හද බිත්තියේ ගල් අකුරු…

පෙමින් වෙලී සිටි කාලෙක අපි සොඳුරු

මතකද නුඹට මැවු හැටි

අපි සිරි මැදුරු…

 

හෙමින් හෙමින් බැඳ හදවත ගල් පවුරු

ටික කලෙකින් ඇරඹුන හැටි

සෙල් සිදුරු…

 

 

හද බිත්තියේ නුඹ කෙටු ඒ ගල් අකුරු

අකුණු සැරට සුදිලෙන හැටි

මිණි අහුරු…

 

වැසි සමගින් මාරුත මැද මහ රුදුරු

නොසැලී ඉන්න හැටි

විඳගෙන දුක් සොඳුරු…

ගැජ මැටික් ටික බේරගමු….!

කොම්පූටර් ඉස්සරහා ඉන්න අපිට තියෙන වැදගත්ම දේවල් මොනාද… කියලා ඇහුවොත් එක එක්කෙනා එක එක උත්තර දෙයි… හැබැයි මං නම් කියන්නේ අපිට වැදගත් වෙන්නේ අපිට ගොඩක්ම ‍ෆැමිලියර් වෙච්ච ගැජ මැටික් ටික‍‍‍…

දැන් ඉතිං බලන්න එපා අද මොකාටද එන්නේ මූ කියලා… අද මේ දෙසන්න යන්නේ අපිට නිතර වුවමනා වෙන වටිනා කියන සොෆ්ට් වෙයාර් කෑලි ටික ‍හොර හතුරන්ගෙන් සහ වයිරස් වැඩසටහන් වලින් බේරගන්න හැටියක් ගැන. මේ ක්‍රමේ අනිත් අය දන්නව වුනාට අනුගමනය කරනවද නැද්ද නං මං දන්නේ නෑ. හැබැයි මං නම් මගේ ෆ්ලෑෂ් එකේ තිබ්බ සොෆ්ට් වෙයා ටිකට කෙල වෙච්චි දා ඉඳන් අනුගමනය කරන නොවරදින ක්‍රමයක්. නොවරදින කියන්නේ 85%ක් විතර තමා ඉතිං.

සොෆ්ට් වෙයාර් එක්ක වැඩ කරන… ඒ කියන්නේ ඔය ඔෆිස් පැකේජ් එකෙන් එහාට ගිය දේවල් කරන සහ තමන්ගේ පරිගණකය ඇරෙන්න අනිත් අයගේ පරිගණක වලත් වැඩ කරන අය ගොඩක් වෙලාවට තමන්ට අවශ්‍ය වෙන සොෆ්ට් වෙයා කෑලි ටික තියා ගෙන ඉන්නේ ෆ්ලෑෂ් එකේ තමා. එහෙමත් කෙනෙක් තමා ඩීවීඩී බැකප් තියාගෙන ඉන්නේ… ඉතිං අපි කොයිතරම් හිතුවත් වයිරස් ගාඩ් තියෙන පරිගණක ආරක්ෂිතයි කියලා, මගේ නම් අදහස ඒ කියන තරම් ආරක්ෂිත නෑ කියලා තමා. ඉතිං ඕනේ වෙලාවක අපි අනාරක්ෂිත වෙන්න පුළුවන්. එත‍කොට ඉතිං අර ෆ්ලෑෂ් එකේ තිබ්බ වටින මෘදුකාංග ටිකට කෙල වෙන්නේ ඇස් පනාපිටම.

කවුරු හරි දැකලා තියේද වයිරස් එකක් විසින් exe ෆයිල්ස් ඔක්කොම ටිකට ආසාදනය වෙමින් එව්වා විනාස කරන හැටි…? ඒ සිද්ධිය දකින්න නම් මං පිං කලා. ඒ ස්කෝලේ යන කාලෙදී… ටිකක් ස්ලෝ මැෂින් එකක…. වයිරස් එකක් විසින් exe ෆයිල්ස් වලට ආසාදනය වෙද්දී එව්වයේ අයිකන් ටික වෙනස් වෙලා යනවා… අනේ ඉතිං මාත් කට ඇරං බලං හිටියා. පස්සේ බලද්දී මගේ වටිනා ගැජ මැටික් ටික අහවරයි. ඒ දවස් වල ඉතිං දැං වගේ ජංජාලේ එක්ක වැඩිය යාළු කම් නෑනේ…. ඒක නිසා ඒ සොෆ්ට් වෙයාර් කෑලි ටික හෙනම වටිනවා… කැස්පර්ස්කි තිබ්බත් කෙල වුන අපූරුව….!

ඉතිං මේකට උපක්‍රම හෙව්වට හම්බුනේ නෑ… පස්සේ ඉතිං මං ලැපීව ගත්තට පස්සේ එයාටත් දැම්මා වයිරස් ගාඩ් එකක්. ඒත් කැස්පර්. ලයිසන් කී එක ඔෆිස් එකෙන් ඉස්සුවා. එතකොට මගෙ එකත් ලයිසන්ඩ් එකක්නේ… ඉතිං සතියකට පාරක් විතර අප්ඩේට් කරනවා… ඒ අස්සේ ආයෙමත් මට කෙලවුනා. පස්සේ ආයෙමත් අර සොෆ්ට් වෙයා රැක ගැනීමේ මෙහෙයුම අරඹන්න වුනා.

ඊට පස්සේ ජංජාලෙම හෙව්වත් හොයාගන්න බැරි වුනා. ඊට පස්සෙ ඉතිං ඔහොම යද්දී ආයෙමත් දවසක් අර කෙලවීම එහෙම්ම වුනා. ඒ තුන් වෙනි පාර. මට ඉතිං මල අතේ… ඒත් පොඩි සහනයක් තිබ්බා. ඒ තමා මං හෙන ලවෙන් ඉන්න ෆොටෝ ෂොප් එක සිප් කරලා තිබ්බ නිසා බේරිච්ච එකට. පස්සේ ඉතිං මං මගෙ ෆ්ලෑෂ් එකට දාගන්න හැම රෙද්දම සිප් කරලා දාගත්තා. අන්තිමේ ඉතිං කොච්චර වයිරස් තියෙන මැසිමකට ගැහුවත් මගේ ගැජමැටික් ටික ගොඩ. ඇත්තට මං හිතුවේ නෑ ඒක විසඳුමක් කියලා… ඒත් බලාගෙන යද්දී ඒක තමා තියෙන සිම්පල්ම ප්ලෑන් එක…

මං දන්න තරමින් නම් සිප් ෆයිල් කියන්නේ ෆයිල් එකේ ප්‍රමාණය අඩු කරලා කැපෑසිටි අඩු ෆයිල් එකක් හදාගෙන මෘදුකාංගයක්. ඉස්සර වින්ඩෝස් 98 තියෙද්දී නම් අපි රට වටේ ඇවිදිනවා වින් සිප් තියෙන කලෙක්ෂන් සීඩී හොයන්න. සමහර එව්වයේ කවරෙ තිබුනට සිප් තියෙනවා කියලා ගෙනැල්ල බලද්දී වින් සිප් නෑ….

ඒත් ඉතිං දැන් එහෙම නෑනේ… වින්ඩෝස් එක්කම සිප් එන නිසා ප්‍රශ්නයක් නෑ… ඒ වගේම නෙට් එකේ හොයලා බැලුවම සිප් වලට ආසාදනය වෙන වයිරස් තියෙනවද කියලා, දෙක තුනක් ඇරෙන්න මහ ගොඩක් නම් හම්බුනේ නෑ…. හැබැයි නැත්තෙම නෑ… ඉතිං මං හිතන්නේ වයිරස් වලින් ගැජ මැටික් ටික රැක ගන්න තියෙන හොඳම ලේසිම ක්‍රමේ තමා ඒ ටික සිප් කරන එක…. ඉඩත් අඩුයි… ආරක්ෂාවත් වැඩියි…!

දැන් නම් ඉතිං සොෆ්ට් වෙයා ටිකට කෙල වුනාම ආයෙම ඩවුන් කරගන්න පුළුවන්… ඒත් අවුරුදු කීපයකට කලින් නම් මේ ක්‍රමේ මට හෙනටම අල්ලලා ගියා. දැනටත් ඉතිං වෙනසක් නෑ…. මගේ නම් ඔක්කොම ගැජ මැටික් ටික සිප් කරගෙන තමා ඉන්නේ… සිප් කරන විදිය දන්නේ නැති අය නැතුව ඇති…. ඒත් කමක් නෑ,.. ෆයිල් එකක් සිප් කරන්නේ ඒ ෆයිල් එක රයිට් ක්ලික් කරලා එන මෙනු එකෙන් send to තෝරලා ඒකෙනුත් එන මෙනු එකෙන් compressed zip folder කියන එක ක්ලික් කිරීමෙන් තමයි…

ඇත්තෙන්ම මේක වටින්නේ ගෙදර නෙට් නැති හා ෆ්ලෑෂ් එක විවිධ පරිගණක වල පාවිච්චි කරන අයට. මොකද ඒ අය කොහෙන් හරි ඩවුන් කර ගන්න සොෆ්ට් වෙයා ටික තියාගන්නේ ෆ්ලෑෂ් වල නිසා….

ඉතිං ඔය විදියට සිප් කරලා පාස් වර්ඩ් එකකුත් දාගත්තනම් සාමාන්‍ය කෙනෙකුට ඒ ගැජ මැටික් වලින් වැඩ ගන්නත් බෑ… හැබැයි මතක තියාගන්න සිප් පාස් වර්ඩ් කඩන්නත් ඕනේ තරම් බඩු තියෙනවා… මොනා වුනත් සාමාන්‍ය ආරක්ෂාවක් වෙනුවෙන් නම් සිප් නියමයි…. අත්දැකීමෙන් කියන්නේ….!

කුණුහරුප පාඩමක්…

මේ මොන කුණුහබ්බයක්ද කියලා හිතන්නේ නැතුව කියෝගෙන යන්න…. මොකද කුණුහරුපයක් දැනන් ඉන්න එක වැදගත් වෙන වෙලාවලුත් තියෙනවා.

කුණු හරුප කියන එව්වා නොදන්න චූටි ඈයෝ ඉන්නවා නම් ඉතිං මට කරන්න දෙයක් නෑ… එවුන්ට කොච්චර කිව්වත් මේක බලන්න එපා කියලා නොබලා ඉන්නේ නෑනේ… අනික මේක බැලුවා කියලා කිසිම හානියක් වෙන්නෙත් නෑ…

ඉතිං මේ කියන්න යන්නේ කුණුහරුප සම්බන්ධව මං දකින පැත්ත ගැන. සමහරවිට මං වැරදි ඇති… ඒත් ඉතිං මට හිතෙන දේනේ මේ… අපි මුලින්ම දහම් පාසල් යද්දී අපිට කියලා දුන්නා පරුෂ වචන කියන්න එපා පව් සිද්ධ වෙනවා කියලා… දහම් පාසලේ විතරක් නෙමේ ස්කෝලේත් කියලා දුන්නා. ඉතිං මේ පරුෂ වචන කියන්නෙත් කුණුහරුප වලටමයි කියලා මං නම් හිතන්නේ නෑ… මං හිතන විදියට කුණුහරුප හා පරුෂ වචන කියන්නේ කොටස් දෙකක්.

මට තේරෙන විදියට ලියන්නම්… පරුෂ වචන කියන්නේ, මරනවා, කපනවා, කොටනවා වගේ කෙනෙක්ට තර්ජනය කරලා බය කරන්න හරි, විහිළුවට හරි කියන එව්වා… ඒවා කිව්වම ඉතිං පවු සිද්ධ වෙන එක අහන්න දෙයක් නෙමේනේ… ඒ වගේම කුණුහරුප කියන්නේ අපි ජීවත් වෙන සමාජය විසින් නොපැවසිය යුතු යැයි සම්මත කරගත් වචන මාලාවක් තමා. ඒ වචන වැඩි හරියක් යොදා ගන්නේ කෙනෙක්ට නරක විදියට ආමන්ත්‍රනය කරන්න හා මොකක් හරි රහස් යැයි සලකන ක්‍රියාවලියක් වෙනුවට තනි වචනයක් ලෙස යොදාගන්න තමා… උදාහරණයක් විදියට ගැහැණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ශාරීරකව එකතු වෙලා කරන ප්‍රජනන ක්‍රියාවලිය හඳුන්වන්නත් තියෙනවා තනි වචනයක්… ඒක නොදන්න බබාලා නෑනේ… එච්චර වැදගත් ක්‍රියාවකට තනි වචනයක් හදාගෙන ඒක කුණුහරුපයක් කියලා හංවඩු ගහන එක ගැන නම් දෙපාරක් හිතන්න ඕනේ මං හිතන්නේ…

ඒ වගේම තමා ‍ගැහැණු කෙනෙක්  ‍​වෛශ්‍යාවක් ලෙස කටයුතු කරනවනම් ඒකිව හඳුන්වනනත් අකුරු දෙකේ නමක් තියෙනවා. ඒ වගේම දරු සම්පත් ලබන්න බැරි හා යම් යම් දේවල් වල අඩුපාඩු තියෙන පිරිමි හඳුන්වන්නත් අකුරු හතරක සංකේත නාමයක් තියෙනවා. ඉතිං මෙන්න වගේ එව්වා තමා අපි ජීවත් වෙන සමාජය විසින් නොපැවසිය යුතු දේ හෙවත් කුණුහරුප ලෙස පිළිඅ‍රගෙන තියෙන්නේ.

දවසක් දා පුංචි කාලේ මාත්…  කවුරු හරි කියනවා අහගෙන ඉඳලා හු** කියලා අපේ අම්මා මගේ කටට එකක් ගැහුවා… මං දන්නේ නෑ ඒ දවස් වල ඒකෙ තේරුම… ඒ දවස් වල විතරක් නෙමෙයි අදටත් මට ඒ වචනේ තේරුමක් හිතාගන්න අමාරුයි… මම හිතන්නේ කෙනෙකුට කේන්ති ගියාම යම් පිරිමි හෝ ගැහැණු කෙනෙක්ව හඳුන්වන්න යොදන චවනයක් කියලා විතරයි. එතින්න එහාට නම් ඒකට තේරුමක් දෙන්න මං දන්නේ නෑ… ඒත් මං පොඩි දවස් වල අපේ අම්මා මගේ කටට ගැහුවේ ඇයි…? එයා තේරුම දැනගෙන හිටියද…? මං නං හිතන්නේ අපේ අම්මා තේරුම දන්නෙත් නෑ….

ඒත් මගේ කටට ගැහුවේ ඒක සමාජය විසින් අවිවාදයෙන් බැහැර කරන පිලිකුල් සහගත වචනයක් නිසා… ඒත් ඒකට නියමිත තේරුමක් නෑ… නිකං කියන්නන් වාලේ අපිත් කියනවා, ඊට පස්සේ අහගෙන ඉන්න එවුන් අපිට දෙහි කපනවා…

හැබැයි ඔය ක්‍රියාකාරකම් සඳහා යොදාගන්න තනිචවන නම් වෙනත් නාම පද එක්ක යොදාගැනීම නිසා බොහෝ විට ගැටීම් හිටං ඇතිවෙනවා… දන්නවා ඇතිනේ… අඩෝ මේ… අම්මා මතක් කරන්න එන්න එපා… කියලා කෑගහන්නේ… අන්න ඒ වගේ අවස්ථාවන් වලදී තමා.

ඇත්තටම මේ වචන සිංහල අපිට කුණුහරුප වුනාට වෙනත් භාෂාවක ඒ වචනයෙන් හඳුන්වන්නේ මොනා හරි වටිනා දෙයක් වෙන්න පුළුවන්… අනේ මන්දා… මේ එක එක අකුරු තුන හතරවල් පටලෝ ගෙන කුණුකරුප කියලා ‍බෝඩ් ලෑල්ලකුත් ගහගෙන කරන විකාර.

දැන් ඉතිං මේවා කියන්නේ කුණුහරුප කියන එව්වා නොසලකා හැරලා ඒ වචන කියන එක නගාසිටුවන්න එහෙම නෙමෙයි, මට හිතෙන විදිය ගැන පොඩ්ඩක් කියන්න විතරයි. අනික මේ කුණුහරුප කියන්න ගියොත් එහෙම අපිව සමාජයෙන් කොන් වෙනවා… එතකොට ඉතිං මොකද කරන්නේ… ඒක නිසා තියෙන හොඳම දේ තමා කුණුහරුප දැනගත්තට නොදන්නවා වගේ ඉඳීම. එතකොට ඉතිං අපි කුණුහරුප දන්නේ නෑනේ…! කුණුහරුප කියන්නම ඕනේ නම්.. අර ඩබල් මීනින් කියලා තියෙන්නේ එව්වැයින් පුළුවන් ඒ ටික කරගන්න…

ඒ වගේම මේ කුණුහරුප සමහර වෙලාවට වැදගත් වෙන අවස්ථාත් තියෙනවා. එක උදාහරණයක් කියන්නම්… ඔයාලා දැකලා ඇතිනේ මුහුද අයිනේ මාදැල් අදිනවා… ඒ වගේ වෙලාවට දැල අදින්න ගැම්ම ගන්න කියන්නේ තුන් සූත්‍රය වත්, වෙන මොකක් හරි සිංදුවක් වත් නෙමේ තනිකරම කුණුහරුප… දැන් ඉතිං මේ ටික කියෝලා කට්ටිය කුණුහබ්බ කියන්න අරගෙන ටොකු , පොලු පාරවල් කෑවොත් එහෙම මං නං නෑ ඕං….

ඇත්තට මේ ලෝකේ කුණුහරුප කියලා සම්මතයක් නොතිබ්බනම් මාදැල් අදින අය මොනා කියලා ගැම්ම ගනීද…?

කසුන් කල්හාර කොපි කාරයෙක්ද…?

අනේ ඉතිං අපේ කසුන් අයියා… මගේ හෙනම ෆේවරිට් ගායකයෙක්‍. දැන් ඉතිං කස්ටිය හිතන්න එපා මේක පෞද්ගලික ආරෝවක් මත කරන මඩ ගැසීමක්වත් එහෙමත් නැත්තං දේශපාලනික කේස් එකක් නිසා ගෙනියන මඩ ප්‍රචාරයක්වත් කියලා. මොකද මේක කොටින්ම මඩ ප්‍රචාරයක් නෙවේ.

මං ඉතිං දවසට මූවිස් දෙකක් විතර බලන එකා වෙච්චි, මේ සීන් එක මීටර් වුනේ මීට අවුරුදු 2කට විතර ඉස්සෙල්ලා. ඒ දවස් වල ඉඳන් මේක ඔලුවේ තිබුනට මට සීන් එක ටික ටික අමතක වෙලා ගියා…

කේස් එක තේරුම් ගන්න කලින් කසුන් අයියගේ මේ සින්දුව බලලා ඉන්න.

මොකද හිතෙන්නේ…. මාර ලස්සන සංගීතයක් නේද…? හා හරි එහෙනම් මේ වීඩියෝ කෑල්ලත් අහලා බලලා ඉන්න… (මෙතෙන පෙනුනේ නැත්තං කරුණාකරලා you tube ගිහිං බලන්න.)


මොකද කියන්නේ කට්ටිය…? කාටවත් හිතුනේ නැද්ද සංගීත කණ්ඩ වල සමාන කමක් තියෙනවා කියලා…! මගේ කනේ දෝසයක්ද දන්නේ නෑ මට නම් එහෙම ඇහුනා… මං මේ කියන්නේ කසුන් අයියා කොපි කාරයෙක් කියලා නෙමේ…. සිරාම සිරා සංගීතඥයෙක් කියලා.

ඉස්සර අපේ අය හිංදු සිංදු වල සංගීතයට සිංහල සින්දු හැදුවා… ඒ කියන්නේ සංගීතය කෙලින්ම කොපියක් ගැහුවා හා සමානයි… ඒත් මේ වැඩේ නම් මල් හතයි. කසුන් අයියා මේක කොපි කලා වුනත් මං නම් දකින්නේ කොපියක් හැටියට නෙමෙයි… මාරම ගතියට ගොඩක් උසස් විදියට කරපු සංගීත ප්‍රතිනිර්මානයක් විදියටයි….!

ඇත්තටම අර ඔරිජිනල් සංගීතයට වැඩිය කසුන් අයියගේ සිංදුව මැක්සා…. ආහ්… ඒ මූවි එක තමා ජැක් සහ බෝංචි වැලේ ඇත්ත කතාව…. කියන එක. මං කතාව කියන්නේ නෑ. ඕනේ අය බාගෙන බලන්න…. ලස්සන මූවි එකක්….

 

බිත්තරේට වෙච්චි දේ…

අපි ඉතිං ස්කෝලේ යන දවස් වල ගත්ත හා වැරදිලා ලැබුන ෆන් කේස් තමා අමතක වෙලා නෑ නොවැ. කොහොම හරි ටික ටික අමතක වේගෙන යද්දී ආයෙම කොහෙන් හරි යාළුවෙක් සෙට් වෙලා එව්වා මතක් කරනවා. මේකත් එහෙම ‍සීන් එකක් තමා.

බිත්තරේ…. බිත්තරේ කිව්වම කට්ටියට මතක් වෙන එව්වා මොනාද කියලා නිකමට හිතන්න. කිකිලි බිත්තරේට අමතරව තව තව බිත්තර ගැන මතක් වෙනවා. එව්වා ඉතිං මෙතෙන කිව්වොත් මට විසුමක් වෙන්නේ නැති නිසා එව්වා ඕනේ නෑ…. අනික තාමත් හෙන මතවාදයක් තියෙනවනේ… කිකිලිද බිත්තරේද මුලින් ඉපදුනේ කියලා… මං නම් හිතාගෙන ඉන්නේ ඔය දෙකම නෙවේ මුලින්ම ඉපදුනේ කුකුලා කියලා… දැන් ඉතිං හේතු අහන්ට එපා…

මේං කතාව…

ඉස්සර ඉතිං අපි ස්කෝලෙට ගොඩක් වෙලාවට ගෙනියන්නේ… මං මේ කියන්නේ ඉන්ටවල් එකට කන්න… බනිස්, ජෑම් පාන්, මාළු පාන්, බටර් පාන් ව‍ගේ වැඩිය ඇඟ පතේ නොගෑවෙන කෑම ජාති තමා. අපි ඔව්වට කොයිතරම් අකමැති වුනත් අපේ අම්මලා ‍බලෙන් වගේ කෑම පෙට්ටි වලට ඔබන්නේ ඔව්වම තමා. මොකද නැත්තං ඉතිං අපි ඉඳුල් නාගෙනනේ ගෙදර එන්නේ ඒක නිසා…. හැබැයි ටික ටික අපි ලොකු වෙද්දී, ඒ කියන්නේ 8,9,10 වසර වලට එද්දී ගොඩක් වෙලාවට බත් තමා ගේන්නේ… ඒ ඉතිං ස්කෝලෙන් පස්සේ ක්‍රීඩා පුහුණුවීම්, එහෙමත් නැත්තං ‍අමතර පන්ති වගේ එව්වා සෙට් වෙන නිසා….

ඉතිං අපි මෙහෙම බත් ගේන කොට අපේ ගෙවල් වල අය හරියට හිතනවා අපේ පෝෂණය ගැන. ඒක නිසා ගොඩක් වෙලාවට ස්කෝලේ සෞඛ්‍ය පොතෙන් නිර්දේෂ කරපු ඇස්පෙනීම වඩවන ගොටුකොල සම්බෝලය, ප්‍රෝටීන් බහුල පරිප්පු, ඊට පස්සේ කැල්සියම් බහුල පොඩි මාළු… එහෙම කෑම එකට වරදින්නේ නෑ…. ඉතිං ඔහොම කෑම ගෙනාවම ගොඩක් වෙලාවට අපි කන්නේ එක බත් මුලක් දිග ඇරගෙන දහ දෙනෙක් විතර කාලා… ආයෙම තව එකක් ලෙහා ගෙන කන පිළිවෙලට තමා.

ඉතිං ඔහොම කාගෙන යද්දී එක එක වෑංජන එක එක ජාතියේ හාල් වර්ග වල බත් එහෙම කැවෙනවා. ඒ අස්සේ කාගෙ හරි බත් එකක බිත්තරයක් එහෙම තිවු‍‍නොත් නම්, එතෙන බත් කෑමක් සිද්ධ වෙන්නේ නෑ… ගොඩක් වෙලාවට බිත්තරේ තියෙන බත් මුල කෑවා නෙමේ වපුරපු ස්වභාවයක් තමා පෙන්නුම් කරන්නේ.

ඉතිං මේ කියන දවසෙත් අපේ කවුරු හරි එකෙක් ගෙනාව බිත්තරයක් තම්බගෙන. ඉතිං දැං දහයක් විතර වටවෙලා බත් මුල දිගෑරගෙන කන්න ලෑස්ති වෙනවා. අපේ තව කසුන් කියලා එකෙක් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. පස්සේ ඉතිං අපිත් කෑගගහා බත්මුල ලෙහුවා විතරයි… අපේ ඔලු දෙපැත්තට කරගෙන ආවා අතක්… ආපහු ගත්තා ක්ෂණිකවම….

අපිට හිතාගන්නවත් වෙලාවක් නෑ මොකද්ද වුනේ කියලා… පස්සේ ඉතිං පිටිපස්ස බලද්දී කසුන් හිනා වෙවී දුවනවා විතරක් දැක්කා. ඊට පස්සේ එහෙම්ම බත් එක දිහා බලද්දී මෙන්න බොල බත් එකේ ලොකු ආවාටයක්…. හරියට නිකං උල්කාපාතයක් වැටිලා වගේ… ඒත් ඉතිං වැටිච්චි මගුලේ සලකුණක්වත් නෑ… පස්සේ ඔන්න කව්ද එකෙක් කෑගහනවා…

අඩෝ… කසුනා බිත්තරා දීපිය යකෝ…. කියලා…

මල මගුලයි…. කසුනා බිත්තරේ අරං පැනගෙන…. ඒක මීටර් වෙද්දී කසුන් බිත්තරේ කාලා ඉවරයි. ඔය බිත්තරේ උස්සන කල්ලියට තව දෙතුන් දෙනෙක් සම්බන්ධයි… හැමදාමත් උංම තමා බිත්තරේ උස්සන්නේ… මොකද බත් එක ගෙනාපු එකා දන්නෙත් නෑ බත් එකේ තියෙන්නේ මොනාද කියලා… ඒක නිසා ඉතිං වැඩිපුර ආරක්ෂාවක් දාන්න වෙලාවක් ඇත්තෙම නෑ,. ඉතිං ඔය සීන් එකෙන් පස්සේ කවුරු හරි බිත්තරේ ගත්න කං තව දෙන්නෙක් විතර බලාගෙන ඉඳලා බිත්තරේ ගත්ත එකාව පෙරලගෙන බිම දාලා බිත්තරේ ආපහු ලබාගන්න වැඩ පිළිවෙලකුත් තිවුනා…. ඊට පස්සේ ඒක ටිකක් වෙනස් වුනා…  කොහොම හරි බිත්තරේ ගත්ත එකා මුලින්ම බිත්තරේ අරං දුවන්න කලින් බිත්තරේට උගේම කෙල පාරක් ගහනවා… එතකොට ඉතිං වෙන කවුරුත් කන්නේ නෑනේ… එතකොට ඉතිං බිත්තරේ තනියම, කනවා….

පස්සේ ඔය ක්‍රමේටත් කන කොකා හැඬුවා… ඒකටනම් හේතු වුනේ මං. ඔය බිත්තරේ උස්සලා කෙල පාර ගහන එකා ඉන්නවනෙ… ඌ ඉතිං උගේ රාජකාරිය ඉවර කරලා බිත්තරේ අපිට පෙන්න පෙන්න කන කොට එල වැඩක් කරන්න පුළුවන් කියලා මට මීටර් වුනේ ටිකක් කල් ගිහිල්ලා….

මොකද්ද දන්නව‍ද වැඩේ….? දැං අර බිත්තරේ උස්සපු එකා උගේ කේඨ ස්ප්‍රේ පාරක් එහෙම දාලා අපිට පෙන්න පෙන්න බිත්තරේ කන්න හදද්දි අපිත් පැනලා උගේ අත් දෙකටයි, බිත්තරේටයි දෙකටම ගහනවා හොඳ කෙල පාරක්… ඊයා තමා ඉතිං… මොනා කරන්නද… ඒ දවස් වල ඉතිං පිස්සුනේ…

පස්සේ ඉතිං බිත්තර හොරා බිත්තරෙත් බිම දාලා දුවනවා ටැප් එක ගාවට. ගිහිං අත් දෙකම හෝදගෙන ඉන්ටවල් ඉවර වෙලා තමා ආයෙත් පන්තියට එන්නේ… ඒ වගේ දවස් වලට ඉතිං බිත්තරේ කාටවත් කන්න විදියක් ලැබෙන්නේ නෑ… ඔය කේස් එක නිසාම මං ඇතුළු තවත් කීප දෙනෙක්ම බිත්තර ගේන එක නැවැත්තුවා… පස්සේ අපි 11 වසරට එද්දී අට නවය වසර වල අපේ බත් එකේ තිබ්බ බිත්තරේට වෙච්චි දෙයක් හොයා ගන්න බැරුව ගියා… කොටින්ම කියනවා නම් ඊට පස්සේ එකෙක්වත් බිත්තර ගෙනාවේ නෑ ඉන්ටවල් එකට කන්න….

පේව් මන්ට් එකේ සිට සැබෑ කරගත් සිහිනය…

පුංචි කාලේ ඉඳන් හිතේ තිබ්බ ආසාවක් ගිය පෝය දවසේ තෘප්තිමත් කරගත්තා. මේකත් ඇන්ටි ගර්ල්ස් කතාවක්… එක කෙල්ලෙක් වත් නෑ කතාව පුරාවටම. අහෙන් මෙහෙන් වැටුන හිනා පොදවල්, ඇ‍ඟේ දැවටුන පර්ෆියුම් සුවඳවල් ඔක්කොම ටික නොසලකා හැරලා තමා කතාව ලියන්නේ. ඒත් ඉතිං අර රත් නෙළුම් අහුරක් ගෙනිච්ච අත්දෙක නම් අමතක වෙන්නේ නෑ….

මෙච්චර කාලයක් තිස්සේ රැ නිදි මරාගෙන,… පුංචි කාලෙනම් තාත්තගේ ඔඩොක්කුවට වෙලා අම්මගේ අතින් අල්ලගෙන සැපට ඉඳගෙන නිදිමත පෙර පෙර නුවර පෙරහැර ටීවී එකෙන් බලපු මට මේ පාර නුවර පෙරහැර, සෙනග මැද්දේ තෙරපිලා… දූවිලි කාගෙන බලන්න ආසාවක් ඇතිවුනා. ඉතිං මට තනියම යන්න ටිකක් කම්මැලි වගේ නිසා මගේ තව යාළුවෝ දෙන්නෙකුත් සෙට් කරගෙන ගියා නුවර. බස් එකේ යන ගමන්… අරුං දෙන්න හිටියත් හිතට කිසි ෆිට් එකක් නෑ… ඒ පාර අපේ බ්ලොග් ලියන, නුවර පෙරහැර බලන්න එන්න ඉඩ තියෙයි කියලා හිතෙන කිහිප දෙනෙකුට කතා කලාම… කට්ටියටම විවිධ ප්‍රශ්න. ඇත්තට ඉතිං මං තාම තනිකඩ උනාට අනිත් අයියලා මල්ලිලා කපල් වෙලානේ… එහෙව් එකේ ඉතිං පර්මිශන් ග්‍රාන්ට් කරන නං ඇවිදින්න අවසර නැහැනේ…

පස්සේ ඉතිං අන්තිමේ මට ඉතුරු වුනේ මාත් එක්ක ගිය යාළුවෝ දෙන්නා විතරයි. උදේ එකොලහට විතර නුවරට ගිහිං, උදේට කාලා එහෙම දළදා මාලිගාවට ගියා. ඒ යන ගමන් අපිට ඇවිල්ලා සෙට් වෙලා පෙරහැර බලන්න පුළුවන් තැන දෙක තුනක්ම මතක තියන් ගියාට අපි එද්දී එව්වා ඔක්කොම සෙනගින් පිරිලා. දළදා මාලිගයට ගිහිං අපි එතෙන ගත කරපු කාලය වැඩි වුනා මයෙ හිතේ… කඩපිල් ගානෙත් ඇවිද්දනේ… ඒකත් එකත්රා ලස්සන අත්දෑකීමක්…

ඇත්තට මට මේ පෙරහැර, ටීවී එකෙන් නැතුව ඇත්තටම සජීවීව… අර බෙර හඩට පපුව ගැස්සී ගැස්සී බලන්න හිතුනේ… අපේ අම්මා නිසා. අපේ අම්මා හැමදාමත් දළදා පෙරහැර ගැන ටීවී එකේ දාන කොට එයාගේ මතකය අවදි කරනවා. ක්වීන්ස් හෝටලයේ උඩ තට්ටුවේ අපේ ලොකු මාමාලා එක්ක පෙරහැර බලපු හැටි කියද්දී මට ඌරු ජුවල්… වෙන වෙලාවකට ඉරිසියාවක් නැති වුනත්, ඒ වෙලාවටනම් ම‍ගේ හිතේ තනිකරම හෙන ඊරිසියාවක් පැලපදියම් වෙනවා… ඒක නිසාම තමා මේ ගමන මට යන්න වුනෙත්…

ඉතිං දළදා මාලිගය වැද පුදාගෙන එද්දී අපිට ඉඳගන්න තැනක් නෑ… වෙනදට අපි එකෙක්ට වත් පදික වේදිකාවේ තියෙන එක බිම් අඟලක් වටිනවද…? ඒත් පෙරහැර තිබ්බ දවසේ නම් ඒ වටිනාකම හොඳට තේරුනා‍. මොකද අපිට ඉඳගන්න එක සෙන්ටිමීටරයක්වත් ඉඩ තිබුනේ නැති නිසා. කොහොමහරි අන්තිමේ අපිට එකතු වුන තවත් යාළුවෙක් නිසා අපිට ඉඳගන්න තැනක් හම්බුනා. හැබැයි අපිට ඉස්සරහින් ලොකු වතුර ටැංකියක් තිබ්බ නිසා වැඩේ ටිකක් අප්සට්… ඒත් ඉතිං වෙන කරන්න දෙයක් නැති නිසාම අපිට සිද්ධ වුනා එතෙන ලගින්න පෙරහැර එනකං….

පස්සේ ඉතිං තුනට විතර වාඩි වෙච්චි අපි තවත් පැය හයා මාරක් විතර… ඒ කියන්නේ රෑ 9.30 විතර වෙනකංම එකතැන එක එක පැත්තට හැරි හිරී බිම ඉටිකොල එලාගෙන බිම වාඩිවෙලා ඉඳියා. සමහරු නම් අහල පහල තිබ්බ ගොඩනැගිලි වල තිබ්බ පුටු වල හා උඩ තට්ටු වල ඉඳගෙන පෙරහැර බලනවා අපි දැක්කා. මං නිකං විහිළුවට වගේ ක්වීන්ස් ‍එකේ පුටුවක ගාන ඇහුවා…. වැඩිය නෑ රුපියල් වලින් 6000යි…. පස්සේ ඉතිං ඒ අදහස අතෑරලා තමා පේව් මන්ට් එකට බහින්න තීරණය කලේ… ඇත්තට පෙරහැරේ උණුසුම දැනුනේ ඒ සෙනග ගොඩේ තෙරපෙද්දී තමා…

රෑ 9.35 ට විතර අපි හිටිය යටිනුවර වීදියට පෙරහැර කිට්ටු වුනා. මුලින්ම කස කාරයො, ඊට පස්සේ ගිනි බෝල කරකවන අය. මං නම් හැම පෙරහැරේම වගේ ආසා ගිනි බෝල කරකවන වැඩේට තමා. කොච්චර බලං හිටියත් එපා වෙන්නේ නෑ…. මාරම ගති…. ඊට පස්සේ ඉතිං තව තව ගොඩක් නැටුම් අංග තිබුනා… අලිත් හිටියා සෑහෙන්න. වෙනදට අලින්ව සරසන සූත්‍රිකා පහන් වෙනුවට මේ පාර යොදාගෙන තිබුනේ එල්.ඊ.ඩී බල්බ්. මං හිතන්නේ එව්වා යොදා ගන්න ඇත්තේ, වියදම අඩු නිසාත්, පිටවන තාපය අඩුනිසාත් ඒ වගේම වැයවන විදුලි බලය අඩු නිසාත් වෙන්න ඕනේ…. ඔය මොනා අඩු වුනත් දීප්තියෙන් නම් අඩුවක් නෑ…

පස්සේ ඉතිං කරඩුව වඩම්මන ඇතා එනකං කියලා මාත් පොඩ්ඩකට ඇල වුනා. හප්පට සිරි ඒ ඇලවිල්ල තමා මරු. පැය භාගයක් විතර කාලයක් පෙරහැරේ වෙච්චි දේවල් මතක නෑ කියමු‍කෝ… මොකද මට ටික වෙලාවක් නින්ද ගිහිං. ගොඩක්ම ඉතිං ඇඟට දැනුන මහන්සිය නිසා තමා. පස්සේ කොහොමහරි කරඬුව ඇතුලු දේවාල හතරේ පෙරහැරත් බලලා යාන්තං පාන්දර එක වෙද්දී නුවරින් බස් එකේ නැගලා පාන්දර හයාමාර වෙද්දී ගෙදරත් ගියා…. ප්‍රවාහන පහසුකම් එහෙමත් කිසිම අඩුවක් නැතුව තිබුනා… ඒක නිසා ඉතිං අවුලක් වුනේ නෑ…

කොහොමහරි කට්ට කාලා ‍පුංචි කාලේ ඉඳන් හිතේ තිබ්බ ආසාවක් ඉෂ්ට කරගත්ත එකම මදෑ… ඒ නැතුවත් දැං අපේ අම්ම පෙරහැර ගැන පුරාජේරු කියවද්දී මටත් ඒ ‍මැද්දට පැනලා පොර වෙන්න පුළුවන්නේ…..!

උඹ පරක්කු වුනා බං…

වෙන ජොබ් එකකට යන්න හිතාගෙන කියලා, ගිහිං සේවා සහතිකයක් දෙන්න කිව්වම… ලිවුමක් ලියලා දෙන්න කිව්වා… ඔව්වා ඉතිං කවද ලියපුවද…? ඒ පාර, මෙහෙම අනේ….. කියලා ඇඟිල්ලෙන් ඇන ඇන වචනෙන් වචනේ ඒ ෆෝ එකක් පුරාවට ලියෙව්වා. වෙලාවකට හිතෙනවා කඩේ යැවුවා වත්ද කියලා… කමක් නෑ කොහොම හරි ලොක්කගේ අස්සන එක්ක සහතිකේ හරිගස්සලා දුන්නනේ… ඒත් ඇයි… ඒක ලියුම් කවරෙකට දාලා අතට දෙන ගමන්, ඇස් දෙකයි මුනයි දිහා බලලා…

 

මේ සහතිකේ යන ඉන්ටර්වීව් එකෙන් රිජෙක්ට් කරන්න ඕනේ…. කිව්වේ….?

 

ටී ටයිම් එකට විනාඩි 3 තුන හතරක් පරක්කු වෙලා ගියාම, කට්ටිය එක්ක සැපට කාපු චීස් ගැන කියවද්දී… කව්දෝ එකෙක් කිව්වා, උඹ පරක්කු වුනා බං… නැත්තං උඹටත් කෑල්ලක් කන්න තිබ්බා… කියලා…. ඇයි එතකොට පැත්තට වෙලා ඉඳලා, හොරට මූන දිහා බලලා… එක පාරටම….

 

මෙයා හැම දේටම පරක්කුයි තමා…. කිව්වේ….?

 

මොකද…. ඒ පාර  පුළුවන්නම් විසඳගන්න කියලා තවත් ප්‍රෙහේලිකාවක් ඔලුව උඩ පටවන්නද  හදන්නේ…?

 

%d bloggers like this: