මාස්ටර්… මාස්ටර් වන් මෝ මාස්ටර්…. වන් මෝ…

නම් ගම් ප්‍රසිද්ධියේ කියන්න බැරි යාළුවෝ තුන් දෙනෙක් හිටියා. එකමත් එක කාලෙක හොඳේ. ඉතිං මේ තුන්දෙනා ස්කෝලෙ යන කාලේ ඉඳන්ම ලයිව් පිචර් බලන්න හෙන ආසයි. ඒ කියන්නේ ඩීවීඩී ප්ලේයර් , වීසීඩ් එහෙම නැතුව කෙලින්ම පිචෑර් හෝල් එකට ගිහිං ඉස්සරහ ආසනෙන් කකුල් දෙක තියාගෙන… නෙමේ නෙමේ… කකුල් හය තියාගෙන කට ඇරං අර තඩි තිරයේ දිස්වෙන එව්වා බලන්න. ඒ දවස් වල ඉතිං සුදු ඇඳුම් ඇඳගෙන යන නිසා පොඩි හිටියන්ට පමණයි එව්වා තමා බලන්න වුනේ. අනිත් ඒවාට යන්න ගියොත් වැඩේ අප්සට් වෙන බව දන්න නිසා එව්වා එකකටවත් ගියේ නෑ.

කට්ටියට මතකද ‍අනූ ගනන් වල අගහරියේ හරි දෙදාස් ගනන් වල මුල හරියේදී හරි, නියම ෆිල්ම් එකක් ආවා මහදැනමුත්තා කියලා. ඒක තමාලු ලංකාවේ පළවෙනි කාටුන් චිත්‍රපටිය. ඉතිං ඔය ෆිල්ම් එක බලන්න ස්කෝලෙන් එක්කන් ගියත් මේ යාළුවෝ තුන් දෙනාටම ඒක බලන්න යන්න බැරි විදියට මොකක් හරි ස්කෝලෙම වැඩක් සෙට් වුනා. ඉතිං පස්සේ මේ තුන්දෙනා කල්පනා කරලා…. කරලා….. කරලා…. අන්තිමේ තීරණයක් ගත්තා, අපිට මේක බලන්න බැරිවුනේ ස්කෝලෙ වැඩකට හිර වුන නිසානේ… ඒක නිසා අපි ස්කෝල කට් කරලා මේ ෆිල්ම් එක බැලිය යුතුමයි කියලා.

පස්සේ ඉතිං කොහොම හරි, තුන්දෙනාම එක වගේ නුවණැති පොරවල් නිසා ස්කෝලෙ කට් කරගෙන ෆිල්ම් එක බලන වැඩේ යෝජනා වෙච්ච පරක්කුවෙන්ම ස්ථිරත් වුනා. පස්සේ ඔන්න දවසක් දා තුන් දෙනාම සෙට් වෙලා ෆිල්ම් එක බැළුවා. ඒ බලන ගමන් එක යාලුවෙක් අනිත් දෙන්නගෙන් ඇහුවා…

මේ, මතං … අපි දැන් සෑහෙන ෆිල්ම් තොගයක් (කිව්වට ෆිල්ම් හතරයි නැත්තං පහයි) බලලා තියෙනවනේ බං මෙව්වා අස්සේ රිංගලා… ඉතිං උඹලා ආසා නැද්ද වේදිකා නාට්ටියක් හරි ඒක පුග්ගල ගී ප්‍රසංගයක් හරි බලන්න යන්න කියලා.

අනිත් යාළුවෝ දෙන්නත් ටිකක් කම්පනා කරලා එහෙම… හ්ම්… ඒක ගුඩ් අයිඩියා එකක් මතං… ඒත් ඉතිං ඒවායේ ටිකට් බර ගනන්නේ බං…. කියලා කතාව නතර කලා.

ඒ දවස් වල ඉතිං යාළුවෝ තුන් දෙනාට ඔය වගේ දෙයක් වෙනුවෙන් වියදම් කරන්න සල්ලි තිවුනේ නෑ. ගෙදරින් හම්බුවෙන ප්‍රතිපාදන වලින්නේ ඔය හැම දෙයක්ම කලේ ඒ දවස් වල. පස්සේ ඉතිං අර කතා පොත් වල වගේම මේ යාළුවෝ තුන් දෙනත් ටික්ක ටික්ක ලොකු වුනා. ඊට පස්සේ ආයෙමත්, දැනට අවුරුදු දෙක තුනකට කලින් සෙට් වෙච්චි වෙලාවක අර වන් මෑන් ලයිව් ෂෝ එකේ කතාව ඇදුනා. ඒ වගේම ඒ වෙද්දී තුන් දෙනාම වෙන වෙනම වේදිකා නාට්‍යය නම් බලලා තිවුනා. ඒක නිසා ඉතිං ඒ අත්දැකීම ගැන දන්නවා. ඒත් ඉතිං ඒක පුද්ගල ගී ප්‍රසංගයක් දැකලා තිවුනේ නෑ. පස්සේ ඔන්න කොහොම කොහොම හරි කරලා ඊට සතියකට විතර පස්සේ සෙට් කරගත්තා ඒක පුද්ගල ගී ප්‍රසංගයක්… නම කියන්න බැරි ගායකයෙක්ගේ.

පස්සෙ ඔන්න අදාල දිනේත් උදා වුනා. ඉතිං දැන් අහවල් එකට යන ගමන් මේ තුන්දෙනා පොඩි දුඹුරු පාට බීම ටිකක් එහෙම තොල ගා‍ගෙන තමා ගියේ ප්‍රසංගය බලන්න. ඒක තිවුනේ වැඩි දුරක නෙවෙයි නිසා ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැනේ කියලා තමා හිතාගෙන හිටියේ. ඒ හේතුව හින්දම තුන් දෙනා එක්ක බිව්ව බීමට කලින් එක් කෙනෙක් විතරක් මොනාදෝ මන්දා වෙනින් ජාතියකිනුත් පදම් වෙලා. පස්සේ ඔන්න ටිකට් දීලා එහෙම ගියා ඇතුලට. ගමේම තිවුන එකක් නිසා වැඩිය අවුලක් වුනේ නෑ බීම ගැන ප්‍රශ්නය. පස්සේ ඔන්න වාඩිවෙලා ඉන්න කොට දෙපාරක් බීපු යාළුවට ටිකක් අප්සට් වගේ. මොකද දැං පොර හිතං ඉන‍්නේ ඌ තමා මෙතෙන ගායකයා කියලා. එත‍කොට අනිත් යාළුවෝ දෙන්න ටිකට් අරං ගිහිං තියෙන්නේ මේ යාළුවගේ ප්‍රසංගය බලන්න… හරි වැරදියි නේද වැඩේ….?

පස්සෙ ඉතිං ඔන්න ඔරිජිනල් ගායකයා එන්න කලින් සංගීත භාන්ඩ වල ටෙස්ටින් වන් එහෙම බලලා, මයික් වැඩද බලලා එහෙම කව්දෝ මන්දා මයිනෙක් ඇවිත් අර ගායකයගේ උපතේ ඉඳන් විපත දක්වාම කරුනු කියනවා. විපත සෙට් වෙච්ච හැටි… විපතින් ලැබුන දරුවෝ ගාන. විපත මෙයාට හොඳ සපෝට් එකක් දෙනවය අරකය මේකය ඔක්කොම කියනවා.

ඉතිං අර ටිකක් වැඩි යාළුවට මේකට මල…. පොර කියනවා… අපිට මොටෝ යකෝ අනුන්ගේ ගෑණුන්ගේ විස්තර…? එන්න කියාපිය ගායකයට ඉක්මනට…. කියලා… ඔව්ව ඉතිං ලඟ හිටිය යාළුවෝ දෙන්නට විතරයි ඇහුනේ… මොකද උන් දෙන්න වැඩි යාළු‍වගේ කට මිරිකලා අල්ලා ගෙන හිටියේ.

පස්සේ ඔන්න ඒක පුද්ගල ගී ප්‍රසංගය ආරම්භ වුනා.  සිංදු දෙකක් විතර කිව්වා… ආයෙම අර මයිනා ඇවිත් කියවනවා. පස්සේ ඔන්න ටිකකින් තුන් වෙනි ගීතයත් පටන් ගත්තා. ඒ සිංදුව අර වැඩි යාළුවගේ ප්‍රියතම ගීතයක්. ඉතිං මූට හෙන ජොලි. එහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා… ඌ නටන්නම ඕනෙලු ඒ සිංදුවට…. අනිත් යාළුවෝ දෙන්න බොහොම අසීරු තාවයකට පත් වෙලා හිටියේ අනිත් පොර නිසා. මොකද මෑන්ට නටන්න දෙන එක අවුලක් නෑ… ඒත් දෙයියනේ සර්පිනාවෙනුයි, තවත් මොකද්ද එකකිනුයි විතරක් සංගීතය සපයන ස්ලෝ, ශාස්ත්‍රීය ගීතයකට….???

පස්සේ කොහොම හරි හොඳටම වැඩි වෙලා හිටය යාළුවා කාගෙන ඉවසගෙන හිටියා. මූ සිංදුවට ආස නිසා ඉතිං මුකුත් කියන්නත් බෑ අනිත් යාළුවෝ දෙන්නට. ටිකකින් සිංදුව ඉවර වුනා විතරයි… මෙන්න අපේ වීරයා නැගී සිටියා….

අනේ මාස්ටර් මට හරී… සන්තෝසයි මාස්ටර්…. තව..තව …තව ….

කියන කොටම අනිත් යාළුවෝ දෙන්න මූව වාඩි කෙරෙව්වා. පස්සේ ආයෙම නැගිටලා…

මාස්ටර්… මාස්ටර් වන් මෝ මාස්ටර්…. වන් මෝ….. කියලා මුළු සභා තොමෝටම ඇහෙන්න හයියෙන් කිව්වා. ඉතිං අර යාළුවෝ දෙන්නටත් එක්කම රැස්වෙලා හිටය හැමෝටම හිනා.

පස්සේ ඔන්න නම කියන්න බැරි ගායක මාස්ටර්…. ඈත ඩොට් වෙලා පේන වේදිකාවේ ඉඳන් කියනවා…

හා….. හරි හරි…. පුතා … කලබල වෙන්න එපා…. මං තව සිංදු එකොලහක් කියනවා…!!! කියලා.

ඊට පස්සේ අර ටිකක් වැඩි යාළුවා කියනවා…..

ආ…. එහෙනම් කමක් නෑ මාස්ටර්…. මං හිතුවේ මාස්ටර් සිංදු තුනක් කියලා ස්ටේජ් එකෙන් බහියි කියලා… ඒකයි මං තව එකක් ඉල්ලුවේ….

අනේ ඉතිං සභා තොමෝට මොන හිනාද… ඒක පුද්ගල ගී ප්‍රසංගයක් ගායකයෝ ගොඩක් සිංදු කියන්නේ නෑනේ කියලා අර වැඩි වෙච්චි යාළුවට මතක බැරි වෙලා….!

(මේ… මේකෙ කොහෙ හරි තැනක “අපි” කියලා තිවුනොත්, හොඳ ළමයි වගේ ඒක නොසලකා හරින්න…)

** මට නම් හෙන දුකක් තියෙනවා මේ ඒක පුග්ගල මෙව්ව ගැන. ඒ මොකද කියනව නම් මං ආසාම BnS ලාට කවදාවත් ඒක පුද්ගල මෙව්ව එකක් කරන්න විදියක් නැහැනේ. හැම සිංදුවක්ම දෙන්නම කියනවනේ…

%d bloggers like this: