මේ ඔයා ටිකට් ගත්ත නේද…?

ඉස්සර ඉක්කෝලේ යද්දී හැමදාම නැතත් මාසෙකට දවසක් වත් අපි සල්ලි නොදී හොරෙන් යනවා බස් එකේ… ඒ ඉතිං සල්ලි ඉතුරු කරගන්න. ඉතුරු වෙන සල්ලි වලින් කරන්න ඕනේ තරම් දේවල් තිබුනා ඒ දවස් වල. හැමෝම ඔහොම සල්ලි එකතු කරලා, මට මතකයි අපි එක පාරක් ගත්තා කුකබුරා බැට් එකක්. ඊට පස්සේ ටෙනිස් බෝල් ටින් දෙකක්ද කොහෙද… ඊට පස්සේ ඉතුරු වෙන සල්ලි වලින් කැන්ටිමට ගිහින් බඩ කට පුරා කෑවා… තවත් රුපියල් හැටක් විතර ඉතුරු වුනොත් ස්කෝලෙට එහා පැත්තේ කඩෙන් පහේ ටොපි 5ක් ගේනවා. මං නම් ඒකට නෑ…

ඉතිං ඒ ඉස්සරනේ… අපි ඔය සල්ලි ඉතුරු කරන්න හිතාගෙන බස් එකේ හොරෙන් යද්දී, ගොඩ දවසට කොන්දා අපිව හොයාගෙන බස් එකේ එහා කොනේ ඉඳන් එනවා සල්ලි ඉල්ල ගන්න. මොකද මෑන්ස් දන්නවා අපි හොරු කියලා. හැමදාම එකම බස් එකක නොගියත් අපි නගින බස් වල කොන්දෝ දන්නවා අපි යන්නේ හොරෙන් කියලා. ඇත්තට අපිට හිතාගන්න බැරුව හිටියේ කොහොමද මූ අපේ හොරේ අල්ලන්නේ කියලා… හැබැයි කවදාවත් ඉතිං බැනුම් අහන්නේ නම් නෑ, සල්ලි ඉල්ලුවොත් දුන්නා. නැත්තං නෑ… සමහරදාට නම් හෝල්ට් එකෙන් බැස්සමත් ඇවිත් සල්ලි ඉල්ලගෙන තියෙනවා. එත‍කොට නම් ඉතිං ආ… අද හරි… සල්ලි ටික ඉතුරුයි කියලා හිතේ ඇති කරගත්ත පරම පිවිතුරු චේතනාව එතෙනම මිය යනවා.

දැන් ඉතිං අපි ලොකුයිනේ… ඒක නිසා හොර වැඩ කරන්නෙ නෑ. කොටින්හ අපි දැන් හොඳම හොඳ ළමයි. ඒත් ඉතිං පුංචි කාලේ සීන් මතක් වෙද්දී ආයෙම ඒ කාලෙට යන්න හිතෙනවා. කොල්ලෝ එක්ක එකතු වෙලා  බෝල් ගහනඑව්වා, මඩ නාගෙන වැස්සේ නටන එව්වා එහෙම දැන් කරන්න අමාරු වුනාට, බස් ‍එකේ හොරෙන් යන එක එහෙම නෙවෙයිනේ ඉතිං…. සල්ලි නොදී බස් එකේ යන එක ඕනෙ කාලෙක කරන්න පුළුවන් දෙයක්.

ඉතිං ඊයේ පෙරේදා දවසක මට ආයෙමත් බස් එකේ හොරෙන් යන්න හිතුනා. වැඩිහරියක්ම එහෙම හිතුනේ ඉස්සර වගේ දැනුත් මම මාට්ටුවෙයිද කියලා බලන්න. වෙලාව කියන්නේ මගේ සහයට කට ඇති දුවෙකුත් සපෝට් එකට ආවා. ඒ අපේ ඔෆිස් එකේ නංගි කෙනෙක්. හරි ෂෝක් කෙලිපොඩ්ඩ.

අපි දෙන්නම පානදුර පරණ පාර බස් එකකට නැගලා තැන් දෙකකින් වාඩි වුනා. මුලින්ම මම කියලා තිබුනේ මම ටිකට් ගන්නම් කියලා. ඒක නිසා ඉතිං අර ළමයත් මැසේජ් වගයක් කොට කොට එයාගේ අයිතිකාරයත් එක්ක චැටක් දාගෙන යනවා. දැන් ඔන්න රාවතාවත්ත හරියට ආවා. කොන්දා මල්ලි එනවා…

ටිකට් ගත්තේ නැති අය ටිකට් ගන්න කියාගෙන…

දැන් ඉති කෝකටත් කියලා මාත් රුපියල් 100ක් අතේ ගුලි කරගෙන ඉන්නවා. මූ ඉල්ලුවොත් දෙනවා නැත්තං නෑ… පස්සේ ඉතිං මාව පාස් කරං පොර ගියා. සල්ලි ඉල්ලුවේ නෑ… තව දෙතුන් පාරක් මගේ දිහා හොඳට බලාගෙන ගියා… ඒත් සල්ලි ඉල්ලුවේ නෑ… පස්සේ බැරිම තැන මං ගහගත්තා හෙඩ් සෙට්එක කන්දෙකේ… ආතල් එකේ සිංදුවකුත් අහගෙනම සීන් එක ගැන හිතනවා. දැන් සල්ලි ඉල්ලයි, දැන් සල්ලි ඉල්ලයි කිය කිය හිටියත්… මොන කොන්දා මගෙන් ටිකට් ගත්තා නේද කියලවත් අහන්නේ නෑ….  ඒ අස්සේ මටම තේරෙනවා වෙනසක්. පුංචි කාලේ ටිකට් අරං හොරෙන් යද්දී මට බය හිතුනට, දැන් එව්වට ඉඩ නෑ… ඒ බය වෙනුවට දැන් මට කොන්දව දකින දකින පාරට හිනා යනවා. හරියට නිකං මලක් ගහලා වගේ.

පස්සේ අර නංගිත් මගෙන් මොකද්ද මංදා ඇහුවා… මට තේරුනේ නෑ මොන ඇහුවද කියලා… හෙන ලස්සන සිංදුවක් අහ අහ හිටියේ… ඒක නිසා අහපු දේ ඇත්තටම ඇහුනේ නෑ. පස්සේ ඉතිං පරන පාරෙන් දාලා ආයෙම වලාන හංදියෙන් ගාලු පාරට වැටිලත් කොන්දා මගේ දිහා බලනවා. ඒත් ඉතිං සල්ලි ගැන අහන්නේ නෑ… මූ බලන්නෙත් මගේ දිහා විතරයි. අර ළමයා දිහා බලන්නේ වත් නෑ.. ඉතිං මං ආයෙමත් හිතාගෙන හිටියේ මූ දැන් සල්ලි ඉල්ලයි… දැන් සල්ලි ඉල්ලයි කියලා… ම්හු… ඒත් නෑ…

කොහොමත් පොරට මගෙන් කෙලින්ම අහන්න විදියක් නෑ සල්ලි දුන්නද කියලා. මොකද මං ඔව් කිව්වත් නෑ කිව්වත් පොරට පිළිගන්න වෙනවා. කොන්දා සල්ලි ගත්තට කාටවත් ටිකට් දුන්නේ නෑ. ඒක නිසා ඉතිං මට පොඩි බේරුමක් තිබුනා එතෙන.

පස්සේ ඔන්න අන්තිමේ පානදුරේටම ආවා. ඉතිං බස් එක නැවැත්තුවම අපි දෙන්නම බැහැලා ස්ටෑන්ඩ් එකට යනවා. මෙන්න යන ගමන් අර ළමයා අහනවා…

මේ ඔයා ටිකට් ගත්තා නේද…?

මට ඉතිං නෑ කියන්න පුළුවන්යැ… එහෙම කිව්වොත් මේකි හිතයි මං මහ හොරෙක් කියලා. ඒක නිසා මං ඔළුවේ අතක් ගහගන්න ගමන්ම… මලා… මට අමතක වුනානේ කිව්වා… ඊට පස්සේ ඉතිං පොඩි ධර්ම දේශනයක් අර ළමයාගෙන්… අන්තිමටම දේසනාව ඉවර වුනේ… හරි ෂෝක්… ඔහොම අමතක වෙනවා නම්….! කියලා.

ඊට පස්සේ ඉතිං ඒ ළමයව බස් එකට දාලා මාත් නැග්ගා කළුතර එකකට. එතකොට තමා මට මෙහෙම හිතුනේ.

1. ඉස්සර මාව බස් එකේදි කොන්දා සල්ලි දුන්නද නැද්ද කියලා අල්ලා ගත්තේ මගේ මූනේ ඉරියවු වලන්. මොකද ඒ දවස් වල බයෙන් හිටිය නිසා ඒ බය ගතිය මූනෙන් පේන්න ඇති. බය ගතියට වැඩිය හොර ගතිය පේන්න ඇති. දැන් ඉතිං එහෙම නෑනේ… මෙදා පාර ගියේ හෙන ෆන් එකේ හිනා වෙවී නිසා කොන්දා මඥ්ඥං වෙන්න ඇති.

2. අනික තමා මට ඉස්සරට වැඩිය හොඳට මේ වැඩේ දැන් කොරන්න පුළුවන් වගේ. මොකද ඉස්සර මං විතරක් තනියම හොරෙන් ගියාට මෙදා පාර ගියේ තවත් එක්කෙනෙක් එක්ක. ඒ කියන්නේ මං දෙපාරක් හොරෙන් ගියා වගේනේ…. එක ට්‍රැවල් එකෙන් දෙපාරක් හොරෙන් ගිහිං නේ තවත් විදියකට කියනවනම්…!

3. දැන් මේක කියෙවුව එවුන් හිතයි මූ නම් මහ හොරෙක් කියලා. මොකද මේක මං ලියන්න හිතාගෙන හිටිනිසා කියෙවුවම අනිත් අයට හිතෙන එව්වත් මට නිකමට වගේ හිතුනා. එහෙම හිතන්න එපා… මේකත් මේ පුංචි කාලෙට ආයෙම යන්න පුළුවන්ද, එහෙමත් නැත්තං පුංචි කාලේ කරපු දඟ වැඩ ආයෙමත් කරන්න පුළුවන්ද කියලා බලන්න කොරපු වැඩක් විතරයි.

කොහොම හරි ඇත්තටම මට පුංචි කාලේ කරපු එක වැඩක් නම් ඒ දවස් වලටත් වැඩිය හොඳින් කරන්න පුළුවන් වෙච්චි එක ගැන නම් හෙන සන්තෝසයි….!

%d bloggers like this: