ඒ හොරා අයියා…

මේක අපේ ඔෆිස් එකේ මට වැඩිය අවුරුද්දක් වැඩිමල් පොරකට වෙච්චි දෙයක්… හෙන චූටි කතාවක්, ආයෙ මේක දිග්ගස්සලා ලියුවයි කියලා තේරුමකුත් නෑ. මොකද කතාව පුංචි වෙන තරමට තමා රස වැඩි.

මේ කියන මෑන් ගෙදර ගිහිල්ලා කාලා බීලා එහෙම සැපට නිදිලු. ඔන්න ඔහොම නිදාගෙන ඉද්දී මූට උංගේ මවුතුමී ඇවිත් කතා කරනවලු…

හපෝ මෙහෙමත් විනාසයක්… මේ බලහල්ලකෝ, මේ පිංගුත්තරයා පෙරේතයා පොලේ ගැහුවා වගේ නිදියගෙන ඉන්න හැටි… ඕයි පුතේ… අන්න බං වත්තට හොරු පැනලා පොල් කඩනවා…යකෝ නැගිටපං ….

අපේ එවුන් කතාව යවන්නේ අතින් දාලා සාරවත් කරලා නිසා මං ලියන්නේ මගේ අදහස් නැතුව, ඔරිජිනල් විදියට. බැලින්නං සීන් එක වෙලා මෙහෙමලු. මේ මෑන්‍ස‍්ගේ වත්තට හොරු ඇවිල්ලා. ‍ඇවිල්ලා තියෙන්නේ පොල් හොරු. පොරගේ ගෙදර ඉඳන් මිටර් 10ක් විතර ඇතින් තියෙන පොල් ගහක ගෙඩි පොල් කඩනවලු පාන්දර ජාමේ. පොල් කඩලා බිම දාන සද්දෙට තමා මුංගේ අම්මට ඇහැරිලා තියෙන්නේ. හැබැයි මූ සිරාවටම නිදාගෙන ඉඳලා තියෙන්නේ. මීටර් 10ක් විතර ඈතින් පොල් ගහක ගෙඩියක් තනකොල ගොල්ලකට වැටුනත් වහින්නේ නැත්තං හරි, වෙන මුතුක් ඝෝෂාවක් නැත්තං හරි රෑට ඇහෙන්නෙ නැතුව යන්න විදියක් නැහැනේ. අනික් මූ බැඳලත් නෑ… බැඳලනම් පොඩි සමාවක් තියෙනවා රාත්‍රි වැඩමුරයෙත් වැඩ කරලා නිදා ගන්න ගියාම මහන්සි නිසා. කොහොම හරි පොරට ඇහැරිලා නෑ… ඒක තමා මෑන්ස්ගේ මවුතුමී අර විදියට අමතලා තියෙන්නේ….

ඊට පස්සේ අම්මගේ කෑගැහිල්ලට ඇහැරිච්ච මූට අම්ම සීන් එක කියලා. පස්සේ ඔන්න කොට්ටෙ ගාව චාජ් එකට ගහලා තිබ්බ ෆෝන් එකත් කලිසමේ සාක්කුවට දාගෙන කෑලි පහේ ටෝච් එකකුත් අරගෙන මූ යනවලු පොල් ගහ ගාවට. යන ගමන් ටෝච් එක ගහලා ගහේ මුදුනට… අම්මට සිරි බඩුම තමයිලු…  හොරා ගහේලු. පිහියක් කටේ තියාගෙන මූ පොල් තෝරනවලු ගහේම ඉඳන්…

ඒ අස්සේ අර ටෝච් එලිය වැදිච්ච පාර හොරා ගහේම ඉඳන් පිහියත් කටින් අතට අරගෙන, අපේ මෑන්ස්ට සද්දේ දානවලු… අඩෝ කැ** තොගේ අම්මට හු* ගන්නේ නැතුව පල ගෙට… කියලා. මූ හොරා වුනත් හෙන දරුණු ඩයල් එකක් වගේලු අපේ බූරු පැටියට පේනනේ. ඇයි ඉතිං ගහේම ඉඳගෙන අරවගේ ටෝක්ස් දෙද්දි…. දැං මූටත් කට උත්තර නෑලු… අඩුගානේ හොරාව අල්ලන්න ගිහිං තියෙන්නේ පොලු කෑල්ලක් වත් අරගෙන නෙමේ…

ඒ මදිවට අපේ පොරත් වැඩිය වලියට බර ඩයල් එකක් නෙමේ… නිකං ගෑණු හෝමෝන මික්ස් වෙච්ච ගතියක් තමා තියෙන්නේ. ඒ මදිවට මුංගේ ගෙදර ඉන්නේ අම්මයි පුංචි අම්මයි මූයි විතරලු. තාත්තයි බාප්පයි කොහේ හරි ගමනක් ගිහිං තමා ඉඳලා තියෙන්නේ එදා. දැන් ඉතිං ගෙදර ගෑණු දෙන්නගේ ආරක්ෂාව භාර මූට නිසා… පොරගේ ශරීරේ තියෙන ඔක්කොම පිරිමි හෝමන ටික එකතු කරගෙන පුරුස දහිරිය අරගෙන කෑගනවලු…

ඒ හොරා අයියා… මේ මං අපේ බල්ලව ලෙහලා ගහ මුලට එවන්න කලින් බැහැපන් ගහෙන්… මේ මේ…. මේ බලපං… ෆෝන් එකත් අතේ තියෙනවා.  මං පොලීසියට කෝල් කරනවා…..

එහෙම කියද්දී හොරා ගහේ ඉඳන් හිනා වෙනවලු මූට. මූත් ඉතිං ටෝච් එක ගහට ගහගෙනනේ ඉන්නේ… මෑන්ටත් පේනවා හොරා ගහේ ඉඳන් හිනාවෙනවෙනි හැටි…

පස්සේ මූ කියවලු…

නපුරු ෂොරා…. ඔයා නපුරා… අපේ පොල් කඩලා ඒ මදිවට ගහට වෙලා තව හිනාත් වෙනවා. බැහැලා යනවා ඕයි අපිට නිදාගන්න දීලා….

හොරාට මොන හිනාද… ඌට කරන්න පුළුවන් වෙච්චි හොඳම පොල් හොරකම මේක වෙන්න ඇති. ඒ අස්සේ අපේ ඩයල් එක පොල් එකතු කරනවලු හොරාට බැන බැන.

බලනවා ඕයි තමුසේ නිසා මට මහ රෑ පොල් අහුලන්නත් වුනානේ… කිය කිය මූ පොල් ටික ගෙට අදිනවලු. කොහොමහරි පුතන්ඩියාගේ තරම දන්න අම්මයි පුංචියි එකතු වෙලා හොරා ගහ ගලෝගෙන ගියදෙන් කියලා මූව ගෙට දාගන.

පස්සෙන්දා ඇවිත් තමා පොර ඇ‍ඟේ මයිල් ටික කෙලින් කරගෙන අපේ ෆැක්ට්‍රියේ උගේ යාළුවන්ට සීන් එක කියලා තියෙන්නේ. ඊට පස්සේ උං තමා කතාව මේ විදියට සංස්කරනය කරලා තියෙන්නේ…. හැබැයි ඇත්තටම මූ හොරාට මුකුත් කරලත් නෑ හොරා මූට මුකුත් කරලත් නෑ…. අනිවා ඌ කපටි ෂොරා වුනත් පොරටත් දුක හිතෙන්න ඇති මෑන්ස් ගැන.

%d bloggers like this: