කොල්ලෙක් උරේට හේත්තු වුනොත් තමා ඕක්කොම….

ඊයේ මං ගෙදර යද්දී ජුංඩක් රෑ වුනා. ඉතිං වාඩි වෙලා යනවා කියන්නේ ඒ වෙලාවේ හැටියට තනිකරම හීනයක්…. ඒක නිසා මුලින්ම ආපු මතුගම බස් එකේ නැගලා කකුල් පෑගි පෑගි, හිරවෙවී සැපට යනවා. ඉතිං ඔහොම ටික දුරක් යද්දී කොන්දා මල්ලි එනවා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමෙන් දීපු සීඩී එකත් දාගෙන.

දෙපැත්තෙන් අයිනට වෙලා මැද්දෙන් ඉඩ දෙන්න…. අනිත් කට්ටිය මැද පොල්ල අල්ලං ඉස්සරහට යන්න… කියාගෙන.

මං නං ඉතිං සුපුරුදු පරිදි මැද පොල්ල අල්ලං අයිනට වෙනවා. ඊට පස්සේ ඕං රැක් එකේ කුණු දූවිලි වල තත්වය යන්තමින් ඇඟිල්ලකින් පරීක්ෂා කරලා බලලා එහෙම බෑග් එකත් දැම්මා මගේ ඉස්සරහින්ම. ඊට පස්සේ කව්දෝ මන්දා එකෙක් ගහන බ්‍රේක් පාරවල් දෙක තුනකට සෙට් වුනාම මං හිටියේ බෑග් එක රැක් එකට දාපු තැන නෙවෙයි. එක්කෝ බෑග් එක දුවලා, එහෙම නැත්තං මං දුවලා.

කොහොම හරි ඊට පස්සේ වට පිට බලද්දී බෑග් එක රැක් එකේ තියෙද්දී මාව තල්ලු වෙලා ටිකක් ඉස්සරහට ඇවිල්ලා. පස්සේ ඉතිං නිකමට වගේ මං හිටිය තැන සීට් එක දිහා බලද්දී…. කිරි අප්පුච්චියෝ… ස්වීට් කෙල්ලෙක්…. අනේ පවූවූවූවූ…. ඒ ළමයට දොයි මතේ…. එහාට වැනෙනවා මෙහාට වැනෙනවා… අර කරුමක්කාරයා බ්‍රේක් ගහන කොට ක්ෂනිකව ඇහැරෙනවා ආයෙ ඊලඟ මොහොතේ නිදි.

ඉතිං ඔහොම ටික දුරක් ආවාම ගෑණු ළමයට හොඳටම නින්ද ගිහිං, සීට් එකේ අයිනේ හිටිය පිරිමි කෙනාගේ උරේට ඔලුව තියාගෙන. ඇත්තටම හෙනම පවු අප්පා. ගෑණු ළමයා කොහෙ හරි වැඩ කරන කෙනෙක්. සෑහෙන මහන්සි ඇති. ඒ නිසාම සීට් එක හම්බුන ගමන් වාඩි වෙන්න ඇති. ඒත් ඉතිං නිදා ගන්න නොහිතුවත් නින්ද යන්න ඇති. පස්සේ ඉතිං මං බැළුවේ එයත් එක්ක හිටිය අනිත් පිරිමි කෙනා දිහා. පොරත් අවුරුදු 35ක විතර කෙනෙක්. මෑන් කිසිම සද්දයක් නැතුව අර ළමයට ඔළුව තියාගෙන ඉන්න දීලා හිටියා. ඇත්තටම කිසිම වැරදි හැඟීමකින් බලන්න වෙන දෙයක් සිදු වුනේ නෑ… අර සමහර අයියලා කැරපොත්තෝ බෑග් වල දාගෙන ගිහිං ගෑණු ළමයින්ව බය කරලා ගුටි කෑවා වගේ දෙයක් නම් සිදු වුනේ නෑ කොහෙත්ම.

ඉතිං ඊළඟ මොහොතේ මට නිකමට වගේ හිතුනේ, වැරදිලා හරි කොල්ලෙකුට නින්ද ගිහිං කෙල්ලෙක්ගේ උරහිසකට ඔය විදියට ඔලුව බර වුනානම් එහෙම… කොහෙන් නවතීද කියලා. එක්කෝ කොල්ලා ඉප්පිරිතාලේ, එහෙම නැත්තං අතක් පයක් කඩලා බස් එකෙන් එළියේ….

පේනවද වෙනස… බස් එකේදී වැරදිලා හරි අතක් ඇ‍ඟේ ගෑවුනොත් රවන රැවිල්ල ‍කොහොමද…? ඉස්සර කතා පොත් වලින් දැක්ක ආලවක යකාගේ ඇස් දෙකට වැඩිය හපන් ඒ රැවිල්ල. ඇස් දෙක දොඹ ගෙඩි ගානට බැරි වුනත් ඊට චුට්ටක් ලඟින් යන්න හරි ඇස් දෙක ලොකු කරලා තරහ ගන්න කැත…. කොල්ලෝ හැම තිස්සෙම නරකයි කියලා හිතන කෙල්ලන්ට මේ වගේ සිද්ධි ගැන ටිකක් හිතන්න වෙයි.

හැම ගල් කැටයක් දිහාම කළු කන්නාඩි දාන් බැළුවම මැණික් ගලුත් මිස් වෙන්න පුළුවන්. ඒ වගේ තමා හැම පිරිමියා දිහාම එක වගේ බැළුවම හොඳ ගතිගුණ තියෙන අයවත් නිකංම අතෑරෙනවා….!

ඉතිං ඔය පඬිකල්පනා හිත හිත ඉන්න කොට බස් එක පානදුරේ ඉප්පිරිතාලේ ගාවටම ඇවිත්. එතනින් අර ගෑණු ළමයා බැහැලා යන්න ගියා. අර පිරිමි කෙනා මං බහින කනුත් බස් එකේ හිටියා. මං ඒ වෙලාවේ තමා හොඳටම දැන ගත්තේ මේ දෙන්නා දන්න කියන දෙන්නෙක් නෙවේ කියලා. නොදන්න ගෑණු ළමයෙකුට තමන්ගේ උරහිසේ ඔලුව තියාගෙන යන්න දුන්න වුනත් කවදාකවත් ගෑණුකෙනෙක් එහෙම නොදන්න පිරිමි කෙනෙකුට ඔලුව තියාගෙන යන්න දෙන්නේ නෑනේ…. ඒක එහෙම කරන්න එපා කියන්නත් බෑ, කරන්න කියන්නත් බෑනේ… කෙල්ල බැහැලා ගියා, පිරිම කෙනාත් ෂටර් එකට ඔලුව තියාගෙන ලාවට නිදා ඒත්‍‍‍‍…. අන්තිමේ මං බස් එකෙන් බහින මොහොතේ මට තමා ලෙහා ගන්න බැරි ගැටලූවක් ඇතිවුනේ, ඉස්තිරී වර්ගයා ගැන….!

බඩේ අමාරු නපීස්…

අපේ ස්කෝලේ හිටිය නියම යාළුවෙක් තමා නෆීස් කියන්නේ. නෆීස් කියන නම කියන්න ටිකක් අමාරු නිසා, නපියා, නපා වගේ නම් තමා කිව්වේ. හිටි ගමන් කාට හරි නපියා එක්ක තද වුනාම අඩෝ ගූ මොහොමඩ් කියලත් කියනවා. නපියා උපතින්ම මුස්ලිම්. හැබැයි ඉතිං මෑන් දෙක වසරට එද්දිත් අපිට වැඩිය හොඳට සිංහල භාෂාවේ සාහිත්‍ය හරඹ ගැන එහෙම හොඳ දැනුමක් තිබුනා.

මට මතක විදියට මං මුලින්ම ස්කෝලේ එකෙක්ගෙන් කුණු හරුපයකට කියලා අහලා තියෙන්නේ නපියා දෙක වසරෙදි කියපු කුණුහබ්බයක්… අපි ඒ කාලේ ලඟ ඉන්න යාළුවෙකුට වුනත් තමුසෙ කියලා කතා කරෙත් හෙන බයෙන්. ඒකට නපියා… ඌ දෙනවා අපිව අඹරිලා යන්න කුණුහරුප. සමහර ඒවා පළවෙනි වතාවට තමා ඇහුවේ.

ඔය කොච්චර ලොකු ටෝක් දැම්මත් නපියාගේ නම වැඩි හරියක්ම රෙජිස්ටර් වෙලා තිබ්බේ වෙන සීන් එකකට. ඒ දවස් වල අපි දෙකේ පන්තියෙ. හිටියේ උඩ තට්ටුවක තියෙන පන්තියක. පන්ති තුනකට එක හෝල් එක ගානේ තමා තිබුනේ. ඉතිං ස්කෝලේ පටන් අර‍ං පැයක් විතර යනකොට… නහය කඩා ගෙන යන තරමේ ටොයිලට් වලක් ඉතිරුවා වගේ ගඳක් එනවා. මේක දවස් දෙක තුනක් එක දිගට වුනා. අපි ඉතිං චූටියිනේ ඒ දවස් වල, ඒ නිසා ඉතිං ඊයා…. ගඳයි කියා කියා ඉන්නවා මිසක් ගඳක් එන්නේ කොහෙන්ද කියලා හොයන්නේ නෑ… ගෑණු ළමයිනම් ලේන්සු වලින් නහය වහගෙන එහෙම තමා ඉන්නේ. අපිත් ඉතිං සුවඳ ගහන මක්කේ මක්කේ ඉඹ ඉඹ ඉන්නවා.

අපි එහෙම හිටියට අපේ පන්තියට උගන්නපු අබේවර්ධන මිස් නිකා හිටියේ නෑ. හැමෝගැනම හෙන පරික්ෂාකාරීව හොයා බැළුවා. ඔහොම බලද්දි තමා මිස්ටත් වැඩේ මීටර් වෙලා තියෙන්නේ. ඉතිං අපි ඉන්ටවල් එකට කෑම කන්න යන්නේ පහල මිදුලේ තියෙන ගහක් යටට. එතෙන තියෙන බංකුවේ වාඩි වෙලා තමා අපි හැමෝම කෑවේ. ඒක අපි දෙක වසරට ආපු දා ඉඳන්ම අබේවර්ධන මිස් පුරුදු කරපු දෙයක්. අපි හැමදාමෙත් ඔය වගේ  කෑමට යද්දි වෙනදාට නපියත් උගේ මාළු පාන් එක උස්සං ආවට මේ ටිකේම ආවෙ නෑ. අපිටත් ඉතිං කෑමක් දැක්කම යාලුවෝ මතක් වෙනවැයි…. ඒක නිසා නපියා ආවද නැද්ද කියලා ගානක් නෑ. ඉතිං නපියා මොකද්දෝ හේතුවක් නිසා ස්කෝලේ ඇරිලා ළමයි ටික ඔක්කොම ගියාට පස්සෙ තමා පන්තියෙන් නැගිටලා එන්නේ. ඒක නම් එදා ඉඳන් තිබුන දෙයක් නිසා ඒකත් අපිට වැඩිය ගානක් වුනේ නෑ.

පස්සේ කොහොමරි ඊලඟ දවසෙත් අර ගඳ එනවා. ඒ පාර අපේ මිස් ගුරු පුටුවෙන් නැගිටලා ඇවිත්….

නෆීස්… පුතේ… ඔයා මේ කාඩ් බෝඩ් කෑලි දෙක කලිසමට යටින් අල්ලගෙන මේ ඇන්ටිත් එක්ක් ටොයිලට් එකට ගිහිං එන්න…. කියලා කිවුවා. ඊට පස්සේ ඉතිං අපිත් පන්තියේ යකඩ දැල ගාවට දුවලා ඒකෙ එල්ලිලා බලාගෙන හිටියා කේස් එක. නපියා යනවා මිස් දුන්න කාඩ් බෝඩ් කෑලි දෙක කකුල් දෙකේ පිටිපස්සට කරලා අල්ලාගෙන. අර ඇන්ටි යනවා නපියාට ටිකක් ඉස්සරහට වෙන්න…

දැන් ඉතිං අපිට හරි පස්නේ ඇයි ‍මේ එකපාරටම කියලා. ඊට පස්සේ පන්තියේ වැඩට උදවුවට හිටිය ඇන්ටිත් එක්ක නපියා ටොයිලට් ගිහිං කලිසමත් මාරු කරගෙන ආවම තමා වැඩේ තේරුනේ.

නපියා තමා පන්තියේ කැත කරගන්නේ කියලා හොයා ගත්ත අපේ මිස් කරලා තියෙන්නේ, උගේ පො‍තේ රතු පෑනෙන් සීන් ලියලා යවලා ගෙදරට… ඒ එක්කම වැඩිපුර කලිසමකුත් එවන්න කියලා ලියලා. වෙලා තියෙන්නේ පොරට ඒ දවස් වල තදේට බඩේ අමාරුවක් හැදිලා. බෙහෙත් බිව්වම රෑට හොඳ වෙනවලු උදේට ආයෙම හැදෙනවලු.

මේකව ගෙදර නවත්තගන්න හැදුවම අඩන නිසා අම්මල අකමැත්තෙන්ම මූව ස්කෝලේ එවලා. ඊට පස්සේ ඉතිං උදේ අටේ ඉඳන් එකොලහ මාර වෙනකං අපේ නාස් වලට විසුමක් නෑ. පස්සේ ඔන්න පොර කලිසම මාරු කරගෙන හිනාවෙවී එනවා පන්තියට. ආපු ගමන් නපියාට එහා පැත්තේ හිටිය යාළුවා පොරගෙන් ඇහුවා… ඇයි නෆිස් ඔයා සනීප නැත්තං ගෙදරට වෙලා ඉන්නේ නැත්තේ කියලා…

නපියා ගත් කටටම… තමුසෙට ඒක වැඩක් නෑනේ කැ□□ කියලා ඇදලා ඇරියෑ නැතෑ පන්තියටම ඇහෙන්න. කෙල්ලෝ ගල්ගිල්ලා වගේ… අපිත් මීයට පිම්බා වගේ, ඒත් නපියා… ඌ කලිසම අස්සට අතදාගෙන ෂර්ට් එක යට කරනවා. මෙලෝ ගානක් නෑ මෑන්ට.  ඒ පාර මිස් ඇවිල්ලා කන මිරිකලා පිටටත් දෙකක් ගහලා ගියා යන්න.

පස්සෙන්දා ඔන්න නපියා එනවා අම්මයි තාත්තයි එක්ක…. ආපු ගමන් පන්තියටම ඇහෙන්න නෆිස්ගෙ ලෙඩේ ගැනත් කියලා හැදියාව ගැනත් කියලා දෙමාපියන්ව පිටත් කලා. ඊට පහුවෙනිදා ඉඳන් සාමාන්‍ය පෙල වෙනකංම නපියා අපිත් එක්ක වැඩි කතාවක් නෑ… උගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්නවා. නැත්තං කාටවත් කරදරයක් නැතුව කෙරෝලේ ඩෙස් එකකට වෙලා සැපට බුදි….! හිටි ගමන් අපිත් එක්ක සෙල්ලං කරන්න එහෙම එනවා… එතාකොට මූ හොර අවුට් එහෙම ඉල්ලද්දි තමා… අඩෝ ගූ මොහොමඩ් කියලා උඹ දන්න රෙද්ද… කියලා නපියාගේ අතීතාවර්ජනයක් කරන්නේ. ආහ් අපි දෙක වසරෙදි නපියාට කිව්වේ බඩේ අමාරු නපීස් කියලා… ඒක කාලයත් එකක් මොඩිෆයි වෙලා තමා අනිත් කාඩ් එක හැදුනේ.

මට දැන් නම් හිතෙන්නේ අම්මලා තාත්තලා ගෙන්නලා සීන් එක කිව්වට පස්සේ තාත්ත මූට ගෙදර ගිහිං සලකලා තියෙනවා කාලෙකට මතක හිටින්න….! සාපෙන් පස්සෙනම් නපියාව හම්බුනේ නෑ… ඒත් ආරංචි විදියටනම් පොර දැන් දෙදරු පියෙක්…

* මේක ආගමකට අපහස කරන්න කිව්ව එකක් නෙවෙයි හරිද. මගේ පුංචි කාලේ ස්කෝලේ හිටිය යාළුවෙක් ගැන මතක් වෙච්ච නිසා ලිව්ව දෙයක්. සිංහයාත් ලියන්න පටන් අරගෙන තියෙනවා සිංහයා පැටියා කාලේ කොරපු වැඩගැන, මේ ලින්ක් එකෙන් ගියොත් ඒ ටික කියවන්න පුළුවන්.

%d bloggers like this: