මෙලෝ රහක් නැති මතකේ……

හදවතේ තැනක හැංගිලා තියෙන පුංචි පුංචි මතක අහුරු සැරෙන් සැරේ හිත අස්සට කිමිදිලා මොනාද හොයන්න දෙන ට්‍රයි එකෙන් දැන් හෙනටම හෙම්බත් වෙලා.  කරන්නම දෙයක් නැති කමට හිත කූල් ඩවුන් කරගන්න පුළුවන් කියලා හිතෙන හැම දේම කරනවා.

ම්හු… හරියන්නේ නෑ… මේ මතක කන්දරාව බ්ලුමැන්ඩල් කුණුගොඩට විසික්කා කරන්න විදියක් දන්න කවුරුවත් නැතුව ඇති. ඒක නිසා ඉතිං ඒ ගැන කාගෙන්වත් අහලා වැඩක් නෑනේ…! වැඩිය ඕනේ නෑ, මල පෙරේතයෝ, කුම්භාන්ඩයෝ වගේ එවුන්ව අල්ලලා බෝතල් වලට දාලා ගඟේ මූදේ දානවා වගේ, මේ ඔලුව ඇතුලේ පිරිලා තියෙන මතක අහුර කම්ප්‍රෙස් කරලා පොඩි දුඹුරු පාට මාමයිට් කුප්පියකට දාලා කෙම් ෆික්ස් ගම් එකෙන් මූඩියත් අලෝලා ඝන අඩියක කොන්ක්‍රිට් කියුබ් එකක මැද්දට දාන්න පුළුවන් වුනානම්….!

එහෙමත් නැත්තං ඔච්චර ධනාත්මක වෙන්නේ නැතුව, බ්‍රෙන් කැප් වගේ මොකක් හරි හුට්ටප්පරේකින් මතක පොදිය එලියට ඇදලා අරං නැවත විකාශයක් කරලා, දැන් තියෙන එල්.ඊ.ඩී ස්ක්‍රීන් එකකට වීඩියෝ අවුට් පුට් එක ගහලා 7.1 සබ් එකකට ඕඩියෝ අවුට් එක ගහලා සරවුන්ඩින් කරලා පෙන්නුවනම්…! එත‍කොට ඉතිං ආයේ අමුතුවෙන් දේවල් එකතු වෙන්නේ නෑනේ… අර මතක ටිකමනේ රිපීට් වෙන්නේ…! එතකොට තව අවුරුදු සීයක් ගියත් මට මතක අවුරුදු විසි ගානක එව්වා විතරයි… අනික දැක්කට වැඩිය හොඳට පැහැදිලිව ලස්සනට පේනවානේ… හිත හදාගෙන මතක් කරන්න බැරි එව්වා ඉඳන් කට ඇරගෙන බලන්න පුළුවන් වෙයි…! කාමරේට වෙන් කරගෙන ඇතුලට ලා ක්‍රීම් පාට ගාලා ඒසී කරලා සෙල්සියස් 24ට විතර දාලා උණු කෝපි එකකුත් එක්ක ට්‍රිපල් ලේයර් ඩබල් ඇඳකට බලන්න තිබ්බනම්…! ආයෙ ඉතිං නිෂ්පාදනය, සංස්කරණය, සංගීත අධ්‍යක්ෂනය, කැමරා කරණය, ආලෝක කරණය අනං මනං ඔක්කොම තනියම කරගන්න පුළුවන්නේ… කැමරා ඈන්ගල් එක හරියන්නේ නැත්තං අර ඩීවීඩී වල තියෙනවා වගේ තව කැමරා එකකින් වෙන ඈන්ගල් එකකින් මතක එව්වා බලාගන්න බැරියෑ… ආයෙ මොකෝ මතක චිත්‍රපටිය රන් වෙන ගමන් රියල් ටයිම් එඩිටිං, ලයිටිං කරන්න කාගෙන් තහනමක්ද….?

එතකොට ඉතිං මෙච්චර කල් ලයිට් එක අල්ලපු එවුංට තමා රස්සා නැතුව යන්නේ… කමක් නෑ ෆිල්ම් එක යන ගමන්, ඇ‍ඳෙන් බිමට බැහැලා එහෙ මෙහෙ යද්දී කකුලේ පැටලෙන වයර්, කේබල් වගේ ඒවා ටික අස්කරන්න තියාගන්න පුළුවන්නේ ලයිට් කාරයින්ව. ඕනෙ නං එයාලගෙත් මතක ෆිල්ම් කෑල්ලක් දාගන්නවා මැද්දට…. හරියට අර ටෙලි නාට්‍ය වල විනාඩි පහෙන් පහට ඇඩ් දානවා වගේ. සමහර එව්වා දැම්මම කතාවේ වෙන දේත් මතක නෑ…. ඒත් ඉතිං හැම වෙලාවෙම එහෙම වෙන්නේ නෑනේ….!

ඇත්තමයි මිනිස්සුන්ගේ මොලේ මේ තරම් මෙමරියක් එක්ක හැදුනේ ඇයිද මන්දා… මේක හරියට රබර් වගේනේ… දෙයක් කරන්න කරන්න ඒක මතක හිටිනවා… මට තේරෙන්නේ නෑ මොන විදියට මේක මනින්නද කියලා… ගිගා බයට්…, ම්හු… හරියන්නේ නෑ… එහෙනම් ටෙරා…. නෑ ඒත් මදි….! මේ මෙමරිය ගැන ඕනෙ වට වැඩිය හිතන්න ගියොත් එහෙම මටත් අංගොඩ ලගින්න වෙනවා ඉක්මනට… එත‍කොට නම් හැබැයි පොඩි ෆන් එකක් ගන්න පුළුවන් බිලි පිත්තක් බේසමකට දාගෙන මාළු බාලා….! මෙගාබයිට් 1024ක විතර ජුංඩං රැම් එකකුයි අවුරුදු පහනකට හැටකට හරියන හාඩ් එකකුයි තිබ්බනම් ගති…. ප්‍රොසෙසරේත් ඉතිං මහ ලොකු ගානක් ඕනේ නෑනේ… උපරිම කෝ අයි ත්‍රී තිබ්බනම් ඇති… මොකෝ ඉතිං කම්පනා කරලා වැඩක් කරනවා කියලයැ…. අනික වැඩේ කරල කල්පනා කරන්නෙත් නැහැනේ…..! ඉතිං මොනාද ප්‍රොසෙස් කරන්න තියෙන්නේ…?

හැබැයි ඉතිං පවර් යූපීඑස් පවර් සප්ලයි එකක් නම් ඕනේ මයි… නැත්තං ඉතිං මේ රටේ කරන්ට් යන විදියට මතක අහුරත් එක්කම මැසිම කූරියා ගහනවා. අනික ඉතිං ප්‍රධාන බලසැපයුම නැතුවුනාම බැකප් තියෙන එක හැමදේකටම හොඳයිනේ….! දුකක් ගින්නක් නැතුව දිගටම රැඳීසිටින්න ඇහැක් වෙන්නේ එත‍කොට තමා.

ඒත් ඉතිං ප්‍රධාන සැපයුමෙන් එන ඇම්පියර් එකම ලැබෙන්නේ නැති වුනාමනම් දුකයි තමයි…! මොනා කරන්නද ඉතිං ලැබෙන හැටියට කනවා බොනවා මිසක්…. සමහරු ඕකට‍නේ කියන්නේ ලද දෙයින් සතුටට පත්වෙනවා කියලා… අනේ මන්දා මට නම් ඔය වචන සැට් එක පෙන්න බෑ… ඇයි දෙයියනේ එහෙම ලද දෙයින් සතුටට පත් වුනොත් හෙම මිනිස්සු හැමදාමත් එක තැනනේ… කිසිම දියුණුවක් නෑනේ…!

එහෙමයි කියලා තව තව එව්වා ලබාගන්න ගියාම තමා මතක පිටු පෙරලිලා, හදවත අස්සේ මතක අහුරු ගොඩ ගැහෙන්නේ…! පස්සේ ටික කාලයක් යද්දී ඕං හිමිං හිමිං අර එකතු වෙච්චි මතක පොදි එබිකම් කරන්න ගන්නවා හිතට….! ඊට පස්සේ තමා ආයෙමත් මේ පෝසට් එක මුල ඉඳන් කියවන්න වෙන්නේ….!

%d bloggers like this: