ගමනක් ගිය පැන්සල් තුඩ…

ආයෙමත් එක වසරට යන්න තමා මේ සුදානම… ඉස්සර ස්කෝලේ යද්දී එක වසරේ වෙච්ච දේවල් පෝලිම් ගැස්සුවොත් එහෙම, මගේ මතකයට අනුව මේක තමා දෙ‍වැනියට තියෙන්නේ.

ඒ දවස් වල නම්‍ මේ කේස් එක ගොඩක් දරුණුවට ගියා. පොලිසියෙන් ආපු නැති ටික විතරයි. දෙමවුපියෝ රැස්වෙලා, ගුරුවරුත් වටකරගෙන සාක්ච්චා කීයක් නම් පැවැත්වෙන්න ඇත්ද…. මොකද ඉතිං අමිලගේ පැන්සලේ තුඩ සමන්ගේ පස්ස පැත්තේ ඇමිනිලා ගෙදර යනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමේනේ….!

ඒ දවස් වල එක අපි එකවසරට ඇතුල් වෙලා මාස හතරක් විතර ගිහිං ඇති. මං අර අමුතු ලෝකයට ගිහිං ආපහු පන පිටින් ආවට පස්සේ තමා මේක වුනේ. ඒ දවස් වල ඉතිං අපි ඉඳියේ එක ඩෙස් එකේ දෙන්න ගානේ. මහ ලොකු තරහක් මරහක් නැති වුනාට ඩෙස් එක දෙකට මැද්දෙන් වෙන් කරගෙන තිබුනේ….

අනිත් පැත්තේ යාළුවගේ පැන්සලක්, පොතක චූටි ‍කොනක් හරි අර  ඩෙස් එකේ ඇඳපු ඉරෙන් අපේ පැත්තට ඇවිත් තිබුනොත් ඒ දවස් වල ඉතිං වලිම තමා.

“මේ මේක… ගන්න. ඔයාගේ පැන්සල මගේ පැත්තේ තියෙන්නේ…. ගන්න හොඳේ…. නැත්තං මං අපේ අම්මට කියනවා.”

කියන වාක්‍යයේ පැන්සල කියන එකයි අම්ම කියන එකයි හරියට අර ප්‍රෝග්‍රැමින්ග් වල තියෙන වේරියබල් වගේ. පැන්සල කියන තැනට මක්කේ, පොත, පෙට්ටිය වගේ එව්වා අසයින් වෙනවා. අම්ම කියන තැනට, අම්මි, තාත්තා, තාත්තී, චීච…. බැරි වෙලා හරි ස්කෝලේක ලොකු පන්තියක සහෝදරයෙක් හරි සහෝදරියක් හරි ඉන්නවා නම් එයාගේ නමත් මේ වේරියබල් එකට සූටබල්.

ඉතිං ඔහොම ගිහිං පළවෙනි වෝර්නින් එක දෙනවා අර උඩින් කිව්ව විදියට. ඒත්… අනික් යාළුවා ටිකක් ගට තියෙන එකෙක් නම් (අනේ ඒ දවස් වල අපි දන්න ගට) අනිත් එකාගේ පැත්තට ගිහිං තියෙන මොකක් හරි අයිටම් එක තව ටිකක් තල්ලු කරලා යුධ ප්‍රකාශ යාළුවව මල පන්නන එක ගැන දෙපාරක් හිතුවේ නෑ‍.

ඉතිං මේ සමනුත් එහෙමයි. සමන්ගේ පැන්සලක් ඩෙස් එකේ අමිලගේ පැත්තට ගිහිං. ඉතිං අමිල සමන්ට ෆස්ට් ‍වෝර්නින් එක දීලා…

මේ සමන්…. මං චීචට කියනවා ඔයා මගේ පැත්තට පැන්සල දානව කියලා. ඊට කලින් මේක ගන්න….

මොන… සමන් හෙන අහිංසක පාට් එකට හිටියට අමිල වගේ ඔලු කාරයින්ව පේන්න බැහැ. ඉතිං පොර කරපු වැඩේ උගේ මක්කෙත් අමිලගේ ප්‍රාන්තෙට දාපු එක. ඔය වැඩේට අමිලට මල පැන්නා. මුලින්ම අමිල…

මම ඔයාට කිව්වා හරිද කියලා…. කියලා අමිලගේ පැන්සල් පෙට්ටියෙන් සුළු අවි ප්‍රහාරයක් එල්ල කරා. ඒක සුළු අවි ප්‍රහාරයක් වුනාට නිකං බෝම්බයක් ගැහුවා වගේ. සර සර ගාලා අමිලගේ පෙට්ටියේ තිබ්බ පැන්සලුයි, කටරුයි අනං මනං ගැජට් කෑලි ඔක්කොම බිම. දැන් අමිලට නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ. පස්සේ ඉතිං ඔන්න සමනුත් එකතු වෙලා බි වැටිච්චා අහුලලා ආයෙම පැක් කරා. පස්සේ සමන්…. හූ හූ…. ඇද්ද ඔයා මට ගහන්න ආවා කියලා හිනා වෙලා උගේ පැන්සලයි මක්කෙයි ආයෙම ගත්තා. ඉතිං ටික වෙලාවක් යද්දී දෙන්නා ආයෙම යාළුවෝ.

හැබැයි අමිල මේක අමතක කරලා නෑ. අසාලිවීමක් කොහොද ලියලා සමන් ගියා චීච ගාවට පොත පෙන්නන්න. පොර ඇවිත් වාඩි වුන ගමන්….

ඉහි…. ඊ….. ඊ…. කියාගෙන ආයෙම නැගිට්ටා. හරියට නිකං ගින්නක් ඇවිත් සයිරන් ‍එකක් ගැහුවා වගේ. පස්සේ පන්තයේ ඔක්කොම ළමයි සමන් දිහා බලනවා. සමනුත් අරින්නේ නෑ… අඬනවා ඇඬිල්ලක් පස්ස පැත්ත අතින් අතගගා…. එක වසරේ පන්ති සෙට් එකම දෙවනත් වෙන්න.

පස්සේ ඉතිං මිස් ඇවිත් බැළුවා මොකද සීන් එක කියලා. බලද්දී… අමිලයා, ඌට තිබ්බ තරහට සමන් වාඩි වෙන කොට හොඳට උල් කරලා තිබ්බ පැන්සල කෙලින් තියලා අල්ලලා පුටුවට. ආයේ ඉතිං කියන්න දෙයක් නැනේ සනීපේ…..

පස්සේ ඉතිං කොහොමහරි සමන්ව ශේප් කරලා ඉවර වෙද්දී ස්කෝලේ ඇරිලා.

ඊට පස්සෙ ඉතිං අපි සෙටාර් එක ගෙවල් වලට ගියා. ඊළඟ දවසේ උදේ…

මිස් මං සමන්ගේ අම්මා…. කියාගෙන සමන් වගේම සුදු ඇන්ටි කෙනෙක් ආවා අපේ මිස්ව හම්බුවෙන්න. අපිත් බලාගෙන ඉතිං, මොකද්ද වෙන්නේ කියලා හොයලා බලන්න එපැයි. පස්සේ සමන්ගේ අම්මා පොඩි කොල කෑල්ලක් දැග ඇරලා මොකද්දෝ මන්දා මිස්ට පෙන්නනවා. හරියට නිකං මැණික් ගල් හම්බුනාම ජෙම් හවුස් වලට ගිහිං බඩා මුදලාලිට පෙන්නනවා වගේ. අපිටත් ඉතිං හරි පුදුමයි… කියන්න බැහැනේ සමන්ගේ අම්මටයි තාත්තටයි මැණික් ගලක් වත් හම්බුවෙලාද දන්නේ නෑනේ…

පස්සේ ආයෙම ටික වෙලාවකින්,

අම්ල… මෙහෙට එනවා…. කියලා අපේ මිස් අමිලව ගෙන්නුවා. ඊට පස්සෙ පිටට පාරක් ගහලා හෙට එනකොට අම්මව එක්කං එන්න ඕනේ කියලා, අමිලගේ පොතක ලිව්වා. පස්සේ ඉතිං සමන් එදා පන්තියේ හිටියේ නෑ, අම්ම එක්කම ගෙදර ගියා. අපිට හරි පස්නේ ඇයි මේ කියලා. අර මැණික් ගල අමිලට දෙන්නද දන්නේ නෑනේ….

ඉතිං පහු වෙනිදා ඔන්න එනවා අමිලයි, අම්මයි… අනිත් පැත්තෙන් සමනුයි අම්මයි. පස්සේ ඉතිං මිස්ට දෙන්නම කතා කරනවා අපි අහගෙන.

එතකොට තමා අපි දන්නේ සමන්ගේ අම්මා කලින්දා මිස්ට පෙන්නුවේ මොකද්ද කියලා. ඒ අමිලගේ පැන්සලේ තුඩ…..! ඒක සමන්ගේ පස්ස පැත්තේ ඇමිනිලා සමන්ලාගේ ගෙදර ගිහිං. පස්සේ සමන් එයා‍ලගේ අම්මට සීන් එක කියද්දී තමා පැන්සල් තුඩ හොයාගෙන තියෙන්නේ. පස්සේ ඉතිං අම්මලා දෙන්න කතා කරලා විසඳන්න හැදුවට හරියන්නේ නෑ… ඒ පාර ප්‍රින්සිපල් ගාවට ගියා. ආයෙම පාරක් දෙමාපිය රැස්වීම් කිහිපයක් තිබ්බා. පස්සේ කොහොම හරි ඔන්න වැඩේ ශේප් වුනා.

ඒ ඔක්කොම වෙලත් ආයෙ ටික ටික දවසකින් අමිලයි සමනුයි හොඳ යාළුවෝ…! අනේ මන්දා ඔය වගේ වැඩක් ටිකක් ලොකු වෙලා එහෙම වුනා නම්…..?

අනික සමන්ගේ පස්ස පැත්තෙ ඇමිනිලා ගෙදර ගිය මිනිරන් කෑල්ලට ඔච්චර සාකච්චා කරානම් ඇත්තටම මැණික් කෑල්ලක් ඇමිනිලා ගියොත් කොච්චර සාකච්චා කරයිද…!

%d bloggers like this: