අක්කලාගේ ලයිට් එමිටිං ඩයෝඩ්….

ඊයේ අපි ගියානේ පොත් බලන්න… අම්මො තිබ්බ පොත් ගොඩ. කොච්චර තිබ්බත් මං ගන්න හිතාගෙන ගිය එව්වැයින් ගන්න පුළුවන් වුනේ එක පොතයි අනිත් පොත් වලින් එකක්වත් තිබ්බේ නෑ… ගත්ත පොතත් ගන්න වෙන්නේ නෑ… පිනිඹිඳු අක්කා ඒ පොත් ටික පෙන්නුවෙ නැත්තං.

ඉතිං ප්‍රදර්ශනේ ගැන මාධවයි, සිංහයයි පිනිබිඳු අක්කයි තුන්දෙනාම පෝස්ට් දාලා තිබ්බා.

මාධවගේ…. සිංහයාගේ පිනිබිඳු අක්කගේ

ඉතිං මං මේ කියන්න යන්නේ මං 10 වසරෙදි විතර පානදුරේ ගෑණු ළමයින්ගේ ස්කෝලක තිබ්බ තාක්ෂණික ප්‍රදර්ශනයක් බලන්න ගිහින් වෙච්චි සීන් එකක්. කොහොම හරි ඔය ප්‍රදර්ශනේ බලන්න එන්න කියලා අපිට ආරාධනාව ලැබිලා තිවුනේ ප්‍රදර්ශනේට සති දෙකකට විතර කලින්.  ඒක නිසා ඉතිං කහ පාට ෂර්ට් වෙනුවට සුදු පාට ෂර්ට් ලෑස්ති කරගන්න එහෙමත් කාලයක් තිබුනා. බාලිකා පාසලකට යද්දී ඉතිං කොච්චර කලු වුනත් කිරිකොකා වගේ යන්න එපැයි.

ඔහොම ගිහිං ගිහිං ප්‍රදර්ශනේ දවස ආවා. අපි ඉතිං සතිගානක් බලාපොරොත්තුවෙන් හිටිය දවසනේ… ඒක නිසා ඉතිං කොල්ලො ටිකත් කලින්ම ආවා. වැඩිය ඕනේ නෑ මමත් ස්කූල් වෑන් එකේ නොගිහිං ඒසී එකකයි ස්කෝලෙට ගියේ, ෂර්ට් එක පොඩි වෙයි කියලා බයට… ගෑණු ළමයින්ගේ නම් ඉතිං වැඩිය සුදානමක් නෑ… උන්ටනම් මොකද ඉතිං… අපිට එහෙම බෑනේ…!

පස්සේ ඔන්න ස්කෝලෙට ආවා කලින් ලෑස්ති කරපු සි.ටී.බී බස් එකක්. ඒකටත් අපි නැග්ගේ අන්තිමට, පොරකාලා සීට් අල්ලගද්දී  ඇඳුම් පොඩිවෙනවනේ… ඒක නිසා. කොහොම හරි විනාඩි 10කින් විතර ප්‍රදර්ශනේ තිබ්බ ස්කෝලෙට ගියා.

පස්සේ ඉතිං අපිත් එක්ක ගිය ගුරුවරයා අපිව රැස් කරලා කිව්වා, විනීතව හැසිරෙන්න කියලා. කොහොමත් පිට ස්කෝලෙකට යන්න කලිනුයි ගියාමයි කරන පළවෙනි වැඩේ තමා ඒක. අපිත් ඉතිං හා හොඳයි කියලා ඔලුව වනලා පිලිගත්තා.

පස්සේ ඔන්න යනවා පන්තියෙන් පන්තියෙට… ඒක ඇත්තටම තාක්ෂණික ප්‍රදර්ශනයක් කිව්වට හැම දෙයක්ම වගේ තිබුනා. මල් පැල, බෝනික්කෝ වගේ ඒවත් ප්‍රදර්ශනේට තියලා තිබුනා. ඊට පස්සේ ආයෙ වෙන පන්ති කාමර වගයක වෛද්‍ය විද්‍යාව අදාල ගැරඬි, නයි, ගෙම්බෝ  වගේ එවුන්ව බෝතල් වල දාලා තිබුනා. එදා තමා අපේ සමහර ගෑණූ ළමයි ගෙම්බන්ව එහෙම ලඟට දැක්කේ. ගෙම්බෙක් පයිනවා දැක්ක ගමන් සාමාන්‍යයෙන් ගැණු ළමයි ගෙම්බට වැඩිය හයියෙන් පයිනවනේ…

ඔය විදියට ටිකක් යද්දි එනවා ඉලෙක්ට්‍රොනික අයිටම්ස් තියන හරිය. ඒ දවස් වල විද්‍යාව පොතෙන් අපේ එවුන් කියෙවුවේ ඔය පාඩම විතරයි. ඇත්තට දැනට සාපේක්ෂව අපි ඒ දවස් වල ඉලෙක්ට්‍රොනික විද්‍යාව ගැන සෑහෙන ටච් එකේ හිටයේ. ඉතිං දැන් පනිති කාමරයක් පිරෙන්න එක එක ජාතියේ බලුප් පත්තුවෙනවා, නිවෙනවා… හරියට තොරනක් වගේ. තව තැනක වතුර පාරකින් ජල රෝදයක් කැරකෙනවා. එතකොට එක පොඩි ඩයිනමෝ එකකට සෙට් කරලා එකෙන් උපදින විදුලියෙන් බල්බ් එකක් පත්තු වෙනවා…. ඊට එහා පැත්තෙන් ට්‍රීං…. ට්‍රීං…. ගාලා විදුලි සීනුවක් නාද වෙනවා… ඔය වගේ වැඩ කෑලි ගොඩයි.

ඊට පස්සේ අක්කලා ටිකක වට වෙලා තවත් සර්කිට් එකක වයර් කෑලි එක්ක ඔට්ටු වෙනවා. මොකක් හරි හෙන වැදගත් සීන් එකක් වෙන්න ඕනේ මොකද , ඒක වටේටම කවර් කරගෙන තමා වැඩේ කරන්නේ. අපි ඉතිං හිමීට හිමීට ඒක හදලා ප්‍රදර්ශනේට දානකම්ම තැන් තැන් වල කැරකි කැරකි හිටියා.  ඒක ඔන්න මේසයක් උඩින් තියලා තව ඊට කිට්ටුවෙන් පොඩි බ්‍රිසිල් බෝඩ් එකක එල්.ඊ.ඩී එකක් එහෙම ඇඳලා… පොඩි විස්තර වගයක් පේන්න තියලා එහෙම වැඩේ පටන් ගත්තා. ඉතිං අපි තමා මුලින්ම ඒ අයිටම් එක බලන්නේ…

ඉතිං අක්කලාගේ මාහාර්ග වස්තුව තමා එල්.ඊ.ඩී දහයක් එක පැත්තකට විතරක් යන නයිට් රයිඩර් සිස්ටම් එක. ඒ දවස් වල අපි තරම් ඔය ගැන වෙන එකෙක්වත් දන්නේ නෑ… කොටින්ම කාර් එක හදපු එවුන්වත් එච්චර දන්නේ නැතුව ඇති. අපි හෙන ආසයි ඔය සර්කිට් එකට අයි.සී දෙකකුයි තව පොඩි පොඩි දේවල් දෙක තුනකුයි සෙට් කරගත්තම වැඩේ සිරාවටම කරන්න පුළුවන්. හැබැයි ඒ දවස් වල පොත් වල තිවුනේ එල්.ඊ.ඩී දහයක් එකපැත්තකට විතරක් හරි, එහෙම නැත්තං පහක් දෙපැත්තටම හරි වැඩ කරන සර්කිට් විතරයි. පස්සේ අපේ ඩැඩාගෙන් අහගෙන මං තනියම හැදුවා එල්.ඊ.ඩී දහයම දෙපැත්තට වැඩ කරන එකක්. ඒකට ඉතිං අයි.සී හතරයි… තව වෙනම පොඩි සර්කට් එකක් හදන්න වුනා. වැඩේ නකරම නෑ. ඉතිං එච්චර හරියක් කරපු අපිට තමා මේ අක්කලා ලොකු සීන් දාන්නේ… පස්සෙ ඉතිං කට්ටියම කතා වෙලා පොඩි බයිට් එකක් දෙමුයි කියාල ගියා අක්කලා ගාවට.

ඉතිං අපි එතෙන්ට ගිය ගමන් අක්කලා ටික පැනි හිනාව දාගෙනම කතාව කියන්න ගත්තා.

මල්ලිලා දන්නවද මේ මොකද්ද කියලා….

අපි එකෙක්වත් දන්නේ නෑනේ සුදු අක්කේ … කියන්න වගේ ඔලුව වැනුවා දෙපැත්තට.

පස්සේ ඉතිං ඕං පටන් ගන්නවා කතාව.

මේ තියෙන්නේ නයිට් රයිඩර් කියන කාර් එකේ ඉස්සරහ වැඩ කරන විදියේ ලයිට් පත්තුවෙන සර්කිට් එකක්…

එතකොට මොනාද අක්කේ මේ ලයිට්…? අක්කට කතාව ඉවර කරන්න වුනේ නෑ ‍දැන් අපේ බ්ලොග් ලියන එක කොල්ලෙක් ඇහුවා  ප්‍රශ්නයක්….

මේවට සිංහලෙන් කියන්නේ ආලෝක විමෝචක ඩයෝඩ කියලා…

එත‍කොට ඉංග්‍රිසියෙන්….?

ආහ්… ඉංග්‍රිසියෙන් කියන්නේ මල්ලි එල්.ඊ.ඩී කියලා…

අක්කා ඒ උත්තරේ දුන්නේ නම් නිකං අපි මොට්ට මෝල්ලු කියලා හිතාගෙන. අර මුලින්ම ආහ්… ගාලා අනිත් ‍අක්කලා දිහාත් බැළුවේ, අපිට කිංඩියට වගේ… දෙන්නං ෂොට් එක කියලා හිතාගෙන අර කොල්ලම ඇහුවා තව පස්නයක්…

එල්.ඊ.ඩී කියන එකේ තේරුම මොකක්ද අක්කේ….?

එල්.ඊ.ඩී කියන්නේ මල්ලි…. ලයිට්…. ම්ම්ම්ම්……………. ලයිට්…ම්ම්ම් ………………             …………………… පොඩ්ඩක් ඉන්න මල්ලි….

දැන් අපේ එවුන් අර කොල්ලගේ පිටිපස්සෙන් ඉඳගෙන පිටට අනිනවා… අපේ උනුට හිනාව නවත්ත ගන්නත් බැරි සයිස් එකක්. ඊට පස්සේ ඔන්න අක්කා උත්තරේ කියනවා…

ලයිට්… එම්ට්ට්ට්ට්ටිංග් ඩයෝඩ්….

හා…. හරි අක්කේ…. එ‍තකොට මොනාද අක්කේ මේ කළුපාට අඬු තියෙන හැකරැල්ලෝ වගේ ඉන්නේ…? ඒත් අර කොල්ලම තමා… අයි.සී එකක් පෙන්නලා තමා පස්නේ අහන්නේ…

ඒ මල්ලී අයි.සී කියන එක.

ආහ්…. එහෙමද ඒකටද අයි.සී කියන්නේ…..? ෂා මාරයිනේ…. (පිටිපස්සේ ඉන්න යාළුවෝ දිහා බලමින්)

එතකොට මේක ඇතුලේ ට්‍රාන්සින්ටර් කීයක් විතර තියෙනවද?

අක්කලා ටික මූනට මූන බලාගත්තා….

එච්චරම තමා… කට්ටයම ගල් වෙලා… එකෙක්ට වත් කට උත්තර නෑ…

අපේ කොල්ල ටිකට හෙන සන්තෝසයි හැපනින් සීන් එකට. ඉස්සරහින්ම ඉඳන් පස්න අහන කොලුවගේ පිට ඉවරයි ඉතිං.

අර කොල්ලත් පිටි පස්සේ ඉන්න අවුන්ට ඇහැක් ගහලා හැරෙන පමාවට අක්කලා සර්කිට් අරගෙන පැක් කරගෙන ආපු පැන්සල් පෙට්ටියට පැක් කරනවා…

හිනාව නවත්තගන්න අමාරු නිසාම තවත් අපහසුතාවයට පත් නොකර අර එල්.ඊ.ඩී එක ගැන ගහලා තිබ්බ බෝඩ් එකත් අපිම ගලෝලා දීලා අත් වලින් කටවල් වහගෙන ඊළඟ පන්තියට ගියා….!

ඒක එයාලා හදපු එකක් නම් වෙන්න බෑ… කාට හරි අයිය කෙනෙකුට හරි මල්ලි කෙනෙකුට  හරි කියලා හදෝගත්තු එකක්. ඒ වගේම දැන් තියෙනවා එල්.ඊ.ඩී 50ක් හෝ වැඩි ගනනක් වුනත් එකින් එක නිවි නිවී යන ගමන් ඊට පිටිපස්සෙන් නැට්ටක් වගේ සිරාවටම යන්න පී.එල්.සී වලින් කරපු සිරා සිස්ටම්ස්…

ඉතිං ආපහු අපි ස‍්කෝලෙට යන ගමන් හිතෙනවා… අනේ අක්කලයි අපියි දන්න නයිට් රයිඩර් …! කියලා.

%d bloggers like this: