බ්ලුග්.. බ්ලුග්… සමාන්තර ​ලෝකය….

මේකත් මං ස්කෝලේ යද්දී වෙච්චි සීන් එකක්. මං එතකොට එක වසරේ… ඉස්සර ඉතිං අපේ අම්මා මාව ස්කෝලේ ගේට් එකෙන් ඇතුලට දාලා, මං පන්තියට යනකම් ගේට් එක ගාවට වෙලා බලාගෙන ඉන්නවා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි, මං පන්තියට යන කම්ම පස්ස හැරී හැරී බල බල යන බව දන්න නිසා. අම්මා පේන්න නොහිටියොත් ඒ ටික වෙලාවට මං එදාට ස්කෝලේ ගියේ නෑ වගේ තමා. ආයේ මොනාද කෑගහගෙන අඬාගෙන දුවන්නේ ගේට් එක ගාවට.

ඉතිං එහෙම හිටිය කොල්ලතමා දැන් මේ එක එක චන්ඩි පාට් දාන්නේ. ඉතිං මේ සීන් එක වෙද්දී එක වසරේ මැදක් හරියේ. ඒ කියන්නේ අගෝස්තු නිවාඩු හම්බුවෙලා ආයෙම ස්කෝලෙ පටන් ගත්ත අලුත වගේ. ඒ දවස් වල තමා අපේ ස්කෝලේ බුදු මැදුර අලුතෙන් පේන්ට් කරලා, තිර රෙදි දාලා එහෙම ලස්සන කරමින් තිබුනේ. බුදු මැදුරට මෙහා පැත්තෙන් හෙන ලොකු වලකුත් හාරලා තිබුනා. පස්සේ ඔන්න ටික දවසක් යද්දී මේක පොකුණක් වෙලා.

පාට පාට මාළු… බුදු මැදුර ගාවින් යන්න බැරි තරමට සුවඳ එන මානෙල් මල් එහෙමත් ගෙනත් දාලා. ඉතිං අපි හැමෝම කරන්නේ, උදේ පාන්දරම ගිය ගමන් පොකුන අයිනේ තියෙන යෙලෝ ෆාම් ගාලට වෙලා පොකුන දිහා බලාගෙන ඉන්න එක. ඔය පොකුනේ හිටිය මාළු මහ නරක මාළු ටිකක්. මොකද… අපි ගොඩක් වෙලා බලන් ඉඳලා ඉඳලා පොකුන ගාවින් යන්න හදද්දිම පතුලේ ඉඳන් මෙච්චර වෙලා පේන්න හිටියේ නැති මාලුවෙක් මතුවෙනවනේ… ඉතිං කොච්චර බලන් හිටියත් ඉතිං ඇති වෙන එකක් කියලයෑ. උදේට ඉක්කෝලේ පටන් ගන්න බෙල් එක ගහන කම්ම අපි එතෙන. ඊට පස්සේ ඉන්ටවල් එකට කෑම කාපු ගමන් ආයෙමත් පොකුන ගාව.

පොකුනේ වැඩි හරියක්ම හිටියේ සාරි ගප්පි. ඊට පස්සේ කාෆ්  ජෝඩු දෙකක් හිටියා. කාෆ් ලට වැඩිය ඒ දවස් වල නම් මං ආසා සාරි ගප්පිංට. අම්මෝ උංගේ ලස්සන. කවදාවත් එක වගේ සාරිය තියෙන මාළු දෙන්නෙක්ව මට දැක ගන්න පුළුවන් වුනේම නැහැ. ඉතිං ඔහොම බලන් ඉඳලා තමා අම්මට සාරි තෝරද්දී මට හොඳට සාරි තෝරන්න පුළුවන් වුනේ.

අපි ඉන්ටවල් එකට කාපු ගමන් පොකුන ගාවට යන්නේ රංචු ගැහිලා. පොකුන මහ ලොකු එකක් නොවුනට අපි හතලිස් දෙනෙකුට විතර ඒක වටේ හිටගෙන ඉන්න පුළුවන් තරමට ලොකුයි. ඉතිං ඔහොම අපි හැමදාමත් පොකුනේ සිරි නරඹනවා.

ඔන්න ඉතිං දවසක්දා පොකුන දිහා බලාගෙන ඉද්දී… එක පාරටම මාව නිකං උඩිං විසි වෙනවා දැනුනා. ඊට පස්සේ බලද්දී මේං මගේ වටේටම ලා කොල පාට වතුරු වගේ ජාතියක්. ඒ අස්සෙන් මට හුස්ම ගන්න බෑ… තියෙන හුස්ම ටික පිටකරද්දිත් මහ අමුතු සද්දයක් එන්නේ… නිකං බ්ලුග්… බ්ලුග්… ගාලා වගේ ලොකු බුබුලු එක්ක තමා හුස්ම පිට වෙන්නේ. ඒත් මට මීටර් නෑ මොකද්ද වුනේ කියලා. මට දැන් අම්බානෙට බයත් එක්ක. මොකද මගේ වටේට හිටිය යාළුවෝ එකෙක් වත් පේන්නේ නෑ. හරියට නිකං අර මායාබන්ධන එකේ පෝල් ගියා වගේ සමාන්තර ලෝකෙකට ගිහිං වගේ. ඇත්තටම මක්කෙයි මේ වුනේ කියලා හිතාගන්නවත් බෑ. කොහොම හරි ඇඟට සීතලත් දැනෙනවා. මං ටිකකට කලින් පස්ට දාඩියක් දාගෙන පොකුන දිහා බලාගෙනනේ හිටියේ. ඒත් එක පාරටම වටේම නිල් පාට වෙලා මට සීතලත් දැනෙනවා. ඒකත් හරියට අර හත්පෙති මලේ ෂේන්යා නංගි උතුරු කෙලවරට ගිය සීන් එක වගේ.

ඒ මදිවට මගේ කකුල කොහෙවත් වදින්නෙත් නෑ. හරියට නිකං වලාකුලු වල වගේ පාවෙනවා. පස්සේ කව්දෝ මන්දා එකෙක්ගේ අතක් වගේ එකක් උඩ තිබ්බ කොල පාට තිරයක් වගේ එකකින් ආවා, මගේ වටේට දෙපාරක් විතර කැරකුනා… බෲස්… ගාලා උඩට ඉස්සුනා. මට එක පාරටම ඇස් ඇරගන්නත් බෑ… අර සමාන්තර ලෝකේ ඉඳලා ආපහු හිටිය ලෝකෙට ආවාම ඇස් දෙක රිදෙනවා ඇ‍ඬෙන්නම. පස්සේ ඉතිං කව්දෝ මන්දා මාව අරගෙන බිමින් තිබ්බා. එත‍කොට තමා ටිකක් බය ඇරුනේ… ඇයි ඉතිං කකුල් දෙක පොලොවේ වැදුනනේ.

ඒ පාර ටිකකින් ඇස් දෙකත් ඇරගන්න පුළුවන් වුනා. ඊට පස්සෙ තමා මං දන්නේ මොකද්ද වුනේ කියලා. අක්කලා වගේකුයි අයියලා සෙට් එකකුයි මාව වට කරගෙන. මගෙන් ප්‍රශ්නම අහනවා. මං හිතන්නේ එයාලටත් පුදුමයි මං සාමාන්තර ලෝකෙට ගිය එක ගැන.

මල්ලී ඔයාට හුස්ම ගන්න පුළුවන්ද…?

වතුර පෙවුනද පැටියෝ…?

ඇස් රිදෙනවද මැණික….?

අම්මේ… පැනි බේරෙනවා. අයිය කෙනෙක් සාලුවකුත් අරගෙන දුවගෙන ඇවිත්, අපේ තාත්ත මාව නාවලා ඔලුව පිහිදන්නා වගේ ඔලුව රත් වෙනකම්ම පිහිදනවා. හරියට අර අභ්‍යාවකාශෙට ගිහිං එන අයව වායු ‍නිරෝධායන කුටියකට දාලා පිරිසිදු කරනවා වගේ. ඔන්න ඊට පස්සේ තමා මට වචනයක් කියන්න කට ඇරගන්න පුළුවන් වුනේ… ඒ ගමන්ම මං පටාර් ගාලා අර ලෝකෙට නමක් දාගත්තා. නම තමා බ්ලුග් බ්ලුග් ලෝකය. කවුරු හරි ඇහුවොත් එහෙම කියන්න පුළුවන් වෙන්න එපැයි.

ඊට පස්සේ මට මතකයි මං, ලඟ හිටිය අක්ක කෙනෙක්ගේ අතේ එල්ලිලා එයාගේ මූන දිහා බලලා ඇහුවා…

මොකද වුනේ… කියලා. පස්සේ එයා මගේ ගාවින් දනගහගෙන මගේ අවුල් වෙච්චි කොන්ඩෙ හදන ගමන් කිව්වා, මල්ලි කෙනෙක් ඔයාව පොකුනට තල්ලු කරලා දිව්වා කියලා. මට ඉතිං එච්චර ගානක් නෑ… මොකද්ද වුනේ කියලා. පස්සේ ඔන්න අක්කලා ටික මාව එක්කරගෙන එයාල‍ාගේ පන්තියට ගිහින් පුටුවක් තියලා වාඩි කරගත්තා මැද්දෙන්. ඊට පස්සේ එන එන මිස් මගේ ඔලුව අතගාලා මොනාදෝ කියලා යනවා. මං හිටියේ ඔලුව ඩෙස් එකට තියාගෙන. අර ගෑණු ළමයි 8 වසර වගේ පැන්නම ඔලුව කැක්කුමයි කියලා ඩෙස් එකේ  ඔලුව තියාගන්නේ අන්න ඒ විදියට.

පස්සේ තව අක්ක කෙනෙක් මගෙන් නම ඇහුවා. මං ඉතිං නමත් කිව්වා. පන්තියත් ඇහුවා ඒකත් කිව්වා. පස්සේ ඔන්න එයා අපේ පන්තියට ගිහිං මගේ බෑග් එක උස්සං එනවා. ඊට පිටිපස්සෙන් අනේ පංති භාර අනුලා මිස් එනවා. මට ඉතිං හිතාගන්න බෑ, මොනාද කරන්නේ කියලා. මාත් ඔන්න ඔහේ හිටියා. පස්සේ අපේ මිස් ඇවිල්ලා ආයෙමත් ඔලුව අතාගාල මොන මොනවද කියලා ගියා. පස්සේ ස්කෝලේ අපේ පන්තිය ඉවර වෙන වෙලාවට අර අක්කලාම ගිහිං අම්මට මාව භාර දීලා සීන් එකත් කිව්වා. ඒත් ඉති මට වැඩිය මීටර්නෑ මොනා වුනාද කියලා. පස්සේ අම්ම වැඩට යන්නෙත් නැතුව කෙලින්ම මාව ගෙදර එක්කන් ගියා. ඒ ගිහිං නිදා ගෙන නැගිට්ටේ පස්සෙන්දා උදේ. සමහර විට මැදක් හරියෙදී මං නැගිටින්න ඇති. එව්වා මතක නෑ…

ඊට පස්සේ ආයෙමත් උදේ ඉක්කෝලේ ගියා. එදානම් අම්මා මාව පන්තියටම ගිහිං ඇරලුවා. පස්සෙ ඔන්න ගාථා කියලා එහෙම ස්කෝලේ පටන් ගත්තා. අපේ මිස් ඇවිත් … දැන් කොහොමද පුතා කියලා අහද්දී තමා මට ඊයේ සීන් එක මතක් වුනේ. පස්සේ ඉතිං මං කිව්වා කව්ද මාව පොකුනට තල්ලු කලා කියලා. ඊට පස්සේ තමා මිස් සීන් එක කිව්වේ…

ඔයාව තල්ලු කරලා තියෙන්නේ තනූජ… එයාට මං දුන්නා හොඳ වේවැල් පාරක්… කියලා තනූජව පෙන්නුවා. මෑන්ස් හොඳටම බය වෙලා. මිස් කිව්වට වේවැල් පාරක් කියලා මට පේන්නේ පස්ස පැත්තේ පාර හිටින්න දීලා තියෙනවා.

පස්සේ ඉතිං මට සීන් එක සැරින් සැරේ මතක් වුනාට එච්චර ගානක් නෑ. ඒත් තනූජයා මට කරපු ‍වැඩේට, ඒ කියන්නේ රෙවේන්ජ් ඔ‍ෆ් ද මයි ඉන්සිඩන්ට් කියන විදියට මං පොරට දුන්නා ගේමක් පහ වසරෙදි ආයේ කෙල්ලෙක්ගේ මූනක් බලන්න බැරි වෙන්න.  එදා ඉඳන් ස්කෝලෙන් අස් වෙනකම්ම කෙල්ලෝ, පහ වසරෙදි වෙච්චි සීන් එක මතක් වෙද්දී මෑන්ස්ව දැක්කම හිනා වෙනවා.

මට මේ දැන් මතක් වුනේ… එදා පොකුනට වැටිච්ච වෙලාවේ මට සිහිය නැති වුනානම් ෂෝක්. එහෙමනම් ලඟ හිටිය අක්‍කා කෙනෙක් මට කෘතිම ශ්වසනය දෙන්නත් තිබ්බා…. ආව් එහෙම වුනානම් එහෙම….! 😦

%d bloggers like this: