කරපිංචා කොලයක් මතක කර දුන් කතාවක්…

මේ කතාව මතක් වුනේ ඊයේ දවාලේ ඔෆිස් එකේ කැන්ටිමෙන් ගත්ත කෑම එකේ තිබ්බ කරපිංච කොලේ දැක්කම. මුළු බත් එකටම තිබුනේ එකම එක කරපිංචා කොලයයි…! අජිනොමොටෝ සහ නොයෙකුත් විදියේ රස කාරක දාලා සුවඳ විහිදෙන්න කෑම හැදුවට කරංපිචා කොල එක්ක රම්පේ කෑල්ලක් හොද්දේ ඉදිලා එන සුවඳ නම් කවදාවත් දැනෙන්නේ නෑ.

ඉතිං අර මට හම්බුවෙච්ච එකම එක කරපිංචා කොලේ ති‍යෙනවනේ… ඒකත් හරි ලස්සන එකක්. කොලේ මැද තද කොල පාටයි… වටේටම දුඹුරු පාටයි. හරියට නිකං ක්ෂුද්‍ර බතික් කලාවෙන් හැඩ කරලා වගේ. දැන් අහන්න එපා ක්ෂුද්‍ර බතික් කලාව කරන්නේ කොහෙද කියලා…. දැන ගන්න ඕනේම නම් ලඟම තියෙන ගහක කොලේක හැඩ වැඩ දාන පනුවෙක්ගෙන් අහන්න…! ඌට කතාකරගන්න ඇහැක් වුනොත් කියලා දෙයි නියමෙටම.

දැන් ඉතිං කතාව මෙහෙමයි. දැනට අවුරුදු කීපයකට කලින්… අපේ අම්මගේ යාලුවෝ කට්ටියක් එක්ක එයාලගේ පවුලේ සාමාජිකයොයි අපේ පවුලේ හතර දෙනයි ගියා ට්‍රිප් එකක්. ඔක්කොමලා ඉන්න ඇති පහලොවක් දාසයක් විතර. ගියේ හරියටම කොහෙද කියන්නනම් මතකයක් නෑ… ඒත් කරපිංචා සීන් එකට අදාල ගමන ගැන නම් මතකයි. අපි ඔය කොහෙන් හරි දවල්ට කාලා, වයඹ  පලාතේ (මට ෂුවර් නෑ උතුරු මැදද කියලත්) තියෙන හස්ති කුච්චි විහාරය බලන්න යමින් ගමන් තමා හිටියේ.

ඉතිං ඔය අපේ වෑන් එලෝගෙන ගිය ඩ්‍රයිවර් මහතා ටිකක් විතර බේබද්දා. මූ දවල්ට කාලා පොඩි ෂොට් එකක් දාගෙන හිටියේ. මගක් දුරට ගිහින් ඉස්සරහ සීට් එකේ හිටිය අංකල් කෙනෙකුට පොර කියනවා,

මහත්තයා… හස්ති කු…කු….කු….කුච්චි යන්න ෂෝ… ෂෝ….ට් කට් එකක්..ක්…ක් මං දන්නවා….. කියලා. ආයේ ඉතිං අපේ අයත් ෂෝට් කට් , නොමිලේ කියන වචන දේවත්වයෙන්නේ සලකන්නේ. ඉතිං කට්ටියම හා හා… එහෙනම් ෂෝට් කට් එකෙන් යමුයි කිව්වා. පස්සේ ඉතිං අපි කවුරුවත් නොදන්න බොරළු පාරකට, අපේ ඩ්‍රැයිවර් මහත්තයා වෑන් එක හැරෙව්වා. අප්පේ ඒ පාර මතක් වෙද්දී නම් වෙලාවකට බයත් හිතෙනවා. තනිකරම දුඹුරු පාටයි. පාර විතරක් නෙමේ දෙපැත්තේ තියෙන ගස් වැල් හිටන්ම. ඈත්තටම ඒක පටු පාරකුත් නෙමේ, දැන් තියෙන සමහර මහා මාර්ග වගේ වාහන දෙකක් යාන්තමින් මාරුවෙන්න පුළුවන් තරමේ පාරක්. අපිට කලින් ආපු ගියපු වාහන වල ටයර් කට්ට රටා ටිකත් අර දූඹුරුම දුඹුරු පාට පාරේ දූවිලි වල සටහන් වෙලා තිවුනා. ඔහොම යනවා යනවා ඉවරයක් නෑ. ඊටත් පාර දෙපැත්තම තනිකර කැලයක්. මුළු පාරම මහ දාවලේ උනත් තරමක් අඳුරු ගතියක් තමා තිබුනේ.

මතක විදියට අපි විනාඩි දහයක් විතර තනි කෙලින් පාර දිගේ දූවිලි කාගෙන යන්න ඇති. පස්සේ ටිකකින් ඩෝප් ඩ්‍රයිවර් නැවැත්තුවා වාහනේ. ආයෙ ඉතිං අයිනකට කරන්න කියලා දේකුත් නෑ. ඒ පාර මෑන්ස් පිටි පස්ස හැරිලා කියනවා….

මහත්තයා පාර වැරදිලා වගේ…. අපි තව ටිකක් ඉස්සරහට ගිහිං බලමුද, නැත්තං හරෝගෙන පුරුදු පාරෙන්ම යමුද…? කියලා….

වෙලාවට පොර ඇරෙන්න අපේ වෙන කිසිම කෙනෙක් බීලා හිටියේ නෑ. නැත්තං ඩ්‍රයිවර්ට තාම ගහනවා අර මහ කැලේ මැද්දේ පෙරලගෙන. පස්සේ ඉතිං අපේ ලොකු කට්ටිය කිව්ව තව ටිකක් දුර ගිහිං බලමු කියලා. ඊට පස්සේ ඔන්න ආයෙම යනවා. ටික දුරක් යද්දී… ආයෙම ඩ්‍රයිවර් කියනවා…,

ආ… පාර හරි වගේ මහත්තයා අර වාහන වගයක් තියෙන්නේ නවත්තලා… කියලා.

ඊට පස්සේ ඉතිං ඒ හරියට කිට්ටු කරලා බලද්දී තිවුනේ හෙන තඩි කැන්ටර් පහ හයක්. පස්සේ අපේ තාත්තලා ගිහිං එකේ අයගෙන විස්තර ඇහුවා පාර ගැන. ඒ ටික වෙලාවෙදී තමා මම හොඳම සීන් එක දැක්කේ….!

අර විසාල කැලෑ මැද්දේ ඉඳන් ගෑණුයි පිරිමියි කට්ටියක් එනවා මොනාදෝ මන්දා ගස් වගයක් රෝල් වෙන්න ඔතලා ඔලුව උඩ තියාගෙන. ඒවා සෑහෙන බර පාටයි. මං මුලින්ම හිතුවේ හොරෙන් රොකට් අදිනවා වෙන්න ඇති කියලා. පස්සේ බැලින්නම් ඒ කරපිංචා. මිනිහෙක් තියා කපුටෙක්වත් නැහැයි කියලා හිතන්න පුළුවන් කැලෑවේ ඉඳගෙන මිනිස්සු හත් අට දෙනෙක් කරපිංචා මිටි ගෙනාවා හිටිය මිනිස්සු ගානටම. ගෙනාපු ගමන් සස්….. ගාලා වාහන යන පාරේ තියෙන දූවිලි ගොඩට අතෑරියා. හරියට ලොකු ගලක් වතුරට වැටුනම වතුර දෙපැත්තට විසි වෙනවා වගේ, ඊටත් වඩා නියමෙට කරපිංචා මිටි වටේට ටිකක් ඝනට මීටර් තුන හතරක් විතර ලොකු දූවිලි වලාවකින් වැහැලා ගියා. ඊට පස්සේ ආයෙම අර සෙට් එක කැලෑට රිංගුවා.

පස්සේ ඉතිං ඔය ටික වෙද්දී අපේ තාත්තලා පාර ගැන දැන කියාගෙන ඉවරයි… කොහොමහරි ඩෝප් ඩ්‍රැයිවර්ට පින් සිද්ධ වෙන්න අපිට ආයෙ හ‍රෝගෙන යන්න වුනා උගේ පුරුදු පාර හොයාගෙන…

ඒ යන ගමන් අපේ අම්මගේ යාළුවෙක් කියනවා මට ඇහුනා…,

අපි කනවා ඇත්තෙත් ඔය ජරාවනේ… නේද රේණු…? කියලා.

පස්සේ අපේ තාත්තා තමා කිව්වේ ඒ ඔරිමජිනල්, ව්‍යාංජන වලට දාන කරපිංචා නෙවෙයි වල් කරපිංචා කියලා. එව්වා පොඩියට මිටි බැඳලා අහල පහල හො දුර බැහැර හෝ පොලවල් වලට යවනවා ඇති කිව්වා. මට ඉතිං ඒක එච්චර ගානක් වුනේ නෑ… අපේ ගෙදර ඒ වෙනකොට කොහොමත් කරපිංචා ගහක් තිබ්බ නිසා ඒකෙන් තමා අම්ම කරපිංචා ඕනේ උනාම කඩා ගත්තේ…

ඊට පස්සේ එදාට පස්සේ ඊයේ තමා කරපිංචා ගැන මට මතක් වුනේ. ඇත්තටම අපි නොදන්නව වුනාට කරපිංචා විතරක් නෙමේ අනිත් එලෝලුත් මෙහෙම වෙන්න බැරිද කියලා මට හිතෙනවා. ඒත් ඉතිං එහෙමයි කියලා නොකා ඉන්නත් බැහැ, අපේ වතු වල එලෝලු වගා කරන්න ඉඩත් නෑ. ඒක නිසා ඉතිං වෙන විකල්පෙකුත් නෑ වගේ… ඌරන්ට මොන සෞඛ්‍යයද කියලා අහුවෙන දෙයක් පුළුවන් තරමින් පිරිසිදු කරලා කන එක තමා කරන්න වෙන්නේ. ඇයි දෙයියනේ කංකුං…. කංකුං හැදෙන්නම කුණු කාණු වලනේ… තෙලෙන් බැදලා ගත්තම ඔය තියෙන්නේ යසට….

තවත් දෙයක්… නුවර එළිය පැත්තේ ජීවත් වෙන අය නම් මට හිතෙන්නේ ඒ අතින් වාසනාවන්තයි. මොකද තමන්ගෙම වත්තේ නැතත් අහල පහල වත්තකින් හරි පිරිසිදු එලෝලු ටිකක් ගන්න හැකියාව ඒ අයට තියෙනවා…!

දැන් ඉතිං කරපිංචා කතාව ඉවරයි…. මේ වෙනින් එකක්…

ඉතිං අන්තිමටම නුවර එළියකුත් මේකට එල්ලුවේ, මං හෙට ඉඳන් දවස් දෙකක් විතර ඉන්නේ නුවර එළිය ආශ්‍රිතව. ඒ අපේ ඔෆිස් එකේ වාර්ෂික විනෝද චාරිකාවට පිං සිද්ධ වෙන්න. ඉතිං ඒ යන පාරෙදි පේන එලෝලු ගොවිපලවල් දැක්කම ගිය පාර වගේ මේ පාරත් කටට කෙල ටිකක් උනන එක නම් නවත්තගන්න බැරිවෙයි. ඇත්තමයි වටේට වැටවල් නැත්තං කැරට් පාත්තියකට බැහැලා කැරට් අලයක් කන එක කනවා මේ පාරනම්….! හොරෙන්, අමුවෙන්, නැවුම්ව කන දේ කොහොමත් රසයිනේ….(අත්දැකීම් ඇත්තෝ දන්නවා ඒ බව…)

61 Responses to “කරපිංචා කොලයක් මතක කර දුන් කතාවක්…”

  1. මලියා Says:

    එල එල, මමත් ඉන්නවා තව සතියක් නුවරැලියෙ, ප්‍රොජැක්කට ඇවිල්ලා. වර ඇවිත් යන්න!
    මට කෝල් එකක් දාපන් නම්බරෙක හොයාගෙන 😛
    වල් මාළුවා දකින්න ආසාවෙ බෑ!

  2. ශානු Says:

    ආහ් නුවර එළියෙ ගිහින් එද්දි මට මොන හරි අරන් එන්න සුදු මාළු අයියේ ආහ් තව එකක් සුදු හංසි අක්කාවත් ඇහැ දැකලා එන්න

  3. Weni Says:

    නුවර එලියෙ එලවළු ගැන මම මොකුත් කියන්නෙ නැහැ මල්ලි ඒත් එව්වට ගහන් රසායනික බෙහෙත්..කොටුවකට පැනල ඔය විදිය කෑවොත් නම් සොරිම තමයි.. ඒ වස වලට එතනම සෙත්තපෝච්චි.. මම නම් ඔය එලවළු ජාති මොනව ගෙනාවත් පැය කාලක් වත් ලුනු වතුරෙ පොඟවලා හොඳට හෝදල තමයි උයන්න ගන්නෙ.. පාර අයිනෙ තියෙන කැරට් ගත්තට අමුවෙන් කන්න නම් එපා මල්ලියෙ ! අපේ සෙට් එකක් එහෙම කාලා බඩේ අමාරුව හැදුනා. ඩොක්ටර් කිව්වෙ ඒ ගහපු පළිබෝධ නාශක, කෘමිනාශක වලට කියලයි. ඒක ගැන හැමෝවම දැනුවත් කරන්න.

  4. විසිතුරු | visituru Says:

    කරපිංචා , රම්පෙ ගැන නම් තවම ප්‍රශ්නයක් ඇති වෙලා නෑ… ඒත් කඩෙන් ගේන එළවලු මටත් එච්චර ෂුවර් නෑ

  5. E-Porter Says:

    ඔවු කොලුවො….. මමත් දන්න short cut එකක් තියෙනවා හත්තිකුච්චි යන්න… හැබැයි ඒක ටිකක් විතර දුරයි හරි පාරට වඩා…..

    මම අහල තියෙනව නුවර එළියෙ කො‍ටු වලට බොග වලවල් කඩල දානව කියල පෝර හැටියට (ඇත්තද දන්නෙ නෑ…..) …ඒත්…..නෑ.. නෑ එක්කො බැහැපු ගමන් කැරට් අලයක් ගලවන් කාපංකො අමුවෙන්ම……

  6. සංජු Says:

    මම නැවතිලා ඉන්න ගෙදරත් එළවළු වවනවා… ගහන්න ඕනි හැම බෙහෙතම ගහලා ග්‍රෑම් 01ක් හෝමෝන් එකක් තෙල් ටැංකියක වතුරට දිය කරලා ගහනවා. එතකොට තමා අර පළුදු වෙච්ච නැති ලස්සන රවුම් කැරට්, බීට්, අල එහෙම අපි ගන්නෙ කඩෙන් …. එහෙම ලස්සනට රවුමට තිබ්බෙ නැත්නම් ඒවා විකුන ගන්න බැරි නිසා තමා එහෙම කරන්නෙ. ඇත්තටම තණකොළ කන එක හොඳයි එළවළු කනවට වඩා

  7. කළු පූසා Says:

    කරපිංචා අවුල නම් අපිට නැහැ. දෙයියනේ කියල අපේ ගෙදර කරපිංචා ගහක් තියනවා. එළවලු අවුලත් මට එච්චර අවුලක් නෙමෙයි. මොකද මම එළවලු කනවා අඩුයිනේ 😀
    නුවරඑළිය නම් නියම පැත්ත. හෝර්ටන් තැන්නට ආයිත් යන්න ආසයි.

  8. praveena Says:

    හස්ති කුච්චි කියන නම ජීවිතේට අහලා නෑ.
    කොච්චර රසවත් උනත්, නැවුම් උනත්, හොරෙන් කන්ට ගියදාට වැඩ වැරදෙනවා… 🙂

  9. ඕනයා (දුලිප් සිකුරාජපති) Says:

    ඔවු ඔවු . . . නුවර එලියෙ එවුවො පිං කරලම තියනව ෆ්‍රෙශ් එලවලු කන්න . . . යකෝ . . . එවුවට ගහන කෙමිකල් ජාති . . . .‍තෝ ආයෙ කො‍ටු වලට පැනල හොරා කන්න කලිං අහපං ගමේ පොරක්ගෙං . . . නැත්තං කසාද බඳින්නත් කලිංම ‍තෝ වඳ වෙයි . . . . ඊට පස්සෙ අපිට තමයි කරදරේ . . . . . ළමයි හදන්නයි, අරකයි, මේකයි . . . .

  10. Observer Says:

    @ ඕනයා,
    උඹ අනුන්ට ළමය් හදන්න කරදර වෙන්න ඕනෙ නැහැ, ඒවට අවශ්‍යම වුනොත් විතරක් පළපුරුදු කාරයො ඉන්නව, අනික එක ළමයෙක් හැදුව කියල, උඹ මහා එක්ස්පීරියන්ස් කාරයෙක් කියල හිතන්නත් එපා. ඒව පැත්තක තියල, නුවරඑළි ගිහින් කැරට් කාපු කෂ්ටියකගේ කතාවක් තිබ්බ අන්තිම පේළියෙ. පුළුවන් නම් මාළුව නුවරඑළි යන්න ඉස්සෙල්ල, ඒ පෝස්ට් එකේ ලින්ක් එක දීපන් ඌට. නැත්තං මාළුවා ආපහු එන්න කලින් “බැක් ස්ට්‍රෝක්” පීනය්.

  11. maathalan Says:

    දරුවා කොටු පනින්නේ. හොරෙන් කන්නේ බලාගෙන. ග්‍රිස් යකෙක් කියල කෙලල අරියි. උඹේ කැරට් එක බේරගන්න වෙන එකකුත් නෑ. ඔය ලස්සනට තිබුනට. තනිකර කෙමිකල්. අරවල තියෙන්නේ දූවීලි ටිකක් පස් ටිකක් විතරයි. හැබැයි පුතෝ ගමේ කෑම ගමේ අයටමයි කියන නිසා හොඳට පරෙස්සම් වෙයන්.

    හත්තිකුච්චිය ගැනත් ළිපියක් ලියපන්. ගොඩක් අය දන්නේ නෑ ඒ ගැන.

  12. Gayan Rupasinghe (සිංහයා) Says:

    එල එල. පය යන ගමන පරෙස්සමින් ගිහින් වරෙන්,,, කබරයා බලන්න යන්න එහෙම එපා..

    ජය,,

  13. නිසුපා Says:

    වෙලාවට අපේ ගෙදරත් රම්පෙ කරපිංචා ජාති දෙකම තියෙනවා.
    කඩේ තියෙන එලවලු ගන්නවට වඩා හොදයි වවා ගෙන කනවා.

  14. ඔබ නොදු‍ටු ලොවක් Says:

    අපේ ගෙදර තිබ්බ කරපිංචා ගහට මම නැගල අතු කඩන්නේ ඉස්සර..එච්චරට ලොකු ගහක්..පස්සේ ඒක මැරුනා…..අර හොරෙන් කන සීන් එක නං එළ…ඒකේ ආතල් එක දන්නේ හොරෙන් කාපු අයමයි…..

  15. henryblogwalker Says:

    මාලුවා දේවල් කීපයක් ගැනම මතක් කලා. ඔය ෂෝට් කට් කියන ජාතිය ඔහොමමයි. ෂෝට්කට් එකක් නම් තියෙනවා හැබැයි පොඩ්ඩක් දුරයි. අර යස අගේට කාපට් කරලා තියෙන පාරෙ ටොප් එකේ උපරිම ඉන්දන පිරිමැස්මෙන් යන්නෙ නැතුව කැඩිච්ච පාරවල් වල සෙකන්ඩ් එකේ යනවා කිලෝමීටර් දෙකක් අඩුයි කියලා.

    අනික මාලු, ඔය නුවර එලියෙදි මම දැක්ක අපිට එවන්න තියෙන එලවලු ගෝනි ( අර දැල් ගෝනි) පාර අයිනෙ වතුර ගලාගෙන යන ඇලවල් වල (ඇත්තටම කානු) බස්සල තියෙනව නැවුම්බව සුරකින්න. මන් ගාව ෆොටඕ එකකුත් තියෙනව බං.

    අනික මෙන්න අරක. මම මේක ඊයකිනුත් එව්වා.
    http://botd.wordpress.com/top-posts/?lang=si

  16. Weni Says:

    ඔහොම කාගෙන කාගෙන ගිහින් නැටි දෙක විතරක් ඉතිරි වෙලා තියෙයි !

  17. මධුරංග Says:

    අයියා ලොකාට් එහෙම තිබ්බොත් කාලා බලන්න අමතක කරන්න එපා හරිද.

  18. Gimhani Says:

    හොරෙන් කන්න ඕන නෑ කැරට් ගලවන ගොවියො ඉන්නව ඕනතරම් ..ඉල්ලුවාම දේවි මල්ලී

  19. Kasun Chanaka Says:

    නුවර එළියේ එළවලු වවන මිනිස්සු ගෙදර පාවිච්චියට තෙල් ගහන්නේ නැතුව බොහොම පිරිසිදුවට වෙනම එළවලු පාත්තියක් තියන් ඉන්නවා. ඒ අය හොඳ ටික කාල කෘමි නාශක, වල නාශක නාවපු එළවලු අපිට එවනවා.

  20. ඉන්දික උපශාන්ත Says:

    මේ කාලෙ නුවරෑළි යන්නෙ මොනාටද බං? දැං රස්නෙයිනෙ!

  21. Buru Says:

    කරපිංචා එහෙම වර්ගයක් තියෙනවා කියලා ඇහුවමයි.

    වල් කරපිංචා නෙමෙයි ඔය කැලේ කොලේ මොනවා කෑවත් මේ පාටට ඔප දාල තියෙන කෘමිනාශක තරම් නම් විසක් වෙන එකක් නෑ. අනික කැරට් අලයක් කන්න නුවර එලියටම යන එක නම් සෑහෙන්න භයානකයි වගේ. හික්ස්.

  22. Ranul Gomas Says:

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව අහන්න.කොහොමද ඔයාගෙ වගේ බ්ලොග් එක පටන් අරගෙන කොච්චර කල්ද කියල වැටෙන්න හදන්නෙ.මගෙ e-mail එකට එවන්න උත්තරේ

    ranulhashika.g@gmail.com

  23. pissa palaamalla Says:

    අලුත් එළවලුවක් පළතුරක් කන්න පින් කරල තියෙන්න ඕනි බන්…. ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට තාම ඒ පින තියෙනවා… ඒත් එව්වො ඒක දන්නෙ නෑ.. ඩෝන් පටාස් ඔක්කොම වස ගහනව… යකෝ ඔය මොන මඟුල උනත් හොඳට හෝදල ගනින්… වහ ගහල තියෙන්නේ…

    පුළුවන් නම් ගෙදර වවපන් මොනා හරි ඉඩක් තියෙනවනම්


ලිපිය ගැන අදහස්...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: