320 gsm පෙම් හසුන…!

මේක තමා නිල වශයෙන් මං පෙම් හසුනක් නිසා නාගත්ත ප්‍රථම අවස්ථාව. ඉස්සර ඉතිං අපි ස්කෝලේ යන කාලේ ස්කෝලෙදී නෙට් එකේ හිටියට ගෙවල් වල නෙට් නෑනේ… තිබුන එකම නෙට් එක මදුරු නෙට් විතරයි. ඒකෙත් තැන් තැන් වල හිල්.

ඉතිං ඒ දවස් වල කෙල්ලෙක්ට හිත ගියාම කරන්නේ ඒක්කෝ තමාගේ යාළුවෙක් ලව්වා කෙල්ලගෙන් අහන එක එහෙමත් නැත්තං දන්න සීපද ටිප්පනි කවි කතා නිසඳැද් ඔක්කොම දාලා සුවඳ ගහන කොලේක පෙම් හසුනක් ලියලා කෙල්ලට දෙන එක. ඒක ලියන්නෙත් ඉතිං රෝස පාට හරි තැඹිලි පාට හරි එහෙමම්ත් නැත්තං දම් පාට, කොල පාට ව‍ගේ ටිකක් හොයාගන්න අමාරු පැහැයකින් තමා. ඒ දවස් වල සමහර එවුන් හිටියා ඇඟිල්ල බ්ලේඩ් එකකින් කපලා අකුරු ලියලා දෙන. අනේ මන්දා කෙල්ලෙක් නිසා ඇඟිල්ල කපා ගෙන මොනා බලාපොරොත්තු වුනාද කියලා…

මටත් ඉතිං හිටියනේ හොඳ යාළුවෝ හතර දෙනෙක්. ආහ්… මේ උසස් පෙල ක්ලාස් යන කාලේ. ඉතිං ඒ දවස් වලට නැති යාළුවෝ වැඩක් නැහැනේ. අනික ඔය වගේ වැඩකට උදව් කරන්නේ නැති එවුන් කොහොමත් වැඩක් නෑ. ඉතිං මටත් අපේ ක්ලාස් එකේ පූසියෙක් වගේ කෙල්ලෙක් ගැන හිතක් පහල වුනා. පහල වුනා කිව්වට, කෙල්ල මගේ දිහා පන්තියෙදී බලලා බලලා ටිකක් උඩින් තිබ්බ මගේ අහිංසක හිත එක පාරටම බිමට පහත් කරා… දැන් ඉතිං ඒකි ගාව මං දන ගහලා වඳින සයිස්.

පස්සේ ඉතිං මං යාළුවෝ ටිකත් එක්ක ක්ලාස් ඉවර වෙලා දවස් දෙකක් විතර පොඩි ෆලෝ එකක් දුන්නා. කෙල්ල අම්බලන්ගොඩ ස්කෝලෙක, ඉන්නෙත් එහෙමයි. ඒක නිසා ඉතිං අපිට එච්චර දුර ගිහිං ගේ හොයාගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ… පස්සේ ඉතිං ඔය පස්සෙන් යන වැඩේ මාසයක් විතර කෙරුනා. මාත් එක්ක හිටි එවුංගේ තරම කියන්නේ…. මුං එකෙක්වත් මාව දිරිමත් කලේ නෑනේ ඒකිගෙන් අහපන් කියලා. මුං කලේ මං යන යන තැන මාත් එක්ක වැටිලා මාත් එක්ක එන එක. අනේ අම්මපා මගේ යාළුවෝ….

පස්සේ ඉතිං මංම යෝජනාව දැම්මා කෙල්ලගෙන් අහන්න. මොන මුං එකෙක්වත් කැමති නෑ ඒකිගෙන් අහන්න යන්න. පස්සේ කරන්නම දෙයක් නැති පාර මං ලියුමක් ලියන්න හිතාගත්තා. අනික තමා මං මේ වෙද්දී ඉංග්‍රිසි වලට පන්ති හොයනවා. ඒක නිසා යශෝධරාව ගැන කට්ටිය ගැටළුවක් ඇති කරගන්න එපා…!

පස්සේ ඉතිං ගෙදර ගිහිං තාත්තා ගෙනාපු 80 gsm A4 එකක් එහෙම අරගෙන වැඩේ පටන් ගත්තා. ඒ දවස් වල ඉතිං මගේ අත් අකුරු වල කියන්න තරම් වැරැද්දක් නෑ… සාමාන්‍යයෙන් අකුරු දන්න එහෙකුට කියෝගන්න පුළුවන්. අකුරු මොන වගේ වුනත් දැන් මට ලියන්න තියෙන්නේ කළු පෑනයි, නිල් පෑනයි රතු පෑනයි විතරයි. ඒ පාර ඉතිං පෑන් හෙව්වා අන්තිමේ හම්බුනේ පාට පැන්සල් පෙට්ටියක්…!

හැබැයි ඊළඟ පස්නේ තමා ලියුම ලියල ඊළග පන්ති දවස වෙනකං කොහෙද මේක හංගලා තියාගන්නේ කියන එක. ටික වෙලාවක් කම්පනා කරද්දී තමා මීටර් වුනේ ෆිසික්ස් පොතේ පිටකවරේ අස්සේ දැම්මනම් බඩුම තමා නේද කියලා. මොකද මං ෆිසික්ස් පොතට දාලා තිබුනේ පට්ට ලස්සන සීනරි එකක් තියෙන ටිකක් ගනකම් කොලයක්… කොලයක් කිව්වට කාඩ් බෝඩ් එකක් වගේ එකක්. ආයේ ඉතිං ඒක අස්සට එබුවම කවුරු හොයන්නද…?

ඉතිං එහෙම හිතාගෙන පොතේ පිටකවරෙට ගහලා තිබ්බ ස්ටේපරේකුත් ගලෝ දාලා වැඩේ පටන් ගත්තා. මුලින්ම නිල් පෑනෙන් ලියාගනෙ ගියා…

නුඹේ පුංචි ඇස් දෙක,

දුටුදා සිටන් මට….

අදහන්නවත් බැරි විලසට…..

(ඔච්චරයි මතක) ඒ දවස් වල තියා අදටත් මට ලියුමක් ලියාගන්න නම් බැහැ. පුරුද්දක් නැති කම තමා ඉතිං. ඒ වුනාට නිසදැසක් නම් ලියාගන්න පුළුවන්. ඉතිං මං ලිව්වේ නිසදැසක්. අර උඩ පද තුන අන්තිමට, පිස්සු හැදී ඇත…. කියන කෑල්ල දාගෙන කියෙව්වනම් ආදරේ තරම හිතා ගන්න පුළුවන් වෙයි.

ඉතිං ඔහොම ටිකක් ලොකු අකුරෙන් සිංහලෙන් ලියාගෙන ගියා නිසදැස. පස්සේ ඒක එක එක පැත්තට හරෝලා බලද්දී හිතට නිකං මදි මදි වගේ. හරියට ඒ ලියුම ආධාර පත්‍රයක් වගේ. පස්සේ අර හම්බුන පාට පැන්සල් පෙට්ටිය ගත්තා. ඊට පස්සේ තමා මතක් වුනේ… අපේ තාත්තා කාඩ් බෝඩ් කෑලි වල කැටයම් කරපු මල් වැල් වගයක් තාත්තගේ ලාච්චුවේ තිබුනා නේද කියලා. වැඩ ඔක්කොම පැත්තක තියලා ඒ ටික හොයලා ගත්තා….

අම්මද බොල… මේ තියෙන්නේ එක එක එව්වා. බිනර මලද, නෙළුම් මලද, ලියවැල්ද… අම්බෝ සෑහෙන්න තිබුනා එතෙන එක එක විදියේ කැටයම්. පස්සේ ඉතිං මල් වැල දෙකක් විතර තෝරගෙන කොලේට බෝඩරේ විදියට අර මල් වැල් තියලා පාට පැන්සල් වලින් පාට කලා.  ෂඃ…එත‍කොට තමා ලියුමේ නියම රොමැන්ටික් ගතිය ආවේ…

පස්සේ ඉතිං A4 එක නැවුවා හතරට. ඊළඟට ක්ලාස් යන දවස වෙනකම් පරිස්සං කරගන්න එපැයි. මොකද මං මේ තනියම ලියුව පළවෙනි පෙම් හසුන (වගේ එකනේ කිව්වත් කමක් නෑ)  නේ… ඊට පස්සේ ෆිසික්ස් පොතේ පිටකවරේ අස්සට දැම්මා… වෙලාවට කෙල්ල හිටියෙත් ෆිසික්ස් ක්ලාස් එකේමයි. ඒක නිසා ආයෙ ක්ලාස් යන්න කලින් ලියුම අදින්න වුවමනා වෙන්නේ නෑ… ඒකත් ඒ දවස් වල හිතට මාර සැනසිල්ලක්…

පස්සේ ඉතිං ඊළඟ දවසේ ක්ලාස් ගියා… දැන් ඉතිං නලියනවා… මං හිතාගෙන හිටියේ ලියුම ඉන්ටවල් එකේදී දෙන්න කියලා. පස්සේ ඉන්ටවල් එකට විනාඩි දහයක් විතර තියලා අපේ අනිත් වුන්ටත් කියලා ලියුම ගන්න කියලා පිටකවරේ අස්සට අත දැම්මා….

භාන්ඩේ නෑ වගේ… පස්සේ අමාරුවෙන් ඇස් දෙකෙන්ම බැලුවා… හුටා බඩු නෑ තමා. දැන් ඉතිං මාව රත්වෙලා. මොකද මට හොඳටම ෂුවර් ලියුම අපේ අම්මා ගාව කියලා. මේ ටිකේම මට නිකං අවකැපෙන කතා වගයක් අහන්න වුනේ ඇයි කියලා මට මීටර් වෙන්න ගත්තේ ඒ වෙලාවේ තමා.

පස්සේ ඉතිං බයේ ගැහී ගැහී ගෙදර ගියා. අම්මා මුකුත් කියන පාටකුත් නෑ, මට කටක් ඇරලා ලියුම ගත්තාද කියලා අහන්නත් බෑ… එහෙම ඇහුවයි කියන්නේ ඉතිං ‍මට වහාම පදිංචිය මාරු කරන්න වෙන සීන් එකක් හරි ඇඳිරි නීතිය දැම්මා වගේ ගෙදරටම වෙලා ඉන්න වෙන සීන් එකක් හරි සෙට් වෙනවා කියන එකතමයි. ඒක නිසා කට වහගෙන දන්නෙ නැති ගානට, කොට්න්ම මං ලියුමක් ලිව්වේ තියා කෙල්කේ ගැන හිතේ වත් නැති විදියට මාසයක් විතර හිටියා.

ඊට පස්සේ දවසක් මගේ යාළුවෙක් හම්බුවෙලා මගෙන් අහනවා…

මේ උඹලයේ අම්මා, මගෙන් ඇහුවනේ බං උම කා එක්ක හරි සම්බන්ධයක් තියෙනවද කියලා….

ඉතිං උඹ මොකේ කිවේ… කියලා මං ඇහුවා…

පිස්සුද බං තිබුනත් මං තියෙනවා කියනවද බං… පොර කිව්වා. ඇති යන්තං ඌ නම් මාව බේරලා.

පස්සේ ආයෙම මූ අහනවා…  ඒ බං 80 වැඩිකිරීම 4 කීයද බං?

ඒක ඉතිං ඒ හැටි අමාරු ගානක් නෙමේනේ… අසූවයි අසූවයි එක සිට හැටයි, එකසිය හැටේ එව්වා දෙකක් තුන්සිය විස්සයි….  මං ඉතිං චන්ඩියා වගේ උත්තරේ කිව්වා. හැබැයි මට ටිකක් මඥ්ඥං ඇයි මේ ලියුමක් අස්සේ මූ මෙහෙම ඇහුවේ කියලා…

පස්සේ මං ඇහුවා… ඇයි බං හදිස්සියේ කියලා…

නෑ බං උඹේ ලියුම 320gsm නේ බං… ඒක අම්මට මාට්ටු නොවී තිබුනනං තමා පුදුම වෙන්න ඕනේ ඕයි… කියලා කින්ඩි හිනාවකුත් දානවා…

මගේ උගුරත් එක්ක සීතල වෙලා ගියා ඌ කිව්ව කතාවට. බලාගෙන යද්දී අපේ අම්ම මූට ලියුමේ සීන් එක කියලා. මං ඉතිං දහ අතේ පොරොන්දු කරවා ගත්තා මෑන්ව අනේ උඹ මේ විත්තියක් කාටවත් කියන්න එපා බං කියලා….

මගේ වෙලාවට සහ උගේ  හොඳ කමට අද වෙනකං එකෙක් වත් දන්නේ නෑ මං ලියපු ලියුමට මොකද වුනේ කියලා…! අන්තිමේ ලියුම නැති දුකටම මට කෙල්ලවත් එපා වෙලා ගියා. පටන් ගන්න හදද්දිම චාටර් කේස් එකක් වුනාම ඇත්තටම මට කන්ටිනියු කරන්න හිතුනේ නෑ… පස්සේ ඉතිං මං බලෙන්ම වගේ ඒකිව පෙන්නෙ නැති තැනකට සෙට් වුනා…

ඔය අනිත් කතා වලින් ගන්න ආදර්ශයක් නැති වුනාට මේකෙ නම් තියෙනවා… පෙම් හසුන් ලියලා හංගනවනම් ඝනකම අඩු කොලයක් ගන්නලා. නැත්තං මට වුනා ව‍ගේ… බඩුම තමා…!

%d bloggers like this: