බිත්තරේට වෙච්චි දේ…

අපි ඉතිං ස්කෝලේ යන දවස් වල ගත්ත හා වැරදිලා ලැබුන ෆන් කේස් තමා අමතක වෙලා නෑ නොවැ. කොහොම හරි ටික ටික අමතක වේගෙන යද්දී ආයෙම කොහෙන් හරි යාළුවෙක් සෙට් වෙලා එව්වා මතක් කරනවා. මේකත් එහෙම ‍සීන් එකක් තමා.

බිත්තරේ…. බිත්තරේ කිව්වම කට්ටියට මතක් වෙන එව්වා මොනාද කියලා නිකමට හිතන්න. කිකිලි බිත්තරේට අමතරව තව තව බිත්තර ගැන මතක් වෙනවා. එව්වා ඉතිං මෙතෙන කිව්වොත් මට විසුමක් වෙන්නේ නැති නිසා එව්වා ඕනේ නෑ…. අනික තාමත් හෙන මතවාදයක් තියෙනවනේ… කිකිලිද බිත්තරේද මුලින් ඉපදුනේ කියලා… මං නම් හිතාගෙන ඉන්නේ ඔය දෙකම නෙවේ මුලින්ම ඉපදුනේ කුකුලා කියලා… දැන් ඉතිං හේතු අහන්ට එපා…

මේං කතාව…

ඉස්සර ඉතිං අපි ස්කෝලෙට ගොඩක් වෙලාවට ගෙනියන්නේ… මං මේ කියන්නේ ඉන්ටවල් එකට කන්න… බනිස්, ජෑම් පාන්, මාළු පාන්, බටර් පාන් ව‍ගේ වැඩිය ඇඟ පතේ නොගෑවෙන කෑම ජාති තමා. අපි ඔව්වට කොයිතරම් අකමැති වුනත් අපේ අම්මලා ‍බලෙන් වගේ කෑම පෙට්ටි වලට ඔබන්නේ ඔව්වම තමා. මොකද නැත්තං ඉතිං අපි ඉඳුල් නාගෙනනේ ගෙදර එන්නේ ඒක නිසා…. හැබැයි ටික ටික අපි ලොකු වෙද්දී, ඒ කියන්නේ 8,9,10 වසර වලට එද්දී ගොඩක් වෙලාවට බත් තමා ගේන්නේ… ඒ ඉතිං ස්කෝලෙන් පස්සේ ක්‍රීඩා පුහුණුවීම්, එහෙමත් නැත්තං ‍අමතර පන්ති වගේ එව්වා සෙට් වෙන නිසා….

ඉතිං අපි මෙහෙම බත් ගේන කොට අපේ ගෙවල් වල අය හරියට හිතනවා අපේ පෝෂණය ගැන. ඒක නිසා ගොඩක් වෙලාවට ස්කෝලේ සෞඛ්‍ය පොතෙන් නිර්දේෂ කරපු ඇස්පෙනීම වඩවන ගොටුකොල සම්බෝලය, ප්‍රෝටීන් බහුල පරිප්පු, ඊට පස්සේ කැල්සියම් බහුල පොඩි මාළු… එහෙම කෑම එකට වරදින්නේ නෑ…. ඉතිං ඔහොම කෑම ගෙනාවම ගොඩක් වෙලාවට අපි කන්නේ එක බත් මුලක් දිග ඇරගෙන දහ දෙනෙක් විතර කාලා… ආයෙම තව එකක් ලෙහා ගෙන කන පිළිවෙලට තමා.

ඉතිං ඔහොම කාගෙන යද්දී එක එක වෑංජන එක එක ජාතියේ හාල් වර්ග වල බත් එහෙම කැවෙනවා. ඒ අස්සේ කාගෙ හරි බත් එකක බිත්තරයක් එහෙම තිවු‍‍නොත් නම්, එතෙන බත් කෑමක් සිද්ධ වෙන්නේ නෑ… ගොඩක් වෙලාවට බිත්තරේ තියෙන බත් මුල කෑවා නෙමේ වපුරපු ස්වභාවයක් තමා පෙන්නුම් කරන්නේ.

ඉතිං මේ කියන දවසෙත් අපේ කවුරු හරි එකෙක් ගෙනාව බිත්තරයක් තම්බගෙන. ඉතිං දැං දහයක් විතර වටවෙලා බත් මුල දිගෑරගෙන කන්න ලෑස්ති වෙනවා. අපේ තව කසුන් කියලා එකෙක් පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. පස්සේ ඉතිං අපිත් කෑගගහා බත්මුල ලෙහුවා විතරයි… අපේ ඔලු දෙපැත්තට කරගෙන ආවා අතක්… ආපහු ගත්තා ක්ෂණිකවම….

අපිට හිතාගන්නවත් වෙලාවක් නෑ මොකද්ද වුනේ කියලා… පස්සේ ඉතිං පිටිපස්ස බලද්දී කසුන් හිනා වෙවී දුවනවා විතරක් දැක්කා. ඊට පස්සේ එහෙම්ම බත් එක දිහා බලද්දී මෙන්න බොල බත් එකේ ලොකු ආවාටයක්…. හරියට නිකං උල්කාපාතයක් වැටිලා වගේ… ඒත් ඉතිං වැටිච්චි මගුලේ සලකුණක්වත් නෑ… පස්සේ ඔන්න කව්ද එකෙක් කෑගහනවා…

අඩෝ… කසුනා බිත්තරා දීපිය යකෝ…. කියලා…

මල මගුලයි…. කසුනා බිත්තරේ අරං පැනගෙන…. ඒක මීටර් වෙද්දී කසුන් බිත්තරේ කාලා ඉවරයි. ඔය බිත්තරේ උස්සන කල්ලියට තව දෙතුන් දෙනෙක් සම්බන්ධයි… හැමදාමත් උංම තමා බිත්තරේ උස්සන්නේ… මොකද බත් එක ගෙනාපු එකා දන්නෙත් නෑ බත් එකේ තියෙන්නේ මොනාද කියලා… ඒක නිසා ඉතිං වැඩිපුර ආරක්ෂාවක් දාන්න වෙලාවක් ඇත්තෙම නෑ,. ඉතිං ඔය සීන් එකෙන් පස්සේ කවුරු හරි බිත්තරේ ගත්න කං තව දෙන්නෙක් විතර බලාගෙන ඉඳලා බිත්තරේ ගත්ත එකාව පෙරලගෙන බිම දාලා බිත්තරේ ආපහු ලබාගන්න වැඩ පිළිවෙලකුත් තිවුනා…. ඊට පස්සේ ඒක ටිකක් වෙනස් වුනා…  කොහොම හරි බිත්තරේ ගත්ත එකා මුලින්ම බිත්තරේ අරං දුවන්න කලින් බිත්තරේට උගේම කෙල පාරක් ගහනවා… එතකොට ඉතිං වෙන කවුරුත් කන්නේ නෑනේ… එතකොට ඉතිං බිත්තරේ තනියම, කනවා….

පස්සේ ඔය ක්‍රමේටත් කන කොකා හැඬුවා… ඒකටනම් හේතු වුනේ මං. ඔය බිත්තරේ උස්සලා කෙල පාර ගහන එකා ඉන්නවනෙ… ඌ ඉතිං උගේ රාජකාරිය ඉවර කරලා බිත්තරේ අපිට පෙන්න පෙන්න කන කොට එල වැඩක් කරන්න පුළුවන් කියලා මට මීටර් වුනේ ටිකක් කල් ගිහිල්ලා….

මොකද්ද දන්නව‍ද වැඩේ….? දැං අර බිත්තරේ උස්සපු එකා උගේ කේඨ ස්ප්‍රේ පාරක් එහෙම දාලා අපිට පෙන්න පෙන්න බිත්තරේ කන්න හදද්දි අපිත් පැනලා උගේ අත් දෙකටයි, බිත්තරේටයි දෙකටම ගහනවා හොඳ කෙල පාරක්… ඊයා තමා ඉතිං… මොනා කරන්නද… ඒ දවස් වල ඉතිං පිස්සුනේ…

පස්සේ ඉතිං බිත්තර හොරා බිත්තරෙත් බිම දාලා දුවනවා ටැප් එක ගාවට. ගිහිං අත් දෙකම හෝදගෙන ඉන්ටවල් ඉවර වෙලා තමා ආයෙත් පන්තියට එන්නේ… ඒ වගේ දවස් වලට ඉතිං බිත්තරේ කාටවත් කන්න විදියක් ලැබෙන්නේ නෑ… ඔය කේස් එක නිසාම මං ඇතුළු තවත් කීප දෙනෙක්ම බිත්තර ගේන එක නැවැත්තුවා… පස්සේ අපි 11 වසරට එද්දී අට නවය වසර වල අපේ බත් එකේ තිබ්බ බිත්තරේට වෙච්චි දෙයක් හොයා ගන්න බැරුව ගියා… කොටින්ම කියනවා නම් ඊට පස්සේ එකෙක්වත් බිත්තර ගෙනාවේ නෑ ඉන්ටවල් එකට කන්න….

%d bloggers like this: