තාත්ති ආවට පස්සේ….

ආන්න තාත්ති එනවා……

අම්මී උඩු මහලේ ඉඳගෙන හැමදාමත් වගේ පුංචි කෙලීත් එක්ක මග බලනවා. බටහිර අහසින් තැඹිලි පාටට ඉර බැහැගෙන යද්දී, අමාරුවෙන් ඇවිදලා ඇවිදලා හොයාගත්තු වේවැල් කර්ටන් අස්සෙන් එන තරමක් උණුසුම් හුළං රැලි වල දැවටී දැවටී සනීපෙට අම්මිගේ ඔඩොක්කුවට වෙලා ළඟ තියෙන පොකුනේ මාලු දිහා බල බල ඉන්න කෙල්ලගේ පුංචි කට පොඩ්ඩට පන එන්නේ තාත්ති එනවා කියලා ඇහුනම තමා.

පා…. පා…. පා…. කිය කිය අම්මිටත් සැරවෙන වෙන ගමන් ගලපගන්න බැරි වචන කිය කිය කෙලි පොඩ්ඩ අත දික්කරන්නේ පඩිපෙලෙන් බැහැලා යමු කියලා කියන්න. ඊට පස්සේ ඉතිං ගෙට පළවෙනි පඩිය තියද්දිම අම්මයි දූයි උලුඅස්ස ළඟ. පුංචි දිලිසෙන ඇස් දෙක තාත්ති දිහා බලාගෙන ඉන්නේ මේ දැන් වඩාගෙන ඉඹියි කියන මහා බලාපොරොත්තුවත් එක්ක.

කෝ මගේ මැණික් කැටේ….? ම්…. ම්….

ආනේ… මැණික් කැටේ කාක්කෙක් ඇවිත් අරං ගියානේ…

කොයි පැත්තටද ගියේ…..?

මී….. මී……

ආ මේ පැත්තටද ගියේ… කාක්කා කෝමද මගේ මැණිකගේ කම්මුල පැත්තට ගියේ…..  කෝ බලමු…..

හරියට මහ මෙරක් බදාගන්නවා වගේ අත් දෙක දෙපැත්තට දික් කරලා තාත්තිගේ බෙල්ල වටේට අත්දෙක දාලා එල්ලෙන කෙලි පොඩ්ඩ, ආසම තාත්තිගේ බෙල්ලට මූන තියාගෙන ඉන්න. ඊට පස්සේ ඉතිං ම්…. ම්…. කිය කිය කෙඳිරි ගගා තවත් තුරුළු වෙන්න. උදේ ඉඳන්ම අම්මයි ආච්චියි සීයයි එක්ක හිටියට තාත්ත කෙනෙකුගේ ආදරේ ගාව ඒ  හැම දෙයක්ම පරාදයි. සමහර විට දවස තිස්සෙම වේල්ලක් බැඳලා හිර කරගෙන ඉන්න ආදරේ පීඩනය දැනෙන නිසා වෙන්න ඇති. පුංචි ඇස් දෙක ඉබේම පියවිලා ගිහිං, ඇස් වලින් ලැබගන්න අරමුණු නැති කරලා දාලා මුහුණේ සියුමැලි සමෙන් විතරක් තාත්තිගේ බෙල්ලේ උණුසුම විතරක් විඳගන්නේ ඇයිද කියලනම් තාමත් දන්නේ නෑ….

මැණික ඔහොම ඉන්න… තාත්තිට තේ එකක් හදාගෙන එනකං…. කිව්වම ඔලුව දෙපැත්තට වනලා හා කියනවා මිසක් කටක් ඇරලා වචනයක් කියන්න පුළුවනෑ තාම.

ඊට පස්සේ ඔන්න අම්මි එනව‍ා, කෝ දූ මෙහෙ එන්න දැන් තාත්තිට තේ එක බොන්න… මොන පිස්සුද දූ නම් බහියි තාත්තා අතින්. අම්මි අතට යනවා වෙනුවට කරන්නේ තවත් තාත්තිගේ බෙල්ල බදාගෙන තේ එකෙන් උගුරක් පොවනකම් තාත්තිගේ මූනේ හැඩ බල බල ඉන්න එක තමා. කොයි තරම් මහන්සි තිවුනත් ඒ ඇස් දෙක නැටවෙන හැටි බලාගෙන හිටියම මහන්සියක් දැනෙයිද….? තේ කෝප්පේ පුංචි මූනට ලං කරද්දි චූටි කට පොඩ්ඩත් ඇ‍රගෙන තේ උගුරක් බොන්න කෑදර කමේ ඉන්න ලස්සන.

ම්…. මගේ පැටියා… කියලා ‍කෙලි පොඩ්ඩගේ මූන ඉඹිද්දි….

දැං ඉතිං දූ ඉන්නවනේ… එන්නකෝ නිදා ගත්තම….. හ්ම්හ්…. කියාගෙන ගස්ස ගෙන යන සමහරු ආයෙමත් ටිකකින් ඇවිත්…

දැන් ඇති………….. ඉතිං දූව හුරතල් කලා…..

හා එන්නකෝ එහෙනම් අම්මිවත් හුරතල් කරන්න… කියාගෙනම වම් අතෙන් දූව වඩාගෙන දකුණු පැත්තේ උරහිසට අම්මගේ ඔලුව ගෑවෙන්න තුරුල් කරගත්තම… දෝනිට වඩා සැරට ඇටකටු ටික කුඩු වෙන්න තද කරගෙන මුළු සංතානයම උණුසුම් කරලා…. බෙල්ල බලෙන්ම වගේ පාත් කරගෙන සිපගන්න කොට, මොකටද දවස තිස්සෙම ඔෆිස් එකට වෙලා ඉන්නේ කියලා හිතෙනවා…..!

%d bloggers like this: