේ…

ආයෙම රෑට මොනා හරි තාත්තට කියලා කවාගෙන නිදිය ගන්නවා. ඊට පහුවෙනිදට කිරි එක කටේ ගහන් නැගිටලා දත් මැදලා මූන හෝදලා ඉක්කෝලේ ඇඳුම් ඇඳන් … ඒ කිව්වේ නිල් ෂෝටයි, සුදු කමිසෙයි ඇඳන් ඉක්කෝලේ යනවා… ආයෙම ඉතිං ඉක්කෝලේ ගිහිං පීරියඩ් අටේම වැඩ… ඒ දවස් වල අපි කොහොමත් කලේ මිස්ලට උගන්නන එකනේ…. හා… පුතා දන්නවනම් කියන්න බලන්න කියලා…. එයාලත් කට ඇරං ඉන්නවා.

ඉතිං ඔහොම කාලේ ගතවෙද්දී තමා අවුරුදු කීහිපයක් ගිහිං අපි පහ වසරට ආවේ. ඇත්තමයි මං ජීවිත කාලේදි හිටිය මහ සවුත්තුම පන්තිය තමා ඒක. පන්තිය විතරක් නෙමේ අවුරුද්දම සවුත්තුයි. ඉස්සර ස්කෝලේ ඇරිච්චි ගමන් ගෙදර යන අපි දැන් දුවන්නේ සිස්සස්සෙට කියලා අම්මා ගිහිං ඇරලපු පන්තියකට.

කොහොම කොහොම හරි පහ වසරෙත් මාස කීපයක් යද්දී, මට ආයෙම මතක් වුනා අපේ තනූජට මං ණයයි නේද බොල කියලා. පස්සේ ඉතිං ස්කෝලේ වැඩ අස්සෙම තනූජට, ප්‍රති උපකාර කරන්නත් මං හිතාගත්තා. මොකද ඒ දවස් වල වෙනකොට මූ අපේ පන්තියේ හිටිය ලස්සම කෑල්ලට පැනිය දාගෙන හිටියේ…! කෙල්ලගේ නම දේවිකා…  අම්බෝ ලස්සන… බලාගෙන බත් කන්න පුළුවන්… බත් විතරක් නෙමේ ක්‍රීම් ක්‍රැකර් එහෙමත් කෑවැකි… චීස් කෑල්ල වගේ සුදුයි…. ඉතිං තනූජට මේ වගේ වෙලාවකදී උදවු නොකරන මගෙන් ඇති ‍වැඩේ මොකද්ද…?

ඉතිං අපේ තනූජයා, හැම දාමත් ඉන්ටවල් එකට දේවිකාට නුඩ්ල්ස් දෙනවා… ඉතිං ඒකට හරියන්න  දේවිකා ගේන සතූතූතූතූ පාට ජෑම් ගාපු පාන් පෙත්තක් හම්බුවෙනවා තනූජයට. බොරු කියන්නේ මොකටද පන්තියේ කොල්ලෝ ගොඩ දෙනෙක් දේවිකාට ඇහැදාගෙන තමා හිටියේ… හැබැයි අනේ ඕං මං නම් නෑ…. මං නම් බලයි ඔය කෙල්ලෝ දිහා… කියලා කිව්වට මගේ හිතෙත් පුංචි මෙව්වා එකක් තිබුනා.

සාමාන්‍යයෙන් දේවිකා කෑම කාලා ඉවර වෙලා කෙල්ලෝ කට්ටියත් එක්ක යනවා පිට්ටනියට ගස් පුච්චන්න. ගස් පුච්චනවා කියන්නේ ඔය දැන් කොල්ලෝ සෙට් වුනාම කැලෑ ගිනි තියනවා වගේ සෙල්ලමක් නෙමෙයි….! ගස් පිච්චිල්ල තමා ඒ දවස් වල ටොප් ලිස්ට් එකේ උඩින්ම හිටියේ… ඉතිං අපිත් දැං කැලෑ ගිනි තිබ්බට ඒ දවස් වල කෙල්ලෝ එක්ක පිට්ටනියට පැනගෙන ගස් පුච්චනවා. හෙන ෆන් සෙල්ලම… සෙල්ලම කරපු ඈයෝ දන්නවා ඇති, පිරිමි ළමයිනුයි ගෑණු ළමයිනුයි ගස් පුච්චද්දී තියෙන ෆන් එක. මං නම් ‍එකෝම එක පාරයි කෙල්ලෙක්ව අල්ලන්න ගිහිං ඒකි වැටුනට පස්සේ මාත් කෙල්ලගේ කකුලේ පැටලිලා ඒ ගෑණු ළමයාගේ ඇඟ උඩ වැටුනේ….! අප්පේ ඒ දවස් වල මටයි ඒකිටයි හැදිච්ච කතා ගොඩ… (ඒක්කෝ ඒවා ඕනේ නෑ)

ඉතිං ඔහොම ඩේලි රෑටින් එකේ ඉන්ටවල් එක යන දවසක… අපේ තනූජ ගෙනත් තිබුනා බත් එකක්. ඒ දවස් වල නම් ඉතිං බත් එක දිගෑරියා විතරයි කොලේ ඉතුරු වෙන සීන් නැහැනේ. ඒත් ඉතිං පංතියේ ටීචර් බලාගෙන ඉන්නවා බත් එක ඉවර කරනකම්…! පස්සේ කොහොම හරි අමාරුවෙන් අමාරුවෙන් තනූජ බත් එක ඉවර කරලා පන්තියේ උළුවස්ස ගාවට වෙලා හිටගෙන ඉන්නවා අපි සෙල්ලං කරන දිහා බලාගෙන… පොරට සෙල්ලං කරන්න යන්න විදියක් නෑ බඩ පිරිලා නිසා. ඊට පස්සේ තමා මං දැක්කේ මේ තමා පොරට ප්‍රති උපකාර කරන්න හොඳම වෙලාව කියලා. ඉතිං මාත් කිසි දෙයක් නොදන්න ගානට පන්තියට ගිහිං තාත්ත අරං දීපු වතුර බෝතලෙන් වතුර ටිකකුත් බොන ගමන් කල්පනා කරා මොන වගේ සැලකීමක්ද මූට කරන්නේ කියලා. ඔහොම හිත හිත ඉද්දී දේවිකාත් ඉන්නවා ටීචගෙන් මොනාදෝ මන්දා අහ අහ… පස්සේ මගේ ජුංඩං මොලේට මීටර් වුනා දේවිකාත් ඉන්න නිසා මූට කරන්න පුළුවන් ලොකුම උපකාරය මොකද්ද කියලා…

ආයෙ තව පාරක් හිත හිත හිටියේ නෑ… අර දෙමළ, තමිල්නාඩු මූවි වල වගේ සිං සිං ගාලා බෝතලේ එල්ලුවා පුටු කකුලේ… සුපර් මෑන් වගේ ස්පීඩ් එකෙන් ගියා තනූජ ගාවට. දනිස් දෙකෙන් පොඩ්ඩක් පහලට නැවුනා…. ලොකූකූකූ හූවකුත් කියාගෙනම තනූජගේ කලිසම ඇද්දා ඇදිල්ලක් පහලට, මං දිව්වා…. කලිසම නතර වුනේ තනූජගේ සපත්තු‍ දෙකේ උඩ ගැට්ටේ….

සීන් එක මුලින්ම දැක්කේ දේවිකායි මිසුයි….  ඒ දෙන්න හිනා වෙන කොට තනූජත් කලිසම එහෙම්ම තියාගෙන හැරුනා පන්තියේ අනිත් ඇතුලට. මොකද ඉතිං මං කරපු උදව්ව ගැන පොරට හිතාගන්නවත් බැහැනේ… ඊට පස්සේ ගැජමැටික් ටික දැකලා දේවිකා ඇස් දෙක වහ ගන්නවා විතරක් මං දැක්කා පන්තිය පිටිපස්සේ තිබුන යකඩ දැල් ගහපු ජනේලෙන්. තනූජ පිට්ටනිය පැත්තට පස්ස හැ‍රෙව්වා විතරයි හම්බුනා හූ හඬක්… මට තාමත් මතකයි කොච්චර පවර් ෆුල්ද ඒ සද්දේ කියලා. පස්සේ දඩ බඩ ගාලා මිස් ගුරු පුටුවෙන් නැගිටලා ඇවිත් තමා තනූජගේ කලිසම ඉස්සුවේ… ඌට ඒ වෙද්දිත් මොකද්ද උනේ කියලා හිතාගන්න බෑ…!

පස්සේ ඉතිං ඒ වෙලාවේ පිට්ටනියේ හිටය භාගයක් විතර නොමිලේ ෆිල්ම් එකක් බැළුවා. මාත් බෙල් එක ගහපු ගමන්ම ආයෙමත් පන්තිය වටෙන් ගිහිං රිංගුවා පන්තියට….

ගෝල්ඩ්හ් ෆිෂ්හ්

මල මගුලයි. ටීචර් මගේ පුටුවේ ලඟ. දැන් මං බිම බලාගෙන…. මට පේනවා නිකං වේවලක් වගේ අයිටම් එකකුත් මිස්ගේ අතේ තියෙනවා වගේ… ඒ එක්කම ලස්සනට සුදු පාට මල් වැල් වලින් ලස්සන කරපු සෝක් සෙරප්පු දෙකකුත් මිස් දාගෙන ඉන්නවා… ඒ ඉතිං මේ ගුටිකන වෙලාව මිසක් ඔව්ව බලලා සතුටු වෙන වෙලාවක් නෙමේනේ. අනික මට ගුටියක් කන්න බය හිතුනට අවුරුදු ගානක ඉඳන් කරන්න හිටිය උදව්ව මතක් වෙද්දී හිනා යනවා. ඉතිං සෝක් මූඩ් අතෑරලා හිනා වෙන ගමන්ම මිස් දිහා බැලුවා…

චටාස්…. පටාස්….

ගාලා වදියි කියලා හිතුවට. මගේ හිනා මූන දැක්ක ගමන් මිස්ටත් හිනා. විජහට සාරි පොටෙන් කට වහගෙන ආයෙම ගියා පන්තියෙන් එලියට. දැන් ඉතිං මට ෂුවර් ගුටිය කන්න වෙන්නේ සැර අඩුවෙන් කියලා. මං හිමීට තනූජ දිහා බැලුවා… ඌට එච්චර ගානක් නෑ… පොරත් මගේ දිහා බලාගෙන හිනාවෙවී ඉන්නවා.. ඒ ටීචර් මට ගහනකං….!

පස්සේ ආයෙම මිස් ආවා පන්තියට. මගේ ගාවට ආයෙම ඇවිත්…. නැගිටිනවා. ඒ පාර නම් බොරු තරහක් මවාගෙන. අපේ අම්මත් ඔය වගේනේ. ඒක නිසා ඉතිං බය වෙන්න දෙයක් නෑ. ඒත් ඉතිං කරපු වැරැද්දට දඬුවමක් දෙන්නත් එපැයි. නැත්තං අනිත් එවුනුත් එක එකාගේ කලිසම් ගලවන්න ගනියි…. ඒක නිසා ඉතිං මගේ මූන දිහා බලලා හිනාවෙන ගමන්… දුන්නේ නැද්ද වේවැල් පාරක්. රිදෙන්න නෙමේ, දඬුවමක් දෙන්න ඕනේ නිසා… අයෙ කරනවා එහෙම නෙවෙයි ඔය වගේ වැඩ… හරිද… හ්ම්… කියලා බොරු සැරයකුත් දාලා හිනාව තද කරගෙන ආයෙම ගියා ස්ටාෆ් රෑම් එකට වේවැල තියලා එන්න…!

ලාවට ගුට්ටක් කෑවත් එදා නම් මට හරි සතුටු දවසක්…!

%d bloggers like this: