නුවරඑළිය ට්‍රිප් එක – I

හ්ම්…. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. ඒ තරමට අළුත් අත්දැකීම් ගොඩක්, අළුත් විස්තර ගොඩක් ඔළුව ඇතුලේ පිරිලා. කොහොම වුනත් මේ තමා මං ගිය හොඳම… හොඳම… හොඳ….ම විනෝද චාරිකාව.

මුල ඉඳලම කියන්නම්. හැබැයි අර බලධාරියා විසින් කපාහැරිය යුතු කොටස් කපා හැරලා. මොකද නැත්තං මේක බලධාරියා කියෝපු දාට මං ඉවරයි. ඉතිං නව වෙනිදා උදේ තමා ගමන පටං ගත්තේ. ආරම්භයේදී නම් කීයටවත් හිතුවේ නෑ මේ පොඩි පොඩි අපහසුතා ඇතිවුනත් මේ තරම් හොඳ විනෝද චාරිකාවක් බවට මේක පත්වෙයි කියලා.

ඉතිං මුලින්ම ගියේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ කරන සුපුරුදු වැඩේ කරගන්න. ඒ කියන්නේ නා ගන්න… ඇත්තටම අපේ සංවිධායක මන්ඩලයට තැනක් හම්බුවෙලා තිබුනෙම නෑ මේ නා ගැනිල්ලට. ඒක නිසා ඉතිං පේරාදෙණිය ගාඩ්න් එක පිටිපස්සෙන් ගලාගෙන වතුර හිඳිච්ච මහවැලි ඟගේ නාන්න ගිහින් කට්ටිය හොඳට නාගත්තා. මට ඉතිං අමුතුවෙන් නාන්න දෙයක් නැති නිසා මං නම් නෑවේ නෑ එතනින්. ඊට පස්සේ එතනෙම ඉඳන් දවල් කෑමත් කාලා එහෙම යන්න පිටත් වුනා රම්බොඩ හෝටලයට. අපේ කාලසටහනට අනුව රම්බොඩට යන්න නියමිත වෙලා තිවුනේ හවස හතරට වුනත් අපේ රියදුරු මහත්තරුන්ගේ අත්ගුනේ නිසාම තුනයි හතලිස් පහට විතර යන්න පුළුවන් වුනා. (රම්බොඩ ගැන කලින් දාපු ලිපිය) අත්ගුනේ පොඩ්ඩක් හරි වැරදුනා නම් එහෙම පාරේ ඉඳන් මීටර් දෙසීයක් තුන්සීයක් පහල තියෙන චූටි බෑවුමක තමා නතර වෙන්න වෙන්නේ…

ඊට පස්සෙ ඉතිං එතනින් ගත්ත කාමර වල අපේ ඇඳුම් බෑග් එහෙම තියලා, ෂෝටකුත් දාගෙන ගියා රම්බොඩ ඇල්ල ගාවට. නා ගන්න කියලා හිතාගෙන තමා ගියේ. ඒත් ඉතිං බෑ බෑ… කියලා හිතුනා. හම්මෝ එතෙන සීතල. ගොඩක්ම සීතල ඇල්ලෙන් විසිරෙන වතුර බිංදු පහල ගල් තලා වල හැපිලා තවත් පුංචි කෑලි වලට කැඩිලා මීදුමක් වගේ ඇල්ල පාමුල ඉඳන් මීටර් කීපයක් ඈතට යනකම්ම පාවෙල යන නිසයි. ඒ වතුර බිංදු දිහා එක එක පැත්තෙන් බැළුවම එක එක විදියට පේනවා. සමහර වෙලාවට වතුර බිංදු වලට ඉර එලිය වැටිලා දේ දුන්නක් වගේත් පෙනුනා. ඇත්තටම මං රම්බොඩ ඇල්ල පාමුලට තමා, දිය ඇල්ලක පාමුලට ගියා කියලා කියන්න පුළුවන් වෙන්න ගිහිං තියෙන්නේ. අනිත් එව්ව‍ා ගොඩක් තියෙන්නේ පාරේ ඉඳන් බලන්න එහෙමත් නැත්තං දිය ඇල්ල නරඹන්න තබපු වේදිකාවක ඉඳන් බලන්න. ඒත් ඉතිං රම්බොඩ ඇල්ල පාමුලට නම් කිසිම අපහසුවකින් තොරව යන්න පුළුවන්. වැඩිය ඕනේ නෑ ‍අපේ සමහර අයියල ඇල්ලෙන් වැටෙන වතුර පාරට ඔළුව අල්ලලත් නෑවා.

කොහොම හරි එතෙන මට පැය දෙකක් විතර ගත වෙන්න ඇති. ඊට පස්සේ මං මාසෙකටත් කලින් ඉඳන්ම ප්ලෑන් කරගත්ත ගමනක් තිබුනා, අකීකරු හිත බ්ලොග් එක ලියන වරුණිව බලන්න යන්න. ඉතිං ඒ ගමන යන්න ඕනේ නේද කියලා මතක් වෙලා ඇල්ලට පිටුපාලා අනිත් පැත්ත හැරෙද්දී, බටහරි අහසේ තැඹිලි පාටට කළු වලාකුළු අස්සෙන් ඉර බැහැගෙන යන මාරම ලස්සන… හරියට නිකං චිත්‍රයක් වගේ අහසක් දැක්කා. ඒක දිහාත් තවත් විනාඩි පහක් දහයක් බලාගෙන හිටියා. ආයේ ඉතිං මුහුදු වෙරලට ගිහිං අහස දිහා බලාගෙන ඉන්නවට වැඩිය පොඩි ගතියක් තිබුනා, පිටිපස්සෙන් වැටෙන වතුරේ හෝ  හෝ සද්දෙයි, අමුතු සීතලයි වටේටම තිබුන නිසා.

ඊට පස්සේ පුංචි අඩි පාර දිගේ හෝටලයේ අපිට ලැබිලා තිබුන කාමරයට ගිහිං ඉක්මනට වොෂ් එකක් දාගත්තා. දඟ ගගහ යන්න පුළුවනෑ ගමනක් යද්දී. ඉතිං නාලා තේත් බීලා හෝටලේ ඉඳන් පාරට එන්න තියෙන තඩි කන්දත් නැගගෙන ආවා පාරට. ඔය පාරට ආපු ගමන් පේන්නේ මීටර් දෙක තුනක් ඉස්සරහින් තියෙන රම්බොඩ උමග. මමයි තව අයිය කෙනෙකුයි තමා පිටත් වුනේ. ඊට පස්සේ ඉතිං විනාඩි දහයකින් විතර ට්‍රයි ෂෝ එකක් අරගෙන අපිට වරුණිලාගේ ගෙදරට යන්න ඇහැක් වුනා. එතෙනත් ටික වෙලාවක් කතා කර කර ඉඳලා අයෙම ඉතිං අපේ නවාතැනට එන්න ලෑස්ති වුනා.

පස්සේ පාරට ඇවිත් කඩල වගේකුත් කකා හෙන කළුවරේ කිලෝමීටර් තුනක් විතර පට්ට හීතලේ පයින්ම හෝටලයට ආවා. වරුණිනම් කිව්වේ හෝටලයේ ඉඳන් එයාලෑ ගෙදරට කිලෝමීටර් එකාමාරක් විතර කියලා… අනේ මන්දා ඉතිං එව්වනම්. සමහර විට අපිට නුපුරුදු නිසා දුරයි වගේ තේරෙන්න ඇති.

ඊට පස්සේ ආයෙමත් කාමරේට ගිහිං සීතලට අඳින්න ගෙනාපු ඇඳුම් කෑලි දෙක තුනක් පටලෝ ගෙන ආයෙම හොටෙල් එකේ ලොබි එකට ආවා කෑම කන්න කියලා හිතාගෙන. මොන කෑමක්ද… අපේ වුන් මෙලෝ සිහියක් නැතුවා බොනවා. මං ඉතිං මේ ආයෙ බොනකං අමද්‍යප නිසාත් අර පයින් එන ගමන් කඩල කෑවේ නිකංම නිසාත් බොන්න ගියේ නෑ. (මේ පාර නං නාගත්තේ නෑ…. )

ඊට පස්සේ කෑම කන වෙලාව. කට්ටිය බීලා හිටිය නිසා කෑම ගැන නම් ප්‍රශ්නයක් වුනේ නෑ, මට මතක විදියට මස් කන්නේ නෑ කියලා මොකද්දෝ සංවිධානෙක පොරොන්දු පත්‍රයකට අස්සන් කරපු කීප දෙනෙකුත් වෙරි මතින්ම මස් කාපු බවක් නම් කවුදෝ කිව්වා. කමක් නෑ ඉතිං වෙරි නිසානේ. ඇත්තටම කෑම ටික නම් මරු. පිරිසිදු කමද, කාර්යක්ෂම තාවද ඔක්කොම සුපිරි.

පස්සේ ඉතිං බෑන්ඩ් එකක් එහෙම සෙල්ලං කරලා, අපේ කට්ටියත් සිංදු කියලා, දෙතුන් දෙනෙක් සිහි මඳ ගතියෙන් පසු වෙද්දි පළවෙනි දවසේ රෑ නිදියන වෙලාව ආපු නිසා මාත් කෑම කාලා හොඳට රෙද්දකුත් පොරෝගෙන නිදා ගත්තා. දෙවෙනි දවසේ වෙච්චි එව්වා ටික හෙට දිහාවේ ලියන්නම්.

%d bloggers like this: