කොම්පියුටර් සර්ට, හතවසරේ ගෑණු ළමයෙක්ගෙන් ලියුමක්…!

මං එතකොට උසස් පෙළ පළවෙනි පාර කරලා, නයිටා ගිහිං ඒකෙන් දාපු ට්‍රේනින් එකෙනුත් නැවතිලා කකා බිබී ගෙදරට වෙලා ඉන්න කාලේ. ඒ දවස් වල ඉතිං මහා ලොකු බරක් නෑනේ ඔලුව උඩ. ඉතිං හවසට හවසට යාළුවෝ එක්ක ඇවිද ඇවිද තමා වැඩි හරියක්ම කාලය ගතවුනේ.

ඔය අතරෙදි තමා අපේ ස්කෝලේ පුංචි ‍කොම්පියුටර් කාමරේ පරිගණක සම්පත් මධ්‍යස්ථානයක් විදියට උසස් වෙලා අළුත්ම අළුත් කොම්පියුටර් විසි ගාණක් එක්ක වැඩ ආරම්භ කලේ. කොම්පියුටර් හය හතක් තියාගෙන තියාගෙන ළමයි 20ක් විතර වටකරගෙන පරිගණක පාඩම් කියලා දුන්න අපේ සර්ට මේ වැඩේ තනියම කරන්න බැරිවෙයි කියලා කලින්ම හිතිච්චි නිසා මටත් ආරාධනා කලා, වරෙන් ඇවිත් මට උදව් වෙයන්… අපි ස්කෝලෙන් පඩියක් ගෙවන්නම් කියලා.

මටත් ඉතිං නෑ බෑ කියන්නත් දෙයක් නැහැනේ. හවස් වරුව ගෙදර උදේ වරුව ස්කෝලේ. අනික නුපුරුදු තැනකුත් නෙවේ, නුපුරුදු දේකුත් නෙවෙයි…. ඉතිං ගෙදර කට්ටියටත් කියලා මාත් කොහොමින් හරි ආයෙම ස්කෝලේ යන්න සෙට් වුනා. ඉස්සරට වැඩිය වෙනසකට තිබුනේ පොත් බෑග් එක නොගෙනියන එකයි, සුදු පාට දික් කලිසමයි සුදු ෂර්ට් එකයි වෙනුවට පාට කිට් එකක් ඇඳන් යන එකත් විතරයි.

ඉතිං  අපේ ලැබ් එකට ඒසී ප්ලාන්ට් තුනක් හයි කරලා තිබුනට එකක් වත් වැඩ කරන තත්වෙට පත් කරලා තිබුනේ නෑ. මොකද මේ ලැබ් එක හම්බුනේ ඡන්දයක් කිට්ටුව. ඒ නිසා ලැබ් එකට ආධාර කරපු දේසපාලකයා අතින් පුළුවන් ඉක්මනින් විවෘත කරන්න ඕනේ නිසා හදිස්සියට තමා වැඩේ කලේ. පස්සේ ඉතිං ටික දවසක් යද්දී ඔන්න ඒසී ප්ලාන්ට් වලටත් විදුලිය ලැබිලා…. දාඩිය පෙරාගෙන කම්පියුටර් ගහපු අපේ පොඩි එව්වෝ කූල් එකේ පරිගණක ඉගෙන ගන්නවා.

වෙනදට පන්තියේ ඉන්නේ ගෑණු ළමයි විසිදෙනාමයි, පිරිමි ළමයි 2කුයි විතරක් සහභාගී වෙන පන්තියට දැන් මුලින්ම දුවගෙන එන්නේ කොල්ලෝ. ගුරුවරයෙක් නැති පිරියඩ් එකක් වුනත් දැන් හැම තිස්සෙම ළමයි පිරිලා ඉන්නේ ලැබ් එකේ. ඊට පස්සේ ටික දවසකින් අන්තර්ජාල සම්බන්ධතාවත් හම්බුනා. ඒ ගැන ඉතිං කියන්න දෙයක් නෑ…. කනෙක්ෂන් ස්පීඩ් එක තත්පරේට බයිට් ගනන්. ගූගල් ලෝඩ් වෙන්න විනාඩි පහක් විතර බලාගෙන ඉන්න ඕනේ. කොච්චර ස්පීඩ් මැෂින් තිබුනත් ඉන්ටර්නෙට් නැති එක නම් හරිම අඩුවක් විදියට තමා දැනුනේ.

පස්සේ ඉතිං ආයම මාසයක් විතර යද්දී කාලසටහනක් එහෙම හදලා, පොඩි පොඩි ටියුට්ස් ප්‍රින්ට් කරලා එහෙම ටිකක් විධිමත් විදියට ලැබ් එකේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යනවා. ඒ දවස් වල පරිගණක කාලච්ඡේද තිබුනේ හය වසරේ ඉඳන් ඉහලට ළමයින්ට. ඒ අයට උගන්වන්න නියමිත කාල සටහනක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දීලා තිබුනේ නැති නිසා අපිම හදාගත්ත සිලබස් එකකට තමා ඉගැන්වීම් කරේ. පොඩි අයත් හරි ආසාවෙන් ඉගෙන ගත්තා.

සර් ඇරුනම ඉන්න එකම ලොක්කා මං නිසා පොඩි එවුන්ට මොකක් හරි අවුලක් ආපු ගමන්ම කතා කරන්නේ මට. පොඩි අය මටත් කියන්නේ සර් කියලා. හය වසරේ කෙල්ලෝ කොල්ලෝ කියලා නෑ, මං වැඩ කර කර ඉන්න සර්වර් එකෙන් මං නැගිටින්නේ නැත්තං ලඟට ඇවිල්ලා අතින් ඇදගෙන ගිහිං තමා එයාලට ඇති වෙච්චි ප්‍රශ්නේ තේරුම් බේරුම් කරගන්නේ. මටත් ඉතිං පොඩි අයට මං දන්න දෙයක් කියලා දෙනකොට ටිකක් විතර සතුටුයි.

පස්සේ ඔහොම යද්දී දවසක් දා, ඉන්ටර්වල් එකෙන් පස්සේ පීරියඩ් එකේ ලැබ් එක වෙන් වෙලා තිබුනේ හත වසරේ පන්ති වලින් එක පන්තියකට. වෙනදා වගේම කොල්ලෝ ටික ඉන්ටර්වල් ඉවර වෙලා බෙල් එක ගහන්නත් කලින්ම ලැබ් එක ඉස්සරහට වෙලා පෝලිමක් හැදිලා ඉන්නවා බෙල් එක ගහනකම්. ගෑණු ළමයිනුත් සපත්තු ගලෝලා වෙනම පෝලිමක් හැදෙනවා. ඉතිං බෙල් එක ගහපු ගමන් එකම යුද්ධයයි. කොහොමහරි කොල්ලෝ ටික ඉක්මනට දුවගෙන ඇවිත් කැරකෙන පුටු වල වාඩි වෙලා වටයක් දෙකක් කැරකිලා, දාඩියත් නිවාගෙන විනාඩියකින් විතර සන්සුන් වෙනවා එදා දවසේ පාඩමට.

ගොඩක් වෙලාවට පාඩම පටන් ගන්නේ සර්. ඊට පස්සේ ඉතිං පොඩි එවුන්ට අමාරු තැන් වලදී මං තමා උදවු කරන්නේ. එදා හතවසරේ ළමයින්ට කරේ වර්ඩ් පාඩමක්. වර්ඩ් වලත් ඩ්‍රොප් කැප් ඔප්ෂන් එක තමා කරේ. ඉතිං සර් මුලින්ම ඔක්කොම ළමයින්ව එක පීසී එකක් ගාවට වටකරගෙන සීන් එක කියලා දුන්නා. පස්සේ ආයෙම තම තමන්ගේ පීසී වලට යන්න කියලා පොඩි පැවරුමක් දුන්නා. ඒකෙදි ඇති වෙන ප්‍රශ්න වලට තමා මං උදවු කලේ.

දැන් ඉතිං ළමයි පැවරුම කරනවා. ගොඩක් පීසී වලට ළමයි දෙන්න දෙන්න තමා සෙට් වෙලා හිටියේ. ඉතිං එක්කෙනෙකුට බැරිනම් අනිත් එක්කෙනා ගෙන් අහගන්නවා. ඒත් දෙන්නටම බැරිවුනොත්…? එත‍කොට තමා මං ගිහිං උදවු වෙන්නේ.

ඉතිං මේ පැවරුම කරද්දිත් ගෑණු ළමයි දෙන්නෙකුට එකම ප්‍රශ්නේ ඇතිවෙලා. දෙන්නටම උත්තරේ හොයාගන්න බැරි පාර ටිකක් විතර කෙට්ටු, කොහොමත් අනිත් ළමයට වැඩිය නම් සෑහෙන කෙට්ටු ගැහැණු ළමයෙක් ඇවිත්…. සර්… පොඩ්ඩක් එන්න… අපේ වර්ඩ් වල ටයිප් වෙන්නේ නෑ…. කියලා මාව අඬගහගෙන ගියා. පස්සේ ඉතිං ගිහිං බලද්දී ටයිප් වෙනවා අකුරු වල පාට සුදු කරලා. එතකොට ඉතිං පේනනේ නැහැනේ… පස්සේ ඒක මං දෙන්නටම කියලා දීලා… ආපහු සර්වරේ ගාවට එන්න හදද්දිම… අනිත් මහත ගෑණු ළමයා කියනවා ටිකක් සද්දෙන් … මං කිව්වා පන්ඩිතයට පාට මාරු කරන්න කියලා…  පස්සේ ඉතිං මාත් මහ ලොකු දුරක් හිතන්නේ නැතුව…. මේ… පන්ඩිත ආච්චියේ…. ඒ ළමයා දන්නේ නැති නිසානේ ඇහුවේ කියලා… මහත ළමයගේ ඔලුවත් අතගාලා ආයෙම ඇවිත් මං සෙල්ලං කර කර හිටිය ගේම් එක පෝස් කරපු තැන ඉඳන් ආයෙම පටන් ගත්තා.

ඊට පස්සේ ස්කෝලේ ඇරෙන්න කලින් පිරීයඩ් එකේ තමා මට මං කරපු ගොන් වැඩේ තරම තේරුනේ.

කලින් සිද්ධිය වෙච්ච පන්තියේ පිරිමි ළමයෙක් ඇවිත් මට තුනට හතරට නවපු කොලයක් දීලා… සර්… මේක කාංචනා දෙන්න කිව්වා කියලා පස්සවත් නොබලා දුව්වා. ඇත්තටම මට ගෑණූ ළමයගේ නම මතක නෑ… මතක නෑ නෙමෙයි මං දැනන් හිටියෙත් නැද්ද කොහෙද. කාංචනා කියලා දැම්මේ මේක ලියන්න පහසුවට. පස්සේ ඉතිං මං කඩාදාසිය දිග ඇරලා බැළුවා.

මට හිතාගන්න බැරිවුනා… එක පාරක් කියෙව්වා… ලාවට මොලෙන් කරන්ට් එකක් ගියා වගේ, ආයමෙ කියෙව්වා… ඒ පාරත් හරියට තේරුනේ නෑ…. ඊට පස්සේ ආයෙම පුටුවක වාඩි වෙලා කොලේ මේසෙ උඩින් තියාගෙන කියෙව්වා…. හ්ම්… ඒ පාර තමා හරියටම ක්ලික් වුනේ.

ඒක ලියුමක්…. හත වසර පන්තියක ගෑණු ළමයෙක් එයාට වැඩිය අවුරුදු හයක් හතක්  විතර වැඩිමල් පිරිමි ළමයෙකුට, එහෙමත් නැත්තං තමන්ගේ ගුරුවරයෙකුට ලියපු පෙම් හසුනක්….! ගොඩක් විස්තර තිබුනා ඒත් මට මතක හිටියේ මෙච්චරයි….

මේ… පන්ඩිත සීයේ…. අද ඔයා ගෙදර යන්න හෝල්ට් එකට එනකම් මං බලාගෙන ඉන්නවා. ඔයා ගොඩක් පරක්කු වුනොත් හැමදාටම පරක්කු වුනයි කියලා හිතාගන්න.

මේ වචන ටික මට තාමත් මතකයි. ලියුම ගෙනත් දීපු පිරිමි ළමයව අමතක වුනත්, ලියුම ලියපු ගැණු ළමයගේ නම අමතක වුනත් මේ වචන ටික මට තාමත් මතකයි. මොකද මේ තමා මට හම්බුන පළවෙනි සහ අවසාන පෙම් හසුන.

මේ තරම් පුංචි කාලෙකදී මං වත් කෙල්ලෙකුට ලියුමක් ලියලා තිබුනේ නෑ. අඩුගානේ මෙච්චර ඇඩ්වාන්ස් විදියට හිතලාවත් තිබුනේ නෑ. මං පුංචි කාලෙදී විතරක් නෙමේ ස්කෝලෙන් අවුට් වුනාට පස්සෙවත් මේ තරම් සිරියස් විදියට මං කල්පනා කරලවත් නෑ… ඒත් මේ හත වසරේ පුංචි කෙල්ල කොයිතරම් දේවල් හිතලද…? ඒ හැම දෙයක්ම වුනේ මං පුංචි නංගි කෙනෙක්නේ කියලා ඔළුව අතාගාලා පන්ඩිත ආච්චි කියලා කියපු ටිකට.

මේ වගේ පොඩි දේකින් මේ තරම් ලොකු දෙයක් කරන්න පුළුවන් බවක් මං දැනගෙන හිටියේ නෑ. ඒත් ඉතිං මට කරන්න දේකුත් නෑ. මං ස්කෝලේ ආදි ශිෂ්‍යයෙක් වුනත් දැන් ගුරුවරයෙක්. අනික ඒ ළමයට වැඩිය මහ ගොඩක් නැතත් වැඩිමල්. ඔක්කොමත් හරි මෙච්චර පොඩි දේකින් මට කිට්ටුවෙන්න තරම් ආදරයක් උපදින්න විදියක් ඇත්තෙම නෑ… ඒක නිසා මං ඒ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වුවේ නෑ. ඇත්තටම මං එදා බස් හෝල්ට් එකට ගියේ නෑ. ස්කෝලේ ඇරියේ දෙකට. සමහර විට ඒ ළමයා තුන වෙනකන් වත් බලාගෙන ඉන්න ඇති. ඒත් මං ගියේ නෑ. මං මේ දේ අපේ සර්ටත් කියලා ලියුමත් පෙන්නුවා. පස්සේ මේක වැඩිදුර ගෙනිච්චොත් ඒ ළමයාගේ අධ්‍යාපන කටයුතු වලට ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා, මේ අවුල මින් පස්සට අවුලක් නොවෙන්න කටයුතු කරන්න මංම තීරණය කලා. ඒ පන්තිය ලැබ් එකට එන වෙලාවට මං පුස්තකාලෙට යන්නං කියලා සර්ටත් කියලා අවසර ගත්තා. පස්සේ මං ලැබ් එකේ යතුරත් ඉල්ලගෙන වෙච්ච දේ ගැන කල්පනා කර කර ඉඳලා ස්කෝලෙන් පිටත් වෙද්දී හතරට විතර ඇති.

ඒ ළමයට වැඩිය මම ෂොක් වෙලා හිටියේ. එදා යන ගමන් මං එක තීරණයක් ගත්තා…  මං ආයේ කිසිම දාක මං ආදරේ කරන කෙල්ලව හරි, කිසි දෙයක් නොතේරෙන අවුරුද්දක දෙකක කෙලි පොඩ්ඩක් ඇරෙන්න හරි, මොන්ටිසෝරි යන වයසේ කෙල්ලෙක්වවත් හුරතල් කරන්නේ නම් නෑ…! කියලා.

%d bloggers like this: