යශෝධරාවගේ මියුසික් කඩේ… මගේ යශෝධරාවත 18

මේ………… සිංදු ටික ගෙනාවද…?

මාලිගයට පළවෙනි අඩිය තියන්නත් කලිංම යශෝධරාවගෙන් ලොකූ පස්නයක්…. ඔය ප්‍රශ්නෙට මං කුමාරයා නෑ කියන්නත් හදලා….. ආයේ මොකටද නිකං උදේ පාන්දර නඩුවක් ඇද ගන්නේ කියලා හිතලා හ්ම් ගෙනාවා…. කියලා ජුංඩං උත්තරයක් දීලා නැවැත්තුවා. වැඩි හරියක්ම මට අප්සට් ගියේ මේ යෝදි, මගෙන් මහන්සිද කියලවත් අහන්නේ නැතුව අහපු ප්‍රශ්නෙට.

ඊට පස්සේ ඉතිං මං සීඩී එක දෙනකං සක බඹරේ ව‍ගේ කැරකි කැරකි මාලිගාව පුරාම එහාට යනවා ‍මෙහාට යනවා. පව්නේ….. ඒ පාර ඉතිං මගේ ඩයරියේ කවරේ අස්සේ තිබ්බ ඩිස්ක් එක ඇදලා දුන්නා.

ඒ වෙලා‍වේ බලන්න ඕනේ හිනාව…. ආයෙ තැන්ක් යූ කිවිලි අනං මනං මොකුත් නෑ… ඉස්සර හුරතලේ පිටින්ම පොඩි එකෙක් වගේ ඩිස්ක් එක අරං ගිහිං පීසී එකට දාලා ඉප්පීකර් දෙකත් ගහගෙන වැඩ පටන් ගත්තා‍. දැන් ඉතිං මං ඉන්නවද නැද්ද කියලා ගානක් නෑ කුමාරිකාවට. මුලින්ම රුමේෂ්ගේ දිගු දෑස දුටුවාම… ඊට පස්සේ භාතියලාගේ දේදුන්න සේදී…. ඔහොම ගිහිං සිංදු 10ක් විතර අහලා තමා ආයෙමත් මං කුමාරයා ඉන්නවාද කියලා බලන්න පිටි පස්ස හැරුනේ. එයා දන්නේ නෑනේ මං මේ සිංදු ටික හොයාගත්ත හැටි. සමහර සිංදු වල මැද්දේ පද දෙකක් විතරක් ලියලා දුන්නම ඩොකීට කියලා එව්වා හොයාගත්ත හැටි කුමාරිකාව දන්නේ නෑනේ…

මං කුමාරයත් ඉතිං ඇහි පිය නොගහා බලාගෙන ඉන්නේ ඔය වෙලාව එනකම් තමා. එතකන් කරන්නේ යශෝධරාවට පිටිපස්සෙන් තියෙන ෆෑන් එකෙන් විදින හුළං පාරට පුංචි කුමාරිගේ කොන්ඩ ගස් එකින් එක… සැරින් සැරේට ඒ මේ අත යන හැටි බලාගෙන ඉන්න එක තමා. හිටිගමන් ජනේලෙන් එන ඉර එළිය තැඹිලි පාට කර්ටන් එකට වැදිලා තව ටිකක් පැහැපත් වෙලා විහිදෙන එලියට තවත් එළිය දෙන්න වගේ යශෝධරාවගේ ඇඟිලි ඇවිත් කන වටේට ගිය කොන්ඩ ගස් ටික හදලා ආයෙමත් යනවා. හරියට නිකං උත්තර ධ්‍රැවයේ අවුරෝරා එලි වගේ.

පස්සේ  ඉතිං ඔහොම ඉන්න ගමන් තව සිදු ටිකක් ප්ලේ වෙන්න දාලා ඕං දුවනවා සිරියහන් ගැබට.

අම්මේ…. මට තේ එකක් හදලා දෙන්න….

ඉතිං නඩුකාරිත් එනවා තේ හදන්න. හප්පේ එතෙන තියෙන විකාර. මං කුමාරයා කලිනුත් කියල ඇති අනන්තවත් ඔය වග. නඩුකාරිගේ අතේ එල්ලිලා යශෝධරාව හුරතල් වෙන්නේ හරියට නිකං මොන්ටිසෝරි යන පොඩි කෙල්ලෙක් වගේ. වෙලාවකට ඉතිං මටත් හිතෙනවා දුවලා ගිහිං අනිත් අතේ එල්ලෙන්න. ඒත් ඉතිං නිකං මොකටද නඩු  ෆයිල් කරගන්නේ කියලා හිතලා ඉන්න ඉරියව්වෙන්ම පුටුව උඩට වෙලා ඉන්නවා. පස්සේ ඉතිං ටික වෙලාවකින් යශෝධරාව ආයෙමත් එනවා පීසී එකට ගාවට.  ඒ ඇවිදින් අර සිංදු ටින ආයෙමක් අහනවා. අහනවා නෙමෙයි බලනවා. ඕඩියෝ ටික තියාගන්නවා පස්සේ අහන්න. වීඩියෝ ටික එවෙලෙම බලනවා.

ඊට පස්සේ ඉතිං නඩු කාරි එනවා තේ දෙක අර ගෙන අත්දෙකට. එකක් යශෝධරාවට, අනික මට. දෙන්න එක්ක පොරකාලා එක දශමයක් හරි වැඩියෙන්  තියෙන තේ එක ගන්න දඟලන්නේ ඇයි මන්දා…? ඇති වැඩකුත් නෑ…. මොකද දෙන්නගෙං එක්කෙනෙක් වත් ඔය තේ දෙකෙන් අන්තිම උගුර වෙනකම්ම බොන්නේ නෑ. එක්කෝ උණුයි කියලා පැත්තකින් තියනවා, එහෙමත් නැත්තං විසි කරනවා. කොහොමත් උණුයි කියලා තිබ්බම ටික වෙලාවකින්  එක් බොන්නේ කූඹි….

ඉතිං ඊට පස්සේ අයෙමත් අර සිංදු වල ඉතුරු ටික අහනවා. මං කුමාරයක් ඉතිං යශෝධරාව දිහා බලාගෙන ඉඳලා ඉඳලා ඇස් රතු වුනාම ලක්බිම හරි විදුසරක් හරි අරගෙන කියෝනවා. ඒ කියවන අතරෙදි එකපාරටම….

නිකං ලයිට් ගියා වගේ සීන් එකක් වෙලා, ප්ලේ වෙවී තිබ්බ සෙන්ටිග්‍රේඩ්ලගේ නිල් සඳ මඬල නැවතුනා. මං කුමාරයත් පත්තරේ බැලුවට සිංදුව අහගෙන හිටි නිසා වෙච්චි දේ ගැන හොඳ අවධානෙන්…..! මං බලන කොටම මේං කුමාරිකාවත් අර නිල් පාට සූටි ඇස් දෙකෙන් මගේ දිහා බලාගෙන මොකද්දෝ ලොකු ප්‍රශ්නෙකුත් දිව අග තියාගෙන ඉන්නවා.

ඔය ප්‍රශ්නේ ඉතිං කවදාවත්… මට ආදරෙයි නේද…? කියලා අහනවා වගේ එකක් වෙන් බෑනේ. ඒක නිසා ඉතිං මටත් එක පාරට උත්තරයක් දීගන්න බැරිවෙයි කියලා හිතෙද්දිම, මේ… මේ… කියලා පටන් අර අහනවා…

ඇයි හැම සිංදුවෙම “මියුසික් කඩයක්” කියලා මැද්දෙන් කියන්නේ….?

හරිනේ ඉතිං දැන් දීපල්ලකෝ බලන්න ඕකට උත්තර. මට පටාර් ගාලා මීටර් වුනේ මියුසික් අවන් එක… ඒත් ඒක හැම ​එකේම දාන්න විදියක් නැහැනේ. ඉතිං මං කුමාරයා ඉතිං දහඅතේ කල්පනා කරනවා මොකද්ද බොල මේ හරුපේ තේරුම කියලා… මට හිතාගන්නම බැරි පාර මං කිව්වා මට ප්ලේ කරලා පෙන්නන්න කියලා. ඊට පස්සේ ඉතිං ඔන්න නිල් සඳ මඬල ආපස්සට ටික දුරක් ගිහිං ආයෙමත් ප්ලේ වෙනවා. එක තැනකදී නිකං රහසින් වගේ පොඩි වචන වගයක් කියනවා. පස්සේ මං ආයෙමත් පාරක් ලඟටම ගිහිං කන ඉප්පීකරේ තියාගෙන ඇහුවා.

මට ඇහුන දේ හරි… මොකද මගේ කන් දෙක මට විශ්වාසයි. ඒ වගේම මං මේක මීට කලිනුත් හැම වීඩියෝ ගොඩක දැකලා තියෙනවා.  ඒත් ඉතිං යශෝධරාවගේ කන් දෙක් ඇහෙන්නේ අඩුවෙන් කියලා කිව්වොත් එල්ලුම් ගස් යන නඩුවක් සෙට් වෙනවා ෂුවර්. ඒත් ඉතිං මේ වගේ චාන්ස් එකක් අතාරින්නේ කොහොමද….? මට දෙන ගින්දර වල හැටියට පොඩ්ඩක් නෝන්ඩි කලාම මක් වෙනවද…?

ඒක නිසා මං ඇහුවා… මොකද්ද ඔයා කිව්වේ…?

මේ හැම එකේම “මියුසික් කඩයක්” කියලා කියනවනේ….

ආහ්…. එහෙමද…. මං හිතුවේ නෑනේ වයස හැටක විතර කන් ඇහෙන්නෙ නැති කෙනෙක් කියලා…

අනේ කියනවාකෝ… මොකද්ද ඒ කියලා….

මං මොකටද කියන්නේ…? කන් දෙක සුද්ද කරලා කර අහගන්න… නැත්තං මං අම්මට කියන්නං දුවගේ කන් දෙක ඇහෙන්නේ නෑ කියලා…

යනවා යන්න මෝඩරජා….

හරි හරි මං මෝඩයා… එහෙනම් ටිකක් සද්දේ වැඩිකරගෙන අහලා බලන්නකෝ ආයෙමත්…

ඔන්න ආයෙමත් නිල් සඳ මඬල මුල ඉදන් ප්ලේ වෙනවා… ඒ අතරේ මැද්දෙන්‍…. මියුසික් ඩොට් එල්කේ… කියලාත් ලාවට ඇහෙනව‍ා….

ඔය ඔක්කොම අහගත්තට පස්සේ ඔන්න රිප්ලයි එනවා….

ඉතිං මට ඇහුනේ එහෙමනේ…… කියලා තව තො‍ඳොල් වෙන්නත් එනවා.  එත‍කොට ඉතිං වෙනදා වගේම තමා. මං කුමාරයට කට උත්තර නැති වෙනවා….! කොහොමහරි මෙදා පාර නම් මදි නොකියන්න ෂොට් එක දුන්නා…..

%d bloggers like this: