කරපිංචා කොලයක් මතක කර දුන් කතාවක්…

මේ කතාව මතක් වුනේ ඊයේ දවාලේ ඔෆිස් එකේ කැන්ටිමෙන් ගත්ත කෑම එකේ තිබ්බ කරපිංච කොලේ දැක්කම. මුළු බත් එකටම තිබුනේ එකම එක කරපිංචා කොලයයි…! අජිනොමොටෝ සහ නොයෙකුත් විදියේ රස කාරක දාලා සුවඳ විහිදෙන්න කෑම හැදුවට කරංපිචා කොල එක්ක රම්පේ කෑල්ලක් හොද්දේ ඉදිලා එන සුවඳ නම් කවදාවත් දැනෙන්නේ නෑ.

ඉතිං අර මට හම්බුවෙච්ච එකම එක කරපිංචා කොලේ ති‍යෙනවනේ… ඒකත් හරි ලස්සන එකක්. කොලේ මැද තද කොල පාටයි… වටේටම දුඹුරු පාටයි. හරියට නිකං ක්ෂුද්‍ර බතික් කලාවෙන් හැඩ කරලා වගේ. දැන් අහන්න එපා ක්ෂුද්‍ර බතික් කලාව කරන්නේ කොහෙද කියලා…. දැන ගන්න ඕනේම නම් ලඟම තියෙන ගහක කොලේක හැඩ වැඩ දාන පනුවෙක්ගෙන් අහන්න…! ඌට කතාකරගන්න ඇහැක් වුනොත් කියලා දෙයි නියමෙටම.

දැන් ඉතිං කතාව මෙහෙමයි. දැනට අවුරුදු කීපයකට කලින්… අපේ අම්මගේ යාලුවෝ කට්ටියක් එක්ක එයාලගේ පවුලේ සාමාජිකයොයි අපේ පවුලේ හතර දෙනයි ගියා ට්‍රිප් එකක්. ඔක්කොමලා ඉන්න ඇති පහලොවක් දාසයක් විතර. ගියේ හරියටම කොහෙද කියන්නනම් මතකයක් නෑ… ඒත් කරපිංචා සීන් එකට අදාල ගමන ගැන නම් මතකයි. අපි ඔය කොහෙන් හරි දවල්ට කාලා, වයඹ  පලාතේ (මට ෂුවර් නෑ උතුරු මැදද කියලත්) තියෙන හස්ති කුච්චි විහාරය බලන්න යමින් ගමන් තමා හිටියේ.

ඉතිං ඔය අපේ වෑන් එලෝගෙන ගිය ඩ්‍රයිවර් මහතා ටිකක් විතර බේබද්දා. මූ දවල්ට කාලා පොඩි ෂොට් එකක් දාගෙන හිටියේ. මගක් දුරට ගිහින් ඉස්සරහ සීට් එකේ හිටිය අංකල් කෙනෙකුට පොර කියනවා,

මහත්තයා… හස්ති කු…කු….කු….කුච්චි යන්න ෂෝ… ෂෝ….ට් කට් එකක්..ක්…ක් මං දන්නවා….. කියලා. ආයේ ඉතිං අපේ අයත් ෂෝට් කට් , නොමිලේ කියන වචන දේවත්වයෙන්නේ සලකන්නේ. ඉතිං කට්ටියම හා හා… එහෙනම් ෂෝට් කට් එකෙන් යමුයි කිව්වා. පස්සේ ඉතිං අපි කවුරුවත් නොදන්න බොරළු පාරකට, අපේ ඩ්‍රැයිවර් මහත්තයා වෑන් එක හැරෙව්වා. අප්පේ ඒ පාර මතක් වෙද්දී නම් වෙලාවකට බයත් හිතෙනවා. තනිකරම දුඹුරු පාටයි. පාර විතරක් නෙමේ දෙපැත්තේ තියෙන ගස් වැල් හිටන්ම. ඈත්තටම ඒක පටු පාරකුත් නෙමේ, දැන් තියෙන සමහර මහා මාර්ග වගේ වාහන දෙකක් යාන්තමින් මාරුවෙන්න පුළුවන් තරමේ පාරක්. අපිට කලින් ආපු ගියපු වාහන වල ටයර් කට්ට රටා ටිකත් අර දූඹුරුම දුඹුරු පාට පාරේ දූවිලි වල සටහන් වෙලා තිවුනා. ඔහොම යනවා යනවා ඉවරයක් නෑ. ඊටත් පාර දෙපැත්තම තනිකර කැලයක්. මුළු පාරම මහ දාවලේ උනත් තරමක් අඳුරු ගතියක් තමා තිබුනේ.

මතක විදියට අපි විනාඩි දහයක් විතර තනි කෙලින් පාර දිගේ දූවිලි කාගෙන යන්න ඇති. පස්සේ ටිකකින් ඩෝප් ඩ්‍රයිවර් නැවැත්තුවා වාහනේ. ආයෙ ඉතිං අයිනකට කරන්න කියලා දේකුත් නෑ. ඒ පාර මෑන්ස් පිටි පස්ස හැරිලා කියනවා….

මහත්තයා පාර වැරදිලා වගේ…. අපි තව ටිකක් ඉස්සරහට ගිහිං බලමුද, නැත්තං හරෝගෙන පුරුදු පාරෙන්ම යමුද…? කියලා….

වෙලාවට පොර ඇරෙන්න අපේ වෙන කිසිම කෙනෙක් බීලා හිටියේ නෑ. නැත්තං ඩ්‍රයිවර්ට තාම ගහනවා අර මහ කැලේ මැද්දේ පෙරලගෙන. පස්සේ ඉතිං අපේ ලොකු කට්ටිය කිව්ව තව ටිකක් දුර ගිහිං බලමු කියලා. ඊට පස්සේ ඔන්න ආයෙම යනවා. ටික දුරක් යද්දී… ආයෙම ඩ්‍රයිවර් කියනවා…,

ආ… පාර හරි වගේ මහත්තයා අර වාහන වගයක් තියෙන්නේ නවත්තලා… කියලා.

ඊට පස්සේ ඉතිං ඒ හරියට කිට්ටු කරලා බලද්දී තිවුනේ හෙන තඩි කැන්ටර් පහ හයක්. පස්සේ අපේ තාත්තලා ගිහිං එකේ අයගෙන විස්තර ඇහුවා පාර ගැන. ඒ ටික වෙලාවෙදී තමා මම හොඳම සීන් එක දැක්කේ….!

අර විසාල කැලෑ මැද්දේ ඉඳන් ගෑණුයි පිරිමියි කට්ටියක් එනවා මොනාදෝ මන්දා ගස් වගයක් රෝල් වෙන්න ඔතලා ඔලුව උඩ තියාගෙන. ඒවා සෑහෙන බර පාටයි. මං මුලින්ම හිතුවේ හොරෙන් රොකට් අදිනවා වෙන්න ඇති කියලා. පස්සේ බැලින්නම් ඒ කරපිංචා. මිනිහෙක් තියා කපුටෙක්වත් නැහැයි කියලා හිතන්න පුළුවන් කැලෑවේ ඉඳගෙන මිනිස්සු හත් අට දෙනෙක් කරපිංචා මිටි ගෙනාවා හිටිය මිනිස්සු ගානටම. ගෙනාපු ගමන් සස්….. ගාලා වාහන යන පාරේ තියෙන දූවිලි ගොඩට අතෑරියා. හරියට ලොකු ගලක් වතුරට වැටුනම වතුර දෙපැත්තට විසි වෙනවා වගේ, ඊටත් වඩා නියමෙට කරපිංචා මිටි වටේට ටිකක් ඝනට මීටර් තුන හතරක් විතර ලොකු දූවිලි වලාවකින් වැහැලා ගියා. ඊට පස්සේ ආයෙම අර සෙට් එක කැලෑට රිංගුවා.

පස්සේ ඉතිං ඔය ටික වෙද්දී අපේ තාත්තලා පාර ගැන දැන කියාගෙන ඉවරයි… කොහොමහරි ඩෝප් ඩ්‍රැයිවර්ට පින් සිද්ධ වෙන්න අපිට ආයෙ හ‍රෝගෙන යන්න වුනා උගේ පුරුදු පාර හොයාගෙන…

ඒ යන ගමන් අපේ අම්මගේ යාළුවෙක් කියනවා මට ඇහුනා…,

අපි කනවා ඇත්තෙත් ඔය ජරාවනේ… නේද රේණු…? කියලා.

පස්සේ අපේ තාත්තා තමා කිව්වේ ඒ ඔරිමජිනල්, ව්‍යාංජන වලට දාන කරපිංචා නෙවෙයි වල් කරපිංචා කියලා. එව්වා පොඩියට මිටි බැඳලා අහල පහල හො දුර බැහැර හෝ පොලවල් වලට යවනවා ඇති කිව්වා. මට ඉතිං ඒක එච්චර ගානක් වුනේ නෑ… අපේ ගෙදර ඒ වෙනකොට කොහොමත් කරපිංචා ගහක් තිබ්බ නිසා ඒකෙන් තමා අම්ම කරපිංචා ඕනේ උනාම කඩා ගත්තේ…

ඊට පස්සේ එදාට පස්සේ ඊයේ තමා කරපිංචා ගැන මට මතක් වුනේ. ඇත්තටම අපි නොදන්නව වුනාට කරපිංචා විතරක් නෙමේ අනිත් එලෝලුත් මෙහෙම වෙන්න බැරිද කියලා මට හිතෙනවා. ඒත් ඉතිං එහෙමයි කියලා නොකා ඉන්නත් බැහැ, අපේ වතු වල එලෝලු වගා කරන්න ඉඩත් නෑ. ඒක නිසා ඉතිං වෙන විකල්පෙකුත් නෑ වගේ… ඌරන්ට මොන සෞඛ්‍යයද කියලා අහුවෙන දෙයක් පුළුවන් තරමින් පිරිසිදු කරලා කන එක තමා කරන්න වෙන්නේ. ඇයි දෙයියනේ කංකුං…. කංකුං හැදෙන්නම කුණු කාණු වලනේ… තෙලෙන් බැදලා ගත්තම ඔය තියෙන්නේ යසට….

තවත් දෙයක්… නුවර එළිය පැත්තේ ජීවත් වෙන අය නම් මට හිතෙන්නේ ඒ අතින් වාසනාවන්තයි. මොකද තමන්ගෙම වත්තේ නැතත් අහල පහල වත්තකින් හරි පිරිසිදු එලෝලු ටිකක් ගන්න හැකියාව ඒ අයට තියෙනවා…!

දැන් ඉතිං කරපිංචා කතාව ඉවරයි…. මේ වෙනින් එකක්…

ඉතිං අන්තිමටම නුවර එළියකුත් මේකට එල්ලුවේ, මං හෙට ඉඳන් දවස් දෙකක් විතර ඉන්නේ නුවර එළිය ආශ්‍රිතව. ඒ අපේ ඔෆිස් එකේ වාර්ෂික විනෝද චාරිකාවට පිං සිද්ධ වෙන්න. ඉතිං ඒ යන පාරෙදි පේන එලෝලු ගොවිපලවල් දැක්කම ගිය පාර වගේ මේ පාරත් කටට කෙල ටිකක් උනන එක නම් නවත්තගන්න බැරිවෙයි. ඇත්තමයි වටේට වැටවල් නැත්තං කැරට් පාත්තියකට බැහැලා කැරට් අලයක් කන එක කනවා මේ පාරනම්….! හොරෙන්, අමුවෙන්, නැවුම්ව කන දේ කොහොමත් රසයිනේ….(අත්දැකීම් ඇත්තෝ දන්නවා ඒ බව…)

%d bloggers like this: