එකම එක දිය බිඳක්….!



 

වේලිලා, කරවෙලා..,
 
ගින්දරට පිච්චිලා…
 
ඉරිතලා, පලුදු වී තියෙන…
 
මේ පුංචි හදවතට,
 
එකම එක දිය බිඳක්…!
 
සීතලම සීතලට,
 
වට්ටපන් හනි හනික…
 
දූලි වෙන්නට කලින්,
 
මේ හැඟුම් සමුදාය….!

ගමනක් ගිය පැන්සල් තුඩ…

ආයෙමත් එක වසරට යන්න තමා මේ සුදානම… ඉස්සර ස්කෝලේ යද්දී එක වසරේ වෙච්ච දේවල් පෝලිම් ගැස්සුවොත් එහෙම, මගේ මතකයට අනුව මේක තමා දෙ‍වැනියට තියෙන්නේ.

ඒ දවස් වල නම්‍ මේ කේස් එක ගොඩක් දරුණුවට ගියා. පොලිසියෙන් ආපු නැති ටික විතරයි. දෙමවුපියෝ රැස්වෙලා, ගුරුවරුත් වටකරගෙන සාක්ච්චා කීයක් නම් පැවැත්වෙන්න ඇත්ද…. මොකද ඉතිං අමිලගේ පැන්සලේ තුඩ සමන්ගේ පස්ස පැත්තේ ඇමිනිලා ගෙදර යනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමේනේ….!

ඒ දවස් වල එක අපි එකවසරට ඇතුල් වෙලා මාස හතරක් විතර ගිහිං ඇති. මං අර අමුතු ලෝකයට ගිහිං ආපහු පන පිටින් ආවට පස්සේ තමා මේක වුනේ. ඒ දවස් වල ඉතිං අපි ඉඳියේ එක ඩෙස් එකේ දෙන්න ගානේ. මහ ලොකු තරහක් මරහක් නැති වුනාට ඩෙස් එක දෙකට මැද්දෙන් වෙන් කරගෙන තිබුනේ….

අනිත් පැත්තේ යාළුවගේ පැන්සලක්, පොතක චූටි ‍කොනක් හරි අර  ඩෙස් එකේ ඇඳපු ඉරෙන් අපේ පැත්තට ඇවිත් තිබුනොත් ඒ දවස් වල ඉතිං වලිම තමා.

“මේ මේක… ගන්න. ඔයාගේ පැන්සල මගේ පැත්තේ තියෙන්නේ…. ගන්න හොඳේ…. නැත්තං මං අපේ අම්මට කියනවා.”

කියන වාක්‍යයේ පැන්සල කියන එකයි අම්ම කියන එකයි හරියට අර ප්‍රෝග්‍රැමින්ග් වල තියෙන වේරියබල් වගේ. පැන්සල කියන තැනට මක්කේ, පොත, පෙට්ටිය වගේ එව්වා අසයින් වෙනවා. අම්ම කියන තැනට, අම්මි, තාත්තා, තාත්තී, චීච…. බැරි වෙලා හරි ස්කෝලේක ලොකු පන්තියක සහෝදරයෙක් හරි සහෝදරියක් හරි ඉන්නවා නම් එයාගේ නමත් මේ වේරියබල් එකට සූටබල්.

ඉතිං ඔහොම ගිහිං පළවෙනි වෝර්නින් එක දෙනවා අර උඩින් කිව්ව විදියට. ඒත්… අනික් යාළුවා ටිකක් ගට තියෙන එකෙක් නම් (අනේ ඒ දවස් වල අපි දන්න ගට) අනිත් එකාගේ පැත්තට ගිහිං තියෙන මොකක් හරි අයිටම් එක තව ටිකක් තල්ලු කරලා යුධ ප්‍රකාශ යාළුවව මල පන්නන එක ගැන දෙපාරක් හිතුවේ නෑ‍.

ඉතිං මේ සමනුත් එහෙමයි. සමන්ගේ පැන්සලක් ඩෙස් එකේ අමිලගේ පැත්තට ගිහිං. ඉතිං අමිල සමන්ට ෆස්ට් ‍වෝර්නින් එක දීලා…

මේ සමන්…. මං චීචට කියනවා ඔයා මගේ පැත්තට පැන්සල දානව කියලා. ඊට කලින් මේක ගන්න….

මොන… සමන් හෙන අහිංසක පාට් එකට හිටියට අමිල වගේ ඔලු කාරයින්ව පේන්න බැහැ. ඉතිං පොර කරපු වැඩේ උගේ මක්කෙත් අමිලගේ ප්‍රාන්තෙට දාපු එක. ඔය වැඩේට අමිලට මල පැන්නා. මුලින්ම අමිල…

මම ඔයාට කිව්වා හරිද කියලා…. කියලා අමිලගේ පැන්සල් පෙට්ටියෙන් සුළු අවි ප්‍රහාරයක් එල්ල කරා. ඒක සුළු අවි ප්‍රහාරයක් වුනාට නිකං බෝම්බයක් ගැහුවා වගේ. සර සර ගාලා අමිලගේ පෙට්ටියේ තිබ්බ පැන්සලුයි, කටරුයි අනං මනං ගැජට් කෑලි ඔක්කොම බිම. දැන් අමිලට නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ. පස්සේ ඉතිං ඔන්න සමනුත් එකතු වෙලා බි වැටිච්චා අහුලලා ආයෙම පැක් කරා. පස්සේ සමන්…. හූ හූ…. ඇද්ද ඔයා මට ගහන්න ආවා කියලා හිනා වෙලා උගේ පැන්සලයි මක්කෙයි ආයෙම ගත්තා. ඉතිං ටික වෙලාවක් යද්දී දෙන්නා ආයෙම යාළුවෝ.

හැබැයි අමිල මේක අමතක කරලා නෑ. අසාලිවීමක් කොහොද ලියලා සමන් ගියා චීච ගාවට පොත පෙන්නන්න. පොර ඇවිත් වාඩි වුන ගමන්….

ඉහි…. ඊ….. ඊ…. කියාගෙන ආයෙම නැගිට්ටා. හරියට නිකං ගින්නක් ඇවිත් සයිරන් ‍එකක් ගැහුවා වගේ. පස්සේ පන්තයේ ඔක්කොම ළමයි සමන් දිහා බලනවා. සමනුත් අරින්නේ නෑ… අඬනවා ඇඬිල්ලක් පස්ස පැත්ත අතින් අතගගා…. එක වසරේ පන්ති සෙට් එකම දෙවනත් වෙන්න.

පස්සේ ඉතිං මිස් ඇවිත් බැළුවා මොකද සීන් එක කියලා. බලද්දී… අමිලයා, ඌට තිබ්බ තරහට සමන් වාඩි වෙන කොට හොඳට උල් කරලා තිබ්බ පැන්සල කෙලින් තියලා අල්ලලා පුටුවට. ආයේ ඉතිං කියන්න දෙයක් නැනේ සනීපේ…..

පස්සේ ඉතිං කොහොමහරි සමන්ව ශේප් කරලා ඉවර වෙද්දී ස්කෝලේ ඇරිලා.

ඊට පස්සෙ ඉතිං අපි සෙටාර් එක ගෙවල් වලට ගියා. ඊළඟ දවසේ උදේ…

මිස් මං සමන්ගේ අම්මා…. කියාගෙන සමන් වගේම සුදු ඇන්ටි කෙනෙක් ආවා අපේ මිස්ව හම්බුවෙන්න. අපිත් බලාගෙන ඉතිං, මොකද්ද වෙන්නේ කියලා හොයලා බලන්න එපැයි. පස්සේ සමන්ගේ අම්මා පොඩි කොල කෑල්ලක් දැග ඇරලා මොකද්දෝ මන්දා මිස්ට පෙන්නනවා. හරියට නිකං මැණික් ගල් හම්බුනාම ජෙම් හවුස් වලට ගිහිං බඩා මුදලාලිට පෙන්නනවා වගේ. අපිටත් ඉතිං හරි පුදුමයි… කියන්න බැහැනේ සමන්ගේ අම්මටයි තාත්තටයි මැණික් ගලක් වත් හම්බුවෙලාද දන්නේ නෑනේ…

පස්සේ ආයෙම ටික වෙලාවකින්,

අම්ල… මෙහෙට එනවා…. කියලා අපේ මිස් අමිලව ගෙන්නුවා. ඊට පස්සෙ පිටට පාරක් ගහලා හෙට එනකොට අම්මව එක්කං එන්න ඕනේ කියලා, අමිලගේ පොතක ලිව්වා. පස්සේ ඉතිං සමන් එදා පන්තියේ හිටියේ නෑ, අම්ම එක්කම ගෙදර ගියා. අපිට හරි පස්නේ ඇයි මේ කියලා. අර මැණික් ගල අමිලට දෙන්නද දන්නේ නෑනේ….

ඉතිං පහු වෙනිදා ඔන්න එනවා අමිලයි, අම්මයි… අනිත් පැත්තෙන් සමනුයි අම්මයි. පස්සේ ඉතිං මිස්ට දෙන්නම කතා කරනවා අපි අහගෙන.

එතකොට තමා අපි දන්නේ සමන්ගේ අම්මා කලින්දා මිස්ට පෙන්නුවේ මොකද්ද කියලා. ඒ අමිලගේ පැන්සලේ තුඩ…..! ඒක සමන්ගේ පස්ස පැත්තේ ඇමිනිලා සමන්ලාගේ ගෙදර ගිහිං. පස්සේ සමන් එයා‍ලගේ අම්මට සීන් එක කියද්දී තමා පැන්සල් තුඩ හොයාගෙන තියෙන්නේ. පස්සේ ඉතිං අම්මලා දෙන්න කතා කරලා විසඳන්න හැදුවට හරියන්නේ නෑ… ඒ පාර ප්‍රින්සිපල් ගාවට ගියා. ආයෙම පාරක් දෙමාපිය රැස්වීම් කිහිපයක් තිබ්බා. පස්සේ කොහොම හරි ඔන්න වැඩේ ශේප් වුනා.

ඒ ඔක්කොම වෙලත් ආයෙ ටික ටික දවසකින් අමිලයි සමනුයි හොඳ යාළුවෝ…! අනේ මන්දා ඔය වගේ වැඩක් ටිකක් ලොකු වෙලා එහෙම වුනා නම්…..?

අනික සමන්ගේ පස්ස පැත්තෙ ඇමිනිලා ගෙදර ගිය මිනිරන් කෑල්ලට ඔච්චර සාකච්චා කරානම් ඇත්තටම මැණික් කෑල්ලක් ඇමිනිලා ගියොත් කොච්චර සාකච්චා කරයිද…!

යශෝධරාවගේ මියුසික් කඩේ… මගේ යශෝධරාවත 18

මේ………… සිංදු ටික ගෙනාවද…?

මාලිගයට පළවෙනි අඩිය තියන්නත් කලිංම යශෝධරාවගෙන් ලොකූ පස්නයක්…. ඔය ප්‍රශ්නෙට මං කුමාරයා නෑ කියන්නත් හදලා….. ආයේ මොකටද නිකං උදේ පාන්දර නඩුවක් ඇද ගන්නේ කියලා හිතලා හ්ම් ගෙනාවා…. කියලා ජුංඩං උත්තරයක් දීලා නැවැත්තුවා. වැඩි හරියක්ම මට අප්සට් ගියේ මේ යෝදි, මගෙන් මහන්සිද කියලවත් අහන්නේ නැතුව අහපු ප්‍රශ්නෙට.

ඊට පස්සේ ඉතිං මං සීඩී එක දෙනකං සක බඹරේ ව‍ගේ කැරකි කැරකි මාලිගාව පුරාම එහාට යනවා ‍මෙහාට යනවා. පව්නේ….. ඒ පාර ඉතිං මගේ ඩයරියේ කවරේ අස්සේ තිබ්බ ඩිස්ක් එක ඇදලා දුන්නා.

ඒ වෙලා‍වේ බලන්න ඕනේ හිනාව…. ආයෙ තැන්ක් යූ කිවිලි අනං මනං මොකුත් නෑ… ඉස්සර හුරතලේ පිටින්ම පොඩි එකෙක් වගේ ඩිස්ක් එක අරං ගිහිං පීසී එකට දාලා ඉප්පීකර් දෙකත් ගහගෙන වැඩ පටන් ගත්තා‍. දැන් ඉතිං මං ඉන්නවද නැද්ද කියලා ගානක් නෑ කුමාරිකාවට. මුලින්ම රුමේෂ්ගේ දිගු දෑස දුටුවාම… ඊට පස්සේ භාතියලාගේ දේදුන්න සේදී…. ඔහොම ගිහිං සිංදු 10ක් විතර අහලා තමා ආයෙමත් මං කුමාරයා ඉන්නවාද කියලා බලන්න පිටි පස්ස හැරුනේ. එයා දන්නේ නෑනේ මං මේ සිංදු ටික හොයාගත්ත හැටි. සමහර සිංදු වල මැද්දේ පද දෙකක් විතරක් ලියලා දුන්නම ඩොකීට කියලා එව්වා හොයාගත්ත හැටි කුමාරිකාව දන්නේ නෑනේ…

මං කුමාරයත් ඉතිං ඇහි පිය නොගහා බලාගෙන ඉන්නේ ඔය වෙලාව එනකම් තමා. එතකන් කරන්නේ යශෝධරාවට පිටිපස්සෙන් තියෙන ෆෑන් එකෙන් විදින හුළං පාරට පුංචි කුමාරිගේ කොන්ඩ ගස් එකින් එක… සැරින් සැරේට ඒ මේ අත යන හැටි බලාගෙන ඉන්න එක තමා. හිටිගමන් ජනේලෙන් එන ඉර එළිය තැඹිලි පාට කර්ටන් එකට වැදිලා තව ටිකක් පැහැපත් වෙලා විහිදෙන එලියට තවත් එළිය දෙන්න වගේ යශෝධරාවගේ ඇඟිලි ඇවිත් කන වටේට ගිය කොන්ඩ ගස් ටික හදලා ආයෙමත් යනවා. හරියට නිකං උත්තර ධ්‍රැවයේ අවුරෝරා එලි වගේ.

පස්සේ  ඉතිං ඔහොම ඉන්න ගමන් තව සිදු ටිකක් ප්ලේ වෙන්න දාලා ඕං දුවනවා සිරියහන් ගැබට.

අම්මේ…. මට තේ එකක් හදලා දෙන්න….

ඉතිං නඩුකාරිත් එනවා තේ හදන්න. හප්පේ එතෙන තියෙන විකාර. මං කුමාරයා කලිනුත් කියල ඇති අනන්තවත් ඔය වග. නඩුකාරිගේ අතේ එල්ලිලා යශෝධරාව හුරතල් වෙන්නේ හරියට නිකං මොන්ටිසෝරි යන පොඩි කෙල්ලෙක් වගේ. වෙලාවකට ඉතිං මටත් හිතෙනවා දුවලා ගිහිං අනිත් අතේ එල්ලෙන්න. ඒත් ඉතිං නිකං මොකටද නඩු  ෆයිල් කරගන්නේ කියලා හිතලා ඉන්න ඉරියව්වෙන්ම පුටුව උඩට වෙලා ඉන්නවා. පස්සේ ඉතිං ටික වෙලාවකින් යශෝධරාව ආයෙමත් එනවා පීසී එකට ගාවට.  ඒ ඇවිදින් අර සිංදු ටින ආයෙමක් අහනවා. අහනවා නෙමෙයි බලනවා. ඕඩියෝ ටික තියාගන්නවා පස්සේ අහන්න. වීඩියෝ ටික එවෙලෙම බලනවා.

ඊට පස්සේ ඉතිං නඩු කාරි එනවා තේ දෙක අර ගෙන අත්දෙකට. එකක් යශෝධරාවට, අනික මට. දෙන්න එක්ක පොරකාලා එක දශමයක් හරි වැඩියෙන්  තියෙන තේ එක ගන්න දඟලන්නේ ඇයි මන්දා…? ඇති වැඩකුත් නෑ…. මොකද දෙන්නගෙං එක්කෙනෙක් වත් ඔය තේ දෙකෙන් අන්තිම උගුර වෙනකම්ම බොන්නේ නෑ. එක්කෝ උණුයි කියලා පැත්තකින් තියනවා, එහෙමත් නැත්තං විසි කරනවා. කොහොමත් උණුයි කියලා තිබ්බම ටික වෙලාවකින්  එක් බොන්නේ කූඹි….

ඉතිං ඊට පස්සේ අයෙමත් අර සිංදු වල ඉතුරු ටික අහනවා. මං කුමාරයක් ඉතිං යශෝධරාව දිහා බලාගෙන ඉඳලා ඉඳලා ඇස් රතු වුනාම ලක්බිම හරි විදුසරක් හරි අරගෙන කියෝනවා. ඒ කියවන අතරෙදි එකපාරටම….

නිකං ලයිට් ගියා වගේ සීන් එකක් වෙලා, ප්ලේ වෙවී තිබ්බ සෙන්ටිග්‍රේඩ්ලගේ නිල් සඳ මඬල නැවතුනා. මං කුමාරයත් පත්තරේ බැලුවට සිංදුව අහගෙන හිටි නිසා වෙච්චි දේ ගැන හොඳ අවධානෙන්…..! මං බලන කොටම මේං කුමාරිකාවත් අර නිල් පාට සූටි ඇස් දෙකෙන් මගේ දිහා බලාගෙන මොකද්දෝ ලොකු ප්‍රශ්නෙකුත් දිව අග තියාගෙන ඉන්නවා.

ඔය ප්‍රශ්නේ ඉතිං කවදාවත්… මට ආදරෙයි නේද…? කියලා අහනවා වගේ එකක් වෙන් බෑනේ. ඒක නිසා ඉතිං මටත් එක පාරට උත්තරයක් දීගන්න බැරිවෙයි කියලා හිතෙද්දිම, මේ… මේ… කියලා පටන් අර අහනවා…

ඇයි හැම සිංදුවෙම “මියුසික් කඩයක්” කියලා මැද්දෙන් කියන්නේ….?

හරිනේ ඉතිං දැන් දීපල්ලකෝ බලන්න ඕකට උත්තර. මට පටාර් ගාලා මීටර් වුනේ මියුසික් අවන් එක… ඒත් ඒක හැම ​එකේම දාන්න විදියක් නැහැනේ. ඉතිං මං කුමාරයා ඉතිං දහඅතේ කල්පනා කරනවා මොකද්ද බොල මේ හරුපේ තේරුම කියලා… මට හිතාගන්නම බැරි පාර මං කිව්වා මට ප්ලේ කරලා පෙන්නන්න කියලා. ඊට පස්සේ ඉතිං ඔන්න නිල් සඳ මඬල ආපස්සට ටික දුරක් ගිහිං ආයෙමත් ප්ලේ වෙනවා. එක තැනකදී නිකං රහසින් වගේ පොඩි වචන වගයක් කියනවා. පස්සේ මං ආයෙමත් පාරක් ලඟටම ගිහිං කන ඉප්පීකරේ තියාගෙන ඇහුවා.

මට ඇහුන දේ හරි… මොකද මගේ කන් දෙක මට විශ්වාසයි. ඒ වගේම මං මේක මීට කලිනුත් හැම වීඩියෝ ගොඩක දැකලා තියෙනවා.  ඒත් ඉතිං යශෝධරාවගේ කන් දෙක් ඇහෙන්නේ අඩුවෙන් කියලා කිව්වොත් එල්ලුම් ගස් යන නඩුවක් සෙට් වෙනවා ෂුවර්. ඒත් ඉතිං මේ වගේ චාන්ස් එකක් අතාරින්නේ කොහොමද….? මට දෙන ගින්දර වල හැටියට පොඩ්ඩක් නෝන්ඩි කලාම මක් වෙනවද…?

ඒක නිසා මං ඇහුවා… මොකද්ද ඔයා කිව්වේ…?

මේ හැම එකේම “මියුසික් කඩයක්” කියලා කියනවනේ….

ආහ්…. එහෙමද…. මං හිතුවේ නෑනේ වයස හැටක විතර කන් ඇහෙන්නෙ නැති කෙනෙක් කියලා…

අනේ කියනවාකෝ… මොකද්ද ඒ කියලා….

මං මොකටද කියන්නේ…? කන් දෙක සුද්ද කරලා කර අහගන්න… නැත්තං මං අම්මට කියන්නං දුවගේ කන් දෙක ඇහෙන්නේ නෑ කියලා…

යනවා යන්න මෝඩරජා….

හරි හරි මං මෝඩයා… එහෙනම් ටිකක් සද්දේ වැඩිකරගෙන අහලා බලන්නකෝ ආයෙමත්…

ඔන්න ආයෙමත් නිල් සඳ මඬල මුල ඉදන් ප්ලේ වෙනවා… ඒ අතරේ මැද්දෙන්‍…. මියුසික් ඩොට් එල්කේ… කියලාත් ලාවට ඇහෙනව‍ා….

ඔය ඔක්කොම අහගත්තට පස්සේ ඔන්න රිප්ලයි එනවා….

ඉතිං මට ඇහුනේ එහෙමනේ…… කියලා තව තො‍ඳොල් වෙන්නත් එනවා.  එත‍කොට ඉතිං වෙනදා වගේම තමා. මං කුමාරයට කට උත්තර නැති වෙනවා….! කොහොමහරි මෙදා පාර නම් මදි නොකියන්න ෂොට් එක දුන්නා…..

කොම්පියුටර් සර්ට, හතවසරේ ගෑණු ළමයෙක්ගෙන් ලියුමක්…!

මං එතකොට උසස් පෙළ පළවෙනි පාර කරලා, නයිටා ගිහිං ඒකෙන් දාපු ට්‍රේනින් එකෙනුත් නැවතිලා කකා බිබී ගෙදරට වෙලා ඉන්න කාලේ. ඒ දවස් වල ඉතිං මහා ලොකු බරක් නෑනේ ඔලුව උඩ. ඉතිං හවසට හවසට යාළුවෝ එක්ක ඇවිද ඇවිද තමා වැඩි හරියක්ම කාලය ගතවුනේ.

ඔය අතරෙදි තමා අපේ ස්කෝලේ පුංචි ‍කොම්පියුටර් කාමරේ පරිගණක සම්පත් මධ්‍යස්ථානයක් විදියට උසස් වෙලා අළුත්ම අළුත් කොම්පියුටර් විසි ගාණක් එක්ක වැඩ ආරම්භ කලේ. කොම්පියුටර් හය හතක් තියාගෙන තියාගෙන ළමයි 20ක් විතර වටකරගෙන පරිගණක පාඩම් කියලා දුන්න අපේ සර්ට මේ වැඩේ තනියම කරන්න බැරිවෙයි කියලා කලින්ම හිතිච්චි නිසා මටත් ආරාධනා කලා, වරෙන් ඇවිත් මට උදව් වෙයන්… අපි ස්කෝලෙන් පඩියක් ගෙවන්නම් කියලා.

මටත් ඉතිං නෑ බෑ කියන්නත් දෙයක් නැහැනේ. හවස් වරුව ගෙදර උදේ වරුව ස්කෝලේ. අනික නුපුරුදු තැනකුත් නෙවේ, නුපුරුදු දේකුත් නෙවෙයි…. ඉතිං ගෙදර කට්ටියටත් කියලා මාත් කොහොමින් හරි ආයෙම ස්කෝලේ යන්න සෙට් වුනා. ඉස්සරට වැඩිය වෙනසකට තිබුනේ පොත් බෑග් එක නොගෙනියන එකයි, සුදු පාට දික් කලිසමයි සුදු ෂර්ට් එකයි වෙනුවට පාට කිට් එකක් ඇඳන් යන එකත් විතරයි.

ඉතිං  අපේ ලැබ් එකට ඒසී ප්ලාන්ට් තුනක් හයි කරලා තිබුනට එකක් වත් වැඩ කරන තත්වෙට පත් කරලා තිබුනේ නෑ. මොකද මේ ලැබ් එක හම්බුනේ ඡන්දයක් කිට්ටුව. ඒ නිසා ලැබ් එකට ආධාර කරපු දේසපාලකයා අතින් පුළුවන් ඉක්මනින් විවෘත කරන්න ඕනේ නිසා හදිස්සියට තමා වැඩේ කලේ. පස්සේ ඉතිං ටික දවසක් යද්දී ඔන්න ඒසී ප්ලාන්ට් වලටත් විදුලිය ලැබිලා…. දාඩිය පෙරාගෙන කම්පියුටර් ගහපු අපේ පොඩි එව්වෝ කූල් එකේ පරිගණක ඉගෙන ගන්නවා.

වෙනදට පන්තියේ ඉන්නේ ගෑණු ළමයි විසිදෙනාමයි, පිරිමි ළමයි 2කුයි විතරක් සහභාගී වෙන පන්තියට දැන් මුලින්ම දුවගෙන එන්නේ කොල්ලෝ. ගුරුවරයෙක් නැති පිරියඩ් එකක් වුනත් දැන් හැම තිස්සෙම ළමයි පිරිලා ඉන්නේ ලැබ් එකේ. ඊට පස්සේ ටික දවසකින් අන්තර්ජාල සම්බන්ධතාවත් හම්බුනා. ඒ ගැන ඉතිං කියන්න දෙයක් නෑ…. කනෙක්ෂන් ස්පීඩ් එක තත්පරේට බයිට් ගනන්. ගූගල් ලෝඩ් වෙන්න විනාඩි පහක් විතර බලාගෙන ඉන්න ඕනේ. කොච්චර ස්පීඩ් මැෂින් තිබුනත් ඉන්ටර්නෙට් නැති එක නම් හරිම අඩුවක් විදියට තමා දැනුනේ.

පස්සේ ඉතිං ආයම මාසයක් විතර යද්දී කාලසටහනක් එහෙම හදලා, පොඩි පොඩි ටියුට්ස් ප්‍රින්ට් කරලා එහෙම ටිකක් විධිමත් විදියට ලැබ් එකේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යනවා. ඒ දවස් වල පරිගණක කාලච්ඡේද තිබුනේ හය වසරේ ඉඳන් ඉහලට ළමයින්ට. ඒ අයට උගන්වන්න නියමිත කාල සටහනක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දීලා තිබුනේ නැති නිසා අපිම හදාගත්ත සිලබස් එකකට තමා ඉගැන්වීම් කරේ. පොඩි අයත් හරි ආසාවෙන් ඉගෙන ගත්තා.

සර් ඇරුනම ඉන්න එකම ලොක්කා මං නිසා පොඩි එවුන්ට මොකක් හරි අවුලක් ආපු ගමන්ම කතා කරන්නේ මට. පොඩි අය මටත් කියන්නේ සර් කියලා. හය වසරේ කෙල්ලෝ කොල්ලෝ කියලා නෑ, මං වැඩ කර කර ඉන්න සර්වර් එකෙන් මං නැගිටින්නේ නැත්තං ලඟට ඇවිල්ලා අතින් ඇදගෙන ගිහිං තමා එයාලට ඇති වෙච්චි ප්‍රශ්නේ තේරුම් බේරුම් කරගන්නේ. මටත් ඉතිං පොඩි අයට මං දන්න දෙයක් කියලා දෙනකොට ටිකක් විතර සතුටුයි.

පස්සේ ඔහොම යද්දී දවසක් දා, ඉන්ටර්වල් එකෙන් පස්සේ පීරියඩ් එකේ ලැබ් එක වෙන් වෙලා තිබුනේ හත වසරේ පන්ති වලින් එක පන්තියකට. වෙනදා වගේම කොල්ලෝ ටික ඉන්ටර්වල් ඉවර වෙලා බෙල් එක ගහන්නත් කලින්ම ලැබ් එක ඉස්සරහට වෙලා පෝලිමක් හැදිලා ඉන්නවා බෙල් එක ගහනකම්. ගෑණු ළමයිනුත් සපත්තු ගලෝලා වෙනම පෝලිමක් හැදෙනවා. ඉතිං බෙල් එක ගහපු ගමන් එකම යුද්ධයයි. කොහොමහරි කොල්ලෝ ටික ඉක්මනට දුවගෙන ඇවිත් කැරකෙන පුටු වල වාඩි වෙලා වටයක් දෙකක් කැරකිලා, දාඩියත් නිවාගෙන විනාඩියකින් විතර සන්සුන් වෙනවා එදා දවසේ පාඩමට.

ගොඩක් වෙලාවට පාඩම පටන් ගන්නේ සර්. ඊට පස්සේ ඉතිං පොඩි එවුන්ට අමාරු තැන් වලදී මං තමා උදවු කරන්නේ. එදා හතවසරේ ළමයින්ට කරේ වර්ඩ් පාඩමක්. වර්ඩ් වලත් ඩ්‍රොප් කැප් ඔප්ෂන් එක තමා කරේ. ඉතිං සර් මුලින්ම ඔක්කොම ළමයින්ව එක පීසී එකක් ගාවට වටකරගෙන සීන් එක කියලා දුන්නා. පස්සේ ආයෙම තම තමන්ගේ පීසී වලට යන්න කියලා පොඩි පැවරුමක් දුන්නා. ඒකෙදි ඇති වෙන ප්‍රශ්න වලට තමා මං උදවු කලේ.

දැන් ඉතිං ළමයි පැවරුම කරනවා. ගොඩක් පීසී වලට ළමයි දෙන්න දෙන්න තමා සෙට් වෙලා හිටියේ. ඉතිං එක්කෙනෙකුට බැරිනම් අනිත් එක්කෙනා ගෙන් අහගන්නවා. ඒත් දෙන්නටම බැරිවුනොත්…? එත‍කොට තමා මං ගිහිං උදවු වෙන්නේ.

ඉතිං මේ පැවරුම කරද්දිත් ගෑණු ළමයි දෙන්නෙකුට එකම ප්‍රශ්නේ ඇතිවෙලා. දෙන්නටම උත්තරේ හොයාගන්න බැරි පාර ටිකක් විතර කෙට්ටු, කොහොමත් අනිත් ළමයට වැඩිය නම් සෑහෙන කෙට්ටු ගැහැණු ළමයෙක් ඇවිත්…. සර්… පොඩ්ඩක් එන්න… අපේ වර්ඩ් වල ටයිප් වෙන්නේ නෑ…. කියලා මාව අඬගහගෙන ගියා. පස්සේ ඉතිං ගිහිං බලද්දී ටයිප් වෙනවා අකුරු වල පාට සුදු කරලා. එතකොට ඉතිං පේනනේ නැහැනේ… පස්සේ ඒක මං දෙන්නටම කියලා දීලා… ආපහු සර්වරේ ගාවට එන්න හදද්දිම… අනිත් මහත ගෑණු ළමයා කියනවා ටිකක් සද්දෙන් … මං කිව්වා පන්ඩිතයට පාට මාරු කරන්න කියලා…  පස්සේ ඉතිං මාත් මහ ලොකු දුරක් හිතන්නේ නැතුව…. මේ… පන්ඩිත ආච්චියේ…. ඒ ළමයා දන්නේ නැති නිසානේ ඇහුවේ කියලා… මහත ළමයගේ ඔලුවත් අතගාලා ආයෙම ඇවිත් මං සෙල්ලං කර කර හිටිය ගේම් එක පෝස් කරපු තැන ඉඳන් ආයෙම පටන් ගත්තා.

ඊට පස්සේ ස්කෝලේ ඇරෙන්න කලින් පිරීයඩ් එකේ තමා මට මං කරපු ගොන් වැඩේ තරම තේරුනේ.

කලින් සිද්ධිය වෙච්ච පන්තියේ පිරිමි ළමයෙක් ඇවිත් මට තුනට හතරට නවපු කොලයක් දීලා… සර්… මේක කාංචනා දෙන්න කිව්වා කියලා පස්සවත් නොබලා දුව්වා. ඇත්තටම මට ගෑණූ ළමයගේ නම මතක නෑ… මතක නෑ නෙමෙයි මං දැනන් හිටියෙත් නැද්ද කොහෙද. කාංචනා කියලා දැම්මේ මේක ලියන්න පහසුවට. පස්සේ ඉතිං මං කඩාදාසිය දිග ඇරලා බැළුවා.

මට හිතාගන්න බැරිවුනා… එක පාරක් කියෙව්වා… ලාවට මොලෙන් කරන්ට් එකක් ගියා වගේ, ආයමෙ කියෙව්වා… ඒ පාරත් හරියට තේරුනේ නෑ…. ඊට පස්සේ ආයෙම පුටුවක වාඩි වෙලා කොලේ මේසෙ උඩින් තියාගෙන කියෙව්වා…. හ්ම්… ඒ පාර තමා හරියටම ක්ලික් වුනේ.

ඒක ලියුමක්…. හත වසර පන්තියක ගෑණු ළමයෙක් එයාට වැඩිය අවුරුදු හයක් හතක්  විතර වැඩිමල් පිරිමි ළමයෙකුට, එහෙමත් නැත්තං තමන්ගේ ගුරුවරයෙකුට ලියපු පෙම් හසුනක්….! ගොඩක් විස්තර තිබුනා ඒත් මට මතක හිටියේ මෙච්චරයි….

මේ… පන්ඩිත සීයේ…. අද ඔයා ගෙදර යන්න හෝල්ට් එකට එනකම් මං බලාගෙන ඉන්නවා. ඔයා ගොඩක් පරක්කු වුනොත් හැමදාටම පරක්කු වුනයි කියලා හිතාගන්න.

මේ වචන ටික මට තාමත් මතකයි. ලියුම ගෙනත් දීපු පිරිමි ළමයව අමතක වුනත්, ලියුම ලියපු ගැණු ළමයගේ නම අමතක වුනත් මේ වචන ටික මට තාමත් මතකයි. මොකද මේ තමා මට හම්බුන පළවෙනි සහ අවසාන පෙම් හසුන.

මේ තරම් පුංචි කාලෙකදී මං වත් කෙල්ලෙකුට ලියුමක් ලියලා තිබුනේ නෑ. අඩුගානේ මෙච්චර ඇඩ්වාන්ස් විදියට හිතලාවත් තිබුනේ නෑ. මං පුංචි කාලෙදී විතරක් නෙමේ ස්කෝලෙන් අවුට් වුනාට පස්සෙවත් මේ තරම් සිරියස් විදියට මං කල්පනා කරලවත් නෑ… ඒත් මේ හත වසරේ පුංචි කෙල්ල කොයිතරම් දේවල් හිතලද…? ඒ හැම දෙයක්ම වුනේ මං පුංචි නංගි කෙනෙක්නේ කියලා ඔළුව අතාගාලා පන්ඩිත ආච්චි කියලා කියපු ටිකට.

මේ වගේ පොඩි දේකින් මේ තරම් ලොකු දෙයක් කරන්න පුළුවන් බවක් මං දැනගෙන හිටියේ නෑ. ඒත් ඉතිං මට කරන්න දේකුත් නෑ. මං ස්කෝලේ ආදි ශිෂ්‍යයෙක් වුනත් දැන් ගුරුවරයෙක්. අනික ඒ ළමයට වැඩිය මහ ගොඩක් නැතත් වැඩිමල්. ඔක්කොමත් හරි මෙච්චර පොඩි දේකින් මට කිට්ටුවෙන්න තරම් ආදරයක් උපදින්න විදියක් ඇත්තෙම නෑ… ඒක නිසා මං ඒ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වුවේ නෑ. ඇත්තටම මං එදා බස් හෝල්ට් එකට ගියේ නෑ. ස්කෝලේ ඇරියේ දෙකට. සමහර විට ඒ ළමයා තුන වෙනකන් වත් බලාගෙන ඉන්න ඇති. ඒත් මං ගියේ නෑ. මං මේ දේ අපේ සර්ටත් කියලා ලියුමත් පෙන්නුවා. පස්සේ මේක වැඩිදුර ගෙනිච්චොත් ඒ ළමයාගේ අධ්‍යාපන කටයුතු වලට ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා, මේ අවුල මින් පස්සට අවුලක් නොවෙන්න කටයුතු කරන්න මංම තීරණය කලා. ඒ පන්තිය ලැබ් එකට එන වෙලාවට මං පුස්තකාලෙට යන්නං කියලා සර්ටත් කියලා අවසර ගත්තා. පස්සේ මං ලැබ් එකේ යතුරත් ඉල්ලගෙන වෙච්ච දේ ගැන කල්පනා කර කර ඉඳලා ස්කෝලෙන් පිටත් වෙද්දී හතරට විතර ඇති.

ඒ ළමයට වැඩිය මම ෂොක් වෙලා හිටියේ. එදා යන ගමන් මං එක තීරණයක් ගත්තා…  මං ආයේ කිසිම දාක මං ආදරේ කරන කෙල්ලව හරි, කිසි දෙයක් නොතේරෙන අවුරුද්දක දෙකක කෙලි පොඩ්ඩක් ඇරෙන්න හරි, මොන්ටිසෝරි යන වයසේ කෙල්ලෙක්වවත් හුරතල් කරන්නේ නම් නෑ…! කියලා.

මඩ නෙ​වෙයි, නොපළ සීන්…..

මෙව්වා මේ මඩ එහෙම නෙමෙයි… අර නොපළ කවි…. නොපළ කතා කියලා තියෙන්නේ අන්න ඒ වගේ එකක්.  ඉතිං මේ කතා ටික අහලා මට ගුටි කන්න වුනොත් එහෙම ඔන්න මං නම් නෑ,…

18 වෙනි ඉරිදා, මං සෙනසුරාදා පොඩි වැඩ වගයක් තිබිලා ඔෆිස් එකේ නරත වුන නිසා ඉරිදා පොත් බලන්න ගියේ ඔෆිස් එකේ ඉඳන්මයි. ඉතිං උදේ පාන්දරම යන්න කලිනුත් පිනිබිඳු අක්කගේ මෙගා ත්‍රෙඩ් එකට තව මොනාදෝ කොටල එහෙම තමා ගි‍යේ…

ඉතිං නොපළ සීන් ටික ඔය උඩ තියෙන මගේ සුරතින් ගත්ත පින්තූරෙට අනුව ලියාගෙන යන්නම්. ආයේ ඕං මේකෙ අගක් මුලක් හොයනවා නෙවෙයි…

උදේ පාන්දරම චූටි ප්‍රහාරයක් අපේ සිංහ පුතාට. පොර පින්තූරේ නෑ…. ඒක නිසා පොරගෙන් පටන් ගත්තම ලේසියි. අනික මං මෙච්චර දවසක් බැළුවේ වෙච්ච ජොලි සීන් ටික කවුරු හරි එකෙක් ලියාවි කියලා…. කෝ ඉතිං නැහැනේ…. ඉතිං ඔන්න18 වෙනිදා යන ගමනට 17 වෙනිදා රෑ දොලහ එක‍වෙනකම්ම මාක් එක්ක චැට් කොරලා … හරි හරි මචං මං උදේ පාන්දරම එනවා කියලා නිදාගත්ත එකාගෙන් මං උදේ නැගිටින්නත් කලින්ම කෝල් එකක්…. ඒක ඉතිං මට එන්න වෙන්නේ නෑ බං කියන්න ගන්න කෝල් එකක් බව මං අත්දැකීමෙන් දන්නවා. ඒක නිසා ඉතිං හිත හදාගෙන ආන්සර් කලා.

සිංහයට දහම් පාසල් සීන් එකගැන රැස්වීමක්ලු. ඉතිං ඒකට ගිහිං පුළුවන් ඉක්මනට එනවා කිව්වා. මාත් ඉතිං මුකුත් කිව්වේ නෑ… පවුනේ…. සිංහයා නෙමෙයි, අර දහම් පාසල් නොගිහින් ගෙවල් වල ඉන්න පොඩි එව්වෝ….!

ඊට පස්සේ මුල්ම නොපළ සීන් එක පිනිබිඳු අක්කගේ වෙන්ඩ හබීට. මං පිනිබිඳු අක්කව හොයාගෙන යද්දි එයාලත් මාව දැකලා. ඉතිං අක්කා කිව්වලු අයියට… අර ඉන්නේ මාළුවා කියලා. මල මගුලයි අයියා අහලා කෝ ඉස්සෝ දැල්ලොත් ඉන්නවද කියලා… වෙන්ඩ හබී හිතලා තියෙන්නේ මං මුහුදට අධිපති කියලද දන්නේ නෑ ඉස්සොයි දැල්ලොයි වට කරගෙන පොත් ප්‍රදර්ශන බලන්න එන්න. ඒ අයියා හරී හොඳයි…. මට ෆ්ලෑෂ් මෙව්වා වගේකුත් එවන්නම් කිව්වා.

පිනිබිඳු අක්කා ගැන නම් කියන්න දෙයක් නෑ… හරී හොඳයි. එත් මට තියෙන එකම ප්‍රස්නේ සැවෝයි එකේ සාරි තියෙනවද කියන එක තමා…. ආහ්… තව එකක්, ඔය කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ බලන්න බුකියේ රිලේෂන් ෂිප් එකකට වැඩිය දාන්න ඇහැක්ද කියලා…. මට ඉතිං කරලා බලන්න විදියක් නෑ… එහෙම කරන්න ගියොත් එහෙම ගුටියක් සුවර්නේ….

ඊට පස්සේ ශිරෝෂිද කොහෙද…. නම මීටර් නෑ… හරි අවුලක් නෑ, ඇත්තට මේ ළමයි ගැන මට කියන්න දෙයක් නෑ. හරි නිවිච්චි ළමයා.

ඔය කහපාට ටී ෂර්ට් එක ඇඳලා ඉන්න එකා හින්දා තමා තව පොඩ්ඩෙන් මට ප්‍රදර්ශනේ බලන්න වෙන දවසක එන්න වෙන්න තිබ්බේ. හිරු එලිය මං අනිත් සෙට් එකත් එක්ක එන්ටරන්ස් එක ගාව තැප්ප තැපිල්ලක්…. යකෝ යන අහක යන්න ඉක්මනට එන්න එපැයි. ඒ අස්සේ කෙල්ලොන්ට සැන්ඩ්විචසුත් ගිල්ලවලා.

ඊට පස්සේ ගයාන්. මං ගයාන්ව අඳන ගත්තේ 18 වෙනිදා. අදුන ගත්තා කියන්නේ දැක බලා ගත්තේ. හෙන හොඳ කොල්ලා. කොල්ලා නෙමේ අයියා. මිස්ටර් පැනොරාමා කියන්නෙත් මෙයාට තමා. අපි දෙන්න තමා ප්‍රදර්ශ‍නේ බලන්න තනියම ආවේ. ඇවිදිල්ලා අනිත් කස්ටිය එනකං හිටියා වතුර මල ගාව. අම්මප ඒක වතුරමලක් නෙවෙයි, නිකංම නිකං පොකුණක්…..

සාපා….. මොනා කියන්නද…. මේකි ප්‍රදර්ශනේ පුරාවට කරපුවා ලියන්න ගියොත් මං ඉවරයි. මට නිවාඩු දාලා තමා ලියන්න වෙන්නේ…. මොනා වුනත් ඡන්දෙ ඉල්ලන්න පුළුවන් කටක් තියෙනවා…..

ඊට පස්සේ උඩ පේලියේ…. ආසිරි. අර අඹ මල් රේණුව කියලා ලියන්නේ මෑන්ස් තමා. ලොක්කට කියන්න ඕනේ මහියංගනේ පැත්තෙත් බුක් ෆෙයා එකක් තියන්න කියලා. නැත්තං කොල්ලා පවු… මෑන්ස් දෙකට යනව කිය කිය හිටියේ, අර කට ඇති දුව කිව්වා යන්න දෙන්නේ නෑ කියලා… ඉතිං මොනා වුනාද දන්නේ නෑ, අපි කලිං ආවනේ….

ආසිරිට උඩිං ඉන්නේ මධුරංග. හපෝ කියලා වැඩක් නෑ,.. වල් පඳුර. මටත් එක්ක ලැජ්ජයි. අයියයි මල්ලි දෙන්න එකට ඇවිත් මූ මල්ලිව කලින් යැවුවනේ…. හරි අයිය කෙනෙක් කරන වැඩක්ද ඔය… මල්ලි හිටියනම් මධුරංගට ගෙදර යන්න වෙන්නේ නැති බව පොරට තේරුනා. මොකද මූ ඇවිත් හිටිය දිගට ඇඳලා උන්න ගෑණු ළමයි දිහා එක පාරක් බලද්දි මල්ලී මූ දිහා තුන් පාරක් විතර බලලා, පොරගේ හැසිරීම දිහා. පස්සේ ඔන්න තවත් අක්කා කෙනෙක් එක්ක ගිහිං බඩ ඉරිඟු ගෙනැල්ලා කනවා. අපිට පෙන්න පෙන්න. අඩුගානේ අයියේ එක ඇටයක් ඕනෙද කියල ඇහුවද….? ඒ අස්සේ අක්කගේ නංගිටත් සෙවල පාරක් දැම්මයි කියලා කව්දෝ මන්දා කිව්වා. නංගි එනවයි කිව්වම පොර උඩ පැනගෙන හා හරි හරි මාත් එන්නම් කිව්වලු.

මධුරංගට දකුණු පැත්තේ ඉන්න මල්ලිවයි, වම් පැත්තේ ඉන්න මල්ලිවයි දෙන්නවම ප්‍රහාරයක් එල්ල කරන්න තරම් අඳුනන්නේ නෑ… වම් පැත්තේ මැද… එකියන්නේ හිරු එලියට උඩින් ඉන්න මල්ලි බ්ලොග් එකක් ලියනවා. මට නමත් කිව්වා… දැං මතක නෑ,……

ඊට පස්සේ ඉන්නේ මං මෙච්චර කාලෙකට දැකපු පෙරේත නැතිම ගෑණු ළමයා. නම ඕනේ නෑ…  මං නං කිව්වේ නිසූපාගේ නංගි සනීපා කියලා. නැත්තං ඊට පස්සේ කියයි මඩ ගහනවා කියලා. මෙයාගේ අක්ක අතේ තිබ්බ බඩ ඉරිඟු කරල කාපු හැටි……………… ඒ ලෝකේ අන්තිම බඩ ඉරිඟු කරලා කියලා හිතාගෙන තමා මෙයා කෑවේ… ඒ මදිවට අක්කගේ බටර් පාරක් සැරටම වැදිලා අක්ක ගත්ත පොත් ඔක්කොම ටික උස්සං යන්නත් ලෑස්ති වෙලා ඇවිත් හිටියේ. පව් අප්පා….. ඒ පොත් බෑග් එක උස්සල බලද්දී මට මතක් වුනේ අර ඒ දවස් වල සෙල්ලං කරද්දි මං ස්කොට් ගහපු හැටි…..

නංගිට මෙහා පැත්තෙන් අක්කා. මෙයා තමා මේ ‍ලෝකේ අන්තිම පෝටෙලෝ එක බිව්වේ…. ඒ සන්තෝසේ නිසා තමා පොටෑ කෑල්ලකුත් දාගත්තේ ඉස්සරහට. පුරුද්ද තමා චිප්ස් නැතුව බොන්න බැහැනේ…..! මුලින්ම මෙයාව හම්බුන ගමන් මගෙන් ඇහුනේ අඳුරන්න බැරිද කියලා. ඇයි හත් දෙයියනේ කොහොම අඳරන්නද මං හිතන් හිටියේ මට වැඩිය උස (-) සිහින් දෑරි ගෑණු ළමයෙක් වෙන්න ඇති කියලා. සෘණ දැම්මේ ඇයි කියලා හිතාගන්න එක ඔබ සැමට බාරයි. නම නිසූපා….

තව පොඩ්ඩෙන් අමතක වෙනවා. රන්දිකා අක්ක ඇවිත් හිටිය නිසා මං ගියා ඒ පැත්තට. ඉතිං ටිකක් දුරින් හිටිය අයව අඳුන්නලා දුන්නා. ඉතිං නිසූපව පෙන්නපු ගමන් රන්දිකා අක්කා කිව්වේ… අර ස්ටුඩියෝ එකේ නම තියෙන ගෑණු ළමයා නේද කියලා.  මට දැන් හිතෙනවා ඒ ස්ටුඩියෝ එක ටික දවසකින් වහන්න ඇති කියලා…..

නිසුට එහා පැත්තේ මාධව‍. මාධව ගැන නිසූපගෙන් අහලා දැනගන්නකම්ම මං හිටියේ බරපතල වැරදි මතයකින්නේ. මං හිතුවේ අර මාධවට පිටිපස්සෙන් ඉන්නේ මාධවගේ නංගි කියලා. බැලින්නම් ඒ මාධවගෙම නංගිනේ…. මාධවටනම් ඉතිං කියන්න දෙයක් නෑ,… ඒ ඔක්කොමත් හරි මූට සැරින් සැරේ බඩගිනි වෙන එක තමා ඉවසන්න බැරි.

දැන් ඔතෙන එකෙක් අඩුයි… ඌ ගැන ඉතිං කියන්න දෙයක් නැහැනේ…. බෝ පැලේ වගේ හොඳ කොල්ලනේ……!

හිත උණුවෙන සිරා පොරක්….

මේ සීන් එක මාගේ යාළුවෙක්ගේ යාළුවෙකුට වෙචිච දෙයක්… ඇත්තටම වෙච්චි දෙයක් නෙමේ උගේ තිබුන හැදිච්චි කමට කරපු දෙයක්…

අපි ඉතිං ගමනා ගමනය බස් එකේනේ. ඒක නිසා ඉතිං වාඩි වෙලා යන්න ඉඩ තියෙන බස් එකක් අහුවුනොත් එක හෝල්ට් එකක් හරි වාඩි වෙලා යන්න තමා ට්‍රයි එක. අනික මේ සීන් එක වෙලා තියෙන්නේත් හවස් ජාමේ. ඒ කියන්නේ හෙම්බත් වෙලා හෙම්බත් වෙලා ගෙදර යන්න කියලා හිතාගෙන බස් එකට ගොඩවෙලා ටික දුරක් යද්දී….

පොරගේ නම සුනිල් කියමුකෝ. ඔන්න දැන් සුනිල් බස් එකට නගින කොට ඉඩ තිබුන නිසා පොර කිසි ගින්නක් නැතුව වාඩි වෙලා යනවලු…. ඉතිං ඔහොම ටික දුරක් යද්දි හෝල්ට් දෙක තුනක් ගියාම මේං සෙනග පිරෙනවලු එකසිය ගානට. ඇඟිල්ලක් ගහන්න තියා චූටි ඇඟිල්ලවත් ඔබා ගන්න බැරි තරමට සෙනග පිරිලා….

ආයෙ ඉතිං ටික දුරක් යද්දී සෙනග අඩුවෙලා. ඒ කියන්නෙ  යන්නං එක ඇඟිල්ලක් ගහන්න පුළුවන්ලු. ඉතිං මෙහෙම තවත් ටික දුරක් යද්දී එක‍ හෝල්ට් එකකින් නැග්ගලු වයසක ආච්චි කෙනෙක්…

ඒ ආච්චිට කෙලින් හිට ගෙන යන්නත් ටිකක් අමාරුයිලු. නියම වැඩේ කියන්නේ, ආච්චි නැග්ග ගමන් මෙච්චර වෙලා අයි පොඩ්, මියුසික් මොබයිල් එහෙම කනේ ගහගෙන සනීපෙට සෑඳෑ හුළං වැදි වැදි වාඩි වෙලා ආව ගෑණු මිනිස්සු ඔක්කොම ටිකට සිං සිං ගාලා නින්ද ගිහිං. බස් එක තඩි වලකට වැටිලා ගැස්සුනත් එකෙක්ටවත් ඇස්, වැරදිලාවත් ඇරෙන්නේ නෑලු. දැන් මේ කියන යාලුවා ඉඳලා තියෙන්නේ බස් එකේ මැද හරියේ. ආච්චි නැගලා තියෙන්නේ ඉස්සරහින්….

ඉතිං ආච්චි ඒ මේ අත බලනවලු වාඩි වෙන්න තැනක් හොයන්න… ඒත් ඉතිං ඔක්කොමලා නිදිනේ. ඇරහැරවලා සීට් එකක් ඉල්ල ගන්නත් බැහැනේ. දැන් අපේ පොරටත් හෙන අප්සට් සීන් එකට. ඇයි ඉතිං මෙච්චර වෙලා ඇස් ඇරං ආපු අය එකපාරටම පන ගියා වගේ ඇස්  පියා ගත්තම පොඩි එකෙක් වුනත් බය වෙනවනේ. ඊටත් හපන් මේ යාළුවගේ හි‍තේ, ජ්‍යේෂ්ඨ පුරවැසියන් ගැන තියෙන කාරුණික බව. ඒ කියන්නේ වයසක හයිහත්තිය නැති කෙනෙක් දැක්කම හිත උණුවෙන ගතිය. පොරට දැන් ඉතිං අර නිදාගත්ත හැමෝත් එක්කම කේන්තියිලු. මෙච්චර අමාරුවෙන් වයසක කෙනෙක් හිටගෙන යද්දී මුං සේරොමලා තාප්පෙට තියලා පාප්ප ගෑවා වගේ සීට් එකටම ස්ටිකර් වෙලා හොඳටම නිදිනේ…. ඉතිං කේන්ති යන එක අහන්නත් දෙයක්යැ.

පස්සේ ඉතිං මූට කේන්තියි වගේම හෙනටම දුකත් එක්කලු…. ඇයි ඉතිං තාමත් අර ආච්චි හිටගෙනනේ…. පවුනේ… ඉතිං ඒ පාර මේ යාළුවා කරලා තියෙන්නේ, ඌටත් ආච්චි හිටගෙන අමාරුවෙන් යන හැටි බලාගෙන ඉන්නම බැරි පාර පොරත් ඇස් දෙක වහගෙන….!

බලන්න ඉතිං හිත උණු වෙන කොයි තරම් හොඳ පුත්‍ර රත්තනයක් කියලා…..!

තවත් ප්‍රශ්නාර්ථයක්…..?

හා කියන්න බලන්න විශ්ලේෂන එන්ජිම හොයාගත්තේ කව්ද කියලා….

හිහ් මෙයා මට විහිළු කරනවා… මහ ලොකුවට, මේ මහා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන කියලා පටන් ගත්තට අහන්නේ ශිෂ්‍යත්වෙට එන ප්‍රශ්නනේ…

චාල්ස් ‍බැබේජ්.

හ්ම්…. එ‍‍‍හෙනම් කියන්න බලන්න දෙවෙනි පරම්පාරවේ පරිගණක වල භාවිතා‍ වෙන්නේ මොනාද කියලා…

චුට්ටක් විතර ආමාරු ප්‍රශ්නයක්…  පුංචි කාලේ ඉගෙන ගත්තු එව්වා එක පාරටම මීටර් කරගන්න බැහැනේ…

අයියෝ සිම්පල්නේ… ට්‍රාන්සිස්ටර්….

හ්ම්….. දැන්  එහෙනම්…..

හා… හා.. මේ දැන් ඔයා ඇහුවා ඇති…. දැන් මං අහන්නම්….

හා…

හ්ම්… කියන්න බලන්න…. පී කොක් කියන්නේ මොනරටද…?

ඉඳලා ඉඳලා ඇහු‍වා උත්තරයක් දෙන්න බැරිම ප්‍රශ්නයක්… දීපල්ලකෝ බලන්න මේකට උත්තර. මගෙන් ප්‍රශ්න අහලා මාව අමාරුවේ දාන්න ආවා….

හ්ම්……

හෙන කල්පනාවක්……

මේ මේ ඔච්චර වෙලා දෙන්න බෑ…. ඉක්මනට කියනවා….

පී කොක් කියන්නේ රටක් නෙමේ අයියෝ… පී කියන්නේ මොනරටනේ….

ඉතිං ඒකනේ මං ඇහුවේ…. මෙච්චර වෙලා ගත්තේ මොකටද, ඔයා පරාදයි….

කාලෙකට පස්සේ ඔහොම රන්ඩු කරගත්තම මං හිතුවේ මට අඩුමගානේ සතියකට සැරයක්වත් ආයෙමත් රන්ඩු කරන්න පුළුවන් වෙයි කියලා… කෝ ඉතිං…. රන්ඩු කරන්න තියා උන්නද මලාද බලන්න කතාවත් කරන එකක්යැ…. දැන් මාසෙකටත් කිට්ටුයි….  කොච්චර බලාගෙන හිටියත් එපා වෙන්නෙත් නැති හැටි…!

 

%d bloggers like this: