රටක් වටින රිමෝට් කන්ට්‍රෝල් ඔරලෝසුව…

මේක නම් පට්ටම පට්ට අන්ඩපාල වැඩක්. තනිකර වයසේ වැරැද්ද. මම උසස් පෙල කරන දවස් වල අනිත් එවුන්ට වගේ මටත් ආසාවක් තිබුනා. කොටින්ම පොර වෙන්න දැඩි කැමැත්තක්….! කිව්වොත් තමා හරි. හැමෝම පොර වෙන්න යන්නේ ජංගි කෑල්ලකට ගහ මරාගෙන, එහෙමත් නැත්තං සිගරට් බීලා, ඒත් නැත්තං සැර ජාතියක් බීලා එහෙමනේ. මට ඔය සීන් අල්ලන්නේ නෑ…

මොකද ඒ වෙනකොට කෙල්ලෙක් නිසා නම් මරාගන්න වුවමනාවක් තිබ්බෙම නෑ… ඇයි ඉතිං සූටි කෙලි පොඩ්ඩක් හිටියානේ. එතකොට සිගරට් වලටත් මගේ කැමැත්තක් ඇත්තෙම නෑ, දැනටත් එහෙමම් තමා. බොන සීන් එකත් මට අල්ලන්නේ නෑ… හප්පේ එව්වයේ ගඳ… බොන එවුන් කොහොම බොනවද මන්දා… (ඒ… ඒ දවස් වල)

ඉතිං පොර වෙන්න වෙනස් ක්‍රමයක් කම්පනා කරද්දී තමා මට මීටර් වුනේ…. රිමෝට් කොන්ටෝල් ඔරලෝසුව….! එයින් එකක් තිබ්බනම්, ඔය පාඩම් කරන්න යාළුවන්ගේ ගෙවල් වලට යද්දී එහෙම මට වැඩර් වෙන්න පුළුවන්නේ. ඉතිං ටික කාලයක් සල්ලි එකතු කරලා ගත්තා එකක්. ටිකක් විතර ලොකුයි. ඒත් මාර වැඩ කරන්න පුළුවන්නේ. ටීවී විසිගානක් පාලනය කරන්න පුළුවනි. මදෑ ඉතිං රුපියල් 450ට ඊට වැඩිය බලාපොරොත්තු වෙන්න බැහැනේ කොහොමත්. පස්සේ ඔරලෝසුව ගත්ත ගමන් මුලින්ම බැලුවේ අපේ ගෙදර එකට වැඩද කියලා…

එදා ගෙදර ගිහිං ඇඳුම් මාරු කලෙත් නෑ, ක්ලාස් ගිහින් ආපු විදියටම පෙට්ටිය කැඩුවා භාන්ඩේ එක එක පැත්ත හරවා හරවා බැලුවා. පස්සේ ඔන්න පෙට්ටිය ඇතුලේ තියෙනවා පොඩි උපදෙස් පත්‍රිකාවකුත්. ඒකත් අරගෙන බලද්දී අපේ ටීවී එකටත් පුළුවන්ලු….! පස්සේ ඉතිං පොඩි සෙටිංග්ස් වගයක් හරිගස්සලා ගත්ත ගමන්, ඇල්ලුවා ටීවී එකේ දිහාට… එබුවා චැනල් අප් බටොං එක… මොන වෙන්න ඇතියි කියලාද හිතන්නේ…?

අපේ අංක චැනල් එක ජාතික සූපවාහිනිය. හැමදාම යන්නේ උයන එව්වනේ. ඒක ගොඩක් බලන්නේ අපේ අම්මා. අර බටොං එක එබුවා විතරයි මේං යකෝ වැටුනා අංක දෙකට… ඒකෙ තිබුනේ ඇස් නාලිකව. ඒකෙ නම් ඉතිං ඉස්සර මාත් ඇහැ තියාගත්ත ගමන්මයි. එක්කෝ දෙමල ෆිල්ම්… අර ඩිෂුම් ඩිෂුම් ගාන්නේ… අන්න එව්වා. එහෙමත් නැත්තං මොකක් හරි ක්‍රිඩා වැඩසටහනක්, ඒත් නැත්තං ඩිස්කවරි චැනල් එක. පස්සේ ඉතිං අනිත් බටොං එබුවම සද්දේ අඩු වැඩි කරන්නත් පුළුවන්, වැඩිය ඕනේ නෑ හොරෙන් හැංගිලා ටීවී එක ඕ‍ෆ් කරන්නත් පුළුවන්. එකම අවුල තමා බටොං ටික ඔබන්න සුලඟිල්ල ඕනේ වෙච්චි එක. හෙන චූටියි ඒ බට්න් ටික.

පස්සේ ඉතිං පාඩම් කරන්න යද්දී යාළුවන්ගේ ගෙවල් වලදී මං නිකංම පොර වෙනවා. ඒ රිමෝට් ඔරලෝසුව නිසා නෙවේ, සමහරුන්ගේ ගෙවල් වල එතකොටත් තිවුනේ රිමෝට් නැති ටීවී නිසා. අළුත් ටීවී තිබිච්ච ගෙවල් වලදී නම් ඉතිං අනිවා පොර. ඉතිං ඔය දවස් වල තමා මං කුමාරයා යශෝධරාව එක්ක ටයිටැනික් බැලුවෙත්. රෝස් ඇවිදින්, ජැක් ඉස්සරහා රෙද්ද ගලවද්දී, කරුමෙට යශෝධරා අතේ තිබ්බ රිමෝට් එක වැඩ නොකර ගියා. මට ඕනෙ නම් එවෙලේ තිවුනා මගේ රිමෝට් ඔරලෝසුවෙන් ඒ ටීව් එක ඕ‍‍ෆ් කරන්න. ඒත් ඉතිං නිකං මොකටද පොඩි එකීගේ සතුටට බාධා කරන්නේ….. අනික යශෝධරා හිතයි මං එයා ඉස්සරහා වැඩ දානවා කියලා…. ඒක නිසා එවෙලේ මං නිකා හිටියා. පිනකටද කොහෙද එවෙලේම කරන්ට් එකත් ගියා. නැත්තං වසල හමාරයි.

පස්සේ ඔය සීන් වෙලා ටික දවසකින් ආයෙ මරු අදහසක් ආවා. ඒ තමා අපි කළුතර බස් ස්ටෑන්ඩ් එකෙන් mp3 ගහගන්න කඩේ තියෙන ටීවී එකට වැඩක් දෙන්න. ඒ දවස් වලම තමා රනිඳුගේ මේ සින්දුව ආවේ…

ඕකට අපි හෙන ආසයි ඒ දවස් වල. මුලින් ආවේ මේ සිංදුව විතරයි, පස්සේ තමා ඔබ මගෙමයි ඇල්බම් එක ආවේ… අනිත් එක තමා භාතිය – සන්තූෂ් ලාගේ මේ සිංදුව….

මේ සින්දුව අවෙත් ඇල්බම් එකට කලින්, වසන්තයේ ඇල්බම් එකේ ප්‍රොමෝෂන් පාරක් විදියට. අපි කොයිතරම් කිව්වත් කඩේ අයියට මේ දෙක සීඩී එකකට බර්න් කරපිය කියලා, මූ කවදාවත් අපිට දාලා දුන්නේ නෑ. ඒකට වාඩුව ගන්න තමා රිමෝට් ඔරලෝසුවෙන් වැඩක් දෙන්න හිටියේ.

ගොඩක් වෙලාවට ඔය කඩේ අයියා දවල්ට ටීවී එක දාලා ඒකෙ යන සංගීත වැඩසටහනක් බෆල් වලට සැට් කරලා තමා තියෙන්නේ. පොර අළුත් සිංදු දාන්නේ ක්ලාස් ඉවර වෙන හවස් වෙලාවට. ඉතිං දවසක් අපි හතර දෙනෙක් විතර ගියා කඩේට. එදාත් දවල් දෙකයි ගානක ඉඳන් ටීවී එකේ සිංදු වගයක් යනවා. මූ ඒක හයියෙන්ම දාලා බෆල් වලට. ස්ටෑන්ඩ් එකේ කට්ටියත් සිංදු අහගෙන ඉන්නේ… පස්සේ ඔන්න මාත් එක්ක ගිය අනිත් යාළුවෝ තුන් දෙනාගෙන් එකෙක් කලෙක්ෂන් සීඩී පීරනවා… ගන්න ඕනේ නිසා නෙවේ, වෙන කරන්න දෙයක් නැති නිසා. තව කෙනෙක් අයියා එක්ක අළුතෙන් එන්න තියෙන සිංදු ගැන කතාවක්… පස්සේ මමයි අනිත් යාළුවයි සෙට් වුනා ටීවී එක ඉස්සරහම තියෙන සීඩී රැක් එකට. ඔන්න ඉතිං දෙන්න එක්ක ටූම්බ් රයිඩර් ගේම් එක හොයනවා….  අපි කලින් සතියෙත් ඇවිල්ලා බලලනේ ගියේ… ඒක නිසා බඩු නෑ කියලා ෂුවර්මයි… තිබිලා විකිනිලා. ඉතිං ඔය හොයන ගමන් ටීවී එකේ ගියේ මිල්ටන් මල්ලවාරච්චිගේ සිරා සිංදුවත්…

මමත් බැළුවා ටක් ගාලා ටීවී එකේ මොඩ්ල් එක, හදාගත්තා සෙටිංග්ස් ටික… එබුවා බටොං එක….

ටීවී එක හුටස්… ඔබන සැනින් නැවතුනා…. දැං අර සිංදුව රසවිඳගෙන හිටිය එවුන්ට අම්බානෙට මල. ඇයි ඉතිං රුපියල් පහ කේවනේ…. කඩේ අයියත් බැළුවා මොකද එක පාරම සද්දෙ නැතිවුනේ කියලා. බැලින්නම් ටීවී පොජ්ජ ඕෆ් වෙලා. අපි ඉතිං එව්වා දන්නේ නෑනේ… අපි බර වැඩකනේ… ඔන්න අයියා ආයෙමත් ටීවී එක ඔන් කලා… ඒකත් ටීවී එක ගාවටම ගිහිං ඒකෙ තිවුන බටං එක ඔබලා… මිනිහා අතින් රිමෝට් එක බිම වැටිලා අම්බ්‍රෙල්ලා පව්ඩර් වෙලා. ආයෙමත් ඔන්න අපේ යාළුවයි අයියයි බර කතාවක. මූ ඒත් ට්‍රයි කලේ පානිය දාලා අර සින්දු දෙක බර්න් කර ගන්නම තමා. කොහෙද හරි යන්නෙම නෑ‍නේ…

පස්සේ ආයෙමත් මං… එබුවා වෙන බටොං එකක්… අම්මට හුඩු සද්දේ වැඩි වෙනවා හෝ හෝ ගාලා… අන්තිමේ අපට ඇහෙනවා බෆල් වලින් චර චර ගාලා සද්දෙත්… බෆල් වල බේසුත් ඇරලා තිබ්බේ ලෙසටම. බයෙත් බෑ බෆල් එකේ පිටිපස්සේ ලෑල්ල ගලෝලා විසික් වෙයිද කියලා… බේස් හෝල් තිබ්බට ඒ සද්දෙට සුවර් නෑ… පස්සේ ඔන්න මම දැම්මා වෙන චැනල් එකක්. මල මගුලයි, ඒකෙ යන්නේ පට්ට දෙමල සීන් එකක්. කඩේ අයියත් බලනවා මේ මොකෝ මේ වෙන්නේ කියලා. ‍පොර බයවෙලා බලාගෙන ඉන්නවා ටීවී එකට ආච්චි වැහිලවත්ද කියලා….

පස්සේ පොර ආයෙම දැම්මා තිබ්බ චැනල් එකට… දාලා සද්දෙත් තිබ්බ ගානටම අඩුකලා… ඒත් ඉතිං අපි දන්නේ නෑ මොනා වෙනවද කියලා… අපේ යාළුව අහන්න යන්නෙත් නෑ, මොකද අයියේ වෙන්නේ කියලා. ආයෙ තව සුට්ටක් හිටියා, ඊට පස්සේ ආයේ ටීවී එක ඕ‍‍ෆ් කලා… දැන් මේ වෙන හැම දෙයක්ම කඩේ ඇතුලේ ඉන්න අපිට වැඩිය හොඳට ඇහෙන්නේ බස් ස්ටෑන්ඩ් එකේ බස් එනකං මිල්ටන් මල්වාරච්චිගේ සිංදුවට ඇහුංකන් දීගෙන හිටිය අයට. ඒ පාර නම් කඩේ අයියා බැලුවා මේ සීන් එක හරියන්නේ නෑ… කියලා, පොර වෝල් ප්ල්ග් එකෙන්ම ඕ‍ෆ් කරලා දැම්මා….

දැන් ඉතිං බිත්තියේ සුයිච් එක ඔන් කරන්න රිමෝට් කන්ට්‍රෝල් එකක් නැහැනේ… පස්සේ ඉතිං තව ටික වෙලාවක් වෙලි, කිසි දෙයක් නොදන්න පාට් එකට ඉඳලා හිනා වෙවී ක්ලාස් ගියා. පවු වැඩේ අර අහිංසක මගියෝ ටික, ඒ දවස් වල අයි පොඩ්, එතකොට මියුසික් එඩිෂන් ෆෝන් එහෙම එච්චර ජනප්‍රිය වෙලා තිබ්බේ නෑ. ඉතිං බස් එකක් එනකං සිංදුවක් අහන්නේ ඔය වගේ සීඩී සෙන්ටර් එකක් ගාවට වෙලා තමා.

%d bloggers like this: