අඹ නංගි…. මගේයශෝධරා වත 17

මේ කතාවටනම් මං කුමාරයයි, යශෝධරාවයි නඩුකාරියි වගේම මං කුමාරයාගේ මවුතුමිය හා පියාතුමාත් කෙලින්ම සම්බන්ධයි. අපි ඉතිං අවුරුදු කාලෙට වගේම වෙසක් හරි පොසොන් මාස වල හරිත් යනවා අපේ මවුතුමියගේ උපන් දේශය බලාගෙන එන්න. ඒ ඉතිං වැඩි හරියක්ම යන්නේ අර කිව්වත් වාග් වෙසක් හරි පොසොන් හරි පෝයක් අල්ලලා තමා…

ඒ දවස් වලට අපේ මවුතුමියගේ රාජ්‍යයේ වැසියෝ ඉන්නේ හරියට අවුරුදු ලබලා වගේ තමා. ඒ වගේම පෝය දවස් වලට කට්ටිය සෙට් වෙලා පඬුවස් නුවර්, යාපහුව එත‍‍කොට වැල්ලෑගල එහෙමත් යනවා. මං කුමාරයත් ඔය වගේ ගමන් වලට හිටි ගමන් බොහොම කැමැත්තෙන් සහභාගී වෙනවා. ඉතිං මේ කතාව වෙද්දී මං කුමාරයට මතක විදියට ගෙවෙමින් තිබුනේ 2005 අවුරුද්ද…

ඔන්න අපි ගමේ ගිහිං ආවා. එනකොටම කව්දෝ මන්දා අ‍ෙප් මවුතුමිගේ යාළු නැන්ද කෙනෙක් ඇවිත් අපේ මවුතුමීට කියලා කව්දෝ මන්දා දුවෙකුයි අම්ම කෙනෙකුයි ඇවිල්ලා ගියා කියලා… පස්සේ ඉතිං වැඩි විස්තර හොයාගෙන යද්දී ඇවිත් තියෙන්නේ මගේ රාජකුමාරියි එතුමිගේ මවුතුමීයි. ඒ ඇවිදිල්ලා තියෙන්නේ අපේ ගේ ලඟ තියෙන නඩුකාරිගේ යාළුවෙක්ගේ මාලිගයට ආපු ගමන්ම තමා.

පස්සේ ඉතිං අපේ මවුතුමීටත් හරි දුකයි වෙච්ච සීන් එකට. මොකද මං කුමාරයාගේ මවුතුමීත් බලාගෙන ඉන්නේ යශෝධරාව අපේ මාලිගයට එනකං, ඒකිව හුරතල් කරන්න. අපෝ අම්මලා දෙන්නයි යශෝධරාවයි එකතු වුනාම තියෙන විකාර… අපේ මවුතුමීගේ වැඩේම කෙල්ලට ලෙමන් පෆ් කවන එක… කෑවේ නැත්තං අල්ලලා කටේ ඔබන තරමට ආදරෙයි. මං කුමාරයට ඉතිං ඔව්වා බලන් ඉද්දී අපේ මවුතුමීව පේන්නේ හරියට නිකං ආලවක ව‍ගේ. ඇයි වදේ යශෝධරා ආව ගමන් මං කඩේ දුවන්නයි, වීදුරු හෝදන්නයි වැඩ ගොඩයි. මේ කෙල්ල ඉඳලා හිටලා එද්දී මෙහෙමනම් කවද හරි අපේ ගෙදර පදිංචි වෙච්චි දාට මට කඩේකුත් දාගෙන කඩේ තමා නවතින්න වෙන්නේ… ඇයි ඉතිං නැන්දගෙයි ලේලිගෙයි විකාර බල බල ඉන්න ඇහැක් මොන කුමාරයටද…?

ඉතිං අපේ ගමේ අවුරුද්දට එකපාරකුයි අයෙම පොසොන් මාසෙට තව පාරකුයි, වාර දෙකක් අඹ හැදෙනවා. මං කුමාරයත් අඹ වලට වැඩිය පෙරේත නැති නිසා අඹ ගෙඩි පනහක් විතර අරගෙන තමා ආපහු එන්නේ. ඉතිං ගෙදර ආපු ගමන්ම මං කුමාරයා කරන්නේ හොඳට ඉඳුනු අඹ ගෙඩි දහයක් විතර අරගෙන මගේ මේසේ උඩින් තියාගන්න එක. ආයේ ඉතිං එව්වා ඇල්ලුවොත් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැති නිසා ‍මාලිගයේ කිසිම කෙනෙක් අඹ වලට අතක් තියන්නේ නෑ. අඩුම ගානේ ආනේ…. මේ අඹ නේද කියලා අඹ දිහා බලන්නේ වත් නෑ,.. ඉතිං මේ අඹ වල සුවඳ එද්දී අපේ මවුතුමීට ආවා මරු අදහසක්…!

ලොකූ….

ඇයි අම්මේ…?

මේ… මායි තාත්තයි ගිහිං එන්නං ඔයාගේ නංගිව බලන්න….

ඈහ්… මල මගුලයි. අපේ මවුතුමීට දුක කොච්චරද කියනවනම්, කෙල්ලව බලලා එන්නත් යන්න ප්ලෑන් කරගෙන… මාත් එන්නද කියලා අහන්න හිතුනත් ඒ වගේ වෙලාවට කට පන නැතුව යනවා. වෙන මොකවත් නිසා නෙමේ අපේ අම්මා මගේ ගුණ කියලා සාධුකාර දෙන නිසා.

පස්සේ ඔන්න අපේ පියතුමාවත් ලෑස්ති කරගෙන මගේ ගාවට ඇවිත්‍‍‍…

නංගිට ගෙනියන්න අඹ ටිකක් දෙන්න. ඔයා අරං තියාගත්තනේ හොඳට ඉඳිච්ච අඹ වගයක්…

යකෝ මේක හරි ලවු එකක්නේ. මට නිකමටවත් හිතුනේ නෑ ඒකිට අඹ ගෙඩියක් දෙන්න. එහෙව් එකේ අපේ අම්මට මොකද්ද ඒකි ගැන තියෙන කැක්කුම. ඒ ඔක්කොමත් හරි මේ අඹ ටික මං ගමේදි බෑග් එකට දාගත්දි කියපුවා… කාට කන්නද ඔච්චර… ඔව්ව තැලනවා නේද ගෙනියිද්දී… අරකයි මේකයි රටේ නැති එවුවා කියද්දී ඒ කිසි දෙයක් ඇහුනේ නෑ වගේ තමා මං මේ අඹ ටික පරිස්සමින් අරගෙන ආවේ… දැං මේ අඹ ටික යශෝධරාවට පුදන්න ලෑස්තිය… එව්වා කොහෙද මාත් එක්ක…

අනේ එයාට අඹ ඕ‍නේ නෑ අම්මේ… මේ ටික ගෙනාවේ මට කන්න….

ආ.. ඇත්තද… මෙහෙට දෙනව අඹ මල්ල … කියලා මගේ අතේ තිබුන අඹ මල්ලම අරගෙන තාත්ත එක්ක පිටත් වුනා යශෝධරාවගේ ‍මාලිගයට යන්න… දැං ඉතිං හරිනේ… මගේ හිත මටම ඔච්චං කරනවා…

‍තොට හොඳ වැඩේ… පෙරේතයා…!

හැමදේම වෙන්නේ මං කුමාරයටම නිසා ඒ වෙච්චි දේ අරුමයක් නෙමේ. පස්සේ ඉතිං ඔන්න මවුතුමී යශෝධරාවගේ මාලිගයට ගිහිං ආවා. ආපු ගමන් මං හිතුවට වෙච්චි දේවල් කියයි කියලා, කිසි දෙයක් කිව්වේ නැහැනේ…

ආයෙ ඉතිං ඕවා හාරවුස්සලා අහන්නත් බෑ… එහෙම ඇහුවොත් ආයෙම ම‍ං කුමාරය‍ාගේ ගුණ වරුණාවක් පටන් ගන්නවනේ. ඒක නිසා කිසි දෙයක් වෙච්චි නැති විදියට උන්නා.

පස්සේ ඔන්න මාත් දවස් දෙකකින් විතර යශෝධරාවගේ මාලිගයට. එදා නම් මං යද්දී උඩ පැනගෙන ඉස්සරහට ආවා… කට පුරෝලා හිනාවකුත් දාගෙන. ඒත් ඉතිං අර අඹ ටික ගැන ලෝභ හිතිච්චි නිසා මං ඉන්නේ ඔරෝගෙන… ඒ පාර…

එයත් අර හිනා කට වහගෙන, මුහුන කළු කරගෙන… මොකද ඔරවගෙන ඉන්නේ….?

දැං ඉතිං ඔය ප්‍රශ්නෙට මං කුමාරයා කොහොමද උත්තර දෙන්නේ… මගේ අඹ ටික නැතිවුන නිසා කිව්වොත් වසලා හමාරයි… ආයේ දෙකක් නෑ මට මේකි හූ කියනවා…

ඒක නිසා මං හිත රවට්ටගෙන, නෑ නිකං මට එදා ඔයාව බලන්න එන්න බැරිවුනානේ ඒකයි කිව්වා… ඒ ටික ඇහුනම ඉතිං යශෝධරාවටත් ටිකක් විතර දුක තුනී වුනා. පස්සේ ඉතිං ඔන්න එයත් පටන් ගන්නවා අපේ අම්මගේ ගුණ වරුනාව.

එදා අම්මා ඇවිත් මගේ කාමරේටම ආවා. හිහ්… මේං වැඩක් මේකි අපේ අම්මට ඇන්ටි නොකියා අම්මලු. ඒ මදිවට කියන කියන වචනයක් ගානේ ඇඹරෙනවා…

මං කුමාරයටත් ඉතිං හිනා යන්න එනවා… හා ඉතිං… අපේ අම්මා මොනාද කිව්වේ…?

මුකුත් කිව්වේ නෑ…… අම්මලා එද්දි මං නිදාගෙන හිටියේ. අම්මා ඇවිත් අඹ ටික දීලා කිව්වා අයියා දුන්නා කියලා…

මට ඉතිං ලැජ්ජත් ව‍ගේ… අපේ අම්ම ගම කාලනේ. කමක් නෑ මට ලකුණු ටිකක් වැටුනනේ… ඊට පස්සේ ඕන්න එනවා නඩුකාරි….

ආ… ළමයා… එදා අම්මලා අතේ එවපු අඹ ටික එක දවසට ඕං ඉවර කලා…

කවුද….?

කවුද ඉතිං ඔය ඉන්නේ… ඔයාගේ පෙරේත නංගි…

බලාගෙන යද්දි යශෝධරාව මට දෙවෙනි නෑ,… මං කොහොමත් ඔය අඹ ටික ඉවර කරන්නේ දවස් හතරකින් විතර. මෙයා එක දවසින් ගේම දීලා…  හොඳයි ඉතිං බැන්ද දාට පලතුරු කඩයක් තමා දාගන්න වෙන්නේ….! මවුතුමී එහෙම කියනකොට බලන්න ඕනේ යශෝධරාවගේ මූන… හරියට හොඳට ඉදිලා රෝසපාට වෙච්චි මී අඹ ගෙඩියක් වගේමයි….! ආසාවේ බෑ රත්තරං පාට මූනු පොඩ්ඩ….

ඔහොම ඉඳලා ඉඳලා… මාත් අන්තිමේ ආපහු මගේ මාලිගයට එන්න පිටත් වෙලා එන ගමන්… කන්ථකව අරගෙන… මේ අඹ නංගි…. ගාලා ටිකක් සද්දෙන් කතාකරලා… මම යනවා… අඹ ඇට ටික පැලකරන්න කිව්ව…

මේං ඊළඟ මොහොතේ එනවා… දූවිලා විසරුවාගෙන පොළොව ගුගුරවාගෙන මගේ ඉස්සරහට…

මොකද්ද කිව්වේ….

ඉතිං මට කට උත්තර නෑ… හිත චුට්ටක් රිදිලා තියෙන වෙලේ තවත් රිද්දන්න බැහැ මට. අනික මං බයම දේ තමා යශෝධරාවගේ හිත රිද්දන එක… ඒක නිසා ඉතිං කට පියාගෙන බලෙන්ම වගේ පැමිණිල්ලේ වරදකරු මං වෙලා ඒ පාරත් නඩුවේ දිනුම එයාටම දුන්නා…

හ්ම්… එනව මෙතෙන මට නම් දාන්න…. කියලා මගේ කනත් අර චූටි ඇඟිලි වලින් මිරිකලා…

දැන් පරිස්සමින් යන්න…. කියලා තරහා ඔක්කොම නිවාගෙන හෙන ආදරෙන් කියනවා. ඒ වෙලාවට ඉතිං ගෙදර යන්න හිතෙන්නේ නෑ … මොනා කරන්නද යන්න වෙනවනේ….! ඉතිං අ‍ායෙමත් අර අන්තිම මොහොතේ හම්බුවෙච්ච මතකයත් එක්ක මං කුමාරයා මගේ මාලිගයට එනවා.

දැන් නං ඉතිං මං අරගෙන එන අඹ කන්න කවුරුත් නෑ… ඒවා ඔක්කොම කන්නේ මං කුමාරයාම තමා. අඹ වල‍ට පෙරේත කෙනා නැහැනේ ඉතිං… ඒක නිසා වැඩිවෙලා අහක යන එව්වා ඔක්කොම ගිරවුන්ට, මයිනන්ට තමා…

%d bloggers like this: