හරි කියලා ඉවරයි….! මගේ යශෝධරාවත 19

කාලෙකට පස්සේ මේ ලඟදී දවසක මං කුමාරයා ගියා මගේ රටක් වටින දේවියව බැහැදකින්න…! ඉතිං උදේ පාන්දරම යද්දී නඩුකාරි වැටක් බඳිනවා. ඒකට සපෝට් එක දීගෙන යශෝධරාවගේ පියතුමා ඉනි වගයක් කපනවා. ඒත් ඉතිං නාලා කරලා, විලවුන් නාගෙන ගිය මං කුමාරයට විදියක් තිබුනෙම නෑ එයාලට උදව් වෙන්න….!

පස්සේ ඉතිං කර කර හිටිය වැඩේ දාලා යශෝධරාවගේ මව්තුමී ආවා මාලිගයට. ඊට පස්සේ කව්දෝ මන්දා කෙල්ලෙක්ගේ රත්තරං පාට අත් දෙකක් ඇවිදින් මවුතුමීගේ ඉන වටේ පටලැවිලා උරේ උඩින් පසොලොස්වක සඳක් වගේ මූන තියාගත්තා. මං කුමාරයටත් ඉතිං වෙන මොනාද ඔය මූන දිහා බලාගෙන ඉන්න තියේනම්…!

ඉතිං අර මං කුමාරයට පෙන්නන්නේ නැතුව බලෙන්ම හංගගෙන ඉන්න දාංගලෙත් එක්ක ටික වෙලාවක් යශෝධරාව කතා කලා. ඉතිං ඒ ඇති මං හිතන්නේ දවස් තුන හතරකට හුස්ම අරං ජීවත් වෙන්න. ඊට පස්සේ තමා මේ අතීත කතාව මතක් වුනේ…

ඒ දවස් වල, යශෝධරා – ගෝල්ඩ් ෆිෂ් පෙම පටන් ගත්ත අළුත. හරිම නැවුම්. ඉතිං පුළුවන් හැම වෙලාවෙම දෙන්නට දෙන්නා තමන්ගේ ටැලන්ට්ස් පෙන්නනවා. ඉතිං දවසක් දා නිවාඩු දවසක… නඩු කාරි, යශෝධරාවයි මං කුමාරයවයි එක්කන් ගියා එයාට බාර දීලා තියෙන පාසල් පරිගණක විද්‍යාගරයට. ඒක ඉතිං අපි දෙන්නටම අමුතු තැනක් නෙවෙයි. මම ඒකේ තිබ්බ කොම්පියුටර් 17ටම වින්ඩෝස් දාලා තියෙනවා. ඊට පස්සේ යශෝධරාවගෙයි මගෙයි පීසී වලට නීඩ් ෆෝ ස්පීඩ් දාගෙන තියෙනවා. ඒ මදිවට මං පාවිච්චි කරන මැසිමට ජෙට් ඕඩියෝ, මියුසික් මැච් ජියුක් බොක්ස් එහෙමත් දාගෙන තිවුනා.

ඉතිං යශෝධරාව ගිය ගමන් එයාගේ සුපුරුදු එන්.එෆ්.එස් ගහන්න තියාගත්තා. කවදාවත් එයා මං නැතුව ඒ ගේම් එකේ පළවෙනියා වෙලා නෑ… අදටත් ඒක එහෙම්මයි…! මාත් ඉතිං ටිකක් ගනන් උස්සලා එහෙම මගේ පාඩුවේ හෙඩ් සෙට් එකත් දාගෙන කොලෝනියල් කසින්ස් ලෑ ඇල්බම් එක අහ අහ ඉන්න කොට… චූටි රෝස පාට ඇඟිල්ලක් මගේ උරේට වදිනවා වගේ ඇහැ කොනකින් දැක්කා. පස්සේ හැරිලා බලද්දී කුමාරිකාව මං කුමාරයා ලඟ හිටගෙන මොනාද මන්දා කියලා, බැරිම තැන තමා මට ඇඟිල්ලෙන් කතා කරලා තියෙන්නේ. පස්සේ ඉතිං හෙඩ් සෙට් එක එහෙම ගලවලා ඇහුවා…. ඇයි…? කියලා…

මටත් ඕනේ සිංදුවක් අහන්න…..

අනේ ඔයා අහන සිංදු…. මහ ලොකුවට මියුසික් ක්ලාස් ගියාට සිංදු කියන දන්නෙත් නැද්ද කොහෙද….

අනේ අම්මේ… මේ බලන්නකෝ…..

ඇ… දෙයියනේ … නඩුවක් නේද…. මං කුමාරයා කර ගත්ත විපත මහත…. ඔය එන්නේ නඩුකාරි පොතත් අරගෙන…

ඇයි පුතේ….?

මෙයා කියනවා මට සිංදු කියන්න බෑ කියලා…. හුම්….

අනේ තියෙන කොමලේ…. කියලා කියන්න ගියාට කිව්වේ නෑ.

ඉතිං පුතා අයියට ඇහෙන්න සිංදුවක් කියන්නකෝ…

ඊට පස්සේ හරී සතුටින් ඇස් දෙක ලොකු කරගෙන ගොඩක් ආසවෙන් මගේ ලඟින්ම තිබ්බ කැරකෙන පුටුවේ වාඩි වෙලා, හරියට ඉන්ටවීව් එකකට ගිහිං සිංදු කියනවා වගේ මගේ දිහාම බලාගෙන පුංචි කට පොඩ්ඩෙන්, කිව්වා සිංදුවක්… ඒ සිංදුව මට ඇහුනෙනම් නෑ එවෙලේ… මොකද මං කුමාරයා ඒ සිංදුව පටන් ගන්න කොටම ඒ මූනේ තිබ්බ ආලෝකයට වශිවෙලා, තාලෙට පැද්දෙන රන් පාට මූන දිහා ඇහි පිල්ලම් නොගහම බලාගෙන ඉන්න තරමට ධ්‍යාන ගත වෙලා හිටිය නිසා…. ඒත් මං සිංදු අහ අහ හිටිය හෙඩ් සෙට් එකේ මයික් එකෙන් ඇතුලට ගිය යශෝධරාවගේ කට හඬ ජෙට් ඕඩියෝ වලින් ප්‍රොසෙස් වෙලා ඕඩියෝ ෆයිල් එකක් හැදුවා…!

සිංදුව කියලා ඉවර වුනාට පස්සේ… හරි කියලා ඉවරයි….! කියලා මහා ලෝකයක් දිනාගත්තා වගේ ජයාග්‍රාහි බැල්මකින් මගේ මූන දිහා බලන් හිටිය හැටි….! ලස්සනයි සිංදුව කියලා කටක් ඇරලා කියාගන්න බැරි තරමට මං කුමාරයාගේ කට උඩඟු වෙලා හිටියට…. යශෝධරාව දන්නේ නෑනේ….. එයා කිවුව සිංදුව මැරෙනකම්ම අහන්න පුළුවන් වෙන්න මගේ ගාව රෙකෝඩ් වුනා කියලා… ඒ සිංදුවට මං කොයිතරම්ම ආසා කරනවද කියලා….! කොහොමහරි සිංදුවේ රෙකෝඩින් වොලියුම් මදි නිසා ඔඩ්යෝ එක එඩිට් කරද්දී අන්තිමටම කිව්ව “හරි කියලා ඉවරයි…” කිව්ව ටික මං කුමාරයා ඉවත් කලා. දැන් නම් ඒ ඔරිජිනල් රෙකෝඩින් එක හොයාගන්න නෑ….. ඒත් සිංදුව තියෙනවා. ඒ එක්කම අර මැකිලා ගිය කොටස හැම දාමත් හිතේ රැවුදෙනවා…. හරී… කියලා ඉවරයි…..! කියලා….. ඒ පොඩි වෙලාව කොහේ රෙකෝඩ් නොවුනත් මගේ ඇස් දෙක අස්සෙන් ගිහිං, කන් දෙකෙන් ශබ්දය උරාගෙන…. මගේ මතකයේ නම් රෙකෝඩ් වෙලා තියෙනවා අදටත්….!

ආයෙ මයේ ගාව සිංදු කියන එකක් නැති වුනාට, මේ ඇතිවෙයි තව කාලයක් හුස්ම ගන්න.

%d bloggers like this: