හරි කියලා ඉවරයි….! මගේ යශෝධරාවත 19

කාලෙකට පස්සේ මේ ලඟදී දවසක මං කුමාරයා ගියා මගේ රටක් වටින දේවියව බැහැදකින්න…! ඉතිං උදේ පාන්දරම යද්දී නඩුකාරි වැටක් බඳිනවා. ඒකට සපෝට් එක දීගෙන යශෝධරාවගේ පියතුමා ඉනි වගයක් කපනවා. ඒත් ඉතිං නාලා කරලා, විලවුන් නාගෙන ගිය මං කුමාරයට විදියක් තිබුනෙම නෑ එයාලට උදව් වෙන්න….!

පස්සේ ඉතිං කර කර හිටිය වැඩේ දාලා යශෝධරාවගේ මව්තුමී ආවා මාලිගයට. ඊට පස්සේ කව්දෝ මන්දා කෙල්ලෙක්ගේ රත්තරං පාට අත් දෙකක් ඇවිදින් මවුතුමීගේ ඉන වටේ පටලැවිලා උරේ උඩින් පසොලොස්වක සඳක් වගේ මූන තියාගත්තා. මං කුමාරයටත් ඉතිං වෙන මොනාද ඔය මූන දිහා බලාගෙන ඉන්න තියේනම්…!

ඉතිං අර මං කුමාරයට පෙන්නන්නේ නැතුව බලෙන්ම හංගගෙන ඉන්න දාංගලෙත් එක්ක ටික වෙලාවක් යශෝධරාව කතා කලා. ඉතිං ඒ ඇති මං හිතන්නේ දවස් තුන හතරකට හුස්ම අරං ජීවත් වෙන්න. ඊට පස්සේ තමා මේ අතීත කතාව මතක් වුනේ…

ඒ දවස් වල, යශෝධරා – ගෝල්ඩ් ෆිෂ් පෙම පටන් ගත්ත අළුත. හරිම නැවුම්. ඉතිං පුළුවන් හැම වෙලාවෙම දෙන්නට දෙන්නා තමන්ගේ ටැලන්ට්ස් පෙන්නනවා. ඉතිං දවසක් දා නිවාඩු දවසක… නඩු කාරි, යශෝධරාවයි මං කුමාරයවයි එක්කන් ගියා එයාට බාර දීලා තියෙන පාසල් පරිගණක විද්‍යාගරයට. ඒක ඉතිං අපි දෙන්නටම අමුතු තැනක් නෙවෙයි. මම ඒකේ තිබ්බ කොම්පියුටර් 17ටම වින්ඩෝස් දාලා තියෙනවා. ඊට පස්සේ යශෝධරාවගෙයි මගෙයි පීසී වලට නීඩ් ෆෝ ස්පීඩ් දාගෙන තියෙනවා. ඒ මදිවට මං පාවිච්චි කරන මැසිමට ජෙට් ඕඩියෝ, මියුසික් මැච් ජියුක් බොක්ස් එහෙමත් දාගෙන තිවුනා.

ඉතිං යශෝධරාව ගිය ගමන් එයාගේ සුපුරුදු එන්.එෆ්.එස් ගහන්න තියාගත්තා. කවදාවත් එයා මං නැතුව ඒ ගේම් එකේ පළවෙනියා වෙලා නෑ… අදටත් ඒක එහෙම්මයි…! මාත් ඉතිං ටිකක් ගනන් උස්සලා එහෙම මගේ පාඩුවේ හෙඩ් සෙට් එකත් දාගෙන කොලෝනියල් කසින්ස් ලෑ ඇල්බම් එක අහ අහ ඉන්න කොට… චූටි රෝස පාට ඇඟිල්ලක් මගේ උරේට වදිනවා වගේ ඇහැ කොනකින් දැක්කා. පස්සේ හැරිලා බලද්දී කුමාරිකාව මං කුමාරයා ලඟ හිටගෙන මොනාද මන්දා කියලා, බැරිම තැන තමා මට ඇඟිල්ලෙන් කතා කරලා තියෙන්නේ. පස්සේ ඉතිං හෙඩ් සෙට් එක එහෙම ගලවලා ඇහුවා…. ඇයි…? කියලා…

මටත් ඕනේ සිංදුවක් අහන්න…..

අනේ ඔයා අහන සිංදු…. මහ ලොකුවට මියුසික් ක්ලාස් ගියාට සිංදු කියන දන්නෙත් නැද්ද කොහෙද….

අනේ අම්මේ… මේ බලන්නකෝ…..

ඇ… දෙයියනේ … නඩුවක් නේද…. මං කුමාරයා කර ගත්ත විපත මහත…. ඔය එන්නේ නඩුකාරි පොතත් අරගෙන…

ඇයි පුතේ….?

මෙයා කියනවා මට සිංදු කියන්න බෑ කියලා…. හුම්….

අනේ තියෙන කොමලේ…. කියලා කියන්න ගියාට කිව්වේ නෑ.

ඉතිං පුතා අයියට ඇහෙන්න සිංදුවක් කියන්නකෝ…

ඊට පස්සේ හරී සතුටින් ඇස් දෙක ලොකු කරගෙන ගොඩක් ආසවෙන් මගේ ලඟින්ම තිබ්බ කැරකෙන පුටුවේ වාඩි වෙලා, හරියට ඉන්ටවීව් එකකට ගිහිං සිංදු කියනවා වගේ මගේ දිහාම බලාගෙන පුංචි කට පොඩ්ඩෙන්, කිව්වා සිංදුවක්… ඒ සිංදුව මට ඇහුනෙනම් නෑ එවෙලේ… මොකද මං කුමාරයා ඒ සිංදුව පටන් ගන්න කොටම ඒ මූනේ තිබ්බ ආලෝකයට වශිවෙලා, තාලෙට පැද්දෙන රන් පාට මූන දිහා ඇහි පිල්ලම් නොගහම බලාගෙන ඉන්න තරමට ධ්‍යාන ගත වෙලා හිටිය නිසා…. ඒත් මං සිංදු අහ අහ හිටිය හෙඩ් සෙට් එකේ මයික් එකෙන් ඇතුලට ගිය යශෝධරාවගේ කට හඬ ජෙට් ඕඩියෝ වලින් ප්‍රොසෙස් වෙලා ඕඩියෝ ෆයිල් එකක් හැදුවා…!

සිංදුව කියලා ඉවර වුනාට පස්සේ… හරි කියලා ඉවරයි….! කියලා මහා ලෝකයක් දිනාගත්තා වගේ ජයාග්‍රාහි බැල්මකින් මගේ මූන දිහා බලන් හිටිය හැටි….! ලස්සනයි සිංදුව කියලා කටක් ඇරලා කියාගන්න බැරි තරමට මං කුමාරයාගේ කට උඩඟු වෙලා හිටියට…. යශෝධරාව දන්නේ නෑනේ….. එයා කිවුව සිංදුව මැරෙනකම්ම අහන්න පුළුවන් වෙන්න මගේ ගාව රෙකෝඩ් වුනා කියලා… ඒ සිංදුවට මං කොයිතරම්ම ආසා කරනවද කියලා….! කොහොමහරි සිංදුවේ රෙකෝඩින් වොලියුම් මදි නිසා ඔඩ්යෝ එක එඩිට් කරද්දී අන්තිමටම කිව්ව “හරි කියලා ඉවරයි…” කිව්ව ටික මං කුමාරයා ඉවත් කලා. දැන් නම් ඒ ඔරිජිනල් රෙකෝඩින් එක හොයාගන්න නෑ….. ඒත් සිංදුව තියෙනවා. ඒ එක්කම අර මැකිලා ගිය කොටස හැම දාමත් හිතේ රැවුදෙනවා…. හරී… කියලා ඉවරයි…..! කියලා….. ඒ පොඩි වෙලාව කොහේ රෙකෝඩ් නොවුනත් මගේ ඇස් දෙක අස්සෙන් ගිහිං, කන් දෙකෙන් ශබ්දය උරාගෙන…. මගේ මතකයේ නම් රෙකෝඩ් වෙලා තියෙනවා අදටත්….!

ආයෙ මයේ ගාව සිංදු කියන එකක් නැති වුනාට, මේ ඇතිවෙයි තව කාලයක් හුස්ම ගන්න.

මාස්ටර්… මාස්ටර් වන් මෝ මාස්ටර්…. වන් මෝ…

නම් ගම් ප්‍රසිද්ධියේ කියන්න බැරි යාළුවෝ තුන් දෙනෙක් හිටියා. එකමත් එක කාලෙක හොඳේ. ඉතිං මේ තුන්දෙනා ස්කෝලෙ යන කාලේ ඉඳන්ම ලයිව් පිචර් බලන්න හෙන ආසයි. ඒ කියන්නේ ඩීවීඩී ප්ලේයර් , වීසීඩ් එහෙම නැතුව කෙලින්ම පිචෑර් හෝල් එකට ගිහිං ඉස්සරහ ආසනෙන් කකුල් දෙක තියාගෙන… නෙමේ නෙමේ… කකුල් හය තියාගෙන කට ඇරං අර තඩි තිරයේ දිස්වෙන එව්වා බලන්න. ඒ දවස් වල ඉතිං සුදු ඇඳුම් ඇඳගෙන යන නිසා පොඩි හිටියන්ට පමණයි එව්වා තමා බලන්න වුනේ. අනිත් ඒවාට යන්න ගියොත් වැඩේ අප්සට් වෙන බව දන්න නිසා එව්වා එකකටවත් ගියේ නෑ.

කට්ටියට මතකද ‍අනූ ගනන් වල අගහරියේ හරි දෙදාස් ගනන් වල මුල හරියේදී හරි, නියම ෆිල්ම් එකක් ආවා මහදැනමුත්තා කියලා. ඒක තමාලු ලංකාවේ පළවෙනි කාටුන් චිත්‍රපටිය. ඉතිං ඔය ෆිල්ම් එක බලන්න ස්කෝලෙන් එක්කන් ගියත් මේ යාළුවෝ තුන් දෙනාටම ඒක බලන්න යන්න බැරි විදියට මොකක් හරි ස්කෝලෙම වැඩක් සෙට් වුනා. ඉතිං පස්සේ මේ තුන්දෙනා කල්පනා කරලා…. කරලා….. කරලා…. අන්තිමේ තීරණයක් ගත්තා, අපිට මේක බලන්න බැරිවුනේ ස්කෝලෙ වැඩකට හිර වුන නිසානේ… ඒක නිසා අපි ස්කෝල කට් කරලා මේ ෆිල්ම් එක බැලිය යුතුමයි කියලා.

පස්සේ ඉතිං කොහොම හරි, තුන්දෙනාම එක වගේ නුවණැති පොරවල් නිසා ස්කෝලෙ කට් කරගෙන ෆිල්ම් එක බලන වැඩේ යෝජනා වෙච්ච පරක්කුවෙන්ම ස්ථිරත් වුනා. පස්සේ ඔන්න දවසක් දා තුන් දෙනාම සෙට් වෙලා ෆිල්ම් එක බැළුවා. ඒ බලන ගමන් එක යාලුවෙක් අනිත් දෙන්නගෙන් ඇහුවා…

මේ, මතං … අපි දැන් සෑහෙන ෆිල්ම් තොගයක් (කිව්වට ෆිල්ම් හතරයි නැත්තං පහයි) බලලා තියෙනවනේ බං මෙව්වා අස්සේ රිංගලා… ඉතිං උඹලා ආසා නැද්ද වේදිකා නාට්ටියක් හරි ඒක පුග්ගල ගී ප්‍රසංගයක් හරි බලන්න යන්න කියලා.

අනිත් යාළුවෝ දෙන්නත් ටිකක් කම්පනා කරලා එහෙම… හ්ම්… ඒක ගුඩ් අයිඩියා එකක් මතං… ඒත් ඉතිං ඒවායේ ටිකට් බර ගනන්නේ බං…. කියලා කතාව නතර කලා.

ඒ දවස් වල ඉතිං යාළුවෝ තුන් දෙනාට ඔය වගේ දෙයක් වෙනුවෙන් වියදම් කරන්න සල්ලි තිවුනේ නෑ. ගෙදරින් හම්බුවෙන ප්‍රතිපාදන වලින්නේ ඔය හැම දෙයක්ම කලේ ඒ දවස් වල. පස්සේ ඉතිං අර කතා පොත් වල වගේම මේ යාළුවෝ තුන් දෙනත් ටික්ක ටික්ක ලොකු වුනා. ඊට පස්සේ ආයෙමත්, දැනට අවුරුදු දෙක තුනකට කලින් සෙට් වෙච්චි වෙලාවක අර වන් මෑන් ලයිව් ෂෝ එකේ කතාව ඇදුනා. ඒ වගේම ඒ වෙද්දී තුන් දෙනාම වෙන වෙනම වේදිකා නාට්‍යය නම් බලලා තිවුනා. ඒක නිසා ඉතිං ඒ අත්දැකීම ගැන දන්නවා. ඒත් ඉතිං ඒක පුද්ගල ගී ප්‍රසංගයක් දැකලා තිවුනේ නෑ. පස්සේ ඔන්න කොහොම කොහොම හරි කරලා ඊට සතියකට විතර පස්සේ සෙට් කරගත්තා ඒක පුද්ගල ගී ප්‍රසංගයක්… නම කියන්න බැරි ගායකයෙක්ගේ.

පස්සෙ ඔන්න අදාල දිනේත් උදා වුනා. ඉතිං දැන් අහවල් එකට යන ගමන් මේ තුන්දෙනා පොඩි දුඹුරු පාට බීම ටිකක් එහෙම තොල ගා‍ගෙන තමා ගියේ ප්‍රසංගය බලන්න. ඒක තිවුනේ වැඩි දුරක නෙවෙයි නිසා ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැනේ කියලා තමා හිතාගෙන හිටියේ. ඒ හේතුව හින්දම තුන් දෙනා එක්ක බිව්ව බීමට කලින් එක් කෙනෙක් විතරක් මොනාදෝ මන්දා වෙනින් ජාතියකිනුත් පදම් වෙලා. පස්සේ ඔන්න ටිකට් දීලා එහෙම ගියා ඇතුලට. ගමේම තිවුන එකක් නිසා වැඩිය අවුලක් වුනේ නෑ බීම ගැන ප්‍රශ්නය. පස්සේ ඔන්න වාඩිවෙලා ඉන්න කොට දෙපාරක් බීපු යාළුවට ටිකක් අප්සට් වගේ. මොකද දැං පොර හිතං ඉන‍්නේ ඌ තමා මෙතෙන ගායකයා කියලා. එත‍කොට අනිත් යාළුවෝ දෙන්න ටිකට් අරං ගිහිං තියෙන්නේ මේ යාළුවගේ ප්‍රසංගය බලන්න… හරි වැරදියි නේද වැඩේ….?

පස්සෙ ඉතිං ඔන්න ඔරිජිනල් ගායකයා එන්න කලින් සංගීත භාන්ඩ වල ටෙස්ටින් වන් එහෙම බලලා, මයික් වැඩද බලලා එහෙම කව්දෝ මන්දා මයිනෙක් ඇවිත් අර ගායකයගේ උපතේ ඉඳන් විපත දක්වාම කරුනු කියනවා. විපත සෙට් වෙච්ච හැටි… විපතින් ලැබුන දරුවෝ ගාන. විපත මෙයාට හොඳ සපෝට් එකක් දෙනවය අරකය මේකය ඔක්කොම කියනවා.

ඉතිං අර ටිකක් වැඩි යාළුවට මේකට මල…. පොර කියනවා… අපිට මොටෝ යකෝ අනුන්ගේ ගෑණුන්ගේ විස්තර…? එන්න කියාපිය ගායකයට ඉක්මනට…. කියලා… ඔව්ව ඉතිං ලඟ හිටිය යාළුවෝ දෙන්නට විතරයි ඇහුනේ… මොකද උන් දෙන්න වැඩි යාළු‍වගේ කට මිරිකලා අල්ලා ගෙන හිටියේ.

පස්සේ ඔන්න ඒක පුද්ගල ගී ප්‍රසංගය ආරම්භ වුනා.  සිංදු දෙකක් විතර කිව්වා… ආයෙම අර මයිනා ඇවිත් කියවනවා. පස්සේ ඔන්න ටිකකින් තුන් වෙනි ගීතයත් පටන් ගත්තා. ඒ සිංදුව අර වැඩි යාළුවගේ ප්‍රියතම ගීතයක්. ඉතිං මූට හෙන ජොලි. එහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා… ඌ නටන්නම ඕනෙලු ඒ සිංදුවට…. අනිත් යාළුවෝ දෙන්න බොහොම අසීරු තාවයකට පත් වෙලා හිටියේ අනිත් පොර නිසා. මොකද මෑන්ට නටන්න දෙන එක අවුලක් නෑ… ඒත් දෙයියනේ සර්පිනාවෙනුයි, තවත් මොකද්ද එකකිනුයි විතරක් සංගීතය සපයන ස්ලෝ, ශාස්ත්‍රීය ගීතයකට….???

පස්සේ කොහොම හරි හොඳටම වැඩි වෙලා හිටය යාළුවා කාගෙන ඉවසගෙන හිටියා. මූ සිංදුවට ආස නිසා ඉතිං මුකුත් කියන්නත් බෑ අනිත් යාළුවෝ දෙන්නට. ටිකකින් සිංදුව ඉවර වුනා විතරයි… මෙන්න අපේ වීරයා නැගී සිටියා….

අනේ මාස්ටර් මට හරී… සන්තෝසයි මාස්ටර්…. තව..තව …තව ….

කියන කොටම අනිත් යාළුවෝ දෙන්න මූව වාඩි කෙරෙව්වා. පස්සේ ආයෙම නැගිටලා…

මාස්ටර්… මාස්ටර් වන් මෝ මාස්ටර්…. වන් මෝ….. කියලා මුළු සභා තොමෝටම ඇහෙන්න හයියෙන් කිව්වා. ඉතිං අර යාළුවෝ දෙන්නටත් එක්කම රැස්වෙලා හිටය හැමෝටම හිනා.

පස්සේ ඔන්න නම කියන්න බැරි ගායක මාස්ටර්…. ඈත ඩොට් වෙලා පේන වේදිකාවේ ඉඳන් කියනවා…

හා….. හරි හරි…. පුතා … කලබල වෙන්න එපා…. මං තව සිංදු එකොලහක් කියනවා…!!! කියලා.

ඊට පස්සේ අර ටිකක් වැඩි යාළුවා කියනවා…..

ආ…. එහෙනම් කමක් නෑ මාස්ටර්…. මං හිතුවේ මාස්ටර් සිංදු තුනක් කියලා ස්ටේජ් එකෙන් බහියි කියලා… ඒකයි මං තව එකක් ඉල්ලුවේ….

අනේ ඉතිං සභා තොමෝට මොන හිනාද… ඒක පුද්ගල ගී ප්‍රසංගයක් ගායකයෝ ගොඩක් සිංදු කියන්නේ නෑනේ කියලා අර වැඩි වෙච්චි යාළුවට මතක බැරි වෙලා….!

(මේ… මේකෙ කොහෙ හරි තැනක “අපි” කියලා තිවුනොත්, හොඳ ළමයි වගේ ඒක නොසලකා හරින්න…)

** මට නම් හෙන දුකක් තියෙනවා මේ ඒක පුග්ගල මෙව්ව ගැන. ඒ මොකද කියනව නම් මං ආසාම BnS ලාට කවදාවත් ඒක පුද්ගල මෙව්ව එකක් කරන්න විදියක් නැහැනේ. හැම සිංදුවක්ම දෙන්නම කියනවනේ…

මේ උඹ දැන්ම බඳින්නේ එහෙම නැද්ද බං…?

මේ ලඟඳී දවසක, හරියටම ඉරිදා උදේක… මෙන්න මෙහෙම….

ෆෝන් එක රිං වෙනවා රිං වෙනවා ඉවරයක් නෑ…. ලා වට ඇහැරිලා හිටියට ඒ වෙනකොටත් මං හෙන නිදා මතේ… පස්සේ ඉතිං නින්දෙන්ම ෆෝන් එක අත පත ගාලා බැළුවා මොකාද මේ උදේ පාන්දරම මාව අවදිකරවන පිංවතා කියලා… බැලින්නම් මගේ හොඳම ෆිට් එකක්. ස්කෝලේ කාලේ ඉඳන්ම හොඳ යාළුවෙක්. වෙනදට රිං කට් එකක් විතරක් දෙන පොර එදා උදේ මගේ නින්ද නැත්තට නැති කරා. මූට ඉතිං උදේ පාන්දරම බයින්නත් බැහැනේ… ඒ පාර ඕනේ මගුලක් කියලා ආන්සර් කරා.

ඊළඟ නිමේෂයෙදී මගේ ලඟ කවුරු හරි හිටියනම් බලාගන්න වෙන්නේ… බදාගෙන හිටිය කොට්ටේ පැත්තකට දාලා, බෙඩ් ෂීට් එකත් පැත්තකට විසික් කරලා දඩ බඩ ගාලා පිට කොන්ද කෙලින් කරගෙන ඇ‍ඳේ වාඩි වෙලා ඉන්න මම ළමයාව. ඇයි ඉතිං අර මනුස්පයා උදේ පාන්දරම අහපු දේට එහෙම නොවුන නම් තමා පුදුම…

ගුඩ් මෝනින් මචං… (මං)

ගුඩ් මෝනින්…. මේ උඹ දැන්ම බඳින්නේ එහෙම නැද්ද බං…?

මේ වගේ හාට් ඇටෑක් හැදෙන පස්න අහනවද මං අහන්නේ උදේ පාන්දරම. මමත් ඉතිං නැගිටලා…  නෑ බං… දැන්ම බෑ… තව කල් තියෙනවා… ඇයි බං…? කියලා ඇහුවා…

අනිත් පැත්තෙන් මට කියනවා… මං ලබන මාසේ බඳිනවා බං….. කියලා…. බලන්න ඉතිං අපේ යාළුවෝ… අපි ගැන අහලා තමයි උංගේ එව්වා අපිට කියන්නේ. ඒකට නම් කමක් නෑ කියමුකෝ…. මට මේ 29, 30 දවස් දෙකට දවසකට දෙක ගානේ වෙඩින් හතරක්…..!

එකෙක්ගෙවත් එව්වා මිස් කරන්න බෑ. මොකද හතර දෙනාම හොදම යාළුවෝ. ඒ නිසා අනිවාර්යෙන් යන්නත් ඕනේ… ඒ වුනාට යන්නත් බෑ…. ඒ මොකද කියනව නම්… එකකට ගිහිං අනිත් එකට එදා දවස ඇතුලත යන්න නම් අඩුම ගානේ කෆීර් එකක් වත් ඕනේ වෙනවා. මගුල් හතර තියෙන්නේ ලංකාවේ හතර තැනක. හැම කෙනාම ගෙදරටම ඇවිත් කාඩ් දීලා ගියාම නොගිහිනුත් බෑ… එහෙමයි කියලා ඉතිං මට කොහෙන්ද කෆීර්…? ඉතිං මං තීරනය කොලා ළඟම තියෙන මෙව්වා දෙකට ගිහිං දුර එව්වා දෙක මිස් කරන්න. වෙන කරන්න දෙයක් නෑ. කට්ටිය බැඳලා බබාලා හම්බුනාම බැරියෑ ගිහිං හුරතල් කරලා එන්න.

ඔය ඔක්කොමත් හරි, මුං හතර දෙනාම වෙඩින් කාඩ් වල ඉතුරු කරලා තියෙන වචන බලන්නකෝ…..!

ඔබට, ඔබ දෙපලට, ඔබ සැමට

කාලා වරෙන්කෝ දැන් ඉතිං…!

කම්මැලි කමට මෙව්වා එකක්….

මේ වැස්ස නම් මාව හොඳටම කම්මැලි කරලා. චුරු චුරු ගගා උ‍දේ ඉඳන්ම වැහෙන වැහි බිංදු වල සද්දේ ඇහැද්දී, ඇ‍ඳේ ඉඳලා නැගිටින්න හදද්දී ආයෙම නිදි මත හැදෙනවා. සීතලට රෙද්දක් පෙරෝගෙන නිදාගන්නවා තරම් සනීපයක් වෙන කොයින්ද…?

ඔය කම්මැලි කම නිසාම මට මේ ටිකේ පෝස්ට් එකක් ලියනවා කියන්නේ මහා අමාරු වැඩක්. වැස්සට මං කොච්චර ලව්ද කියනව නම්, පෙරේදා අම්මගෙන් ගුටි නොකාපු ටික විතරයි මහ වැස්සේ මීටර් හයසීයක් විතර තෙමී ගෙන ගෙදර ආවා කියලා. බැන්නේ තෙමුනටත් වඩා කුඩේ බෑග් එකේ තියා ගෙන තෙමුනට… මාත් අනිත් පැත්තට… ඉතිං අම්ම කිව්වේ කුඩේ ගෙනිච්චට තෙමන්න එපා කියාල…. කියලා කිව්වම, අම්ම කිව්ව දේවල් මෙතෙන කියන්න බැහැනේ…. ඒ එනකොට ගෙවල් වල‍ට ටිකක් එහායින් තියෙන ට්‍රාන්ස්ෆෝමරේට හෙනයක් පාත් වෙලා. ඉතිං පෙරේදා මුළු රෑම ගන අන්ධකාරෙ.

පස්සේ ඊයේ ගෙදර ගියා අදනම් මොනා හරි ලියනවමයි කියලා හිතාගෙන අනේ ඒත් ලියන්න හිත දෙන්නේ නෑ… ඒ පාර බැළුවා වෙන මොනාද තියෙන ඔප්ෂන් කියලා… පස්සේ තමා මීටර් වුනේ ඔය පහල තියෙන මෙව්වා එක. ඕක චූටි ගේම් එකක්.

මේ ස්කෝලේ යන කාලේ අපි පොතක කොලයක් එක එක පැති වලට නවලා ඉලක්කං වගයක් ලියලා කෙල්ලෝ ඉස්සරහා වැඩ්ඩා වෙන්න කරපු දෙයක්. ඉතිං අර තරඟයකුත් තිබ්බ එකේ මාත් නිකමට වගේ හදලා ඉදිරිපත් කරා. ස්ථානයක් නම් නෑ… ඒත් ඉතිං එහෙමයි කියලා හිතට දුකකුත් නෑ… ඇයි දෙයියනේ මේ මගුල තර‍ඟෙට බාර ගත්ත එකම මදෑ සතුටු වෙන්න… ආහ් ඔය සතුටු වෙන සෙල්ලම පුරුදු වුනේ පොලීයනා පොත කියෝලා…!  කම්මැලි කම යන්න සෙල්ලං කරලා බලන්න මේක…

Posted in Flash. 38 Comments »

ප්ලේන්ටි හත්ත….

හතු ගැන නොදන්න බබාල ඉන්නවද…? නෑනේ…. අද කතාව සෝක් හත්තක් ගැන. මේක මට හම්බුනේ මං ස්කෝලේ යන කාලේ, 10 වසරෙදි විතර. ඒ දවස් වල ඉතිං එක එක කාලෙට එක පිස්සු හැදෙනවනේ. මේකත් ඒ වගේ එක්තරා පිස්සුවක්. මං දන්න තරමින් මේක වැඩිය ජනප්‍රිය වුනේ නෑ. මොකද ගෙවල් වල ලොකූ ඈයෝ මේකට විරුද්ධ වුනා. අපේ ගෙදර නම් වැඩි අවුලක් වුනේ නෑ…

ඉතිං මේ පිස්සුව අපේ පන්තියට අරගෙන ආවේ මගේ හොඳම යාළුවෙක් වෙච්ච වින්දන කියලා පොරක්. මෑන්ගේ ඩැඩා පිටරටක වැඩකරන්නේ. ඩැඩා එව්වා කියලා මූ, දවසක් දා මොකද්දෝ මන්දා මහාර්ග බේතක් ගැන ලෙක්චර් එකක් දුන්නා. මේක බොන්න ඕනේ ප්ලේන්ටි එක්කලු. මං ඒ ඇහුවමයි ප්ලේන්ටි එක්ක බොන බේතක් ගැන. බෙහෙත් බොන කොටනම් බෙහෙත් පෙත්ත දිවේ ඇලුනාම තිත්ත යන්නය කියලා ප්ලේන්ටියක් හදලා ලඟින් තියාගෙන බේත් බීපු එක වෙනම කතාවක්… ඒත් ප්ලේනටිත් එක්ක විතරක්ම බොන බේතක්….?

ඉතිං ඒ දවස් වල අපිට මේ සීන් එක මැජික් වගේ. පස්සේ වින්දන කියපු හැටියට මේක හතු වර්ගයක්.  නිකම් හතු වර්ගයක් නෙමේ සීනි දාපු නිවිච්ච තේ වල විතරක් තම වර්ගයා ඩබල් කරන විශ්මිත හතු වර්ගයක්. මේක පැල වෙන්නේ ටිකක් අමුතු ක්‍රමේකට. ඒ වගේම මේකෙන් අළුත් හත්තක් ගන්නවා කියන්නෙ ටිකක් අමාරු වැඩක්. මොකද හත්ත බිත්තර දාන්නේ දවස් හයකට එකක් විතර ගානේ. ඒ කියන්නෙ මෙහෙමයි.

  • මුලින්ම රෑට නිදාගන්න කලියෙන්, පිරිසිදු මැටි (හෝ වීදුරු) භාජනයකට හොඳින් සීනි දාලා දියකරගත්ත නිවිච්චි තේ ‍අඬු කෝප්පයකින් එකක් දාගන්න ඕනේ.
  • සීනි වල පදම කියනව නම්… නිවිච්ච තේ උගුරක් කටට හලා ගත්තම ආයේ කට අරින්න බැරි වෙන්න තොල් ඇලෙන සුළු වෙන්න ඕනේ….
  • ඊට පස්සේ අර හත්ත අරගෙන තේ ටික වැඩිය කැලැත්තෙන්නේ නැති වෙන්න මැටි භාජනෙට දාන්න ඕනේ. මැටි භාජනේට මං නම් ගත්තේ මැටි කෝප්පයක්. කලයක් තිවුනට ඒක ඉල්ලන්න බැහැනේ අම්මගෙන්…
  • ඊට පස්සේ ඔන්න ඒක සත්තුන්ට රිංගන්න බැරි වෙන තැනකින් තියලා පිඟානකින් හරි වෙන මොහොකින් හරි හෝ වහනවා…

පස්සේ ඉතිං දත් මැදලා තව කරන්න තියෙන රාජකාරී තියේනම් එව්වත් කරලා නිදිගන්නවා. ඊට පස්සෙන්දට තමා වැඩේ තියෙන්නේ.

දැන් අර අපි මැටි භාජනේට දාපු හත්ත තියෙනවනේ… ඒකට මුල් දවසේ ප්ලේන්ටි දැම්මම හත්ත උඩින් තව ජුංඩං ලේයර් එකක් වගේ එකක් තියෙනවා පස්සෙන්දා උදේට. ඔහොම ගිහිං තව දවස් පහක් යන කොට අපි අරගෙන ආපු හත්ත වගේම තව ඊට වැඩිය ලස්සන රෝස පාටයි රතු පාටයි මික්ස් වෙච්ච හත්තක් තියෙනවා ඊට උඩින්. ඉතිං අපිට හතු දෙකක් ‍වැඩක් නෑනේ… ඒක නිසා අළුත් එක අපි දෙන්න ඕනේ කාට හරි. ඉතිං හත්තක් තියෙන කෙනෙක්ගෙන් අළුත් එකක් ඉල්ල ගන්නනම් සතියක් බලාගෙන ඉන්න වෙනවා. අපි අළුත් හත්ත දෙන්නේ පරන එකේ ඖෂධීය ගුනය වැඩියි කියන නිසා. නැත්තං දෙයි මේං කියලා අළුත් එක. කොහොම කොහොම හරි වින්දන මගේ හොඳම යාළුවා වෙලා හිටිය නිසා උගේ හත්තට මුලින්ම හම්බෙච්ච අළුත් හත්ත හම්බුනේ මට.

ඊට පස්සේ ඉතිං උදේ පාන්දරම නැගිට්ට ගමන් කලින්දා බෙහෙත් වෙන්න තිබ්බ තේ වතුර ටික පිරිසිදු කැරපොත්තෝ හොම්බ නොදාපු වීදුරුවකට දාගෙන ඇරලා දාන එකයි තියෙන්නේ…

කට්ටිය බීලා ඇතිනේ වැරදීමකින් හරි අරිෂ්ටේ… ඔය තියෙන්නේ දසමූලාරිෂ්ටේ… අර අරිෂ්ටේ මේ අරිෂ්ටේ කිය කිය. (එක්සෙප්ට් මැජික් අරිෂ්ටේ) ඉතිං කලින්දා රෑ හොඳට තිබිච්ච ප්ලේන්ටිය හරියටම අර අරිෂ්ටේ රහයි. නිකං කහට ගතියක්…, නහය කඩාගෙන යන පුස්ඹකුත් එක්ක මැටි භාජනේ ඇරිය ගමන්ම නහයට දැනෙනවා. ඉතිං ‍ඒක නොබී ඉන්න හිතෙන්නේ නෑ.

ඉතිං ‍මේකෙන් තියෙන ප්‍රයෝජන තමා… පුරුස සක්තිය කියන එක වැඩි වෙන එක. ඒ කියන්නේ ඕනේ වලියකට හා… යමං කියලා ඉස්සර වෙන එක කියලා තමා ඒ දවස් වල හිතන් හිටියේ. දැන්නේ දන්නේ වෙන එකක් කියලා. ඒක තමා මූලිකම. ඊට පස්සේ තියෙනවා පාඩම් මතක හිටීම, හෘදයාබාධ අවම වීම, ශරීරය මී පැටියෙක්ගේ වගේ රෝස පාට වීම වගේ හෙන දිග ලිස්ට් එකක්. මට ඉතිං අදාල වුනේ ඔය දේවල් ටික නිසා මතක එච්චරයි…

පස්සේ මමත් සති දෙක තුනක් ඔය බෙහෙත් ප්ලෙන්ටිය බිව්වා… තව යා‍ළුවෝ කීප දෙනෙකුට අළුත් හතුත් තුන හතරක් දුන්නා…. ඒත් ඉතිං ටික දවසක් යද්දී අම්ම හදලා දෙන කිරි එකේ රස මතක් වෙන කොට හත්ත එපා වුනා. උදේ පාන්දර කුණු කෙල පිටින්, මයිලෝ චුට්ටක් දාපු කිරි එක බොන කොට එන ෆිට් එකනම් මේ හත්තෙන් ආවෙ නෑ. ඒක නිසා ඉතිං දවස් දෙක තුනක් මට ඒ හත්තට තේ දාලා තියන්න අමතක වුනා. පස්සේ දවසක් බලද්දී ඒ හත්ත උඩ සුදු පාට තවත් හතු වර්ගයක් පිපිලා. අපේ අම්මනම් කිව්වේ ඒ පුස් කියලා. අනේ මන්දා එතකොට අර වින්දන‍ෙග් ඩැඩා රටින් ගෙනාපු ලොකු අරිෂ්ටේ හත්ත පුස් වර්ගයක් නෙවෙයි වෙන්න ඇති.

කොහොම කොහොම හරි වැඩි කාලයක් යන්න කලින් බෙහෙත් ප්ලේන්ටිය ආගිය අතක් හොයාගන්න බැරිවුනා. ගොඩක්ම වුනේ මේ හතු හැදිල්ලට ගෙවල් වලින් අකමැති වෙච්ච නිසා අපේ ළමයින්ට මතකය වැඩි දියුණු කරගෙන, පැහැපත් වෙන්න තිබ්බ අවස්ථාව ගිලිහී ගිය එක තමා. අන්තිමේ හතු ගෙවල් වලට අරං ගිය අය එව්වා කුණු ගොඩට අතෑරලා තිබුනා.

ඉතිං මට හිටි ගමන් මේ හත්ත ගැන මතක් වෙච්ච නිසා මං නිකමට වගේ ගූග් කරලා බැලුවා ටී මෂ්රූම් කියලා. මේං අහුවුනා භාන්ඩේ එතකොට. (ඔයාලා හොයනවනම් ගූග්ල් ඉමේජ් සර්ච් එකේ රිසල්ට් මොඩරේට් කරලා බලන්න. නැත්තං කියයි… චීයා මූ බලන එව්වා කියලා) තව තව විස්තර හොයද්දී එක තැනක තිවුනා තාමත් ජපානයේ මේ හතු දීර්ඝායුෂ ලබාගන්න භාවිතා කරනවා කියලා. ඒ කියන්නේ ජපන්නු ගාව තියෙන මේ හතු හෙන වයස ඇති. මං ඉතිං ඒ දවස් වල එහෙම වගක් දැනගෙන හිටියේ නෑනේ… නැත්තං මං බෙහෙත් ප්ලේන්ටිය නැති වෙන්න දෙන්නේ නෑ… බෙහෙත් තේ ටික රත්කරලා ඒකට මයිලෝයි නෙස්ප්‍රේයි දාගෙන, බෙහෙත් මිල්ක් ටී එකක්, අම්මට කියලා හදෝගෙන බොනවා එහෙමනම්….!

මලේ පවර්ස්, මකරා වටේ….

මල් ගැන දන්නවනේ… නා නාප්‍රකාර මල් තියෙනවා. ඔය මල් වර්ග අතර ගෑණු ළමයි අතර වැඩියෙන්ම ජනප්‍රිය ගස් වල හැදෙන පෙති තියෙන, රේණු තියෙන, සලමලයෝ වහන සුවඳ හමන, පැනි බේරෙන මල්.

එතකොට පිරිමි ළමයි….?

පිරිමි ළමයි ආසා එහෙට මෙහෙට පැද්දෙන මල් වගේ වෙන්න උත්සාහ කරන ඒත් කවදාවත් මල් වගේ වෙන්න, හා තමුන් මල් කියලා හිතාගෙන ඉන්න ගෑණු ළමුන්ට. ඊට අමතරව තවත් පිරිසක් කැමතියි පෙති නැති, සලමලයෝ තියා මැස්සෙක් වත් වහන්නේ නැති… ඒත් ඇති පදමට මත් වෙනකම් ධූම කෘත පැනි තියෙන දම් පාට, රෝස පාට, කොල පාට, නිල් පාට බියුටිපුල් මල් වලට.

මේ කතාවත් එහෙව් එකක් තමා. අපි මීට අවුරුදු කීපයකට කලින් ගියා කුකුලේ ගඟ නිවාඩු නිකේතනයට පොඩි නිවාඩුවක් වගේ එකක් ගත කරන්න කියලා. එක්කං ගියේ ඔෆිස් එකෙන් තමයි. ඉතිං යන ගමන් කට්ටිය බීලා ගිහිං ආයෙමත් හෝටලේටත් ගිහිං බොන්න තියාගත්තා.

ඒ අස්සේ කට්ටියට හඳට යන්නත් චෑන්ස් එකක් හම්බුවෙලා. කව්දෝ මන්දා එකෙක් මල් වට්ටියක්ම ගෙනැල්ලා. හඳට යන්න ආසා වුන්ට බෙදාගෙන යනවා. කව්ද අප්පේ ආසා නැත්තේ නොමිලේම හඳට ගිහිං නීල් ආම්ස්ට්‍රෝන්ගේ පා සලකුණ එහෙම බල‍ාගෙන එන්න. ඉතිං ඒක නිසා ගොඩක් දෙනා අර බියුටිපුල් මල් ඉල්ලා ගත්තා.

අපේ ඔෆිස් එකේ එක සිරිතක් තියෙනවා, ට්‍රිප් එකක් යද්දී බොස්ලායි ජබොස්ලායි ඔක්කොමලා එකට කට් වෙන විදියේ. වෙනින් තැන් වල වගේ නෙවෙයි, බොන්න ගත්තම ඔක්කොමලා එකයි. ලොක්කන්ට කතා කරන්නේ යාළුවන්ට වගේ. බලාගනෙ ඉන්න ආසයි. ඇත්තට ඒ බොන එවුන් අස්සේ නොබී හිටියනම් එහෙම බීලා කියවන එව්වා අහලා, බීපු එවුන්ට වැඩිය ෆන් එකක් ගන්න පුළුවන්….!

ඉතිං කට්ටිය තැන් තැන් වල සෙට් වෙලා බීලා, අර හම්බුවෙච්චි මල් ටිකටත් වග කියලා එහෙම අන්තිමේ ගිහිං ස්ව්මිං පූල් එකට නාගන්න කියලා. බොස්ලත් කට්ටියත් හඳට ගිහිං තමා ඉඳලා තියෙන්නේ. ඉතිං ඔහොම ටික ටික වෙලාවක් පූල් එකට බැහැලා ඉන්න කොට අපේ එක බොස් කෙනෙකුට පේනවලු, අර ඉස්සර කාටුන් වල හිටිය වගේ තඩි මකරෙක් ඉන්නවා නිශාන්ත කියලා අයිය කෙනෙක්ගේ උරේක. මකරා ගිනි පිඹ පිඹ එහෙට දඟලනවලු මෙහෙට දඟලනවලු. ඒ අස්සේ අර අයියවත් කන්න පයින්න වගේලු.

ඉතිං මාර සීන් එක. ලොක්කා බය වෙච්ච පාරට පොරව පූල් එකේම වැටිලා. දැන් මෑන්ස් ඉන්නේ අනිත් අයගේ වාරුවෙන්… ඒ ඉන්න ගමන් අර අයියට කියනවලු…

ඒ… නිශාන්ත…. ඔන්න යකෝ මකරෙක් උඹේ ‍අතේ වහලා… ගසපන් අත ගසපන්….. නැත්තං ඕක උඹව කයි…. කිය කිය අනිත් අයටත් මකරව පෙන්නනවලු. පස්සේ අනිත් ගගනගාමියෝ ටිකත් සීන් එක දැකලා. උනුත් කෑගහනවලු…  නෑ නෑ… මහත්තයා ඒ මකරෙක් නෙවෙයි…. වෙන මොකෙද්ද එකෙක් බං… කිය කිය

ආයෙම බොසා, නිශාන්ත මෙහෙ වරෙන් මං ඔය මකරව අද කනවා… කියලා නිශාන්තව එලෝගෙන යනවලු පූල් එක වටේට. හඳට ගිහිං ඉද්දී පීනන්න බැහැනේ… දැන් දෙන්නම පූල් එකේ දුවනවා. වටේ පිටේ ඉන්න එවුන් නෑවෙනවා. කොහොම කොහොම හරි ටික වෙලාවකින් ලොක්කා නිශාන්තව අල්ල ගත්තා…. නිශාන්ත ඔහොම හිටපං මං අද ඔය මකරවා කනවා…. කියලා නිශාන්තගේ අතට පැනලා. පස්සේ නිශාන්තත්, ආ… එහෙනම් ඉඳා කාපිය කියලා බොසාට අත කන්න දීලා.

දෙන්නම බීලානේ. දෙන්නටම තේරුමක් නෑ මොකද්ද වෙන්නේ කියලා. පස්සේ ලොක්කා නිශාන්තගේ අත ටික වෙලාවක් හපාගෙන ඉඳලා අතෑරියා. පස්සේ ඉතිං ඒ වෙලාවේ මුකුත් අවුලක් නෑ වෙරි හිඳුනම ගෙදර ගියා.

මෙන්න ඊට දවස් දෙකකට පස්සෙ නිශාන්ත වැඩට එනවා අත බැන්ඩේජ් කරගෙන. අතේ ගහපු මකරා‍ගේ පච්චෙ වටේට පැල ඉනි හිටෝලා වගේ දත් පාරවල්. ඒ මදිවට වටේටම නිල් පාට වෙලා. පස්සේ ලොක්කට හෙන අප්සට් වැඩේට. පස්සේ පොර කියනවලු වෙන අයිය කෙනෙකුට මෙහෙම…

බලනවා ඕයි, බිවුවම මිනිස්සු සත්තු වෙනවා, රොකට් ඇද්දම කෙලින්ම දඩයක්කාරයොම වෙනවනේ….!

කොල්ලෙක් උරේට හේත්තු වුනොත් තමා ඕක්කොම….

ඊයේ මං ගෙදර යද්දී ජුංඩක් රෑ වුනා. ඉතිං වාඩි වෙලා යනවා කියන්නේ ඒ වෙලාවේ හැටියට තනිකරම හීනයක්…. ඒක නිසා මුලින්ම ආපු මතුගම බස් එකේ නැගලා කකුල් පෑගි පෑගි, හිරවෙවී සැපට යනවා. ඉතිං ඔහොම ටික දුරක් යද්දී කොන්දා මල්ලි එනවා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමෙන් දීපු සීඩී එකත් දාගෙන.

දෙපැත්තෙන් අයිනට වෙලා මැද්දෙන් ඉඩ දෙන්න…. අනිත් කට්ටිය මැද පොල්ල අල්ලං ඉස්සරහට යන්න… කියාගෙන.

මං නං ඉතිං සුපුරුදු පරිදි මැද පොල්ල අල්ලං අයිනට වෙනවා. ඊට පස්සේ ඕං රැක් එකේ කුණු දූවිලි වල තත්වය යන්තමින් ඇඟිල්ලකින් පරීක්ෂා කරලා බලලා එහෙම බෑග් එකත් දැම්මා මගේ ඉස්සරහින්ම. ඊට පස්සේ කව්දෝ මන්දා එකෙක් ගහන බ්‍රේක් පාරවල් දෙක තුනකට සෙට් වුනාම මං හිටියේ බෑග් එක රැක් එකට දාපු තැන නෙවෙයි. එක්කෝ බෑග් එක දුවලා, එහෙම නැත්තං මං දුවලා.

කොහොම හරි ඊට පස්සේ වට පිට බලද්දී බෑග් එක රැක් එකේ තියෙද්දී මාව තල්ලු වෙලා ටිකක් ඉස්සරහට ඇවිල්ලා. පස්සේ ඉතිං නිකමට වගේ මං හිටිය තැන සීට් එක දිහා බලද්දී…. කිරි අප්පුච්චියෝ… ස්වීට් කෙල්ලෙක්…. අනේ පවූවූවූවූ…. ඒ ළමයට දොයි මතේ…. එහාට වැනෙනවා මෙහාට වැනෙනවා… අර කරුමක්කාරයා බ්‍රේක් ගහන කොට ක්ෂනිකව ඇහැරෙනවා ආයෙ ඊලඟ මොහොතේ නිදි.

ඉතිං ඔහොම ටික දුරක් ආවාම ගෑණු ළමයට හොඳටම නින්ද ගිහිං, සීට් එකේ අයිනේ හිටිය පිරිමි කෙනාගේ උරේට ඔලුව තියාගෙන. ඇත්තටම හෙනම පවු අප්පා. ගෑණු ළමයා කොහෙ හරි වැඩ කරන කෙනෙක්. සෑහෙන මහන්සි ඇති. ඒ නිසාම සීට් එක හම්බුන ගමන් වාඩි වෙන්න ඇති. ඒත් ඉතිං නිදා ගන්න නොහිතුවත් නින්ද යන්න ඇති. පස්සේ ඉතිං මං බැළුවේ එයත් එක්ක හිටිය අනිත් පිරිමි කෙනා දිහා. පොරත් අවුරුදු 35ක විතර කෙනෙක්. මෑන් කිසිම සද්දයක් නැතුව අර ළමයට ඔළුව තියාගෙන ඉන්න දීලා හිටියා. ඇත්තටම කිසිම වැරදි හැඟීමකින් බලන්න වෙන දෙයක් සිදු වුනේ නෑ… අර සමහර අයියලා කැරපොත්තෝ බෑග් වල දාගෙන ගිහිං ගෑණු ළමයින්ව බය කරලා ගුටි කෑවා වගේ දෙයක් නම් සිදු වුනේ නෑ කොහෙත්ම.

ඉතිං ඊළඟ මොහොතේ මට නිකමට වගේ හිතුනේ, වැරදිලා හරි කොල්ලෙකුට නින්ද ගිහිං කෙල්ලෙක්ගේ උරහිසකට ඔය විදියට ඔලුව බර වුනානම් එහෙම… කොහෙන් නවතීද කියලා. එක්කෝ කොල්ලා ඉප්පිරිතාලේ, එහෙම නැත්තං අතක් පයක් කඩලා බස් එකෙන් එළියේ….

පේනවද වෙනස… බස් එකේදී වැරදිලා හරි අතක් ඇ‍ඟේ ගෑවුනොත් රවන රැවිල්ල ‍කොහොමද…? ඉස්සර කතා පොත් වලින් දැක්ක ආලවක යකාගේ ඇස් දෙකට වැඩිය හපන් ඒ රැවිල්ල. ඇස් දෙක දොඹ ගෙඩි ගානට බැරි වුනත් ඊට චුට්ටක් ලඟින් යන්න හරි ඇස් දෙක ලොකු කරලා තරහ ගන්න කැත…. කොල්ලෝ හැම තිස්සෙම නරකයි කියලා හිතන කෙල්ලන්ට මේ වගේ සිද්ධි ගැන ටිකක් හිතන්න වෙයි.

හැම ගල් කැටයක් දිහාම කළු කන්නාඩි දාන් බැළුවම මැණික් ගලුත් මිස් වෙන්න පුළුවන්. ඒ වගේ තමා හැම පිරිමියා දිහාම එක වගේ බැළුවම හොඳ ගතිගුණ තියෙන අයවත් නිකංම අතෑරෙනවා….!

ඉතිං ඔය පඬිකල්පනා හිත හිත ඉන්න කොට බස් එක පානදුරේ ඉප්පිරිතාලේ ගාවටම ඇවිත්. එතනින් අර ගෑණු ළමයා බැහැලා යන්න ගියා. අර පිරිමි කෙනා මං බහින කනුත් බස් එකේ හිටියා. මං ඒ වෙලාවේ තමා හොඳටම දැන ගත්තේ මේ දෙන්නා දන්න කියන දෙන්නෙක් නෙවේ කියලා. නොදන්න ගෑණු ළමයෙකුට තමන්ගේ උරහිසේ ඔලුව තියාගෙන යන්න දුන්න වුනත් කවදාකවත් ගෑණුකෙනෙක් එහෙම නොදන්න පිරිමි කෙනෙකුට ඔලුව තියාගෙන යන්න දෙන්නේ නෑනේ…. ඒක එහෙම කරන්න එපා කියන්නත් බෑ, කරන්න කියන්නත් බෑනේ… කෙල්ල බැහැලා ගියා, පිරිම කෙනාත් ෂටර් එකට ඔලුව තියාගෙන ලාවට නිදා ඒත්‍‍‍‍…. අන්තිමේ මං බස් එකෙන් බහින මොහොතේ මට තමා ලෙහා ගන්න බැරි ගැටලූවක් ඇතිවුනේ, ඉස්තිරී වර්ගයා ගැන….!

%d bloggers like this: