හැමදාම යාළුවෝ…!

මේක  ඇත්තටම මට ලියන්න හිතුනේ අපේ සිංහයා එයාගේ ස්කෝලේ යාළුවෙක් වෙචිච මලින් ගැන දාපු පෝස්ට් එක කියෙවුවම…

මං විශ්වාස කරන විදියට අපිට පුංචි කාලේ, ඒ කියන්නේ හරියට අකුරක් ලියාගන්න බැරි කාලේ ගොඩ නැගුනු යාළු මිත්‍රකම් බොහොම වටිනවා. මොකද ඒ දවස් වල අපිට මහලොකු වත්කමක් තිබුනේ නෑනේ. තිබුන පුංචි පුංචි වත්කම් තමා අළුත් පැන්සල් පෙට්ටියක්… අළුත් සුවඳ ගහන මක්කයක්. තුඩවල් මාරු කරන පැන්සලක්… , එහෙම නැත්තං දවල්ට කන්න ගෙනියන සැන්ඩ්විච් එක…. එග් රෝල් එක වගේ එව්වා. ඒ දේවල් නිසා බැඳිච්ච මිතුරු කම හරිම ‍සොඳුරුයි. කිසිම කපටි කමක් නෑ…

ඉස්සර අපි එකට සෙල්ලම් කලා ගහමරා ගත්තා… ඒත් ඒ ටික වෙලාවකට විතරයි. ආයෙමක් ස්කෝලේ ඉවර වෙද්දී අපි හොඳ යාළුවෝ. ඒ දවස් වල අපිට හිටිය යාළුවො එක්ක දැන් නම් මට කතා කරන්න ලැබෙන ඉඩත් ගොඩක් අඩුයි. ගොඩ දෙනෙකුගේ මොබයිල් තිබුනත් සමහර එව්වා වැඩ කරන්නේ නෑ… අවුරුදු ගානකට කලිං අපි ඉල්ල ගත්ත නම්බර්ස් දැන් පාවිච්චි කරන්නේ නෑ… ඒ වගේම ඔය කොච්චර නොම්මර තිබුනත් කෝල් එකක් දෙන්න වෙලාව හොයාගන්න බෑ… මොකද අනිවාර්යෙන් ඒ වගේ කෝල් එකක් පැයක් දෙකක් විතර දිගට ඇදෙනවමයි…  ඒ වගේ දේවල් නිසා අපි සෑහෙන්න ඈත් වෙලා. ඇත්තටම මට නම් දුකයි.

ඉතිං ඒ වගේ හොඳම හොඳ යාළුවෝ ගොඩක් ඒ දවස් වල අපිට හිටියේ අපිට කිසිම දෙයක් නැතුව. අර කලින් කිව්වත් වගේ කිසිම වත්කමක් නැති කාලේ. ඒ දවස් වල අපේ යාළුවෝ අපෙන් කිසිම බලාපොරොත්තු වුනේ යාළුකම විතරමයි….! කට්ටිය එක්ක එකෙක්ව අල්ලං බයිට් කලාම, බයිට් වෙච්ච එකා පැත්තකට වෙලා දුකින් ඉන්නවා. ඒක දැක්කම අනිත් උංටත් දුකයි. ඉතිං ගිහිල්ලා දුකින් ඉන්න එකාව හිනස්සන්න කරන එව්වා… කොහොම හරි මෑන්ස්ව හිනස්සලා තමා පස්ස බලන්නේ. ඊට පස්සේ අපි හිටියටත් වැඩිය යාළුයි.

අපේ ස්කෝලේ ගෑණු ළමයිනුත් හිටියනේ. ඉතිං එයාලත් අපේ යාළුවෝ. වැඩිය ඇඟෑළුම් කම් වලට නොගියම අ‍පේ පන්ති වල කෙල්ලෙකුට කවුරු හරි මොනා හරි කියලා තිබ්බොත් කොල්ලෝ ටික තමා යුධ ප්‍රකාශ කරන්නේ. අන්තිමේ ගහගන්නවත් එක්ක. ඒත් ප්‍රින්සිපල්ගෙන් ගුට්ටක් කාපු ගමන් තරහා කාරයෝ ඔක්කොම හොඳ යාළුවෝ…. ප්‍රින්සිපල් තමා එතකොට ඔක්කොගෙම හතුරා….! අම්මෝ ඒ වගේ සීන් කීයක් වුනාද….?

කීපාරක් අපේ පන්තියේ කෙල්ලෝ නිසා ගහගත්තද… එක පාරක් කව්ද එකෙක් ගුවන් ප්‍රහාරයක් එල්ල කරලා මගේ ඔලුවත් පැළුනා. පස්සේ බෙහෙත් දාන්න අරගෙන ගියෙත් ඌමයි කිව්වොත් විස්වාස කරනවද…? ඌ මගේ ඔලුව පැලුවට මං කවදාවත් පොර එක්ක තරහා වුනේ නෑ… වුනේ හිටියටත් වැඩිය ෆිට් වෙලා අඹ යාළුවෝ වුන එක විතරයි. ඇත්තට අපේ ස්කෝලේ හරි පුදුමයි. අපේ ස්කෝලේ එකෙකුට පිට ස්කෝලේකින් ගහන්න ආවොත් එහෙම වලියට යන්නේ අදාල පන්තියේ එකා විතරක් නෙමේ… උගේ යාළුවොයි යාළුවොන්ගේ යාළුවොයි… සමහර වෙලාවට සර්ලත් එක්ක…. සර්ලා ගියාමනම් ඉතිං වලිය සෝදා පාළු වෙනවා… එදාට ඉතිං ගෙදර ගිහිං තමා අතේ හිරි අරින්න වෙන්නේ…!

ඇත්තටම දැන් නම් ඒ අය ‍ගොඩක් දුරස් වෙලා. ඉතුරු වෙලා ඉන්නේ ටික දෙනයි. ඉස්සර පුංචි කලේ මොන්ටිසෝරි යද්දී, මාව මකරට කන්න දාලා බයේ පැනලා දුවපු මහේෂ් එක්කෙනෙක්. ඌ තමා මගේ පරණම ෆ්‍රෙන්ඩ් කනෙක්ෂන් එක දැනටත් පවතින.  පොරයි මායි එකටමයි මොන්ටිසෝරි ගියේ… එකටමයි ස්කෝලේ ගියේ… මං කොච්චර වයසට ගියත් මගේ වයසට වැඩිය අවුරුදු 3ක් විතරයි ඒ ෆ්‍රෙන්ඩ් ෂිප් එකට අඩු. දැන් පොර ශ්‍රී ලංකා විශේෂ කාර්යය බලකායේ වැඩ. කැතම සීන් එක කියන්නේ පොරයි මායි ඒ දවස් වල හෙනම ආසාවෙන් හිටියේ හමුදාවට යන්න. ඒත් ඉතිං කව්ද හිතුවේ හමුදාවට යන්න කලින් ගෙදරින් අවසර ගන්න ඕනෙයි කියලා. කොහොම හරි පොර ගෙදරට මොකක් හරි ලොකු බෝලයක් බස්සලා අවසර ගත්තා, මට යන්න දෙන්න බෑ කිව්වා…

අනිත් යාළුවා ඩිලන්ත. පොර මට සෙට් වුනේ එක වසරෙදි. එදා ඉඳන් අපි හොඳ යාළුවෝ. හැබැයි මූ මට එක පාරක් ද්‍රෝහි වුනා. ඒ අට වසරෙදි. මං ලව් කරපු කෙල්ල මට බෑ කියලා මූට සෙට් වුනා. එහෙම වුනයි කියලා ඒ කෙල්ලයි මායි තරහ වුනාද…? නෑ,… මමයි මගේ යාළුවයි තරහා වුනාද… ? ඒත් නෑ,… දැන් දෙන්නම මගේ හොඳ යාළුවෝ….! ඔන්න මේ අවුරුද්දේ අන්තිමට දෙන්න කසාදත් බඳිනවා….! ඇත්තට මට මාර සන්තෝසයි… මොකද ‍ඩිලා ඉගෙන ගත්තේ හරි අමාරුවෙන්. ඒ වගේම යුනි සිලෙක්ට් වෙලත් ගියේ නෑ, ආර්ථික අමාරුකම් නිසා. දැන් නම් ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙක්…!

අනිත් එකා… සමීර. පොරත් මට සෙට් වුනේ එක වසරෙදි. මෙයා තමා ඒ දවස් වල පන්තියේ හිටිය අහිංසකම ඩයල් එක. තාමත් ඒ වගේ. මූට දැන් නම් කෙල්ලන්ගෙං බේරිල්ලක් නෑ,.. ඒත් මූ කැමති නෑ. පොර  දැන් ඩේවිඩ් පීරිස් එකේ ලොකු මහත්තයෙක්…!

මට දැනට ලඟින්ම ඉන්න යාළුවෝ තුන් දෙනා තමා මේ. මුං තුන්දෙනාගෙන් හැමදාමත් උදේට මට එන රින් කට් එකක් වැරදුනොත්, ඒක‍්කෝ මොකක් හරි ලොකු සීන් එකක් ගිහිං, එහෙම නැත්තං ෆෝන් එක නැති වෙලා….!

ඊට පස්සේ ඉතිං මට තව යාළුවෝ හෙන ගොඩක් ඉන්නවා. ඒත් අර ඉස්සර ස්කෝලේ යාළුවෝ තරමටම මාව තේරුම් ගත්ත එකෙක් තාම නෑ. අනික දැං ඉන්න ගොඩක් යාළුවෝ මහ එක විදියක්… මේක මේ බ්ලොග් ලියන කියවන එකෙකුටවත් අදාල නෑ… මොකද බ්ලොග් එක නිසා හම්බුවෙච්ච යාළුවෝ ගැන මට ලියන්න දේවල් හිතා ගන්න බෑ. එකෙක් හරි මිස් වුනොත් උගේ හිත රිදෙන නිසා මං ලියන්නේ නෑ… ඇත්තටම මං ඇහින් වත් නොදැකපු යාළුවෝ මට උදව්වක් ඕනේ වුනාම බොක්කෙන්ම උදවු කරනවා.  අනික ඉතිං ඔය බේබදු ළමා සංගමේ රැස්වුනාම එහෙම යාළු කමේ තරම මනාව ඉස්මතු වෙනවනේ…!

ඉතිං මේ තමා මගෙ යාළුවෝ ගැන මගේ හිතේ තියෙන ආකල්පය. මේ වගේ හොඳ යාළුවෝ ලබන්න අපි ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනේ…!

ඒ දවස් වල ස්කෝලෙදී වෙච්ච සහ කරපු මගෝඩි වැඩ ගැන මං කලින් ලියලා තියෙනවා… තව ටිකක් තියෙනවා ඒ ටිකත් ලියන්න හිතාගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට මුලින්ම ලියවෙන්න ඉඩතියෙන්නේ අපි හත වසරේ ඉද්දී, අපේ පන්ති නායිකාවගේ ගල්කැපීමේ කේස් එක….! මේකට අපේ පන්ති භාර සර්ත් සෘජුවම සම්බන්ධයි…

%d bloggers like this: