ඇන්ටිගේ නාටකේ….

එදා හොඳටම හවස් වෙලා… වහින්නත් වගේ… මුළු අහසම අඳුරු අලු පාටන් පිරිලා. වැස්සත් හරියට නිකං බලාගෙන ඉඳලා තියෙන්නේ මං ඔෆිස් එකෙන් එලියට බහිනකම් මාව නාවන්න. තෙමෙන්න අකමැත්තක් නැති වුනත් මට ඉතිං පෞද්ගලික වාහන නැහැනේ ගෙදර යන්න. ඒක නිසා ඉතිං කොච්චර කලු කරගෙන ආඩම්බරපාගෙන හිටියත් වැස්සට නොතෙමෙන්න කුඩේ ඉහලලා වැහි කලුවලට මගේ ආඩම්බර කම පෙන්නන්න මට සිද්ධ වුනා.

පස්සේ ඉතිං වැස්ස යටින් ලාවට විතර තෙමී ගෙන ගිහිං යාන්තං අඩිය තියාගත්ත බස් හෝල්ට් එකට. වෙනද නම් එකෙක් වත් යන්නේ නැති ඇඳුරු දිරලා ගිය බස් හෝල්ට් එක අස්සේ එක සෙන්ටීමීටරයක ඉඩක් වත් නෑ මට පය ගහන්න. ඒ ඉතිං මේ වරුසාවට පිං සිද්ධ වෙන්න තමා…

එහෙමයි කියල මට බාගෙට තෙමෙන්න බැරි නිසාම අමාරුවෙන් රිංග ගත්තා හෝල්ට් එකේ වහලට කවර් වෙලා තියෙන හරියට. කවුරුත් මුකුත් කිව්වේ නෑ… මොකද එතෙන හිටිය අය වගේම මාත් ටිකක් විතර තෙත බරියම් වෙලා තිබ්බ නිසා…

කොහොම හරි ටික වෙලාවක් යද්දී මට ගෙදර යන්න කළුතර – කොළඹ බස් එකක් එනවා. ගොඩක් දවස් වලට මං යන්නේ මතුගම, අළුත්ගම වගේ දුර බස් වල වුනාට වැස්ස දාට පුරුද්දක් විදියට මං යන්නේ කළුතර බස් වල. හේතුව තමා මගේ තෙමිච්ච කුඩේ අනිත් අයට කරදරයක් නොවෙන්න අරගෙන යන එකත්, අනිත් අයගේ කුඩ වල තියෙන වතුර වලින් මගේ ඇඳුම් වල නියම වර්ණය ආරක්ෂා කරගන්නත් ඕනේ නිසා. හැබැයි ඉතිං මට හිතෙන්නේ අනිත් අයත් මං වගේම හිතනවද කොහෙද… මොකද කවදාවත් කට කපලා ලෝඩ් වෙන්නේ නැති කළුතර බස් එක එදා හොඳටම පිරිලා. මගේ වෙලාවටද කොහෙද බස් එකේ හිටි අයගෙන කිහිප දෙනෙක් බැස්ස වගේම අපේ හෝල්ට් එකේ හිටි අයගෙන වැඩි දෙනෙකුත් බස් එකට නැග්ගේ නෑ. ඉතිං ඒක නිසා මාත් අමාරුවෙන් රිංගලා ඇතුලට ගියා.

ඔහොම ඉතිං මොරටුව හරියට එද්දී බස් එකේ සෙනග ටිකක් විතර අඩුයි.  ඒ මොරටුවෙ බස් එක නවත්තපු වෙලාවේ බැහැලා ගිහිං නිසා… වැස්සත් සෑහෙන දුරට අඩු කරලා. වීදුරු වලින් පේන විදියට වැටෙන්නේ යන්තං කුඩු පොද විතරයි. එව්වත් ඇහැකට පේනනේ නෑ, එලියේ තියෙන වතුර වලක් දිහා බැළුවම තමා පේන්නේ…

ටික වෙලාවකින් බස් එක, අළුත් ගාලු පාරේ මං කැමතිම හරියට ආවා. ඒ කියන්නේ මොරටුව පහුවෙලා දකුණු පැත්තෙන් මුහුද පේන හරිය… වැහි අන්දකාරේ වුනත්, ඉර බැහැලා ගිහිං වුනත් මුහුදේ රැලි වල සුදු පාට පෙන ඉපිලුමේ නම් කිසිම අඩුවක් නෑ… ඒ වගේම අහස අඳුරු වුනා කියලා ලස්සනේ අඩුවකුත් නෑ…

ඔහොම ටික දුරක් යද්දී, මං හිටගෙන හිටිය සීට් ලඟට පිටිපස්සේ සීට් එකේ ජනේල අයිනේ ඉන්න ගැහැණු කෙනා දිහා මට නිකමට වගේ බැලුනා. කර පලල්, පපුව ටිකක් පේන, තොල් දෙක තද රතු පාට ලිප්ස් ටික් එකකින් පාට කරගත්ත කාන්තාවක්. මං හිතන්නේ විදේශ ගත වෙලා ඉඳලා ලඟදී ලංකාවට ආපු, කලින් ටිකක් විතර දුප්පත් දැන් තරමක් පෝසත් කාන්තාවක් වෙන්න ඕනේ… එයත් මං වගේම මුහුද දිහා බලාගෙන ඉන්නවා. මට ඉතිං ඒ මුහුදයි මේ මුහුදයි දෙකම බලන්න බෑනේ… ඒක නිසා අර රැලි ගහන මුහුද දිහාම බලාගෙන ඉඳිද්දි තමා ආයෙම මං දැක්කේ… වටේ පිටේ ඉන්න සේරම පිරිමි ටික අර ගැහැණු කෙනාගේ අතේ තියෙන යම් දෙයක් දිහා බොහොම ඊරිසියාකාරි විදියට බලාගෙන ඉන්නවා කියලා…

මාත් ඉතිං බැලුවා… බැලින්නං ඒක පුංචි තොරණක්. වටේටම එක එක පාට ලයිට් තියෙන ඇඟිලි තුඩු වලින් වැඩ කරන තොරණක්…! මං දැක්ක විදියට චයිනීස් කෑල්ලක්. ඩුවල් සිම්, ඩුවල් මෙමරි කාඩ්… වගේ ඔක්කොම අළුත්ම අළුත් මොබයිල් ෆෝන් එකක්. ඒ විස්තර ටික දැක්කේ ඒ කාන්තාවගේ ඔඩොක්කුවේ තිබ්බ ෆෝන් එකේ පෙට්ටියෙන්. සමහරවිට ඒ මොබයිල් එක අරගෙන එන ගමන් වෙන්න ඕ‍නේ. නැත්තං ඉතිං පෙට්ටය තියෙන්න විදියක් නැහැනේ…

කොහොම හරි තව ටික දුරක් එනකොට ඒ කාන්තාව අර තොරන මත තිබ්බ ස්ක්‍රීන් එකේ පේන වර්චුවල් නම්බර් පෑඩ් එකේ එයාගේ ඇගිලි තුඩු වලින්, අංක 10ක් සටහන් කරලා ගත්තා දුරකථන ඇමතුමක්.

ඒ ඇමතුම අතරෙදි තමා මං දැනගත්තේ මේ කාන්තාව බොහොම බර අත්තක් කියලා…! කොටින්ම මට මං ආසම මුහුද දිහා බලාගෙන මේ කාන්තාවගේ දුරකථන සංවාදය අහගෙන ඉද්දී දැනෙන්නේ හරියට නිකං ඉංග්‍රිසි නලුවෝ රඟන ඉංග්‍රිසි මූවි එකකට දෙමලෙන් හඬ කවලා වගේ දෙයක් තමා. මුහුදයි කාන්තාවගේ වචනයි මැච් වෙන්නෙම නෑ… මුහුද හෝ හෝ ගාලා අහිංසක විදියට කරන සද්දේ වෙනුවට මේ කාන්තාව…

ආ…. ඊ යස්… ඊ යස් ….. ඕ මයි ගුඩ්නස්… නෑ  ඉතිං… අනේ ස්වීට් ඇතිනේ….. වගේ අමුතු කතා අස්සේ එක පාරටම පටන් ගත්තේ නැතෑ මිලියන් ටෝක්ස් වගයක්… කෙලින්ම බිස්නස් ගැන. එව්වත් ‍ලේසි පහසු එව්වා නෙමේ මහන මැෂින් 1000ක් විතර ගෙන්නලා ලංකාවේ දුප්පත් අයට බෙදාගෙන කැම්පේන් එකක් ගැන.

ඉතිං මේ කතාවට මං ඕනේ කමින් ඇහුන් කන් දුන්නා නෙවේ… ඒ කාන්තාව ‍මුළු බස් එකටම ඇහෙන්න කතා කරා. ඇඩ් දානවා කියන්නේ… අර පිනිබිඳු අක්කා කිවේ… අන්න ඒ වගේ සීන් එකක්. බස් එකේ ඉන්න අයටත් ඉතිං මේක හරි හොඳ අවස්ථාවක්. තෙමිලා තෙමිලා හෙම්බත් වෙලා ඉන්න අයට වේදිකා නාට්‍යයක් පෙන්නනවා කියන්නේ ‍හිතට ‍කොයි තරම් සැනසිල්ලක්ද…!

පස්සේ ඉතිං මුහුද දිහා බලාගෙන හිටිය මමවත් අර ගැහැනු කෙනාගේ නාට්‍ය්‍ය දිහා බලාගෙන හිටිය කෙනෙක් වත් හීනෙකින්වත් හිතුවේ නෑ මේ නාට්‍යය අස්සේ වෙළඳ දැන්වීමක් ප්‍රචාරය වෙයි කියලා…

එක පාරටම අර කාන්තාවගේ බිස්නස් කතා අස්සේ කනට තියාගෙන හිටිය චයිනීස් ‍තොරන ලයිටුත් පත්තුවෙවී… රිංග් වෙන්න ගත්තම… කොහොමද දැනෙන සනීපේ…! ඊටත් දන්නවනේ චයිනීස් ෆෝන් වල සද්දේ…

ෆෝන් පාවිච්චි කරන අය දන්නවා කෝල් එකක් අතරදි තවා කෝල් එකක් එද්දී ඒක ඇලර්ට් වෙන්නේ ‍ෆෝන් එක අතේ තියාගෙන ඉන්න කෙනාට විතරයි කියලා. මොකද ඕනෙම ෆෝන් එකක කෝල් එකක් මැදදි තව එකක් එද්දී ලාවට ඉයර් ප්‍රයිස් එකෙන් බීප් එකක් එනවා මිසක් ලවුඩ්ස්පීකර් මොඩ් ගිහිං රිං වෙන සිරිතක් නෑනේ… ඒත් ඉතිං මෙච්චර වෙලා වැස්ස නිසා හෙම්බත් වුන බස් එකේ අයට ලැබුන අමුතු අත්දැකීමනං මරු. කොහොම හරි ටික වෙලාවක් යනකං මට මුහුදයි වැස්සයි දෙකම අමතක වෙලා අනිත් අයත් එක්ක එක්කහු වෙලා හිනා ගියා….

වෙලාවට බස් එක එත‍ෙකාට අළුත් පාලම ගාව හෝල්ට් එකට කිට්ටු කරලා තිබ්බේ…! කව්ද මන්දා බෙල් එක ගැහුවා… අර ගෑණු කෙනා බස් එකෙන් බැස්සා නෙවෙයි…. පැන්නා….

(මේක පොඩි එක්ස්පෙරිමන්ට් පෝස්ට් එකක්. මං ලියන ක්‍රම දෙකක් එකට මික්ස් කරලා තියෙන්නේ….)

%d bloggers like this: