නුවරඑළිය ට්‍රිප් එක – II

ඔන්න ඉතිං අනිත් දවස් වල වගේම, සුපුරුදු විදියට ඉර පායගෙන අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවසටත් එලිවුනා. හැබැයි ඉතිං පාන්දර හරියේ ඉඳන් තිබ්බ හීතල තමා ඉවසගන්න බැරි. මම අරගෙන ගිය සීතලට අඳින දිග කලිසම ඇඳගෙනත් මුළු සරුවාංගෙම ගැහෙනවා.

අපි නිදාගන්න කොට හීතල එච්චර තදේට තිබ්බ නැති නිසා ජර්සිය ඇන්දේ නෑ. අම්මට සිරි ඒකෙ පල විපාක විඳින්න වුනේ අර කිව්වත් වගේ මහ පාන්දර. සීතලේ හැටියට කම්මැලි කම කොච්චරක්ද කියනවා නම් දත් සැට් එක ටක ටක ගාලා එකට වදිද්දිත් නැගිටලා ජර්සිය දාගන්න හිතුනේ නෑ කිව්වම හිතාගන්න පුළුවන්නේ. බෙඩ් ශීට් එක ඔළුවේ ඉඳන් පොරව‍ ගෙනත් මෙච්චර සීතලනම්… අළුත බැඳලා පැනි හඳ බලන්න එන ඈයෝ කොහොම ඉන්නවද මන්දා. සමහර විට එයාලට සීතල දැනෙන්නේ නැතුව ඇති….! අපි දන්නවැයි ඔව්වා තාම…..

ඉතිං දෙවෙනිදා මුලින්ම තිබුනේ තේ පානය. කිසි අවුලක් නැතිව තේ බීලා මොනාදෝ මන්දා ජුංඩි බනිස් දෙකකුත් කාලා, ආයේ පානුයි, ඉඳිආප්පත් කාලා…. බංඩිය පුරෝ ගත්තා. අනික කව්ද මන්දා කියලත් තියෙනවනේ උදේ කෑම රජෙක් වගේ කන්න ඕනෙයි කියලා. ඒක නිසා ඉතිං අපි එහෙමම කලා. හැබැයි ඉතිං රජා කන විදිය දැකලා නැති නිසා අපේ එවුන් කාපු හැටි ගැන මං නොකියා ඉන්නම්. සමහරුන්ගේ කෑම එකට මහවැලි මහසෑයේ කොතත් වැහිලා ගියා.

ඉතිං පිටත් වෙන්න තව ටික වෙලාවක් තියෙනවා කිව්ව නිසා මමයි තව යාළුවෙකුයි රම්බොඩ ඇල්ලේ වතුර පාර ගලාගෙන වතුරපාර දිහාට දල බෑවුමක් දිගේ බහින්න ගත්තා. ඒ ගමන තමා මරු. පස්ස පැත්ත බිම ඇනගෙන දෙතුන් පාරක් විතර ලෙස්සලා ගිහිං එහෙම අතපය කඩ ගන්නේ නැතුව බේරුනේ නූලෙන්. ඒ වුනාට ඒ මීටර් සිය ගනනේ ගමන නම් නියමයි. ඔය ඉන්නේ ඇල්ලට අධිපති දේවතාව වගේ එකෙක්… ඔයාලා දන්නවත් ඇති පොරව. පස්සේ ආයෙමත් කන්ද නැගලා හෝටලයට ඇවිත් අත පය හෝදගෙන නාගෙන එහෙම ලෑස්ති වුනා නුවරඑළිය බලා යෑමට.

ඊට පස්සේ ටික වෙලාවකින් ඔන්න රම්බොඩට ටටා කියලා පිටත් වුනා කොත්මලේ වේල්ල බලන්න යන්න කියලා. අපේ බස් එකේ ඩ්‍රැයිවර් මහත්තැන්ගේ දැනුමට අනුව විනාඩි 10ක් විතර ගිහිං කොහේදෝ මන්දා නැවැත්තුවා. පස්සෙ ගිහිං බලද්දී මූ ගිහිං තියෙන්නේ වේල්ල බලන්න නෙවෙයි පවර් හවුස් කියන එකක් බලන්න. ඕං ඒ පාර අපි හරෝගෙන එද්දි අපේ තව බස් එකක්, හරි පාරේ ගිහිං වේල්ල බලන්න. එතකොට අපි ආයෙම රම්බොඩ පහු කරගෙන නුවරඑළිය පාරේ ලබුකැලේ දිහාටම ඇවිල්ලා. පස්සේ ඉතිං උන්ට එන්න කියලා අපි ගියා.

ලබුකැලේ අවට නම් මාරයි. හතර වටේට තේ වතු. එක පුංචි සෙන්ටිමීටරයක් තිබුනත් එකේත් ලීක්ස් හරි කැරට් හරි වවලා. ගෝවා නම් තිබුනේ අඩුවෙන්. කොහොම හරි හිස් ඉඩක් නැති තරම්. ඇත්තටම ලබුකැලේ හා ඒ අවට මිනිස්සු තමන්ට තියෙන පුංචි ඉඩ ප්‍රමා‍ණයෙන් හරි සෑහෙන ප්‍රයෝජන ගන්න බවක් තමා පේන්න තිබ්බේ.

ඊට පස්සේ ඕං තව ටික වෙලාවකින් නුවරඑළියට ආවා. ඉතිං රම්බොඩදී වගේම අපි නවාතැන් ගත්ත තැනට ගිහිං කාමර වලට බෑග් ටික දාලා එහෙම අපි ගියා ඇවිදින්න. මුලින්ම නුවරඑළිය ටවුන් එකට. නියම ගමන…. තාම කකුල් දෙක රිදෙනවා. ඉතිං ඔය ඇවිදින ගමන් මධුරංග මල්ලි කිව්ව ලොකාට් හොයන්න ගියා. ටික වෙලාවකින් බඩු හම්බුනා. ඒක ඇත්තටම මරු කෑම. ඔයාලා කෝන් කියන පලතුර කාලා තියේනම් අන්න ඒ වගේම පාටකින් යුක්ත, ඒ ප්‍රමානෙම ගෙඩියක් තමා ලොකාට් කියන්නේ. මේවට පීච් කියලත් කියනවා කියලා කව්දෝ එකෙක් කිව්වා.

ඊට පස්සේ ඉතිං ආවා ග්‍රෙගරි වැව ගාවට. එතෙන්ට එද්දී තුනට විතර ඇති, යද්දි හතට විතර ඇති. අපි හතර දෙනෙක් තමා ආවේ. ග්‍රෙගරි වැවේ අපි අර කකුල් දෙකෙන් පදින බෝට්ටුත් පැද්දා. ඒ බෝට්ටු ගමන නම් පට්ට. හැබැයි අර ඇවිදලා ඇවිදලා රිදි රිදි තිබ්බ කකුල් දෙකට හරී සනීපයි.

ඉතිං වැව ගාව ගෑණු ළමයි එහෙම හිටයෙම නෑ. අපි එයාලා එක්ක තර‍ඟෙට බයිසිකල් පැද්දෙත් නෑ. කෙල්ලෙක්ගේ බයිසිකලේට වෙට්ටුවක් දාන්න ගිහිං කොල්ලෙකුයි කෙල්ලෙකුයි බයිසිකලෙන් වැටුනෙත් නෑ. පස්සේ ඒ කෙල්ලෝ සෙට් එකයි කොල්ලෝ සෙට් එකයි ෆිට් වුනෙත් නෑ… අන්තිමේ කෙල්ලෝ ටික කිරිබත්ගොඩ පැත්තේ කියලා අහගත්තෙත් නෑ…. අනේ සංසාරේ ඇයි මෙහෙමත් එව්වා සෙට් වෙන්නෙ කියලා හිතුනෙත් නෑ….

ඔය ඔක්කොම නාඩගම් වලින් පස්සේ අපි ගියා අපේ නවාතැනට. ආහ්… ඊට කලින් වැව උඩින් යන නුවරඑළිය – වැලිමඩ පාරේ තියෙන පොඩි ආප්ප කඩේකින් ආප්ප කෑවා. ඇස් දෙකෙන් කඳුළු ඇවිත් නහයෙන් හොටු බේරෙනකං… ලුනු මිරිස් එක්ක ආප්ප කෑවා. මහ ලොකු සීතලක් නොතිබුනාට තිබිච්ච සීතල නැති වෙන්න කියලා තව ප්ලේන්ටිත් බිව්වා. පස්සේ ඉතිං ආපහු යන්න ලෑස්ති වෙලා පාරට බහිද්දි, මෙච්චර වෙලා හොඳට තිබ්බ වැව තනිකරම වැහිලා ගිහිං සුදු පුළුං වගේ මීදුමෙන්. මාරම ලස්සනයි. ඒත් ටික වෙලාවකින් මීදුම පහවෙලා ගිහිං ආයෙම පැහැදිලා වුනා.

ඊට පස්සේ නම් අපි හෝටලයට ගියා. ගිහිං නාලා කරලා එහෙම (එදා දවසට නෑම් දෙකයි) රෑ අටට විතර කෑම එහෙම කෑවා. ඉතිං කන අය කාලා ඉවර වුනාට කන –  බොන අය කාලා ඉවර වෙලා තිවුනේ නෑ. ඒක නිසා ඒ අයට එයාලගේ වැඩේ කොරගන්න දීලා අපි ගිහිං පොඩි කයියක් දාගෙන ඉඳලා හීතල ඇඳුම් ඇඳගෙන නිදාගත්තා.

පස්සෙන්දා ඇහැරෙද්දි වෙලාව හයට විතර ඇති. දවසෙන් භාගෙකටත් වැඩිය ඇවිද්ද නිසාම කලින්දා රෑ හොඳට නින්ද ගිහිං තිවුනා. වැඩිය සීතලකුත් තිබුනේ නෑ. ඊට පස්සේ ඉතිං ආයෙම ගිහිං බැලූවා හෝටලේ ඉඳන් වැව අයිනට. එතකොට තමා මෙහෙම ලස්සනට වැව පෙනුනේ.

ඊට පස්සේ ඉතිං උදේ කෑම කන්න හද්දිම ෆෝන් එක රිං වෙනවා. අම්මට හුඩු අපේ සුදු හංසිව හම්බුවෙන්න යන්න ඕනේ නිසා රිමයින්ඩර් එකක් දාගත්තනේ. මං කලින්ම එයාට කියලා තිවුනේ මට ස්ට්‍රෝබෙරි ටිකක් ගන්න ඕනේ කියලා. එයා ඉතිං ඒ පැත්ත ගැන දන්න නිසා හොඳ තැනකින් ගන්න පුළුවන්නේ. අනික මට නම්, ඌරන්ට මොන සෞඛ්‍යයද කියලා ඕනේ මගුලක් කන්න ඇහැක් වුනාට ස්ට්‍රෝබෙරි ගේනකම් බලාගෙන ඉන්න අයට කල් තියාගන්න බෙහෙත් ගහපුවා ගිහිං දෙන්න බෑනේ. ඒක නිසා ඉතිං සුදු හංසි එක්ක ගිහිං ස්ට්‍රෝබෙරි ගත්තා. එයා සෙට් කරලා දුන්නා ස්ට්‍රෝබෙරි වගාකරන තැනකින්ම එදා උදේම පැක් කරපු ස්ට්‍රෝබෙරි විකුණන තැනක්.

ඔය ස්ට්‍රෝබෙරි ගන්න යන්න තියන හදිස්සියට මෙදා පාරත් අපි ගියේ ගිය පාර ගිය ෂෝට් කට් එකෙන්මයි. අපේ අයියලා හතර ගාතෙන් ගිය ඒ දන්ඩ තාම එහෙමම තිබුනා. (පේනවනේ ඒකෙ යන්නෙත් කොයි තරම් අමාරුවෙන්ද කියලා)

ඇත්තටම සුදු හංසි නොහිටියානම් එහෙම මං මෙදාපාරත් ස්ට්‍රෝබෙරි ගන්නේ මාකට් එකෙන් තමා. එහෙම වුනානම් ඉතිං අර ඇඹුල්ම ඇඹුල් එව්වා තමා කන්න වෙන්නේ… ඉතිං සුදු හංසි නිසා මෙදා පාර පැණරස ස්ට්‍රෝබෙරි කෑවා. ඔයාට ගොඩක් ස්තූතියි සුදු හංසි අපි වෙනුවෙන් රස්තියාදු වෙලා ඇවිදලා ඇවිදලා නිවාඩුවේ ගෙදරට වෙලා ඉන්න තිබුන කාලේ කැප කලාට.

සෙන්ට් ක්ලෙයාර් ඇල්ල

පස්සේ ඉතිං ස්ට්‍රෝබෙරිත් අරගෙන අපි ආයෙත් ටවුන් ගිහිං පොඩි වටයක් දාලා ආයෙම සෙට් වුනා බස් එකට. එතකොට බස් එක වැව ගාවට ඇවිත් තිබුනේ. පස්සේ ඉතිං ටික වෙලාවකින් නුවරඑළියටත් සමුදීලා අපි ආවා ගෙදර එන්න.

ඩෙවෝන් ඇල්ල

එන ගමන් සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල වගේම ඩෙවෝන් ඇල්ලත් බලාගෙන ඇවිත් කිතුල්ගල නවත්තලා කෑම කාලා එහෙම රෑ අට විතර වෙද්දී ගෙදරට ආවා….

ඇවිත් නෑවද, කෑවද මන්දා නිදාගත්තා නම් මතකයි. ඊට පස්සේ ගත්ත ෆොටෝ කෑලි ටිකක් ප්‍රින්ට් එකට දැම්මා ඊයේ උදේ. සමහර එව්වා නම් මාර ගති. මං ඒ හොඳම පහ හයක් කට්ටියට බාගන්න පුළුවන් වෙන්නම ළගදී ෂෙයාර් කරන්නම්…..!

%d bloggers like this: