කෙල්ලෝ තුනයි… මං තනියෙන්… අනේ අප්පෝ, මොනා වෙයිද….?

මේ පොඩි ගමනක් යන්න එනවද…?

ඈ ඔයත් එක්ක….?

ඔව් බං…. මායි තව කෙල්ලෝ දෙන්නෙකුයි යනවා…

ඈ……. කෙල්ලෝ තුන් දෙනෙක් එක්ක මං තනියෙන්….!

ඔව් ඕයි.. එනවද….?

අපේ ඔෆිස් එකේ යාළුවෙක් ලබන මාසේ හිරේ යනවා. නඩුව අහලා වැරැද්ද පිළිඅරන් තියෙන්නේ දැන්. ඒක වුනේ ගිය මාසේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ දකුණු අතේ මැද ඇඟිල්ලට එහා ඇඟිල්ලට මාංචුව දාන එක විතරයි. ඊට පස්සේ ඌ මැරෙන කම්ම හිරේ. ඉතිං අපිටත් ආරාධනා කරා පොරගේ හිරේයෑමේ දුක්ඛ දායක අවස්ථාවට සහභාගී වෙලා සතුට බෙදා ගන්නයි කියලා.

අපි ඉතිං ඔය වගේ එවුවට බෑ කියනවැයි…! අපි කොහොමත් යන්න තමා හිටියේ ආරාධනා නොකලත්. මොකද ඉතිං අපේ ඔෆිස් එකේ එකානේ. ඒක නිසා. ඉතිං දැන් ඔය සතුට බෙදාගන්න යන්න නිකං බෑනේ. අළුත් ඇඳුම් ගන්න ඕනේ, පොරට තෑග්ගක් ගන්න ඕනේ… ඔය වගේ විවිධාකාර දේවල් ගොඩයිනේ. ඉතිං අපේ ගෑණූළමයි කට්ටියටත් ඇඳුම් ගන්න යන්න ඕනේ වෙලා. පිරිමි වෙච්චි අපිනම් ඉතිං යටට එකයි උඩට එකයි ඔක්කොම ඇඳුම් කෑලි හතරයිනේ. ගෑණූ එහෙමයැ… අඳිනවා.. අඳිනවා ඉවරයක් නෑ… යටටයි, උඩටයි, මැද්දටයි…. අපෝ කියල ඉවරයක් කරන්න බෑ. පවුල් වෙලා ඉන්න උපාසක මහත්තරු ඒ ගැන දන්නවනේ ඉතිං.

ඉතිං ඔය අපේ අක්කලා නංගිලා කට්ටියට ඇඳුම් ගන්න යද්දී මටත් එන්න කියලා බොහොම රහසිගත විදියට අපේ ඉන්ටර්නල් මැසෙන්ජර් එකෙන් ආරාධනාවක් ආවා. මමත් ඉතිං උඩබිම බැළුවා වැරදිලාවත් ආපු එකක්ද කියලා…  නෑ නෑ… බලද්දී සිරාවටම මට ඇඩ්රස් කරලා ආපු එකක්….

පස්සේ ඉතිං මටත් හෙන ආඩම්බරයිනේ… මෙච්චර කොල්ලෝ ඉන්දැද්දි මටම කතා කරාම. මාත් ඉතිං වැඩිය ලොකු කම් පෙන්නන්න ගියේ නෑ…

හ්ම් බලමු…. නෙක්ස්ට් වීක් නම් බෑ… ඊට පස්සේ ඕනේ නම් යමු…. කියල මං කිව්වා.

හා… හා… කමක් නෑ… කියලා අනිත් පැත්තෙන් කිව්වා….

දැන් ඉතිං මං මේ කම්පනා කරන්නේ මං ගිහින් මොනාද කරන්නේ කියලා. මොකද මං ගෑණුන්ට ඇඳුම් තෝරන්න දන්වා කියලයැ. මට ෂර්ට් එක ගේන්නෙත් අපේ අම්මා. අවුරුද්දට වුනත් ඇඳුම් ගන්න යන්නේ තාම අම්මා එක්ක. අපිට ඉතිං ඇඳුම් තෝරලා දෙන්න වෙන කවුරුත් නැහැනේ…. හැබැයි මං තමා අපේ අම්මට සාරි තෝරන්නෙ නම්. අපේ තාත්තට වැඩිය හොඳට මට සාරි ‍සිලෙක්ට් කරන්න පුළුවන් කියලා තමා අම්මා කියන්නේ. ඒ ඉතිං සාරිනේ… අක්කලා තුන් දෙනා සාරි ගත්තොත් නං මොනා හරි ජිරිබිරිස් එකක් කරලා සාරි තුනක් තෝරන්න පුලුවන්. එහෙම නැතුව වෙන වෙන එව්වා ගන්න ගියොත් නම් මං ඉවරයි. ඔය ඔක‍්කොටම වැඩිය හපන්  මුං තුන් දෙනා ඇඳුම් ‍තෝරනකම් මට ඇවිදින්න වුනාම.

හැබැයි ඉතිං මට ඉස්සරහට සොපින් යෑම මොන වගේද කියල දැන ගන්නත් එක්ක මේ ගමන එක ගැන දෙපාරක් හිතන්න ඕනේ නෑ වගේ. කවද හරි මටත් යන්ඩ වෙනවනේ සාරි ගන්න….! අනික මුං තුන්දෙනා මටම කතා කරලා තියෙන්නේ මගේ කල් කිරියාව හොඳයි කියලනේ… අනේ මගේ මේ බ්ලොග් එක නොකියවන අය ඉන්න එකත් කොයිතරම් දෙයක්ද කියලා දැන් තමා හිතෙන්නේ…!

ඔය ඔක්කොමත් හරි මට නිකං ලාවට වගේ බයත් හිතෙනවා කුමාරිකාවගේ යාළුවෙක්වත් දැක්කොත් මට මාලිගාව තහනම් වෙයිද කියලා…. අනික මුං මාව අපහරනය කරයිද කියල කියන්නත් බෑ… එහෙව් බඩු තුන.  තව…. උං ගන්න බඩුත් උස්සං එන්න වෙයිද දන්නේ නෑ… කෝමත් මං ඉතිං පුංචි එකා නිසා, ළමා රක්ෂක මන්ඩලේ රක්ෂනයක් දාගෙනම යන්න තමා හිතාගෙන ඉන්නේ…!

මුකුත් කියන්නත් බෑ… අක්කලානේ…. ඊටත් වැඩිය මේ වගේ චාන්ස් එකක් වදින්නේ හෙන කලාතුරකින්නේ… මේ චාන්ස් එක මිස් කරා කියන්නේ… මෙන්න මේකේ අන්තිම හරිය වගේ තමා…

%d bloggers like this: