ඔක්කොම දූලා පුතාලා සිස්සස්සේ පාස් වෙනවනම්….!

මේ කතාව නම් කොහොන් පට්ටාං ගන්නද කියලා මට හිතාගන්න අමාරුයි. ඒක නිසා ඉතිං ටිකක් විතර අවුල් වගේ නම් ලෙහා ගෙන කියවන්න.

පහ වසරේ සිස්සස්සේ ප්‍රතිපල පිටවෙච්චි දවසේ මට එක තත්පරයක්වත් නිදහසේ වැඩක් කරගන්න හම්බුනේම නෑ…. අපේ ඔෆීස් එකේ ඉන්න අයියලාගේ පොඩි එවුන්ගේ ප්‍රතිපල ටික බලලා දෙනකං සැරින් සැරේට ඇවිත් මට බැගෑපත් වෙනවා. පවුනේ ‍ඉතිං, තමන්ගේ ළමයා විභාගෙන් පාස්ද නැද්ද කියලා දැනගන්න කොයි දෙමවුපියොද අකමැති. ඉතිං මාත් මට පුළු පුළුවන් විදියට දහයකගේ දොලහකගේ ප්‍රතිපල බලලා දුන්නා. ඒ අතරින් දුෂ්කර පැති වල හා පහසුකම් තිබුනත් ස්වාභාවික විපත් වලින් නොඅඩු පැති වල අය දෙතුන් දෙනෙක් ඇරෙන්න ගොඩක් දෙනාගේ රිසල්ට්ස් යටින් district rank කියලා කෑල්ලකුත් රතුපාටින් වැටිලා තිබුනා.

ඇත්තටම ඉතිං ඒ දෙමවුපියන්ට හරි සන්තෝසයි. විශේෂයෙන් අපේ ඔෆිස් එකේ වැඩ කරන අයියලා‍ට. එයාල මහන්සි වෙලා උපයලා යවන සල්ලි වලින් තමා එයාලගේ දරුවෝ ඉගෙන ගන්නේ. අනික ඒ දරුවන්ට තාත්තගේ අතට වෙලා හුරතල් වෙන්න පුළුවන් වෙන්නේ සමහර විට සතියකට දවසක් විතර වෙන්නත් පුළුවන්. කවුරු කිව්වත් සල්ලි තියේනම් දුකක් නෑ කියලා… ඒ පුංචි එවුන්ගෙන් ඇහුවනම් කියයි උංග් හිත් වල තියෙන දුක. වැඩිය ඕනේ නෑ… තමන්ගේ දරුවෝ ඉහලින්ම පාස් වුනයි කියලා ප්‍රතිපල වලින් දැනගත්තම, සමහරුන්ගේ ඇස් වල කඳුළු පිරෙන හැටි මගේ ඇස් දෙකින් දැක්කා.

වැඩියෙන්ම ස්කෝර් කරලා තිබුනේ අකුරැස්සෙ අයියා කෙනෙක්ගේ පොඩි දුවෙක්. ලකුණු නම් මතක නෑ… අර කිව්ව රෑන්ක් එක නම් 14 හරි 15 හරි.

ඉතිං දැන් ඔය සන්තෝසේ බෙදා ගන්න එපැයි, තමන්ගේ මිත්‍රයෝ ටිකත් එක්ක. ඒක නිසා ඕං මාත් ඇතුලුව ඒ අයිය වැඩ කරන අංශයේ ඉන්න සියළුම දෙනා වෙනුවෙන් පුංචි පාටියක් සංවිධානය කලා. දන්නවනේ ඉතිං සතුටට සංවිධානය කරන්නේ මොනවගේ පාටිද කියලා…. අර දැන් ටීවී වල දාන්නේ මොකද්ද එකක් පාවිච්චි කොරන එව්වා දැක්කම ළමයි ඒවාට පුරුදු වෙන්න පුළුවන් ‍කියලා…. අන්න ඒ වගේ පාටියක් තමා සැට් වුනේ.

ගිය ගමන් ඉතිං කට්ටිය ටිකක් කතා කර හිටියා. ඊට පස්සේ ඕං එනවා අයිස් භාජනේ මුලින්ම. පස්සේ රතු පාට බීම වර්ග දෙකක්. මං ඉතිං එව්වයේ නම් දන්නේ නෑනේ… ඊට පස්සේ ආවා ලා කොල පාට බීම එකක්. හරියට අපේ ගෙදර අවුරුද්දට එන අයට දෙන්න හදන නෙල්ලි කෝඩියල් එක මායි මල්ලියි හොරෙන් බීලා ඒක තිබුන මට්ටමට එන්න වතුර කලවම් කරාම එන පාට වගේ. පස්සේ ආයෙම ආවා, කොල පාට බෝතල් හයක දුඹුරුපාට බීමක්. ආහ්… වැරදුනා ඒ දුඹුරු පාට නෙමේ රත්තරං පාට….

පස්සේ ඉතිං ඔහොම ‍ඔහොම පාටිය නැගලා යනවා. ඒ අස්සේ කව්දෝ මන්දා අවලමෙක් කිව්වනේ මහ කටකැඩිච්චි කතාවක්.

දුව මේ විත්තියක් දන්නවනම් විභාගේ ලියන එකක් වත් නෑ නේ සිරිමල්….. කියලා.

ඔය සිරිමල් කිව්වේ පාටිය සංවිධානය කරපු අයියගේ නටම ආදේශයක්. මං අහන්නේ මෙච්චර සුභ, වැදගත් වෙලාවක ඒ වගේ අලුගුත්තේරු කතාවක් කියන එක හොඳද….? කොහොමහරි ඉතිං කට්ටිය එක්ක හිනාවෙවී කාලා බීලා  විනෝද වුනා. මගේ ඉස්සරහත් තිබුනා අර කොල පාට බෝතල් හතරක්ද කොහෙද… කවුදෝ මන්දා කිව්වනේ මේ අන්තිම බෝතල් ටික, ආයේ මේ ලෝකෙට මේ වගේ එව්වා පහල වෙන්නේ නෑ කියලා. ඒක නිසා ඉතිං මාත් ඔන්න ඔහේ මේ අන්තිම අවස්ථාවෙන් ප්‍රයෝජන ‍ගන්න ඕනේ කියලා හිතුවා. හිතුවා විතරයි හතරම මං බිව්වේ නෑ කියලා තමා මට නම් මතක. ඒ වුනාට ඉතිං ලෝකයා කියනවානේ මං හතරම බිව්වයි කියලා…!

කොහොම හරි ඒ වැඩෙන් වුනේ හතාමාරට ගෙදර යන්න හිටිය මට යන්න වුනේ රෑ එකොලහාමාරත් පහුවෙලා වෙච්චි එක. වෙලාවට සීටීබී බස් රෑටත් දුවන්නේ. නැත්තං අපි සැමදා මහ මග. පස්සේ ඉතිං ගෙදර යන්න විදියක් නෑ. ගාලු පාරෙන් බැහැලා යද්දී කවදාවත් නැතුව පට්ට බයක් ආවා. මං මේ ලඟදී කොහෙන්දෝ මන්දා කියෙව්වු බිව්වම මිනිස්සුන්ගේ සිහිය විකාර වෙනවය එත‍කොට ඔය පාරවල් වල තුංමං හන්දි වල රැක ගෙන ඉන්න භූතයෝ ඇඟට රිංගනවය එහෙම කියලා. ඉතිං මට කරුමෙටම ඕක මතක් වුනා.

අනික මට බය හිතුනේ භූතයින්ට නෙමේ… ඔය එකෙක් හරි වැරදිලා වත් ඇඟට රිංගලා. පොර අපේ ගෙදර ආවොත් එහෙම මට විසුමක් වෙන්නේ නෑ අපේ අම්මගෙන්. ඔය සමහර කෙල්ලන්ට වගේ අපේ අම්ම හැම එකාටම ආදරේ වෙන්නේ නෑනේ. හොඳටම ෂූවර්, තෝ මූව එක්කං ආවනම් මූත් එකක්ම ගිහිං ලැගපිය… කියලා කියනවා. ඒක නිසා ඉතිං කලින්ම මං තාත්තව මගට ගෙන්නගෙන අතුරු ආන්තරාවකින් ‍තොරව ගෙදර ගියා. අපි කාලා බීලා නිකං හිටියෙත් නෑ පොඩි එකී ආසාවෙන් හිටිය තම්මැට්ටමකුත් තෑග්ගක් විදියට යැවුවා.

ඉතිං ඊයේ තමා කලින්දා බිපුවෑ ෆන් එක දැනුනේ. ඔලුව එහෙම රිදුනේ නෑ…. මං හාෆ් ඩේ දාලා ගෙදර ගියෙත් නෑ ඒක නිසා.

පස්සේ ටිකක් නිදාගත්තම වැඩේ හරිගියා. ඊට පස්සේ තමා මතක් වුනේ මේ පාර සිස්සස්සේ පාස් වුනේ සිරිමල් අයියගේ ලොකු දුව විත්තිය. අනිත් දුව තාම තුන වසරේ. මං නම් ඉතිං ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නේ අනේ ඒ දුවත් කොහොම හරි ලොකු ස්කෝලෙකට යන්න පුළුවන් වෙන්න හොඳට සිස්සස්සේ පාස් වෙන්න කියලා…..! සිරිමල් අයියගේ විතරක් නෙමේ අනිත් හැමෝගෙම දුවලා පුතාල හිතට ගන්න ඕනේ හොඳට පාඩම් කරලා ඔක්කොම විභාග පාස් වෙන්න…! 😉

** මං නම් මේ වැඩේ අනුමත කරන්නේ නෑ. ඒත් ඉතිං තෝරු මෝරු අස්සේ පඬි ටෝක් දෙන්න ගිහිං නිකං මොකටද කිච වෙන්නේ. ඒ නිසා කටවහටගන සතුට සමරන එකයි තියෙන්නේ.

%d bloggers like this: